'දැවෙන විහඟුන්' අද සිට ප්‍රදර්ශනය ආරම්භ කරන සිනමාපටයක්. ජාත්‍යන්තර සම්මාන උළෙල රැසක් නියෝජනය කළ 'දැවෙන විහඟුන්' අන්තර්ජාතික සම්මාන රැසකින් ද පුද ලැබීය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පහළොස්වැනි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සම්මානය සහ තරුණ ජූරි සම්මානය හිමිකර ගත් 'දැවෙන විහඟුන් ' තවත් අන්තර්ජාතික සිනමා උළෙල රැසකට සම්මාන සඳහා නිර්දේශිත විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන අනෝමා ජනාදරී හොඳම නිළිය ලෙස ද තුන්වැනි ආසියානු ජගත් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූවාය.
සංජීව පුෂ්ප කුමාර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. මේ ඔහුගේ දෙවැනි චිත්‍රපටයයි. පළමුවැන්න'' පියාඹන මාලුවෝ' ය. 'දැවෙන විහඟුන් ' නිෂ්පාදනය කරන්නේ රේණුකා බාලසූරිය විසිනි. වසර දහ අටක් චිත්‍රපට බෙදා හැරීම සිදු කළේ පුද්ගලික සමාගම් හතරක් විසිනි. එහෙත් එම ප්‍රතිපත්තිය අහෝසි කරමින් චිත්‍රපට බෙදා හැරීම පසුගියදා යළි ජාතික චිත්‍රපට සංස්ථාව යටතට පවරා ගත්තේ සංස්ථා පනත බලාත්මක කරමිනි. මෙසේ සංස්ථාව යටතට බෙදාහැරීම පවරාගත් පසු තිරගත කරන පළමු සිනමාපටය වන්නේ 'දැවෙන විහඟුන්ය'. චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය අද අප සමඟ කතා කරන්නේ මේ ගැනය.
ඇයි ඔබ දැවෙන විහඟුන් නිෂ්පාදනය භාර ගත්තේ...?
දැවෙන විහඟුන් මම බලද්දී පළමු අදියරේ වැඩ ඉවරයි. ප්‍රංශ ජාතිකයෙක් තමයි සංජීව එක්ක එකතු වෙලා නිෂ්පාදන කටයුත්තට අත ගහලා තිබුණේ. මම චිත්‍රපටය දැක්කා. සංජීව කොයි තරම් ලෝකෙන් සම්මාන ගත්තත් වැඩක් නැහැ.. අධ්යක්ෂවරයෙක් විදිහට සංජීව ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් අතරට ගියේ නැත්නම් කියලා මට හිතුණා. ඔහු සිනමාව ඉගෙන ගත්තු රටට දැනෙන යමක් කළ හැකි දක්ෂ තරුණයෙක්. අපි දවසෙන් දවස පස්සට යනවනේ. ඒ නිසා ඉදිරියට යන කෙනෙකුට අත දෙන්න ඕනේ. ඒ නිසා මම සෝමෙටත් ( ආචාර්ය සෝමරත්න දිසානායක) කිව්වා අපි මේක කරමු කියලා. නැත්නම් දැවෙන විහඟුන් අනිවාර්යයෙන්ම හොරු අතට යනවා. එහෙම උනොත් සංජීව කියලා කෙනෙක් අපේ මේ පොළොවේ පැළවෙන එකක් නැහැ. ඇත්තටම පු`ථවන් කමකට නොවේ. ඒත් අපි තීරණය කළා මේකට මැදිහත් වෙන්න.
චිත්‍රපටය ඒ තරමට ඔබේ සිතට කා වැදුණා...?
