‘කාලෙකට පස්සේ මම චිත්‍රපටයක රඟපෑවා. ඒ කාලේ කොච්චර දිගු ද කියනවා නම් මට හිතෙන්නේ අවුරුදු 8 ක් විතර වෙන්නැති’
දීප්තිමත් දෙනෙත් තාලයකට නලවමින් ඈ කියනවා. නිළියකට මේ දිගුකාලීන නිහඬවීම එක් අතකට අපරාධයක්. වසර අටක් වැනි දිර්ඝ කාලයකට ඈ කරා ළඟා විය හැකිව තිබූ චරිත කොපමණක් විය හැකිද? විශේෂයෙන්ම මෙරට ජනප්‍රියතම තලයේ නිළියක් සහ සම්මානලාභී නිළියක් ඈ.
‘ජීවිතේ එහෙම තමයි. කාලෙන් කලෙට විවිධ කාල වකවානු විවිධ අයුරින් පසුකරනවා’ ඈ කියන්නේ හුඟක් සැහැල්ලුවෙන්.
ඈ අපේ සිනමාවේ සුරූපිනිය සංගීතා වීරරත්න.
ඈ අප හමුවන්නෙත් බොහෝම කාලයකින්. සංගීත විවාහයෙන් පස්සේ සිනමාවෙන් හුඟක් දුරට ඈත්වුණා. ඒත් උත්පත්තියෙන් රැගෙන ආ උරුමයෙන් පවත්වාගෙන ආ හැකියාවන්, දක්ෂතාවයන් සියල්ලම ඈ තුළම රඳවා තබාගෙන. සංගීතා සිනමා ජීවිතය අරඹන්නේ වයස අවුරුදු 16 ක් වැනි ඉතාම ලාබාල වියකින්. සැබැවින්ම ඈ ඉපදුණේ සිනමාව වෙනුවෙන්. එතැන් සිට අවුරුදු 28 ක් වනතුරුම සිනමාවෙන් තොර දිවියක් ඇයට තිබුණේ නෑ කිව්වොත් නිවැරැදියි. මේ කාල වකවානුව පුරා ඈ මෙරට සිනමාව තුළ සිය අනන්යතාතවය විවිධ අයුරින් සනිටුහන් කළා. වාණිජ සිනමාව තුළ ඇගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්නුම් කළා සේම චරිතාංග නිළියක වශයෙන් දේශීය සිනමාව තුළ සුවිශේෂී අනන්‍යතාවයක් සනිටුහන් කළා.
‘මම සිනමාවට ආ දා ඉඳන් ඒ වෙනුවෙන් කැප වුණා. ඒ කාලය ඇතුළත සිනමාවෙන් තොර ජීවිතයක් මට තිබුණේ නෑ. ඊට පස්සේ මගේ පෞද්ගලික ජීවිතේ එක්තරා ඉඩඉමකට ආවා. ඒ මගේ විවාහය. විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ප්‍රධාන තැන ලැබුණේ ඒකට. සිනමාවෙන් මදින් මද ඈත් වුණා. අලුත් ජීවිතේට මම හුරු වුණා. ගෙවුණු කාලය පුරා රොෂාන්තගේ වැඩ කටයුතුවලට සහාය දෙන්න මගේ කාලය මිඩංගු කළා. ඔය අතරම මම අම්ම කෙනෙක් වුණා මගේ දියණිය වෙනුවෙන් ඕන තරම් කාලයක් වැය කරන්න මට ඕනෑ වුණා. මේ කාලය ඇතුළත චිත්‍රපටයකට කියලා මම කළේ වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ ‘දෝණි’ චිත්‍රපටය විතරයි. මම හිතන්නේ අන්තිමට තිරගත වුණෙත් ඒ චිත්‍රපටය.
ඔහොම කාලය ගත වෙන කොට තමයි මට ජයන්ත චන්ද්‍රසිරිගෙන් ‘ඝරසර්ප’ තිර රචනය ලැබෙන්නේ. මට රඟපාන්න තිබෙන්නේ එක දර්ශනයයි. ඒත් ඒක නිළියක් හැටියට මට හුඟක් වටින බව දැනුණා. මේ කතාව විකාශනය වෙත්දී මේ දර්ශනය තියෙන තැනට සහ ඒ අවස්ථාවට මම හරියට ආසා වුණා. ඒ නිසා ඉතාම කැමැත්තෙන් ‘ඝරසර්ප’ රඟපෑවා.
වෘත්තීය නිළියකට, චරිතාංග නිළියකට, දක්ෂ නිළියකට තමන්ට චිත්‍රපටයක රඟපාන්න ඇති දර්ශන ප්‍රමාණය කොහෙත්ම වැදගත් නොවන්නක්. තම රංගනය ඉදිරිපත් කළ යුත්තක් එක දර්ශනයකින් ද එය ප්රබලව සමස්ත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම නළුවෙකුගේ, නිළියකගේ පරම සතුටය. ඝරසර්ප තුළින් සංගීතා කරනුයේ ද එයමයි.
ඉඳින් ඝරසර්ප තුළින් සංගීතාගේ දිගුකාලීන හේමන්තය නිමා වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. යළිත් වස්සානය එළඹෙන බව ද ඈ මෙසේ අපට ඉඟි කරනුයේ.
‘ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරිත් එක්ක වැඩ කරන එක මට ලස්සන අත්දැකීමක්. මීට කලිනුත් මම ඔහුත් එක්ක ගරිල්ලා මාකටිං වැනි චිත්‍රපටවල වැඩ කරලා තිබුණා. කාලෙකට පස්සේ ජයන්ත අයියා වැන්නකුගෙන් සිනමාවේ ඒ අත්දැකීම විඳින්න ලැබීමම මට සතුටක්. මේ චිත්‍රපටයට මගේ හිත තවත් සමීප වෙන්න තවත් හේතුවක් වුණේ කමල් සමඟ රඟපාන්න ලැබීම.’
සංගීතා ඇයව අතීතයට ගෙන යනවා. කාලෙකට පස්සේ කමල් - සංගීත නැවතත් කරළියට ගේනවද කියලත් හිතුණා. මට මතක් වුණේ එකපාරටම ‘සප්ත කන්‍යා’ චිත්‍රපටය. එච්. ඩී. ප්‍රේමරත්න මෙරට සිනමා ප්‍රේම පුරාණය කමල් - සංගීතා සුසංයෝගය රැගෙනඑනවා. සුවිශේෂ සිද්ධිය ඒක නොවෙයි. වසර ගණනාවකට පසු සංගීතාගේ රඟපෑ තිරගතවූ අවසන් චිත්‍රපටය වූ ‘දෝණි’ හි ප්‍රධාන නළුනිළි යුවළ වූයේ ද ‘කමල් --සංගීතා’ වීමයි.
‘දැන් ආයෙත් වැඩ කරන්න ඕන කියන හැඟීම උනන්දුව මට ඇති වෙලා තියෙන්නේ. මේ දවස්වල මමයි, ෂෙරීන් කුමාරතුංගයි, ධනංජය බණ්ඩාර යි එකතු වෙලා කරගෙන යන රූ රැජින තරගාවලිය නිසා තරමක කාර්ය බහුල වෙලා ඉන්නවා. ඒකෙන් පස්සේ මගේ කාලය විශාල ලෙස සිනමාව වෙනුවෙන් යොදවන්න මම සැදී පැහැදී ඉන්නවා.”
ප්‍රේක්ෂකයන්ට විතරක් නොවෙයි, සිනමාවට කර්මාන්තයට ආදරය කරන අපි කාටත් සංගීතාගේ මේ තීන්දුව සතුට දනවන්නක්. මීට ප්‍රථම ඈ රංගනයෙන් පමණක් නොව නිෂ්පාදනයෙනුත් සිනමාවට දැක් වූ දායකත්වය තවමත් අපට මතකයි. ඇය ‘සෙව්වන්දි’ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව වී සිනමා කර්මාන්තයට නව ජීවයක් දෙන්න අත හිත දුන්නා. ඈ නැවතත් කර්මාන්තයට එන්න හදන්නේ.
‘රංගනයෙන් විතරක් නොවෙයි නිෂ්පාදනයෙනුත් සිනමා කර්මාන්තයට දායකවෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඉස්සර ඉඳල මම ඒ කැමැත්ත මගේ තිබුණට චිත්‍රපට නිෂ්පාදනය කරන්න මම තරමක බයකිනුයි හිටියේ. ඒකට හේතුව වුණේ චිත්‍රපට බෙදා හැරිමේ තිබෙන අක්රමවත්භාවය නිසා. නමුත් දැන් මට සිතෙනවා ඒ සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට ඉදිරියේදී එළඹෙන්න පුළුවන් වෙයි කියලා.
අපි චිත්‍රපටයක් නරඹන්න කියලා සිනමා ශාලාවකට ගියාම ඒ වෙලාවේ තිරගත වෙන්න්න මොන චිත්‍රපටය ද කියලා අපි දන්නේ නැති තත්ත්වයක තමයි හිටියේ. ඇත්තටම කිව්වොත් බෙදා හැරීම පෞද්ගලිකරණය කරාම පසුවත් තත්ත්වය අර්බුදකාරීව බලපෑවා. මෙච්චර කල් සිංහල සිනමාව වෙච්ච ප්‍රගතියක් ඒකෙන් අපිට පෙන්නුම් කළේ නෑ. මට හිතෙන හැටියට ඔවුන් සිනමා ප්‍රේක්ෂකයින් ගැනවත්, සිනමා කලාව ගැනවත් කවදාවත් හිතුවේ නෑ. ආර්ථිකමය ලාභය ගැන විතරයි ඔවුන් හිතුවේ.’
සංගීතා කියන චරිතය තුළ තවත් චරිත රැසක් ජීවත් වනවා. මට දැනෙන්නේ ඒවා චරිතවලට වඩා අති සංවේදී මානුෂීය සබඳතා විදිහට. ඇය ප්‍රථමයෙන් ඇගේ විවාහ ජීවිතය තුළ කුල කාන්කාවක්. ඒ තුළ ඈට වගකීම්, යුතුකම් බොහොමයක් තිබෙනවා. සිනමා ජීවිතය තුළ ගෙවුණු වසර ගණනාවට ළඟා කරගත නොහැකි වූ මානුෂීය සංවේදී රචිත රැසක් අද මේ ජීවිතය තුළ නිරුපණය කරනවා. රොෂාන්තට ආදරණීය බිරිඳක්, පෝෂියාට දයාබර මවක්. ඒ විතරක් ද පසුගියදා මෙලොවින් සමුගත්ත ඇගේ මවගේ කීකරු දයාබර දියණියක්. නැන්දම්මාට මිතුරියක් යන සමාන ලේලියක්, රොෂාන්තලේ පවුලේ ඥාතීන්ගේ, සංගීතාගේ පවුලේ ඥාතීන්ට සමීප හිතවතියක්. මේ සියල්ල අතරතුර ඈ වට කොට ගත් අතිජාතක මිතුරු කැලක්ද වෙනවා.
‘දරුවෙක් ලැබුණාම මම විශ්වාස කරනවා අවුරුදු 5 - 6 ක් යනතුරු ඒ දරුවන් සමඟම ගත කරන්න ඕනෑ කියලා. රංගන ශිල්පිණියක් හැටියට ඒ කාලය මගෙන් අපතේ ගියාට කාන්තාවක්, මවක් හැටියට මම ගතකරපු වටිනාම කාලය ඒක. පෝෂියාට දැන් අවුරුදු 8 ක්. එයා අම්මා, තාත්තා දෙන්නාගේම අසීමත ආදරය මැද්දේ හැදෙන දරුවෙක්. මගේ රැකියාව රංගනය කියලා එයා හොඳට අවබෝධ කරගෙන ඉන්නවා. මම රඟපාන ඒවා බලන්න එයා හරිම ආසයි. කලා හැකියාව පෝෂියාට හොඳට පිහිටලා තියෙනවා. ඒ වුණාට තවමත් හරිම ලැජ්ජාශීලීයි. දුවක් සමාජයට මුදා හැරියට පස්සේ තමයි දැනෙන්නේ ඒ දරුවා වෙනුවෙන් අපි ගතකළ කාලය කොයි තරම් වටිනවද කියලා. දරුවා හැදිලා තියෙන විදිය හැසිරෙන විදිය, කතාකරන විදිය, පාසලට ගියාම ගුරුවරුන් දක්වන ප්‍රතිචාරය මඟින්. ඉතින් මවක් විදියට විඳින්න පුළුවන් ඒ ආශ්චර්යමත් සතුට දැන් මම ලබනවා පෝෂියාගේ ක්‍රියාකාරකම් දැකලා’
සංගීතා තමන්ගේ වෘත්තීය ජිවිතේ විවිධ කිරුළ හිමි කර ගත් රංගන ශිල්පිනියක්. වසර ගණනාවක් ඈ රටේ සුපිරි තරුව හෙවත් ජනප්‍රියම නිළිය. ඒත් සියලු කිරුළ අභිබවමින් ඈ පලඳවා ගත් මවු පදවියේ කිරුළ ඇයට අභිමානයක්. මවු සෙනේ කෙතරම් දයාබරිත දැයි ඈ මේ දිනවල විඳින්නේ අහිමි වූ සනෙහසක ආදරය පිරි මතක සුවඳ සමඟ.
‘අම්මා අපිව දාලා ගියා කියලා තාමත් මට හිතාගන්න බැහැ. තාමත් මට අම්මාගේ සුවඳ හොඳට මතකයි. පුංචි කාලේ මම
අම්මගේ බඩ ගාවට උසයි. හැමවෙලේම තුරුල් වෙන්නේ බඩ ළඟට. ඒ සුවඳ මට තාමත් දැනෙනවා වගේ. මගේ තරුණකාලෙදී අම්මාගේ සමහර කතා බහ ගැන මට වොරි වුණා. ඇයි අම්මා අනිත් අය ගැන මෙහෙම කතා කරන්නෙ කියලා. නමුත් දැන් මට දැනෙනවා අම්මා තමයි හරි කියලා. අම්මා ඒ කාලේ ඒ විදියට හිතුවේ මා ගැන හිතලා. මාව ආරක්ෂා කරන්න.
මගේ ජීවිතේ හුඟාක් බුදු දහමට නැඹුරු වුණේ අම්මා නිසා. ඒකෙන් මගේ හිත හුඟාක් ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. ජීවිතේ මට කොයිතරම් ප්‍රශ්න ආවත්, සමහර අවස්ථාවල කේන්තියක් ආවත් කුමන අන්දමේ ගැටලුවක් ආවත් මම ගැන විනිශ්චයක් නොකර මටට අවවාද කරන්න උපදෙස් දෙන්න පුළුවන් වුණු එකම කෙනා අම්මා විතරයි.
අනෙක් පැත්තෙන් මට ව්‍යාපාර ඥානය ලැබුණේ මගේ තාත්තාගෙන්. අපේ තාත්තා හරිම නිදහස් කෙනෙක්. විශේෂයෙන් මුදල් ගණුදෙනු වලදී. මටත් කියලා දුන්නේ එසේමය. මට මතකයි තාත්තා අක්කටයි මටයි කීවා තිමති ස්ටුඩියේ ඇතුළු ව්‍යාපාර, ගෙවල් දොරවල් ඉඩ කඩම් සියල්ල තාත්තා හම්බ කරපුවා. ඒවා ඕන නම් මට ඔයාලට දෙන්නත් පුළුවන්. නැත්තම් මට ඕන විදියට හසුරුවා ගන්නත් පුළුවන්. දැන් ඕගොල්ලන්ට මම උගන්නලා රැකියාවල් කරන තත්වයට ගෙනත් තියෙනේ. තමන් නිදහස්ව හිතන්න කියලා. ඒ අනුව තමයි අපි ජීවිතේ හැඩ ගස්වා ගත්තේ.
නමුත් මට හිතෙනවා මාව ගැහැනියක් කළේ අම්මා කියලා. එයා තමයි සංවේදී දේවල් බොහෝමයන් මට කියලා දුන්නේ. විවාහ වුණ අලුත මට මොනව හරි ඕන වුණාම මම රොෂාන්ගෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ. ඒ මම හැදුන නිදහස් ක්‍රමය නිසා වෙන්න ඇති. නමුත් අම්මා තමයි මට කියන්නේ “නෑ සංගීතා ඔයා රොෂන්ගෙන් ඉල්ලන්න ඕන.” එතකොට තමයි එයට ඔයා ගැන ආදරයක් දැනෙන්නේ. මගේ බිරිඳ වෙනුවෙන් මට මේ දේවල් කළ හැකියි නේද කියලා. ඒ වගේ බොහෝ සංවේදී දේවල් අද මට කියලා දුන්නා. මගේ විවාහ දිවියට අවුරුදු 16ක්. මම දන්න විදිය මගේ මහත්තයාගේ, නැන්දම්මාගේ, ඥාතින්ගේ කවදාවත් හිත රිදවලා නෑ. බැඳපු දවසේ ඉඳන් අවුරුදු 14න්ම මගේ නැන්දම්මා ජීවත් වුණේ මාත් එක්ක. ඉතින් ඒ දේවල් ඔක්කොම කරන්න මට හයිය ලැබුණේ අම්මගෙන්.
මම විශ්වාස කරනවා මම හරි වාසනාවන්ත බිරිඳක් කියලා. රොෂාන්ත මගේ ජීවිත සහකරු විදියට මට විශාල ගෞරවයක්, ආදරයක් ලබලා දෙනවා. මගේ කටයුතු නිදහසේ කරගෙ යන්න අවශ්‍ය මානසික සුවය, ලබලා දීලා තියෙනවා. අපි දෙන්නට දෙන්නා පුදුම විදියට ගෞරව කරනවා. ඒ හින්දා ඉතාම ආදරණීය කුල ගෙයක් මට හිමි වෙලා තියෙනවා.
හේමාලි විජේරත්න