මේ දවස්වල වැඩකටයුතු ගැන මුලින්ම කතා කරමු.
සියත නාළිකාවේ "නේත්‍රා" නාට්‍යයටත් හිරු නාළිකාවේ "අහස් මාලිගා" නාට්‍යයටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා. ඊට අමතරව "හිරු මෙගා ස්ටාර්" රියැලිටි වැඩසටහනෙත් තාම අපි ඉන්නවා.
රියලිටි වේදිකාවේ නර්තන හැකියාව පෙන්නන්න අවස්ථාව ලැබෙද්දී උපේක්ෂා ඒ අවස්ථා මඟහරින්නේ නැති හැඩයි.
ඇත්තටම සතුටුයි. ඒකෙදි පෙන්නපු නර්තන හැකියාව දැකලා තමයි ප්‍රසංගවලට වුණත් අපිට ආරාධනා ලැබෙන්නෙ. අනික මම රියැලිටිවලට හුඟක් කැමැතියි. ඒ ලැබෙන අවස්ථා මඟහරින්නෙම නැහැ. මම ප්‍රවේගය චිත්‍රපටයෙ විතරයි එක ගීතයකට නර්තනයෙන් දක්ෂතා පෙන්නුවේ. ඒකත් ඉන්දියන් පිරිසක් ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණ නිසා. ඇත්තටම ලංකාවට මේක ලොකු ඛේදවාචකයක්. අපිට නිර්මාණ තුළ හොඳ අවස්ථා අඩුයි.
මවු භූමිකාව එක්ක රංගනයට, නර්තනයට වෙන් කරන්න උපේක්ෂාට ඉඩ තියෙනවද?
ඔව්, දරුවො ඉන්න අම්මලා ඕන තරම් රැකියා කරනවා. ඊට වඩා අපිට ටිකක් පහසුයි. මම නිර්මාණ ටිකක් අඩුවෙන් භාර ගන්න නිසා මාසයේ සති තුනක්ම දරුවා ළඟ මට ඉන්න පුළුවන්.
එක රාමුවක කොටුවෙලා හිටිය උපේක්ෂාට මේ වෙනකොට වෙනස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කවුද ඔබව වෙනස් කළේ?
පබා නාට්‍යයේ නිෂ්පාදකතුමාගෙම නාට්‍යයකට මම ආයෙත් දායක වෙනවා. එතුමාට හුඟක් ස්තූතිවන්ත වෙන්න ඕන. ඔහු මට කලිනුත් කොටස් 30ක නාට්‍යයක චරිතයක් දුන්නා. ඒ වගේ අධ්යක්ෂවරු ඉන්නවා ඉතින් මාව වෙනස් කරපු.
තෘප්තිමත් වෙන්න පුළුවන් තරමේ රංගනයකට දායක වෙන්න උපේක්ෂාට අවස්ථාව ලැබිලා තියෙනවාද?
මෙහෙමයි. ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පිටපත් අපිට කල් තියලා ලැබෙන්නෙ නැතිකම, කතා වස්තුව හිතුමතේ වෙනස් වීම, දවසකට කරගන්න බැරි තරම් දර්ශන වාර ගණනක් අපිට කරන්න වීම ලොකු ප්‍රශ්නයක්. ඉතිං ඔය වගේ හේතු නිසා තෘප්තිමත් වෙනවා කියන එකත් ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි කලාවට ආදරේ නිසා රංගනය සාර්ථකව කරන්න උත්සාහ කරනවා. ඒක අපිට ලොකු සතුටක්.
උපේක්ෂා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ චරිතයක් තියෙනවද?
ඇත්තටම මම වෙනස් චරිත කරන්න ආසයි. ඒත් මට ප්‍රධාන චරිතයම කරන්න ඕන කියන තැන මම හිටියෙ නැහැ. නමුත් මගේ වාසනාවකට මට ඒවා ලැබෙනවා. ඒ වගේම එකම චරිතය ආයෙ ආයෙ කරන්න කැමැති නැහැ මම. වෙනස් චරිතයක් දුන්නත් යන්න බය අවස්ථා තියෙනවා. මොකද මම කලින් කිව්වා වගේ පිටපත කලින් දෙන්නෙ නැහැ. සමහර වෙලාවට අද පිටපත දීලා හෙට රූගත කිරීම් ආරම්භ කරන්න හදනවා. නැත්නම් කල් තියලා කතා කළත් සම්පූර්ණ පිටපත ලැබෙන්නෙ නැහැ. ඒ ලැබුණත් පිටපත වෙනස් කරනවා.
