අපි හැමෝටම ජීවිතේදී විවිධාකාර ප්‍රශ්න එනවා. හිත් රිදීම් දුක් වේදනා ඇතිවෙනවා. ඒ වෙලාවට තමන්ගේ දුක තුනී කරගන්න එක් එක්කෙනා අනුගමනය කරන්නේ තම තමන්ට ආවේණික ක්රමනේ
අපි හැමෝටම විවිධාකාර විනෝදාංශ තියෙනවා. ඒ වගේම අපි ආශා කරන විවිධාකාර දේවලුත් තියෙනවා. මටත් ඔය වගේ විනෝදාංශ, පුරුදු තියෙනවා. මේ ලෝකේ මම වැඩියෙන්ම කැමති මොකටද කියලා දන්නවාද? නෑ.... නේද? ඔන්න මම ඒ කතාව අද ඔයාලට කියනවා. මේ කියන දේ සමග තනිවීම තමයි මගේ ලොකුම විනෝදාංශය. හැබැයි ඉතින් මගේ මේ පුරුද්ද එහෙම නැත්නම් විනෝදාංශය තියෙන තවත් අය ඉන්නවාද කියන්න නම් මම දන්නේ නැහැ. මොකද ඒක හැමෝම නොකරන දෙයක්.
මොකක්ද දන්නවද මේ ලෝකේ මම වඩාත්ම ප්‍රිය කරන දේ. ඒ තමයි “සුළඟ”. අපිට කවදාවත් සුළඟ දකින්න බැරි වුණාට සුළඟ විඳින්න පුළුවන්. සුළඟට ඇහුම්කන් දෙන්න පුළුවන්. සුළඟට වේළිලා ඉන්න. සුළඟේ මුනු මුනු හඬ අහන්න පුළුවන්. සුළඟ කියන්නේ ඕනෑම කෙනෙකුට පොදු දෙයක් වුණත් සුළඟ එක්ක හොඳින්ම ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ සුළඟට තදින්ම ඇලුම් කරන කෙනෙකුට විතරයි. මම පුදුමාකාර විදියට සුළඟට ඇලුම් කරන හින්දා මට සුළඟේ හැංගිච්ච සියුම් තැන් පිළිබඳව පවා බොහොම හොඳ ඉවක් තියෙනවා.
සාමාන්‍යයෙන් අපිට ආවේණික වූ යම් යම් පුරුදු, යම් යම් ගති ස්වභාවයන් පිළිබඳ මෙනෙහි කරද්දී අපිට ඒ සම්බන්ධ අතීතය සිහිවෙනවානේ.
ඒත් මම මේ විදිහට සුළඟට ආදරේ කරන්න පටන් ගත්තේ කවදා ඉඳලාද කියලා මට හරියටම කියන්න බැහැ. ඒත් පුංචි කාලේ ඉඳලම මම සුළඟට ආදරේ කළා. සුළඟත් එක්ක තියෙන මේ අනියම් ආදර ගනුදෙනුව ගොඩක් අය නොදන්නා රහසක්.
ඉස්සර අපි හිටියේ පොල්හේන්ගොඩ. ඉරිදා දවසට පවුලේ හැමෝම බිච් එකට යනවා. සාමාන්‍යයෙන් පුංචි ළමයි මුහුදු වෙරළට ගියාම රැල්ල පාගන්න කැමතියිනේ. ඒත් මම ඊට වෙනස්. වැල්ලේ වාඩිවෙලා මුහුදේ සුළඟ විඳින්න. ඒ ඝෝෂාව අහන්නය තමයි මම කැමැති. ඒ වගේම විනෝද ගමනක් ගියොත් ඒ ගමනේදී උස් තැනිතලාවක්, නිසංසල හුළං හමන වන තීරයක් හමුවුණොත් මම අනෙක් අයගෙන් මිදිලා අර නිසංසල තැනට හරි උස් තැනිතලාවට හරි ගිහින් විනාඩි කීපයක් තනිවෙලා සුළඟේ සුවඳ විඳිනවා. හුළඟත් එක්ක ආදරේ විඳිනවා.
අපි හැමෝටම ජීවිතේදී විවිධාකාර ප්‍රශ්න එනවා. හිත් රිදීම් දුක් වේදනා ඇතිවෙනවා. ඒ වෙලාවට තමන්ගේ දුක තුනී කරගන්න එක් එක්කෙනා අනුගමනය කරන්නේ තම තමන්ට ආවේණික ක්රමනේ. සමහරු තමන්ගේ හිතේ දුක කාටහරි කියලා දුක තුනී කරගන්නවා. තවත් අය සංගීතයට සවන්දීලා දුක වේදනාව තුනී කරගන්නවා. මේ විදියට තමන්ගේ දුක නිවා ගන්න විවිධාකාර ක්‍රම අනුගමනය කරන අය ඉන්නවානේ. මම නම් දුක නිවා ගන්නේ සුළඟත් එක්ක එකතු වෙලා. නිසංසල සුළං රැළි මුළු සිරුර පුරාම දැවටෙද්දී මගේ හිතේ තියෙන දුක වේදනාව නිවිලා යන්නේ ඉබේටම වගේ.
“සුළඟ” විඳින්න වගේම සුළඟට ඇහුම් කන් දෙන්නත් මම කැමති බව මුලින් සඳහන් කළානේ. සුළඟ විඳන්න ඕනෑම තැනකදී පුළුවන්. ඒත් සුළඟ අහන්න පුළුවන් සුවිශේෂී තැන්වලදී විතරයි. මට හොඳින්ම සුළඟ දැනෙන්නේ රිවස්ටන්වලදී. මම දැනට හතර වතාවක් රිවස්ටන් ගිහින් තියෙනවා. මට ලංකාවේ සුන්දරම තැන තමයි රිවස්ටන්. රිවස්ටන්වලදී සුළඟ විඳින අතරේ ඊට ඇහුම්කන් දෙන්නත් පුළුවන්. ඒ හඬ මට දැනෙන්නේ කොහෙන්දෝ ලෝකෙකින් එන හඬක් වගේ. ඒ විතරක් නෙමෙයි. මටම ආදරයෙන් කතාකරන හඬක් වගේ.
සුළඟේ මුදු බවට ගොඩක් සංවේදී හින්දම විය යුතුයි මට සුළඟේ රළු බවක් තදින්ම දැනෙන්නේ. “ගාමිණී”, “කළු සුදු මල්”, “මේ මගේ සඳයි“, වැනි නිර්මාණ කරන්න පුත්තලම වගේ වියළි ප්‍රදේශවල ගතකළ කාලය මතක් වෙද්දීත් හිතට දැනෙන්නේ ලොකු විඩාවක්. ඒ ප්‍රදේශයේ වියළි රළු සුළඟ ඒ නිර්මාණවලට දායක වූ හැමෝටම දැනෙන්න ඇති. මට නම් අනිත් අයටත් වඩා එය තදින්ම දැණුනා. රූගත කිරීම් නිමාවෙලා ගෙදර ඇවිත් ගෙදර ජනේලය ඇරලා හමන සුළං රොදත් එක්ක එකතු වෙනතුරුම ඒ රළු බව මම අත්වින්දා.
ආරියවංශ කුලතිලක