ඔව්.. මම හිතන්නේ ලංකාවේ හදපු කිසිම චිත්‍රපටයකින් අම්මා ගැන මට මේ තරම් දැනිලා නැහැ. මමත් අම්මා කෙනෙක් සහ මේ ලෝකේ ඕනෑම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. මිනිසුන් වගේම සත්වයන් අතරත් එහෙමයි. දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක් තමන්ගේ පණ වුණත් දෙනවා. කන්න දෙන්න දෙයක් නැත්නම් අත පය වුණත් කපලා කන්න දෙන්න පුළුවන් නම් අම්මා කෙනෙක් ඒකත් කරයි. තරාතිරම වැඩක් නැහැ.. ජනාධිපති ආර්යාවක්ද රජ බිසවක්ද දුගී පැල්පතක ද කියන එක නොවේ දරුවෙක් කෙරෙහි මවකගේ බැඳීම එකයි. ඒ නිසා 'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ අම්මා ගැන හරි අපූරුවට කතා කරනවා.
ඔබ චිත්‍රපටය කෙරෙහි සංවේදී වූ බවද කියන්නේ...?
ඇත්ත..එක පැත්තකින් මම හරියට සංවේදී වුණා. අනෙක් අතට මම හිතුවා සංජීව සිනමාකරුවෙකු ලෙස මේ පොළොවේ පැළ විය යුතුයි කියලා.
චිත්‍රපටයක් අතරමඟදී ඔබ නිෂ්පාදනයට දායක වූ පළමු අවස්ථාව මෙයද..?
නැහැ.. කළින් අපි ප්‍රසන්න ජයකොඩිට උදව් කළා..සංජීවට මින් පෙර උදව් කරන්න ලැබුණේ පුංචියට. ඒ නිසා මේ අවස්ථාවේදී උදව් කරන්න තීරණය කළා. ලංකාවේ හු`ගක් අයට අපි එහෙම උදව් කරලා තියෙනවා..
ඇයි එහෙම මැදිහත් වීමක් වෙන්නේ...?
අපි වැඩ පෙන්වන මේ ක්ෂේත්රය පවතින්න නම් අපි විතරක් නොවේ තව අය සිටිය යුතුයි. තවත් අය මේකට හඳුන්වා දෙන්න අපිට ශක්තිය තියෙනවා නම් සිනමාව පෝෂණය කිරීම සඳහා අපි එය කළ යුතුයි. අපි කවදාහරි මෙතැනින් යද්දී වඩා හොඳ පිරිසකට බැටන් එක දිය යුතුයි. ඒ සඳහා අපිට පුංචි හෝ දායකත්වයක් දෙන්න පුළුවන් නම් එය කරන එක අපේ වගකීමක්.. සහ යුතුකමක්. අපේ ශක්ති ප්‍රමාණයෙන් එය කළ යුතුයි. මමයි සෝමෙයි ඒ යුතුකම පුළුවන් විදිහට කරනවා.
චිත්‍රපටයේ අන්තර්ගතය කෙබඳු ද..?
දැවෙන විහඟුන් අන්තර්ගතයට මම හරිම කැමතියි. එක එක්කෙනාට එක එක විදිහට කියවන්න පුළුවන් ඉතා වැදගත් පණිවිඩයක් සමාජයට ලබා දෙන සිනමාපටයක්. ඕනෑම කෙනෙකුට තම බුද්ධිය අනුව තමන්ට රුචි පරිදි තමන්ට දැනෙන පරිදි චිත්‍රපටය ග්‍රහණය කර ගත හැකියි. සමාජයේ විවිධ ස්ථරවල පැතිකඩයන් ගැන කතා කරන චිත්‍රපටයක්. එනිසා මෙහි අන්තර්ගතය හරිම විශිෂ්ටයි. මිනිස් බැඳීම ගැන ගත්තොත් චිත්‍රපටයේ ඒ ගැන කතා කරනවා. සමාජ සංස්ථාවේ හැසිරීම ගත්තොත් මම හිතනවා මේ චිත්‍රපටය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොදා ගත හැකියි. සමාජයේ එක එක ස්ථරයන්ගේ හැසිරීම තූළින් මූලිකම ඒකකය වන පවුලට සිදුවන බලපෑම, මේ සමාජය හැදිලා තියෙන්නේ කුමක් සඳහාද කියන එක ආපස්සට ප්‍රශ්න කරන්න පුළුවන්. පවුල විනාශ කරලා මොකටද අනෙක් සංස්ථාවන් පැවතිලා. ඒක මේ චිත්‍රපටයෙන් හරියට ප්‍රශ්න කෙරෙනවා. සාමාන්‍ය කෙනෙකුට පවා මේ චිත්‍රපටය දිහා බලලා අම්මා ගැන හිතලා මහා විශාල බැඳීමක් ඇතිකර ගත හැකියි. සමාජ විශ්ලේෂකයින්ට විද්‍යාර්ථයන්ට පුළුවන් චිත්‍රපටය වෙන විදිහකට කියවන්න. ඒ නිසා මම "දැවෙන විහඟුන්" දකින්නේ සමාජයට වටිනා පණිවිඩයක් දෙන හොඳ කාලීන චිත්‍රපටයක් ලෙසයි.
කෙනෙක් වර්ග කළොත් ' දැවෙන විහඟුන්' සම්භාව්‍ය හෝ වාණිජ චිත්‍රපටයක් කියලා ඔබ ඉන්නේ මේ දෙකෙන් කොතැනකද..?
මට නම් ඒක සම්භාව්‍යද වාණිජද කියල එකක් නැහැ. චිත්‍රපටය බලපු ගමන් මට හිතුනේ මිනිස්සු මෙය නැරඹිය යුතුයි කියන සිතුවිල්ල. මනුෂ්‍ය බැඳීම් මේවායි කියලා උලූප්පලා පෙන්වන්න ඕනේ කාලෙක තමයි අපි අද ඉන්නේ. ඒ තරමට මිනිස් බැඳීම් ලිහිල් වෙලා ගිහින්. මිනිසුන්ට මිනිස් බැඳීම්වල වටිනාකම තේරුම් යද්දී ආපසු හැරිලා යන්න බැරි දුරක් ගමන් කරලා ඉවරයි. අන්න ඒක හදවතට රිද්දලා මතක් කරලා දෙන චිත්‍රපටයක් තමයි 'දැවෙන විහඟුන්'. මේ වගේ නිර්මාණ මේ සමාජයට අද දවසේ හරි වටිනවා. මේක පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වැඩිම අන්තර්ජාතික කීර්තියක් ගෙන දුන් චිත්‍රපටය. මම හො`ද විශ්වාසයෙන් කියනවා මේ අන්තර්ජාතික කීර්තිය ලබා දීලා තියෙන්නේ මිනිසුන්ට බලන්න බැරි ලිංගික දර්ශන පෙන්වලාවත් එහෙමත් නැත්නම් තේරුම් ගන්න බැරි සම්භාව්‍යත්වයක් පෙන්නලාවත් නොවේ. මුළු ලෝකයම මේ චිත්‍රපටයට බැඳේන්න ඇත්තේ එකිනෙකා අතර හුවමාරුවූ මනුස්ස බැඳීමයි. මිනිස් බැඳීම ලෝකේ ජාතියකට ආගමකට හෝ භාෂාවකට සීමා වෙලා නැහැනේ. 'දැවෙන විහඟුන් ' ලෝකයේ ජයගන්න ඇත්තේ මේ මිනිස් හැඟීම නිසා විය යුතුයි.
අන්තර්ගතය විතරද මේ සාර්ථකත්වයට බලපා තිබෙන්නේ.. රඟපෑම් හේතුවක් වෙලා නැද්ද...?
අපි දැන් මේ ක්ෂේත්‍රයෙම ඉන්න නිසා දන්නවා චිත්‍රපටයක් කියන්නේ සම්පූර්ණයෙන්ම අධ්යක්ෂවරයා විසින් මැටි පිඬක් වගේ අරන් හදන නිර්මාණයක්. ඒ නිර්මාණයට ඕනේ රංග වින්‍යාසයද සංස්කරණයද වර්ණ සංයෝජනයද ආදී හැම එකකම නියමුවා වෙන්නේ අධ්යක්ෂවරයා. එතකොට මේ චිත්‍රපටය බලලා ඉවර වෙලා ගෙදර ගෙනියන්නේ 'අම්මාව'. අම්මගේ චරිතෙ විතරයි ගෙදර ගෙනියන්නේ. ඇත්තට මේ චිත්‍රපටය බලපු පළමු දවසෙම අනෝමා ජනාදරීට කතා කරලා මම කිව්වා ඉතාමත් විශිෂ්ටයි අනෝමා..පුදුම විදිහට ඔයා චිත්‍රපටයේ රඟපාලා තියෙනවා' කියලා. එතකොට අනෝමාට ඔය ජාත්‍යන්තර සම්මානය ලැබිලා තිබුණෙත් නැහැ. මම සංජීවට කිව්වා මොනම මට්ටමේ උනත් අනෝමා මේ කරලා තියෙන රංගනය තුළින් 'අම්මා' කියන චරිතය පුදුමාකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ දෙන්නා අතර ගැටුමක් තියෙනවනේ . මම කිව්වා සංජීවට ඒ හැම එකක්ම අමතක කරන්න මේ මනුස්සයා චරිතයට පුදුමාකාර විදිහට සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා. ඇත්තටම මේ නිර්මාණය බලලා ගෙදර යන මිනිස්සු සංජීව පුෂ්ප කුමාරවවත් නිෂ්පාදනය කළ අයවත් නොවේ අර අම්මාවයි ගෙදර ගෙනියන්නේ. ඉතිං ඒ නිසා අදින් පස්සේ 'දැවෙන විහඟුන්' නරඹන හැම කෙනෙකුටම මම මේ කියන්නේ ඇත්ත කියලා තේරුම් යාවි. චිත්‍රපටයක සාර්ථකත්වය ඒකයි. අපි මේකේ කතා කළේ මාතෘත්වය ගැන නම් ඒක ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් එතැනින් එහාට තවත් දෙයක් නැහැ. මෙහි සුළු චරිත පවා ඉතාමත් දක්ෂ විශිෂ්ටයන් තමයි රඟපාන්නේ. අනෝමා , ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, සමනලී ෆොන්සේකා හැම කෙනෙක්ම තමන්ගේ චරිත ඒ අයගේ ප්‍රමාණයෙන් කර තිබෙනවා. හැබැයි මේ හැම එකක්ම අම්මාගේ චරිතය ගොඩනඟන්න ලොකු පිටිවහලක් වෙලා තියෙනවා.
චිත්‍රපටයක් හදනවට වඩා අසීරුයි ප්‍රදර්ශනය කිරීම. ඔබට එය හුරුපුරුදු දෙයක්..?
හුඟ දෙනෙක් අහනවා ඔයාලා හදපු චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ පුද්ගලික ප්‍රදර්ශක මණ්ඩලවල ගිහින් නේද කියලා. හරි..ඔව්..ඇත්තටම.. අපේ චිත්‍රපට දුවන නිසා අපිට තියෙනවා ඩිමාන්ඩ් එකක්. එතකොට ඒ අය එක්ක වාද කරලා තර්ක කරලා අපේ ඉල්ලීම් දිනාගෙන අපට දුවන්න පුළුවන්. ඒත් අපේ ඒවා විතරක් දුවලා හරියන්නේ නැහැනේ. අපි විතරක් මේ රටේ චිත්‍රපට හදලා හරි යන්නේ නැහැනේ. මේකේ හැම කෙනෙක්ම ඉන්න ඕනේ. එතකොට මට විතරක් හරි ගිහින් වැඩක් නැහැ. මුළු සිනමා කර්මාන්තයටම හරි යන්න ඕනේ. සිනමාව කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයිනේ. එහෙම නොවුණොත් මේකේ හතර මායිම නොදන්නා සිනමාකරුවන් බිහිවේවි. මේ අය සැබෑ සිනමාකරුවන්ට ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා පිළිගත් නීති රාමුවක් යටතේ වගකියන ආයතනයක් තිබිය යුතුයි. පෞද්ගලික ප්‍රදර්ශකයන් යටතේ රුපියල් සතවලින් වාසියක් වේවි. නමුත් රටේ සංස්කෘතිය ඉතිරි වෙන එකක් නැහැ. සිනමා ශිෂ්ටාචාරයක් නැතිවේවි. ඒ නිසා අපිට එක පාරටම බලද්දී වාසි නැති වේවි. ඒත් අපි කොතැනින් හරි පටන්ගත යුතුයි. දැන් අවාසිය වි`දගෙන ඉදිරිය හො`ද වේවි කියලා හිතාගෙන යායුතුයි. මට මතකයි අපේ පළමු චිත්‍රපටය 'සරෝජා' හැදුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ බෙදාහැරීම යටතේ. ඒ සිනමාවට මිනිස්සු එන්නේ නැති කාලයක්. අපිට පිස්සුද කියලා ඇහුවා. ඒත් සරෝජා බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. ඉන් පස්සේ මොකද උනේ කියන එක මට තේරෙන්නේ නැහැ. දුර්වල තැන් හදාගෙන හැමදෙනාටම හරියන විදිහේ ක්‍රමවේදයකට යා යුතුයි.
එතකොට 'දැවෙන විහඟුන්' බෙදා හරින්නේ සංස්ථාව යටතේ..?
ඔව්.. අවුරුදු දහ අටකට පස්සේ මේ නීතිය යටතේ මුදා හරින පළමු චිත්‍රපටය 'දැවෙන විහඟුන්'. දැනට චිත්‍රපට දෙකක් කලින් භාර අරගෙන ප්‍රදර්ශනය කෙරෙනවා. අපිට ඒකට බාධා කරන්න බැහැ. ඒ නිසා දැනට ඉතිරි වෙලා තියෙන සිනමා ශාලාවල හරි අපි යනවා මේ ක්‍රමය යටතේ. කොතැනින් හරි ඇරැඹිය යුතුයි. අපෙන් පසුව එන චිත්‍රපටයට මීට වඩා හොඳ වේවි. සියලුම ශාලාවල සියලුම දර්ශන අපට ලැබෙන්නේ නැහැ. සම්පුර්ණ දර්ශන සඳහා අපට ලැබී තිබෙන්නේ සිනමාශාලා විසිතුනයි. සිනමාශාලා දහයක දර්ශන දෙකක් ලැබිලා තියෙනවා. හතරක එක දර්ශනයක් ලැබිලා තියෙනවා.
මේ විදිහට මුදා හැරලා ලාභ ලබන්න පුළුවන්ද..?
බැහැ.. මේ විදිහට මුදා හැරලා කවදාවත් චිත්‍රපටයක ප්‍රචාරණ වියදමවත් හොයා ගන්න බැහැ. දවසක ආදායමට වඩා වැඩි වියදමක් තියෙනවා ප්‍රචාරණයට. සිනමා හල් වැඩි වුණාම තමයි ආදායම වැඩි වෙන්නේ. කොතරම් හොඳ චිත්‍රපටයක් උනත් මුල් කාලයේදී ප්‍රචාරණයක් දිය යුතුයි.
'දැවෙන විහඟුන්' ගැන විවිධ කතාත් පැතිරෙනවා..
ඔව් හුඟක් දෙනා හුඟක් කතා එළියේ කතා වෙනවා. අපි හරි ආසයිනේ දන්නෙ නැති දේවල් කතා කරන්න. කපුටු හත් දෙනාගේ කතන්දරේ වගේ. ඒ නිසා චිත්‍රපටය බලලා අදින් පස්සේ කතා කරන්න කියලා තමයි මම හැම දෙනාටම කියන්නේ. 'දැවෙන විහඟුන්' වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. නමුත් සාමාන්‍ය දැනුම් තේරුම් ඇති හැම ළමයෙකුම බලනවනම් හොඳයි අම්මා කෙනෙක් කියන්නේ කවුද කියල දැනගන්න. මේ චිත්‍රපටය දැනෙන්නේ නැති කෙනෙක් ඉන්නව නම් එයාගේ මනුස්සකම පිළිබඳ ප්‍රශ්නෙකුත් මතු වෙනවා.
විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පවත්වන ලදී.
අජිත් අලහකෝන්