පබා නාට්‍ය කරද්දි උපේක්ෂාට තිබ්බ ප්‍රේක්ෂක උන්මාදය, ආදරය තවමත් තියෙනවද?
"පබා" විකාශයෙන් පසුව මගේ ජීවිතයේ ලොකු වෙනස් වීම් සිදුවුණා. ඒ ආදරය සමහර අය පෙන්වන්නෙ නැහැ. යම් වෙනසක් වෙලා තියෙනවා ප්‍රතිචාරවල. හැබැයි ඒ තිබෙන ආදරය පෙන්නන පිරිසකුත් ඉන්නවා. කොහොමත් තවමත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සැමියා කවදාවත් උපේක්ෂාගෙ රංගනයට බලපෑම්, තහංචි එල්ල කරලා නැද්ද?
සාමාන්‍යයෙන් මම ඕනෑම වැඩසටහනක් හෝ නාට්‍යයක් භාර ගන්න කලින් ඔහුගෙන් අහනවා. ඔහු මට උපරිම සහයෝගය දෙනවා. මට වැට කඩොලු බඳින්නේ නෑ.
අම්මා කෙනෙක් වුණාට පස්සෙ ජීවිතයේ ලොකු තෝරා ගැනීම් තියෙනවද?
අනිවාර්යයෙන්ම. මවුපියන් වෙනවා කියන එක සුළුවට හිතන්න බැරි දෙයක්. දරුවන්ට හොඳ මඟ පෙන්වීමක් තියෙන්න ඕන. මොන ප්‍රශ්න තිබුණත් දරුවෙක් ඉපදුණාම ලොකු කැපකිරීමක් කරන්න ඕන. ලේසි නැහැ. එයාගේ මානසිකත්වය ගැන හිතලා මම තීරණ ගන්නවා.
විදෙස් ප්‍රසංගවලට එක්වෙද්දි දෝණිවත් එක්කගෙන යන්නෙ එයාව මඟහරින්න බැරි නිසාද?
ඔව්. ඇත්තටම ඒ සංවිධායකවරුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. නමුත් ලේසි වුණේ නැහැ. පුදුමාකාර මහන්සියක් වගේම ගොඩාක් සුන්දර අත්දැකීමක් එයාව එක්කන් යන එක.
සින්ඩේරල්ලා චිත්‍රපටයෙන් පස්සෙ සිනමාවේ ප්‍රධාන චරිතයක් නිරූපණයට ඔබට අවස්ථා නැති වෙලාද?
සින්ඩේරල්ලගෙන් පස්සෙ ආරාධනා ලැබුණා. නමුත් ඒ පිටපත් බොහොම බාල ගණයේ හාස්‍ය උපදවන පිටපත්. ඒවා කියෙව්වම භාරගන්න හිතෙන්නෙ නැහැ. හොඳ නිර්මාණ ලැබුණෙත් නැහැ. මායා චිත්‍රපටයෙ දෙවන කොටසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු. මොනවා වෙයිද දන්නෑ. සින්ඩේරල්ලා චිත්‍රපටයේ දෙවන කොටසත් එන්න තියෙනවා.
උපේක්ෂාට ජීවිතයේ ලැබුණු දේවල් ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම. මට ලැබුණු ලොකුම දායාදය මගෙ දරුවා. යම්තාක් දුරකට මම ඉල්ලපු සහ බලාපොරොත්තු නොවුණු දේවල් මට ලැබුණා. හොඳ නරක දෙකම බලාපොරොත්තුවෙන් ඉඳලා මට ලැබුණු හොඳම එකම දේ මගේ දරුවා.
දැන් උපේක්ෂාගේ ජීවිතයේ මුල් තැන කාටද?
දරුවා තමයි.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම