ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ 22 වැනි සිනමා නිර්මාණය වන වස්සානයේ සඳ අනිද්දා (25) සිට සිනමාශාලා 50කට ආසන්න සංඛ්‍යාවක ප්‍රදර්ශනය ආරම්භ වේ. ඔහුගේ නවතම සිනමා සිත්තම සහ පොදුවේ සිනමා ක්ෂේත්රයේ පවතින අර්බුද පිළිබඳවද උදයකාන්ත වර්ණසූරිය මේ සංවාදයේදී මෙසේ අදහස් පළ කළේය.
වස්සානයේ සඳ හරහා ඔබ ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්නේ මොන වගේ කතා තේමාවක්ද?
මිනිස් ජීවිතය හා බැඳුණු මිනිස්කම සහ සමාජ හැඩරුව මෙහිදී මම වස්තු විෂය කොටගත්තා. ඒ වගේම පවුලේ හැමෝටම නරඹන්නට පුළුවන් අපූර්ව ආදර කතාවක් විදිහට තමයි වස්සානයේ සඳ නිර්මාණය කරලා තියෙන්නේ. අන් අයගේ ආදරය සහ ලෙන්ගතු බව මිනිසුන් විදිහට අපිට කොයිතරම් වටිනවාද කියන කාරණයත් මේ චිත්‍රපටයෙන් ඉස්මතු කෙරෙනවා.
මේ චිත්‍රපටය වස්සානයේ සඳ ලෙස නම් කරන්නට විශේෂ හේතුවක් තිබුණාද?
වස්සානය කියන්නේ කොහොමටත් සුන්දර බව හැඟවෙන වචනයක්නේ. ඉතින් බොහෝම සුන්දර කාලයක එළැඹෙන සුන්දර අවසානයක් අළලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ජීවිතයේදී විඳින්නට ලැබෙන එම සුන්දරත්වයත් තේමා කරගනිමිනුයි මෙම චිත්‍රපටයට එවැනි නමක් යෙදුවේ.
වස්සානයේ සඳ ට පණ පොවන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කවුද?
අනුජ් රණසිංහ, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජීව් බාන්ස්, ඕෂදි හිමාෂා, රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, ශ්‍රීනාත් මද්දුමගේ, කිරුල හේරත්, සුසන්ත ප්‍රියදර්ශන, ගිවන්ත අර්ථසාද්, කුමාරි සේනාරත්න, ගයාත්‍රි පනන්වල ආදී ප්‍රවීණ සහ නව පරපුරේ දක්ෂ නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
අද සමහර චිත්‍රපටවලට, චිත්‍රපට දෙකක් අතර කාලසීමාව තමයි ප්‍රදර්ශනයට අවස්ථාව ලැබෙන්නේ. මෙවැනි වාතාවරණයක් තුළ වස්සානයේ සඳ ප්රදර්නයට සිනමාහල් වෙන්කරවා ගැනීම අභියෝගයක් වුණේ නැද්ද?
වස්සානයේ සඳ කියන්නේ පූර්ණ ධාවනයක් සහිත චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමහල්වලයි. ඊට අයත් සිනමාශාලාවල සෑම දර්ශන වාරයක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. අනෙකුත් බොහෝ සිනමා ශාලාවලදී දර්ශන එකක් හෝ දෙකක් ප්‍රදර්ශනය වෙනවා.
වස්සානයේ සඳ බලන්න යන ප්‍රේක්ෂකයන්ට අපි කියන්නේ පුවත්පත් දැන්වීම් බලලා, දර්ශන වාරය ගැන අවබෝධයක් අරගෙනම සිනමාශාලාවට යන්න කියලයි.
චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙවැනි ගැටලු පැවැතීම ලාංකේය සිනමාවේ අනාගතය සඳහා මොන විදිහට බලපාවිද?
මොන මොන ගැටලු තිබුණත් සිනමාවට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ අදටත් සිනමාශාලාවලට ගිහින් චිත්‍රපට බලනවා. ඒත් බැරිවෙලාවත් දර්ශනවාර නොදැන ගිහින් බලන්න හිටපු චිත්‍රපටය වෙනුවෙන් වෙනත් චිත්‍රපටයක් බලන්න සිදුවුණොත් ප්‍රේක්ෂකයා විශාල ලෙස කලකිරීමට පත් වෙනවා. ඒක අපේ රටේ සිනමා කර්මාන්තයට විශාල ගැටලුවක් වෙන්නත් පුළුවන්.
කොතරම් චිත්‍රපට හැඳුනත් ඒවා සංරක්ෂණය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව තවමත් නිසි වැඩපිළිවෙළක් සකසා නොමැති බවට අද බොහෝ සිනමාකරුවන් චෝදනා නගනවා. චිත්‍රපට 20කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කළ සිනමාකරුවකු විදිහට ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය මොකක්ද?
තවම ඇත්තටම චිත්‍රපට සඳහා නියම සංරක්ෂණාගාරයක් ලංකාවේ ඉදිකරලා නැහැ. ඒක තමයි ගැටලුව. ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් ඒ වැඩපිළිවෙළ සිනමාපට සංරක්ෂණයට නියම ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වගේම අද තිබෙන ඩිජිටල් තාක්ෂණය යටතේ සංරක්ෂණය කිරීමත් තවම හරියට කෙරෙන්නේ නැහැ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවලටවත් ඇහුම්කන් දෙන්නේ නැති රටක අපි වගේ ටෙලි නිර්මාණවේදීන් හෝ අධ්‍යක්ෂකවරුන්ගේ යෝජනාවලට ඇහුම්කන් දේවිද කියලත් හිතන්න අමාරුයි.
නමුත් අපි කොහොම හරි මේ ගැටලුව විසඳගන්න වහාම ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. මොකද ඒක අපි හැමෝගෙම යුතුකමක්.
සමන්මලී නැලිගම