දවස් පහක් කෙළවර ඇවිත් යන දවස් දෙක කොහොමත් සැනසිල්ලක්... අහස සිඹින මහ හෝටලය ළඟින් අපි ගියා ගාලු මුවදොර පිටියට.
අද අපි එක්ක ඉන්නේ යෞවනයේ චමත්කාරය උපරිමයෙන්ම විඳින තරුණයෙක්. තරු කැටයක් වගේ දිලිසෙන කොල්ලෙක්.
ඔහු සංගීතයේ නව මානයන් සොයාගෙන යන ගවේෂකයෙක් කිව්වත් වැරැද්දක් නෑ.
ඒ රුව දැක්ක ගමන් මගේ මතකයට ආවේ චකිතය කියන රොක් සින්දුවේ මෙන්න මේ පද කිහිපය...
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ... මායාවී ඔබ සිතුවම් මැකුවේ කෙසේ...
රසිකයන් වැඩි දෙනෙක් දන්නෙ ඔහුව චකිතය හරහා තමයි.....
ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... ලොකු රැවුලක් වවාගෙන ඉන්න සිංහල රොක් සංගීතයේ කැපීපෙනෙන චරිතය.... මිහිඳු ආරියරත්න... ඒ තමයි අපි මිහිඳුව දන්න විදිය...
සංගීතයත් එකක් ඔට්ටුවෙන මිහිඳු වෘත්තීය ජීවිතය මොහොතකට පැත්තකින් තියලා.. මුහුද අද්දරින් හමා එන සීතලම සීතල සුළං රැල්ලක සුව විඳිනවා.... අපි කවුරුත් මුළු ලෝකයම මඟහැරලා එක මොහොතකට හරි මම, මමම වෙන තත්ත්පර තියෙනවා. ජීවිතය අපි ආදරයෙන් ඉඹගන්නේ ඒ තත්ත්පරවල.
පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා.... මොකද මගේ ගීත ඇල්බමය රසිකයන් අතරට මුදා හැරියා.... ඒත් එකක්ම මගේ ප්‍රසංග තුනකුත් මේ දවස්වල සංවිධානය කරන්න යනවා... ඕවා තමා ඉතින් මේ දවස්වල වෙන්නේ....
රසවින්දනය ගැන මිහිඳුට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මිහිඳු අපේ වැඩේ ගැන දැනටමත් දන්නවනේ.....
ඔබව වැඩියෙන්ම ආදරය කරන, මොහොතකට පරිකල්පන ලෝකයක තනිකරපු නිර්මාණයක් ගැන අපි පොඩ්ඩක් කතා කරමුද?
අනිවාර්යෙන්ම කතාකරමු...
ප්‍රශ්නෙට... කෙලින් උත්තරයක්.....මොහොතක කල්පනාවක්!
නිර්මාණනම් මට ගොඩක් හම්බවෙලා තියෙනවා. මම ඒ හුඟක් නිර්මාණ ළඟ සංවේදීවෙලත් තියෙනවා. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවාම මට එකපාරට මතක් වුණේ යුද්ධයක් මුල්කරගෙන නිර්මාණය වුණු fury කියන ඉංග්‍රීසි චිත්‍රපටය.
මේ කතාවට මූලික වෙන්නේ 1945 වකවානුවේ ඇමෙරිකා හා ජර්මන් නාසි හමුදා අතර ඇති යුද්ධය. අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඩේවිඩ් අයෙර් තමා මේක නිර්මාණය කරන්න මූලික වෙන්නෙ. යුද්ධ ටැංකියක් බාරව ඉන්න අණදෙන නිලධාරියෙක් හා ඔහු වටා ඉන්න සෙබළුන් කිහිපදෙනක් තමා ප්‍රධාන වශයෙන් චිත්‍රපටයේ කතාබහට ලක්වෙන්නේ.
යුද්ධ කතාවකට මෙච්චරම ආසවෙන්නෙ හේතුවක් ඇති නේද?
ඔව් මට හුඟක්ම මේ කතාවේ දැනුණා නළුවන්ගේ විශිෂ්ඨ රංගනය. ඇත්තටම මට මොහොතකටවත් හිතුණේ නෑ මේක රංගනයක් කියලා. එච්චර තාත්ත්විකව ඔවුන් රංගනයේ යෙදෙනවා. අනිත් කාරණාව මේ චිත්‍රපටයෙන් කියවෙන කතාව හරිම සංවේදියි. දශක තුනක් තිස්සේ යුද්ධයේ කුරිරු බව අපිත් සජීවම අත්වින්දනේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. යුද්ධයේ දරුණුම මොහොතේ තම ජීවිතය ගැන වගක්වත් නැතිව රට වෙනුවෙන් තම රාජකාරිය අකුරටම ඉටුකරන ආකාරය මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරන ආකාරය විශිෂ්ඨයි. සෙබළුන්ගේ ධෛර්යය සහ කැපවීම ජයග්‍රහණය කරන කාර්යය ආකර්ෂණීය විදියට කැමරාවට අසුකරගෙන තිබුණා.
Fury චිත්‍රපටය ඇතුළේ වැඩිම අවධානය දිනාගත් චරිතය කවුද?
මම ආසම චරිතය අණදෙන නිලධාරියාගේ චරිතය. අණදෙන නිලධාරියා විදියට රඟපාන්නේ හොලිවුඩ් සිනමා සිටින දක්ෂ නළුවෙක් වන බ්‍රැඩ් පිට්. ඔහු සියුම්ව තමන්ගේ චරිතය විශිෂ්ඨ විදියට ගොඩනගනවා.
අපේ කතාව වෙන පැත්තට අරන් යන්න හිතාගෙන මිහිඳුගෙන් මම මෙහෙම ඇහුවා....
ඒ අණදෙන නිලධාරියා ඔබ වුණානම් මොකෙන් මොකක් වෙයිද?
හොඳ හුස්මකට පස්සේ මිහිඳු මෙහෙම පටන් ගත්තා....
මම හිතන්නෙ නෑ...., මට එච්චම ධෛර්යවන්තව ඒ වගේ සිද්ධියට මුහුණදෙන්න පුළුවන් වෙයි කියලා. යුද ටැංකිය තනිකරලා මම සමහරවිට පසු බහින්න බොහෝදුරට ඉඩ තියෙයි. හැබැයි ලංකාව මේ චිත්‍රපටයේ වගේ සොල්දාදුවන් ඕන තරම් හිටියා දැනුත් ඉන්නවා.. මම ඇත්තටම ඒ අයට ගරු කරනවා. ඒ අය නිසා තමයි අපි මෙහෙම නිදහසේ ඉන්නේ.
මිහිඳුගේ සැබෑ ජීවිතයේදී ඒ වගේ චරිත මුණගැහිලා තියනවාද?
මෙහෙමයි මගේ අම්මා වෛද්‍යවරියක් විදියට යුද හමුදාවේ දීර්ඝ කාලයක් සේවය කළා. එයා නිතරම කියනවා අපේ යුද හමුදාවේ ධෛර්යවන්ත, වීර්යවන්ත සොල්දාදුවන් ගැන. මට මතකයි අපි පොඩි කාලේ යුද හමුදාවේ සංවත්සරයකට පොතක් නිකුත් කළා.. ඒ පොතේ තිබුණේ ලංකාවේ හමුදාවේ හිටපු අභීත සොල්දාදුවන්ගේ විස්තර අපි හරි ආසාවෙන් ඒවා කියෙව්වේ.
යුද්ධය මිහිඳුට දැනෙන්නේ මොන විදිහටද....?
යුද්ධය කියන්නේ මහ කාලකන්නි දෙයක්. ඒකෙන් කාටවත් දිනුමක් ලබාගන්න බෑ. මම කවදාවත් කියන්නෙ නෑ අපි යුද්ධය ජයග්‍රහණය කරා කියලා. යුද්ධය නැවැත්තුවා. ඒ යුද්ධය නවත්තපු එකට අපි අප ත්‍රිවිධ හමුදාවට ණය ගැතියි. ස්තුතිවන්ත වෙනවා. යුද්ධය කියන්නෙ නිෂ්ඵල කුරිරු දෙයක්. මට මේ චිත්‍රපටය බලල හිතුණේ ලෝකය යුද්ධවලින් තොර වෙනවානම් කොච්චර හොඳද? මිනිස් ජීවිතවල ආයුෂ හරිම කෙටියි. ජීවිතය විඳින්න පුංචි කාල පරිච්ඡේදයක් විතරයි තියෙන්නේ. උපරිම ඕනෙ නම් අවුරුදු 80, 90 ජීවත් වෙයි. ඒ ටික කාලෙට අපි මොකට පටු අරමුණු වෙනුවෙන් ගහ මරාගන්නෙ.
ලෝකය එකම යායක් කීවට ඒ යායේ හැම බිම් අඟලකම සුවඳ සුළඟට මුහු කරන මල් පිපෙන්නේ නෑ...
ඒ යායේ පාරවල් දිගේ අවිදින අපි එක එක විදිහේ හිත් දරාගෙන ඉන්න මිනිස් රූ...
අපි කියනවා අපි ලෝකයට ආදරය කරනවා කියලා..
නෑ...
මට හිතෙන්නේ අපි තාමත් ලෝකයට ආදරය කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.
දේශය