බහුචිතවාදියා සිනමා නිර්මාණයට සාක් සිනමා සම්මාන උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානයත් හොඳම ශබ්ද සැලසුම සඳහා වූ සම්මානයත් පසුගිය දා හිමි වුණා.
එමෙන්ම 2017 දෙරණ සිනමා සම්මාන උළෙලේ දී හෙට දවසේ සිනමා කෘතියට හිමි වන හොඳම චිත්‍රපට සම්මානයත්, 40වැනි මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ නෙට්පැක් තරගකාරි අංශයේත් ප්‍රදර්ශනය වූ මෙම සිනමා නිර්මාණය ඉදිරියේදී සිනමාහල් රැසක තිරගතවීමට නියමිතයි.
ඔබේ සිනමා නිර්මාණය නම් කර ඇත්තේ බහුචිතවාදියා නමින්?
බහුචිතවාදියා කියන්නේ සංකීර්ණ ,ගැඹුරු,අපභ්‍රංශ පදයක් නොවේ. බහු කියන්නේ “බොහෝ ” චිත කියන්නේ “සිතිවිලි” කියන එක බහුචිතවාදය යනු බොහෝ අදහස් ඇති තැනැත්තා නැත්නම් එක අදහසක් නොමැත්තා හෙවත් අතීරක පුද්ගලයා යන අදහසයි.
ඔබ මෙවැනි සිනමා කෘතියක් නිර්මාණය කරන්නේ ඇයි?
බහුචිතවාදියා යන පදය නිර්මාණය කළේ සමකාලීන සමාජයේ තාරුණ්‍යයේ ස්වරූපය නම් කරන්න. බහුචිතවාදියා චිත්‍රපටය නිර්මාණය කළේ එම ස්වරූපය ප්‍රකාශකරන්න. ඔබ දන්නවා 1960/70 දශකවල ලංකාව පැවතුණේ ආවෘත ආර්ථිකයක. එකල බහුතර තරුණ ජීවන දෘෂ්ටිය තුළ වාමාංශික දෘෂ්ටිවාදයේ හික්මීමක් තිබුණා. එකල බිහිවූ කලාකෘති වලින්ද එම ස්වරූපයන් ප්‍රකාශ වෙනවා. ආචාර්ය ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමාව මෙම තරුණ්‍ය ස්වභාවය සිනමාවට නැගුවා. නමුත් සමකාලීන ලාංකීය සමාජය තුළ තාක්ෂණික ගෝලීයකරණය හරහා සංස්කෘතික ධනවාදය ඔස්සේ අත්පත් කර දී තිබෙන ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් සුඛෝපභෝගී වාහන, නිවාස සමග තාරුණ්‍යයේ ජීවන දෘෂ්ටිය බහුචිතවාදී ස්වරූපයක් අරගෙන තිබෙනවා.
මේ චිත්‍රපටයේ සංකල්පයට ඔබ මුලපිරුවේ කොහොමද?
මම බාර්ඩන් වෲටන්බර්ග් ශිෂ්‍යත්වය ලබා ජර්මනිය ගත කළ කාලයේ දීයි. දෙදහස් දොළහේ දී මෙම චිත්‍රපටය නිර්මාණය කරනවා. නමුත් චිත්‍රපටයේ පසු-නිෂ්පාදන කටයුතු අවුරුදු හතරක් පුරා නිෂ්පාදන සමාගම කළේ නැහැ. මේ නිසා නිෂ්පාදන සමාගමෙන් චිත්‍රපටය මිලදීගෙන පසු නිෂ්පාදන කටයුතු මා විසින් නිම කළා. මේ සඳහා දිගු කාලයක් ගතවුණා.
කවදා ද මෙය තිරගත වෙන්නේ?
2017 දී දෙරණ සිනමා සම්මාන උළෙලේදී හෙට දවසේ සිනමා කෘතියට හිමි වන හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය සමඟ ලක්ෂ 50ක රූපවාහිනී ප්‍රචාර අනුග්‍රහයක් මට දැනටමත් තියෙනවා. බහුචිතවාදියා චිත්‍රපටයේ නිෂ්පාදක මම නිසා එය ප්‍රදර්ශනය කිරීමටත් ප්‍රචාරණය සඳහා මුදල් අවශ්‍ය වෙලා තියෙනවා.නමුත් තව මුදල් අවශ්‍යයි. ඒ වගේම චිත්‍රපට ප්‍රදර්ශනය කියන්නේ වෙනමම මාෆියාවක්. ඒක ජයගන්නෙ කොහොමද කියලා හිතමින් ඉන්නවා.
මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල දී ඔබ ලැබූ අත්දැකීම් ?
මට මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්බන්ධව මුල්ම අදහස ලබාදෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ. මගේ චිත්‍රපටය නෙට්පැක් හෙවත් ආසියානු සිනමා අංශයේ තරගකාරි අංශයේ ප්‍රදර්ශනය වුණා. ඒවගේම ඩිස්කවරි ඔෆ් ශ්‍රීලංකා යටතේ ලංකාවේ සිනමාව වෙනුවෙන් වූ සුවිශේෂි අංශයකත් පෙන්නුවා. රුසියානු ප්‍රේක්ෂකාගාරය ඉතාම ඉහළින් මගේ චිත්‍රපටය වැළඳගත්තා. බහුචිතවාදියා චිත්‍රපටයේ තේමාවේ සහසම්බන්ධයක් මේ වන විට රුසියාවේ දැකගන්න පුළුවන්. රුසියානු ආර්ථිකය ලංකාවේ ස්වභාවයට වඩා වෙනස් වුවත් බංකොලොත් මට්ටමකට වැටෙමින් බොහෝ ආයතන බිඳවැටීමේ තත්ත්වයක් පවතිනවා. විරැකියාව ශ්‍රම සූරාකෑම බහුල ලෙස දැකගන්න පුළුවන්. රුසියානු තරුණයන් එක පැත්තකින් බර්ලිනය නැත්තම් ඇම්ස්ටර්ඩෑම් එහෙමත් නැත්තම් බර්සිලෝනා ජිනීවා වියනා වලට ගිහින් රස්සාවල් කිරීමේ විභවයක් පවතිනවා. බහුතරයක් අඩු වැටුපට වැඩ කරන්නෙ. ඒ වගේම ලිංගික ශ්‍රමය අඩු මුදලට විකිණෙනවා. මෙවැනි තත්වයක් තුළ රුසියානු ප්‍රේක්ෂකාගාරය අපූර්ව ලෙස සිනහසෙමින් බහුචිතවාදියා තේමාව හා බද්ධවෙමින් චිත්‍රපටය නැරඹීම දකින්ට ලැබීම ආශ්වාද ජනක අවස්ථාවක් වුණා.
බහුචිතවාදියා නව ආඛ්‍යාන ස්වරූපය කුමක්ද?
පසුගිය දශක තුනක පමණ කාලය පුරා ම විසින් වේදිකාව, ඡායාරූපය , කෙටි චිත්‍රපටය, විඩියෝ ආර්ට් කලාව, රේඩියෝ නාට්‍ය ආදී ක්ෂේත්රයන් තුළින් ලබාගත් දැනුමින් පරිපෝෂිතවයි බහුචිතවාදියා නිර්මාණය වෙන්නෙ. චිත්‍රපට තිර නාටකය සමඟ අවුරුදු කීපයක් හැපෙමින් සිදුවීම් දෙබස් මනාලෙස ගොඩනැංවීමට මහන්සි වුණා. චින්තක සෝමකීර්ති සමග අවුරුදු දෙකක පමණ කාලයක් පුරා සිනමාවේ රූපමය ආඛ්‍යානය ගොඩනැගිය යුත්තේ කෙසේද යන්න සංවාදයක් තිබුණා. බහුචිතවාදියා හි සංස්කරණ විජ්ජා හෝ දෘශ්‍යමය ප්‍රයෝග නෑ. කැමරාව ජීවිතය ග්‍රහණය කරගැනීමේ මෙවලමක් ලෙස යි භාවිත වන්නෙ. ඒ වගේම හැරල්ඞ් පින්ටර් වැනි නාට්‍යකරුවන් පවා භාවිතා කළ දිගු විරාමයන් සහ නිහඬතාවයන් තිබෙනවා. රංගනය ස්වභාවික ආකාරයෙන් සිදුකරනවා.
චිත්‍රපට ප්‍රදර්ශනය මාෆියාවක් ලෙස හඳුන්වන්නේ ඇයි?
අද චිත්‍රපට ප්‍රදර්ශනය හරියට පෞද්ගලික බස් රථ කර්මාන්තය වගෙයි. ඒ කියන්නේ නියාමනයක් නැහැ. ඒක සේවාවක් නෙමෙයි ව්‍යාපාරයක්. පෞද්ගලික බස්රථ බහුතරයක් රාත්‍රි කාලයේ නැහැ. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන තර්කය තමයි රාත්‍රී කාලයේ මිනිසුන් නැති නිසා දුවන එක පාඩුයි කියලා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර, නියමිත ගමන් වේගය , ගමන් කරන්නාගේ පහසුව ගැන හිතෙන්නෙම නැහැ. මේ වගේ තමයි සිනමා ප්‍රදර්ශනය. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ලාභය සඳහා සිනමාකරුවන් භාණ්ඩ නිෂ්පාදනයකර දිය යුතුයි කියලා. ඔවුන් බහුතරයක් හැම විටම කියන්නේ මිනිසුන් බලන කෘති කරන්න. එවිට සිනමාවේ ප්‍රශ්න අර්බුද නැහැ කියලා. කලාව කියන්නේ තේකොළ, විස්කෝතු, සබන් නිෂ්පාදනය කරනවා වගේ භාණ්ඩ විකිණීමක් නෙමෙයි. රටක මිනිසුන්ගේ දැනුම රසවින්දනය පරිකල්පනය අවදිකරන ශිෂ්ටත්වයක් ගොඩනගන යාන්ත්‍රණය කලාව තුළ පවතිනවා. ඕනෑම කලා කෘතියක් මිනිසුන් අතරට ගෙන යා හැකි නම් එය මිනිස්සු වැළඳගන්නවා.
2018 සාක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී සම්මාන ලැබීම පිළිබඳ ඔබේ අදහස?
චිත්‍රපට උළෙලක සම්මාන හිමිවීම කියන්නේ සිනමාකරුවකුට සුවිශේෂී කඩඉමක්. ඒකෙන් ප්‍රධාන කාරණා දෙකක් සිද්ධ වෙනවා. ප්‍රේක්ෂකයාට සිනමා කෘතිය සම්බන්ධව තක්සේරුවක් ලබා ගත හැකියි. ප්‍රචාරණය අත්පත් කරගත හැකියි. මේ නිසා සම්මාන උළෙලක සම්මානයට පාත්‍ර වීම හරහා නිර්මාණකරුවෙක් ඔසවා තැබීමක් සිද්ධ වෙනවා. සාක් චිත්‍රපට උළෙලේ දී මට ජූරියේ විශේෂ සම්මානයකුත් සසික රුවන් මාරසිංහට හොඳම ශබ්ද සැලසුම සඳහා සම්මානයත් හිමිවුණා. එය අතිශයින්ම අගය කලයුතු විනිශ්චයක්.
සිළුමිණ