ධනුෂ්ක මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට වෙස් බන්දලා.මොකක්ද මේ වෙස්?
"වෙස්" කියන්නේ මගේ දෙවැනි නාට්‍ය නිර්මාණය. මගේ පළමු නාට්‍ය "මෞනයාගය". "වෙස්" නාට්‍ය නිර්මාණය මේ තරම් ප්‍රේක්ෂකයෝ අතරට යයි කියලා හිතුවේ නෑ. නමුත් අපි මේ නිර්මාණය වෙනුවෙන් මාස දහයක් විතර පෙර සූදානමක් වුණා. එහි ප්‍රතිඵලය තමයි දැන් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ.
ඒ කියන්නේ වෙස් මේ වෙන කොට ප්‍රේක්ෂකයන් දිනා ගෙන තිබෙන පසුබිම ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මේ වෙන කොට අපිට සෑහෙන ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. නාට්‍ය බලලා විදෙස් රටවල ඉන්න අය පවා කතා කරනවා. නාට්‍ය ගැන අදහස් ප්‍රකාශ කරනවා. සමාජ මාධ්‍යවලිනුත් බොහෝ අය ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන සතුටු වෙනවා. ටෙලි නාට්‍ය කලාවේ යම් හිඩැසක් තිබිලා තියෙනවා කියලා ඒ ප්‍රතිචාරවලින් දැනෙනවා.
ටෙලි නාට්‍ය කලාවේ තිබ්බ හිඩැස "වෙස්" නාට්‍යයෙන් පුරවන්න පුළුවන් වුණා කියලා හිතනවාද?
ඒ හිඩැස සම්පූර්ණයෙන්ම පුරවන්න පුළුවන් වුණා කියලා හිතන්නේ නැහැ. මේක යම් විදියක නාට්‍යයක්. ප්‍රේක්ෂකයෝ මීටත් වඩා වෙනස් නිර්මාණ තව බිහිවනවා නම් කැමැතියි. එහෙම වෙනස් නිර්මාණ බිහි වුණොත් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍ය කලාවට ආපසු එකතු කරගන්න පුළුවන්.
"වෙස්" විදෙස් නාට්‍යයක කොපියක් කියන චෝදනාව දැන් එල්ල වෙනවා. ඒ චෝදනාවට ඔබටත් උත්තරයක් ඇති?
මේක පළමු වතාවට බිහිවුණු කොපිය නොවෙයි. මේ නාට්‍යයට ජනතාව ආදරය කළත් අතළොස්සක් දෙනා මෙය කොපියක් කියලා හෑල්ලුවට ලක් කරනවා. නමුත් බහුතර ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය විනාඩි තිහක් ඇතුළත හරවත් ලස්සන දෙයක් බලන්න. සිනමාවේ වුණත් ඉන්දියානු ආභාසය ගත්ත නිර්මාණ තියෙනවා. සාහිත්‍ය කෘතිවලත් කොපි තියෙනවා. මේ නිර්මාණයත් සාහිත්‍ය කෘතියකින් හැදිච්ච ඩ්‍රාමා එකක අනුවර්තනයක්.
මෙවැනි අනුවර්තනයක් කිරීමේ අදහස ඔබේ අදහසක්ද?
මේ නතධබ එක කරමු කියන යෝජනාව අපිට ගේන්නේ ස්වර්ණවාහිනි නාළිකාව.
යම් නිර්මාණයක අනුවර්තනයක් කරද්දී එය ෆේල් නොවී කරන එක අභියෝගයක් නේද?
ඔව්, යූ ටියුබ් බැලුවොත් මේ වෙනකල් අපේ නාට්‍යයේ විකාශනය වූ කොටස් බහුතරයක් ට්‍රෙන්ඩින් ඇවිත් තිබෙනවා. නාට්‍යය වෙනුවෙන් දක්වන ප්‍රතිචාරවල කිය වෙන්නේ මේ නිර්මාණය දැනට පවතින නිර්මාණවලට වඩා උසස් තැනක තිබෙනවා කියලා. මේ නාට්‍යය කැමරා කෝණ, පසුතල ඇතුළු නාට්‍යයේ සමස්ත කොලිටිය ගැන බොහෝ අය කතා කරනවා.
ඒ අභියෝගයට ඔබට මුහුණ දෙන්න පහසු වුණාද?
