උපුල් ශාන්ත සන්නස්ගල වරෙක සිංහල භාෂා ගුරුවරයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, ගීත රචකයෙකි, ග්රන්ථ කර්තෘවරයෙකි. තවත් වරෙක ඡන්ද අපේක්ෂකයෙකි. මෙවන් භූමිකා රැසක් සහිත ඔහු ලියූ අලුත්ම නව කතාව 'කොළඹ කතාව' හෙවත් භික්ෂු පරිච්ඡේදය සහ ඔහුගේ සමාජ දැක්ම පිළිබඳ අපි මඳක් විමසුවෙමු.
කොළඹ කතාවට තේමා වන්නේ මොනවාද?
එක පැත්තකින් මගේ අම්මා නව කතාවේදි මෙය ලියන බව කියා තිබුණා. මම කොළඹට සංක්‍රමණය වෙලා අවුරුදු තිස් පහක්. ඒ කාලය පුරා ඇසුරු කළ මිනිසුන් පිළිබඳ සහ සිදුවීම පිළිබඳ තමයි කොළඹ කතාවෙන් කියන්නේ. පාඨකයන්ට පුළුවන් එය අයිති ශානරය ප්‍රබන්ධ සාහිත්‍යයද, ස්වයං චරිතාපදානද, ජීවන අත්දැකීම්ද, නව කතාද කියලා තීරණය කරන්න.
ඒ කියන්නේ මෙය ලියැවෙන්නේ සත්‍ය සිදුවිම් ඇසුරින්?
මම සත්‍ය සිදුවීම පාදක කරගත්ත බව ඇත්ත. ඒත් ඒවා මගේ පරිකල්පන ලෝකය තුළ වැඩුණු විටනේ එය ලේඛනයක් වන්නේ. ඕනෑම ලේඛකයකුගේ ස්වාධීන පරිකල්පන ලෝකය තුළ එහෙම වෙනස් වනවා. ලිවීම තුළ තිබෙන්නේ අත්දැකීම් තමයි. ඒත් ඒවා එහෙමම ලීවාම එන වාර්තාමය ස්වරූපය වෙනස් කරන්න තමයි නිර්මාණාත්මක ලේඛන හැකියාව වැදගත් වන්නේ.
ඔබ එදා ලීයූ පොත්වලට වඩා අද ලියන ඒවා හාත්පසින්ම වෙනස්?
ඔව්. කාලයට සාපේක්ෂව ලේඛකයෙක් පරිනාමය වෙනවා නම්, එය දියුණුද? අශිෂ්ඨද? අවර ගණයේද? ආපස්සට යෑමක්ද? කියන දේ කෘතිවලින් තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. වස්සාන සිහිනය ලියද්දි මට අවුරුදු 23ක් විතර ඇති. ඒ වයසේ තරුණයකුගේ ජීවන අත්දැකීම් ප්‍රමාණය තුළයි එය ලියැවෙන්නේ. දැන් මට 54ක්. එනිසා මම තාමත් ලියන්නේ අවුරුදු 22 අත්දැකීම් සීමාව තුළ නම් පරිනාමයට පත් ජීවියෙක් බවට පත් වන්නේ නෑ. ඒ නිසා ලේඛයාගේ ලේඛන අරගෙන කියත හැකියි ඒ පුද්ගලයා පරිනාමය වෙනවාද වැඩිහිටියෙක්ද ශිෂ්ඨද අශිෂ්ඨද කියලා. සමහර ලේඛකයෝ ඉන්නවා අවුරුදු පණහක් ලීවත් ලියන්නේ එකම දේ එකම ශෛලිය එකම භාෂාව එකම සිදුවීම් පෙළ. මම එතැනට වැටෙන්න කැමති නෑ.
පරිනාමයේ විවිධ විහිදුම් තිබෙනවා. ඔබට ඔබේ පරිනාමය ගැන ස්වයං විවේචනයක් ඇති?
තිබෙනවා. උදාහරණයක් කීවොත්, යමක් ලියද්දි ලේඛකයකුට තිබෙනවානේ වාරණයක් කියලා එකක්. සමහර විට ලේඛිකාවකට ඕන වුණොත් කාම කතාවක් ලියන්න, ජීවිතේ තිබෙන ප්‍රේමණීය අත්දැකීම් ලියන්න, තම දරවන් නිසා ස්වයං වාරණයක් කර ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ පන්සලෙන්, අම්මලාගෙන් ආගමෙන්, ඇදහීම්වලින්, පාසලෙන්, වන්නත් පුළුවන්. මම පරිනාමය වනවා කියන්නේ එක අතකින් ලේඛකයකුට තිබෙන මේ සියලු පරිකල්පනීය තහංචි බිඳගෙන- බිඳගෙන යෑමයි. වාරණය ගැන අපි බැන්නට චිත්‍රකතා කියවන්න එපා, ඩීමන් ආනන්දගේ පොත් කියවන්න එපා, සන්නස්ගලගේ පොත් ගේන්නෙ එහෙම නෑ පන්තියට කියන පාසලම වාරණ මධ්‍යස්ථානයක්. එහෙම ඉගෙන ගන්න ළමයා කවදාවත් වාරණයට එරෙහිව අත ඔසවන්නේ නෑ. මොකද වාරණය එරෙහි නොවන තරමට සමාජය ඌ හීලෑ කරලා තිබෙන්නේ. ගොම් බෙට්ටක් අරන් රත්තරන් කීවාම ඔව් ඔව් කැරට් 22 රත්තරන් කීවොත් තමයි ලකුණු හම්බෙන්නේ. ගොම කියලා තර්ක කරන්න බෑ. ඉතින් මම පරිනාමය කියලා කියන්නේ මේ සීමා මායිම් ටික ටික කඩලා ශීෂ්ඨත්වයට පත් වීම. එහෙම ලේඛකයා තමයි ශිෂ්ඨ.
එපමණද?
නෑ. තමන් ලිවීම සම්බන්ධයෙන් කරන දේ බරපතළයි, එය සමාජයට වගකිව යුතු දෙයක් නිසා සතතාභ්‍යාසයේ යෙදෙන්න ඕන. මම මුලින්ම ලියද්දි ලේඛකයාගේ අයිතිය කියන දේ දැනගෙන හිටියේ නෑ. එයත් එකක්. එහෙම වුණා නම් මම 'සරසවි දියණියෝ' පොතේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ ලිංගික කුහකකම් ගැන එහෙම ලියයි සමහර විට. මට වාරණයක් තිබුණා විශ්වවිද්‍යාලයේ ඉන්න පුළුවන් වෙයිද ලීවොත් කියලා. හැබැයි දැන් මම කොළඹ කතාවේ ඒවා ලියනවා. පන්ති සාමාර්ථ දුන්නු හැටි. ස්ටාෆ් ගිය ගෑනු, උන් ගැබ් ගත්ත හැටි ලියනවා. මොකද මම වාරණ බිