දශක හයකට ආසන්න කාලයක සිට ඔහු තම මධුර මමෝහර ගීතමය සෞන්දර්ය චාරිකාවේ යෙදෙන්නේ දහස් සංඛ්‍යාත රසික රසිකාවන් ගී අමා මිහිරේ දැහැන්ගත කරවමිනි. ඒ අරභයා හතළිස් වසරකට ආසන්න කාලයක් ‘ස’ ප්‍රසංගය සමඟ රට වටා සේම ලොව වටා ද ඔහු පියමං කළේය.
‘ස’ ට පෙම් බැන්දෝ මෙතෙකැයි කිව නොහැකි තරම්ය. දැනට හය වසරකට ප්‍රථම ‘ස’ ට සමු දුන් ආචාර්ය වික්ටර් රත්නායකයන් ‘සරස’ ගෙන එමින් ඒ හා ඒකාත්මික වන්නට ඒ ප්‍රේමණීය රසික සිත්වලට යළිත් ආරාධනා කරන්නේ, ඒ මනෝරම්‍ය ගී වර්ෂාවේ තෙමී සැනසෙන්නටය. යුගයේ අපූර්වතම ගාන්ධර්වයා වික්ටර් රත්නායකයන් ඔහුගේ දෙවන ඒක පුද්ගල ගී ප්‍රසංග මාලාවේ ඇරැඹුම ‘සරස’ සරසවියට කැඳවාගෙන ආ සොඳුරු මොහොතයි මේ.
ඔබ ගෙන එන්නට සැරසෙන ‘සරස’ ගීතමය ප්‍රසංගය හඳුන්වමින්ම අපේ කතාබහත් අරඹමු?
‘සරස’ මගේ දෙවන ඒක පුද්ගල ගී ප්‍රසංගය කිව්වොත් නිවැරැදියි. ‘සරස’ ආරම්භ වීමෙන් පසුව කොළඹ සිදු කෙරෙන පළමු ප්‍රසංගය තමයි මේ මාසේ පවත්වන්නට සූදානම් වෙන්නේ.
එය ‘සරස’ රත්නමය ගී අමානන්දය - වික්ටර් රත්නායක දෙවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙසයි නම් කොට තිබෙන්නේ. මේ 16 වැනි ඉරිදා නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී සවස මේ ප්‍රසංගය ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
‘සරස’ මංගල ප්‍රසංගය පැවැත්වුණා?
ඔව්. ඒ මගේ උපන් ගම් පියසේදියි. මම ඉපදුණේ මහනුවර. මගේ සංගීත දිවියට ආරම්භක අඩිතාලම වැටුණු ප්රදේශයයි එය. ඒ වගේම මගේ ගායන දිවියේ ඇරැඹුමත් එතැන.
මම මුලින් රසිකයන් අතරට ආවේ මහනුවර කැන්ඩිලේක් ක්ලබ් එකේ ගීත ගයමින්. මගේ සංගීත දිවියේ යෙදුණු එවැනි සුවිශේෂ කාරණා කිහිපයක්ම පදනම් කරගෙන ‘සරස’ ප්‍රසංගයේ ඇරැඹුම මහනුවරින් සනිටුහන් කළා. ඒ පසුගිය මාසේ 11 වැනිදා පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්රවණාගාරයෙන්.
ඔබ ‘ස’ ප්‍රසංගය ඇරැඹුවේ සුභාවිත ගීත කලාවක් වෙනුවෙන්. ‘සරස’ටත් ඒ අරමුණම ඇති?
සත්තකින්ම මේ ප්‍රසංගයේ අරමුණත් එයම තමයි. ශ්‍රී ලාංකේය ගීත කලාව වෙනුවෙන් කෙරෙන උපහාරයක් ලෙසයි මම මෙය දකින්නේ. සුභාවිත ගීතයට මුළු සමාජයම ඇලුම් කරනවා.
‘සරස’ කුමක්ද මෙහි තේරුම?
මගේ ‘ස’ ප්‍රසංගයට නම යෙදුවේ සප්ත ස්වරයේ මුල්ම ‘ස්වරය ‘ස’ නිසයි. එය චින්තන ජයසේනගේ නිර්මාණයක්. ‘සරස’ නම යෙදුවේ ප්‍රේම් දිසානායකයි. එහි තේරුම ‘ස’ රස. එසේත් නොමැති නම් යහපත් නාදය කියන එක ‘සරස’ ලෙස විග්රහ කරන්න පුළුවන්. මේ කුමන අන්දමකින් හැඳින් වුවත් ‘සරස’ කියන්නේ අපූර්වතම ගීත අමානන්දයක්.
‘ස’ ප්‍රසංගය නවතා දමන්නට එදා ගත් තීරණය ගැන මොකද හිතෙන්නේ?
මට ‘ස’ දිගටම කරගෙන යන්න තිබුණා. නමුත් නිර්මාණකරුවන් සමහර අවස්ථාවල අත්තනෝමතික තීරණවලට එළඹෙනවා.මමත් එලෙස දැඩි තීරණයකට එළැඹුණා. 1973 දී තමයි ‘ස’ ප්‍රසංගය ආරම්භ කළේ. ඒ 73 ජූලි 20 ලුම්බිණියේදී.
මේ ඔස්සේ ඒක පුද්ගල ගීත කලාව ප්රාසාංගිකව මෙරට සංගීත ක්ෂේත්රයට හඳුන්වාදීමේ මුල් අඩිතාලම මට දමන්නට හැකි වුණා. ‘ස’ ප්‍රසංග 1500 කට ආසන්න ගණනක් රට වටාත් ලොව වටාත් ගෙන යන්නට මට අවකාශ ලැබුණා.
කොහොම හරි 73 දී පටන්ගත් ‘ස’ ප්‍රසංගය 2012 වසරේදී මගේ හිතට දැනුණු තද සිතුවිල්ලක් මත ගත්ත තද තීරණයක් නිසා නවතා දැමුවා. ඒ ගැන සතුටක් මිස දුකක් කනගාටුවක් නැහැ. එය අති සාර්ථක ප්‍රසංගයක්.
එයින් පසුව ඔබ වසර ගණනක් නිහඬව සිටියා?
කිසිසේත්ම නැහැ. මම නිහඬ වී සිටියේ නැහැ. මම සංගීතය සමඟ බද්ධ වී සිටියේ. 2012 න් පසුව මගේ නිර්මාණ කටයුතු නැවතුණේ නැහැ. ප්‍රාසාංගික ජීවිතයෙන් අයින් වුණේ නැහැ.
සංගීත වෘත්තියේ යෙදෙමින් ගීතයට කලාවට මට හැකි උපරිම දායකත්වය මම ලබා දුන්නා. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නොකළාට රසික රසිකාවන් වෙනුවෙන් මම නවතම නිර්මාණ කාර්යයන් සමඟ එක්කාසු වුණා. ‘ස’ ප්‍රසංගය නැවැත්තුවා කියලා මගේ සංගීත දිවියට විවේකයක් ලැබුණේ නැහැ.
ඒ කාල සීමාව ලංකාවේ වගේම විදෙස් රටවල පවා සංගීත කටයුතු වෙනුවෙන් මට කාලය මිඩංගු කරන්න සිදු වුණා. අමෙරිකාවේ සහ කැනඩාවේ පැවැත්වුණු ප්‍රසංග මාලාවකටම සහභාගි වුණා. නවතම ගී පද රචකයන් හා නව පරපුර සමඟ නවතම ගීත කිහිපයක්ම නිර්මාණය කළා.
‘සරස’ අරඹන්නට අදහස් කළේ ඇයි?
එයට හේතු කිහිපයක්ම බලපෑවා. මම ‘ස’ නවතා දමන්නට ගත් තීරණයත් සමඟ කලාකරුවන්, රසිකයන් බොහෝ දෙනෙකුගෙන් මට දෝෂාරෝපණ එල්ල වෙන්නට පටන් ගත්තා. ‘ස’ නැවැත්තුවේ ඇයි? අපේ දරුවන්ට ඊළඟ පුරපුරට මොනවද අහන්නට තියෙන්නේ, පෙන්වන්නට තියෙන්නේ කියලා. ඒ නිසා ඔබතුමා ගත් තීරණය වෙනස් කරන්න කියා විවිධ ඉල්ලීම් ගලාගෙන ආවා.
මේ සියල්ල නිසා මම තනිවම කල්පනා කළා. ඒ වගේම මගේ බිරිය හෂිනිගේ සුවිශේෂ බලකිරීමක් තිබුණා නැවත ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පටන් ගන්න කියලා. ඒ බලපෑම මට මගේ මතකය නැවත අවදි කළා.
ඇය මගේ හිතට ධෛර්යයක් ඇති කළා. ඒ අනුව 2 වැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය ආරම්භ කරන්නට මට හැකි වුණා.
ඔබ ‘ස’ ප්‍රසංගයට ගැයූ ගීතම ‘සරස’ටත් ගයනවා ඇති?
සහතිකෙන්ම, ඒ ගීත සමුච්ඡය වගේම අලුත්ම ගීත ‘ස’ ප්‍රසංගයේ නොඇසුණු මනරම් ගීත බහුතරයකුත් සරස ගී ප්රසංගයේදී ගයන්නට මා සූදානම්.
ඔබට ගී ලියූ ගී පද රචකයන් ගැන කතා කළොත්?
ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ආර්. ආර්. සමරකෝන්, චින්තන ජයසේන, බණ්ඩාර කේ. විජේතුංග වැනි ප්‍රවීණයන් වගේම අලුත් පරපුරේ ගීත රචකයන් ද ලියූ ගී මා ගයා තිබෙනවා.
‘සරස’ යහපත් ගීත කලාවක් වෙනුවෙනුයි?
සහතිකෙන්ම. යහපත් ගීත ශ්‍රවණය කරන රසික රසිකාවන්ට මගේ ගීත රසවත්ව ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ සිත් සතන් පුබුදුවාලීම උදෙසායි මේ වෑයම.
‘සරස’ ගී ප්‍රසංගය හැඩ කරන්නට ඔබ සමඟ අත්වැල් බැඳ ගන්නේ කවුරුන්ද?
මෙම ප්‍රසංගයට සංගීතය සපයන්නේ සුසිල් අමරසිංහ ප්රමුඛ වාද්‍ය වෘන්දයයි. සනත් සතිශ්චන්ද්‍ර, රුක්ලාන් ගුණවර්ධන, නිහාල් කළුබෝවිල, ජානක බෝගොඩ, මහේන්ද්‍ර පැස්කුවෙල්, ජගත් මාපලගම, මහින්ද බණ්ඩාර, තිසර බණ්ඩාර රෝචන, වජිර ගෝමස්, සුගත් හෙට්ටිආරච්චි, ශාලුක, ගයන්ත දිසානායක සහ මංජු මේ ප්රසංගයේදී වාදනයෙන් මට සහාය වෙනවා. කථනය වසන්ත රෝහණගෙන්.
‘සරස’ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. එදා ‘ස’ ප්‍රසංගයට රසික රසිකාවන් වැල නොකැඩී පැමිණියා. අවසන් ප්‍රසංගය කොළඹ ස්ථාන තුනකදී පැවැත්වුණා. සමහරුන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව ආපසු හැරී යන්නට සිදු වුණා. ඒතරම්ම ආදරයක්, ප්‍රතිචාරයක් ‘ස’ වෙනුවෙන් තිබුණා. ‘සරස’ට ඊට නොදෙවැනි ප්‍රතිචාරයක් පවතිනවා. මහනුවර පැවැති ප්‍රසංගයට වැල නොකැඩී රසිකයන් පැමිණියා. දැනටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ ප්‍රසංගයට දින ඉල්ලීම් ලැබී තිබෙනවා. ඉතින් එදා වගේම ජනතා ප්‍රසාදයේ අඩුවක් මට නැහැ.
‘සරස’ සංවිධානය වන්නේ කොහොමද?
වික්ටර් රත්නායක ප්‍රතිභා ප්රණාම පර්ෂදය මඟින් තමයි මෙය සංවිධානය කරන්නේ.
සමන් ආතාවුදහෙට්ටි, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම්, ප්‍රේම් දිසානායක, කුලරත්න ආරියවංශ, සරත් සේනාරත්න, සරත් තිලකරත්න, ගීතනාත් කුඩලිගම,දයා විජේසේකර ඇතුළු පිරිසක් මෙයට දායක වෙනවා. ඔවුන් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
පසුගියදා ඔබ ගැයූ නවතම ගීත කිහිපයකුත් අතිශය ජනප්‍රිය වුණා නේද?
ඔව්. ‘මගේ සඳ ඇවිත්’ ගීතය ඒ අතර ප්‍රධානයි. ඒ ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒත් සමඟම මේ දිනවල ප්‍රචාරය වන නව පරපුරේ තරුණ ගායකයකු වන සංඛ දිනෙත් සමඟ ගායනා කළ අලුත් ගීතයටත් හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. තරුණ පරපුරේ ඉදිරියට යන හොඳ දෙයක් කරන තරුණ ගායකයකුට අතදීමක් වශයෙන් මම ඒ ගීතයට දායක වුණේ. ඒ ගැන සතුටුයි. පසුගිය වසරේ නවතම ගීත 40 ක් පමණම ගායනා කළා.
ඔබේ බිරිය හෂිනි ඔබට විශාල අත්වැලක් වෙලා?
සහතිකෙන්ම. හෂිනි පිළිබඳ මට අතිශය සන්තෝෂයෙන් කතා කරන්න පුළුවන්. ඇය හුදෙක් ගතානුගතික බිරියක් නොවෙයි. ඉතා හොඳ සංගීත දැනුමකින් යුතු මගේ කලා ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇති බිරියක්. හෂිනි බටහිර සංගීතය හදාරපු කෙනෙක්. මම අද කරන නිර්මාණවලදී ඇගේ සහාය නොඅඩුවම ලැබෙනවා. එය ඉතාම දුර්ලභ සහායක්. මට ඇය අපූරු සහකාරියක්.
වික්ටර් රත්නායකයන් හා සියලු සැප දුක බෙදාහදා ගන්නා ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්රාත් සරස ප්‍රසංගය පිළිබඳ අදහස් දක්වන්නට අප සමඟ එකතු වුණා.
සරස ප්‍රසංගය ලංකාවේ පමණක් නොවෙයි විදෙස් රටවලත් පවත්වන්නට අපි සියලු කටයුතු සුදානම් කරලයි තිබෙන්නේ. මේ වන විට ඕස්ට්‍රේලියාවේ වගේම එංගලන්තයෙනුත් ආරාධනා ලැබිලා තිබෙනවා.
වික්ටර් රත්නායක සංගීතවේදියාගේ බිරිඳ ලෙස ඔබට හැඟෙන්නේ කුමක්ද?
වික්ටර් වැනි පුද්ගලයකුට බිරිය වෙන්නට ලැබීම මා ලද ලොකුම භාග්‍යයක්. ඇත්තටම මම තරම් වාසනාවන්ත බිරියක් මුළු ලෝකෙම නැති බවයි මට හැඟෙන්නේ. පුද්ගලයෙක් වශයෙන් වික්ටර්ගේ ගතිගුණ ඉතාම ඉහළයි. ඔහු හරිම නිහතමානියි වගේම හරිම අවබෝධාත්මක ශක්තියක් ඇති පිරිසුදු හිතක් ඇති විනිවිදභාවයෙන් යුතු කෙනෙක්. ඔහු සමඟ ජීවත්වෙන්න ඉතාම පහසුයි.
ඔබ ඔහුගෙන් සංගීතය ගැන ඉගෙන ගන්නවාද?
සංගීතය ගැන පමණක් නොවෙයි, ජිවිතේ බොහෝ දේ මම ඔහුගෙන් ඉගෙන ගන්නවා. ඔහු විශ්ව කෝෂයක් වගේ. නිතරම පොත් කියවනවා. මමත් පොත් කියවන්න හුඟක් කැමැතියි. අපි දෙදෙනාම ඒ පොත්පත් ගැන කතා කරනවා. සංගීතය ගැන කතා කරනවා. අවිවේකී ජීවිතයක් ගත කළත් විවේකයක් ලැබෙන හැම විටම අපි දෙන්නාම සුන්දරව ජීවිතය විඳිනවා.
සරස ප්‍රසංගයට ඔහු කැමැති වුණාද?
මුලදි නම් අදිමදි කළා. ඒත් වසර ගණනක් තිස්සේ සිටම මා කරන ලද ඉල්ලීමට කන් දුන්නා. මම නිතරම ඔහුට කිව්වේ ගීත ගයන්න පුළුවන්කම තියගෙන නොගයා ඉන්නේ ඇයි කියලා. ඔහුගේ ‘ස’ ප්‍රසංගය රස විඳපු රසිකයෝ, කලාකරුවෝ මුණගැසුණාමත් නිතර මේ ගැන ඇහුවා. මමත් කලක් ඔහුගේ දැඩි රසිකාවක් නිසා ඔහු නැවත ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරනවා දැකීමට මටත් දැඩි වුවමනාවක් තිබුණා. අද ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා.
‘සරස’ පළමු ප්‍රසංගය සාර්ථකයිද?
අනිවාර්යයෙන්ම. වසර හයක් පුරා මමත් නොනිමි අසාවෙන් බලාගෙන හිටියේ වික්ටර්ගේ ප්‍රසංගයක් රස විඳින්න. එය මහනුවරදී මම විඳගත්තා. අති සාර්ථකයි. එදා මමත් ප්‍රේක්ෂකාගාරයට වෙලා රසිකාවක් ලෙස වික්ර්ගේ ගීත ඇසුවා. ඔහු එදා ‘ස’ ප්‍රසංගයට ගැයුවාටත් වඩා දැඩි මිහිරක් මේ ප්රසංගයේදී මට දැනුණා. අපිට එදාටත් වඩා වැඩි වින්දනයක් ඔහු ලබා දුන්නා.
ඔබ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
ලබන මාසේ ඕස්ට්‍රේලියාවට අපි දෙන්නම යන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී ප්‍රසංග හතරකට පහකට සහභාගි වෙනවා. ඊට අමතරව වික්ටර්ගේ සංගීත වැඩ කටයුතුවල නිරත වෙනවා.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
සරසවිය