නදී කවුරු කියල හඳුන්වනවටද කැමැති...?
රංගන ශිල්පිනියක් කියලා කියනවට මං කැමැතියි
සරසවි, සුමති, සිග්නීස් සම්මාන උලෙළ ත්‍රිත්වයේම වසරේ හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබීම ගැන මොකද හිතෙන්නේ.?
ගොඩාක් සතුටුයි.
බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයට කොහොමද සම්බන්ධ වුණේ?
ආනන්ද අබේනායක මහත්මයා අලුතෙන් නාට්‍යයක් කරන්න යන බවත්, එහි ප්‍රධාන චරිතයට මාව ගන්න හිතේ තිබෙනවා යැයි කීවා. ඒත් මං විදේශ ගතවෙන්න යනවා කියල ඔහුට ආරංචි වෙලා ඒ ගමන ඔහු වෙන නිළියක් සොයන්න සූදානම් වෙන බව කෞශල්‍යා ප්‍රනාන්දු අක්කා තමයි මට කීවේ. ඒ වෙද්දි ඊට දවස් පහකට පස්සේ මම රට යන්න සූදානම් වෙලා හිටියේ.ඒ සඳහා අවශ්‍ය සේරම දේවල් ලෑස්ති කරලයි තිබුණේ. ඒත් මට පිස්සු හැදුණා කෞශල්‍යා අක්කා කීව කතාව අහලා. අධ්යක්ෂ ආනන්ද අබේනායක මහත්මයා ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා.
ඔහුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබෙන්න යන අවස්ථාව ගැන පුදුම ලෝබ කමක් මට ආවෙ. මං සේරම අමතක කරලා චාන්දනී සෙනෙවිරත්න අක්කට ඒ වෙලාවෙම කතා කර කීවා මං රට යන වැඩේ අත අරිනවා, ආනන්ද අයියට කියන්න මං ඉන්නවා කියලා. ඊට පස්සේ මං ආනන්ද අයියාව මුණ ගැහෙන්න ගියා. ඔහු සමඟ චරිතය ගැන කතා කළා. චරිතය ගැන අහද්දි මට තවත් ලෝබ හිතුණා.
ආනන්ද අයියා එක්ක මං කලින් ඔහුගේ පෝය නාට්‍ය කිහිපයක රඟපාලා තිබුණා. ඔහු ඉතා ආදරණීය සොඳුරු අධ්යක්ෂවරයෙක්. මං air tickets කැන්සල් කරලා, මේ වැඩේට ආවා. අද මං ආපස්සට හැරිලා හිතද්දි හිතෙනවා එදා මං ඒ ගත්තු තිරණය කොයිතරම් හොඳද කියලා. රංගන ශිල්පිනියක් විදියට බැද්දේ කුලවමිය නාට්‍යයේ රගපෑම මට විශාල හයියක් වුණා.
එහි ඔබ රඟ පෑ චරිතය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න?
අනුරාධපුර පූවරසන් කුලම කියන ඈත දුෂ්කර ගමේ ඉපදුණු, ගමේ ගතානුගතික චින්තනය අබිබවා ගිය දැක්මක් තිබුණු, හෘදය සාක්ෂියට එකඟ ස්වාධීන ජීවිතයක් පැතූ, ඒ වෙනුවෙන් බොහෝ අභියෝගවලට මුහුණ දුන් ශක්තිමත් ස්ත්‍රී චරිතයක්.
එහි අධ්යක්ෂවරයාගෙන් සහ අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
අධ්යක්ෂ ආනන්ද අයියා, රංගන ශිල්පීන්ට සහ ඔවුන්ගේ හැකියාවට හුඟක් ගරු කරන, ඔවුන් කෙරෙහි විශ්වාසය තබන කෙනෙක්. ඔහු අපට ඉඩ දෙනවා චරිතය පිළිබඳ අපේ අර්ථකතනය ඉදිරිපත් කරන්න. එය ඔහුගේ පරිකල්පනයේ තියෙන දේට වඩා වෙනස් නම් ඒ ගැන සාකච්ඡා කරනවා. චංචලා චරිතය නිරූපණය කරද්දි ආනන්ද අයියා මට ලොකු නිදහසක් දුන්නා. වරින් වර මා එක්ක කතා බහ කළා. මට සියුම්ව උපදෙස් දුන්නා. ඔහු මා මෙතෙක් වැඩ කර ඇති අධ්යක්ෂවරුන් අතර සොඳුරු, අධ්යක්ෂවරයෙක්. මං මේ නාට්‍යයේ රඟපෑවේ විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් එක්ක. චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, ආනන්ද කුමාර උන්නැහේ, නයනා හෙට්ටිආරච්චි, මයුර කාංචන...මේ ලැයිස්තුව තව දිගයි. ඒ අය එක්ක තමයි මට වැඩිපුරම දර්ශන තිබුණේ. මේ අය එක්ක වැඩ කරන එක හරහා මං මටම අභියෝග කරගත්තා. ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය නිසා තමයි මගේ රංගනය ඉස්මතු වුණේ කියලා මං විශ්වාස කරනවා. මේ බොහෝ අය ප්‍රවීණ නළු නිළියෝ. ඔවුන්ගෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා.
ඔබ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස වැඩ කර ඇයි රංගනයට ප්‍රවිෂ්ඨ වුණේ..
රංගනය මං තදින් ආස කරන ක්ෂේත්රයක්. කාලෙන් කාලෙට වෙන වෙන වෘත්තීන්වල නියැළුණත් මං හැමදාම රඟපෑම් කටයුතුවලට පුළුවන් විදියට සම්බන්ධ වුණා. මං හිතන්නේ මං වැඩිපුරම අනුරාගයෙන් බැඳුණු ක්ෂේත්රය මේක වෙන්න ඇති. ඒකයි අනිත් දේවල් අත් ඇරලා මේකටම එන්න මාව පෙලඹෙන්නේ.
රංගනය වෘත්තියක් විදිහට කරන්නද බලාපොරොත්තුව?
එහෙම කරන්න පුළුවන්නං මං දෙකක් හිතන්නේ නැතුව ඒක තෝරගන්නවා. ඒත් මං වගේ නිළියෙකුට අපේ රටේ ඒක කරන්න පුළුවන්ද කියන එක ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. බලමු ඉස්සරහට තත්ත්වය වෙනස් වේවිද කියලා.
ඉදිරියේදි අලුත් නිර්මාණ භාරගෙන තිබෙනවාද..
තාම නැහැ. වැඩ දෙක තුනක් ගැන කතා බහ කරමින් ඉන්නවා. බලමු ඉතිං.
නිර්මාණයක් භාරගැනීමේදි කිසියම් තෝරා බේරා ගැනීමක් කරනවාද...?
මට හොඳ රංගනයක් ඉදිරිපත් කිරීමේ අවකාශය තියෙනවනං මං ඒක බාර ගන්නවා. එකම විදියේ චරිතවලට කොටු වීම නිළියකට අපරාදෙ. ඒ නිසා මං ඒ වගේ දේවල් ගැනත් හිතනවා. නිතරම මාව දැකලා පුරුදු චරිතවලට වඩා වෙනස් පරාසයක චරිතයක් කරන්න මං කැමැතියි.
පළමුව කළ ටෙලිනාට්‍යයටද හොඳම රංගන ශිල්පිනිය සම්මානය හිමිවූයේ. මෙයට පෙර රඟ පෑ අනෙකුත් නිර්මාණ සඳහන් කරන්න?
‘බැද්දේ කුලවමිය‘ තමයි මං රඟපෑ පළමුවැනි වෘත්තාන්ත ටෙලි නාට්‍යය. ඊට පෙර ආනන්ද අබේනායක මහත්මයාගේ සංසාරේ පිය සටහන් කතා මාලාවේ ඒකාංකික නාට්‍ය තුනක රඟපාලා තියෙනවා.
සිනමාවට ප්‍රවිෂ්ඨ වීම ගැන කතා කරමුද...?
චිත්‍රපට කිහිපයක රඟපා තියෙනවා. ටෙලි නාට්‍යයක රඟපාන්න ගොඩාක් කලින් මං බූඩි කීර්තිසේනගේ 'මිල්ලෙ සොයා', අශෝක හඳගමගේ ගේ 'මේ මගේ සඳයි', ප්‍රසන්න විතානගේ ගේ 'ඉර මැදියම' වගේ චිත්‍රපටිවල රඟපෑවේ. මෑතකදි විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු කියන චිත්‍රපටියේ රඟපෑවා. මලිත් හෑගොඩගේ දැකල පුරුදු කෙනෙක් කියන චිත්‍රපටයේත් චරිතයක් කළා.
ඔබේ තාත්තා අපේ රටේ කීර්තිමත් ගත් කතුවරයෙක් වන ජයතිලක කම්මැල්ලවීර, ඔහු යන අඩිපාරේ යන්න අදහසක් නැද්ද..
ලේඛිකාවක් වෙන්න පුළුවන්නං කොයි තරං දෙයක්ද? මං ආසයි දක්ෂ ලියන්නියක් වෙන්න. උත්සාහ කරනවා. තාත්තා තරම්ම නොවුණත්, වෙන විදියක රචිකාවක් හරි වෙන්න පුළුවන්නං කොච්චර හොඳයිද? මං හිතන්නේ ලියන්න පුළුවන් අය අසිරිමත් නිර්මාණකරුවො කොට්ටාසයක් කියලයි.
නයනා වෑත්තෑව
සිළුමිණ