ඒ වෙනුවෙන් ස්වර්ණවාහිනි නාළිකාවේ නාළිකා ප්‍රධානි මහේන් පෙරේරාට ස්තුතිවන්ත වෙනවා. මේ නාට්‍ය කොලිටිය ආරක්ෂා කරගෙන කරන්න අපිට සෑහෙන ගුරුහරුකම් ලැබුණා. දර්ශන තල, රංගන ශිල්පීන් වගේම නාට්‍යයේ හැම දෙයක් ගැනම අප සැලකිලිමත් වුණා.
නාට්‍යයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් තේරුවෙත් නාළිකාවද?
අපි මූලිකවම රංගන ශිල්පීන්, ශිල්පිනියන් තෝරා ගත්තා. ඊට පස්සේ අපි නාළිකාව එක්ක කතා බහ කළා. ඔවුන්ගෙනුත් යෝජනා ආවා. අපි දෙපාර්ශ්වයම මධ්‍යස්ථ තැනකට ඇවිත් තමයි මේ කාර්ය කළේ.
නාට්‍යයට සම්බන්ධ වුණු ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් රංගනයට අවශ්‍ය උපරිම දායකත්වය ලබා ගන්න පුළුවන් වුණාද?
මෙහි රංගනයෙන් දායක වෙන්නේ සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, හර්ෂ තෙන්නකෝන්, චමීර ලියනගේ, ග්‍රේස් තෙන්නකෝන්, දයා තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, විනූ සිරිවර්ධන, නන්ද වික්‍රමගේ, පවිත්‍රා වික්‍රමසිංහ, පියුමි ශ්‍රී නායක, නයෝමි තක්ෂිලා වගේම සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වූ ඉන්දික ධර්මතිලක ඇතුළු සියලුම ශිල්පීන් මේ කාර්යයට උපරිම සහයෝගය දුන්නා. ඒ ඒ අය මට දුන්න සහයෝගය නිසා මටත් මේ කාර්ය පහසු වුණා.
"වෙස්" වෙළෙඳ දැන්වීම්වලින් තොරව විකාශය කරන්න තීරණය කරලා තිබ්බනේ. එය නාට්‍ය අවසානය වෙනකල්ම ගත්ත තීරණයක් නෙමෙයි නේද?
වෙළෙඳ දැන්වීම් නොමැතිව සම්පූර්ණයෙන්ම නාට්‍ය විකාශය කරන්න සූදානම් නැහැ. නාට්‍ය වෙනුවෙන් දරන පිරිවැය වෙළෙඳ දැන්වීම් හරහා තමයි පියවා ගන්න පුළුවන්. අපි සති කිහිපයක් වෙළෙඳ දැන්වීම් නැතුව නාට්‍ය විකාශය කරන්න තීරණය කරගෙන තිබුණා. ඒ මේ නාට්‍යයේ ගලායෑම එක්ක මුල, මැද, අග අල්ලගන්න ප්‍රේක්ෂකයන්ට නොහැකි වුණොත් කතාව තේරුම් ගන්න අපහසු නිසා.
මුල් සති කිහිපය වෙළෙඳ දැන්වීම්වලින් තොරව විකාශය කළේ ප්‍රේක්ෂකයන් අල්ල ගන්න කියලා කෙනෙක් කිව්වොත්?
එහෙම හිතෙන්න පුළුවන්. නමුත් අපි හිතුවේ කතාවේ තැනින් තැන වෙළෙඳ දැන්වීම් දාද්දී ප්‍රේක්ෂකයා මංමුළා වෙයි කියලා. ඒ තත්ත්වය නැති කරලා කතාවේ පසුබිම එක්ක ප්‍රේක්ෂකයා බද්ධ කරන්නයි අපිට ඕන වුණේ.
ඔබේ අධ්යක්ෂණ භූමිකාවේ උපරිමයද මේ දකින්න ලැබෙන්නේ?
නැහැ, මේ මගේ උපරිමය නොවෙයි. මට හදාගන්න, අධ්‍යයනය කරන්න තව දේවල් තියෙනවා. මෙහි මම ලොකු දෙයක් කළා කියලා හිතන්නේ නැහැ. එහෙම තවත් විශාල දේවල් කරන්න විශාල පිරිවැයකුත් දරන්න වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම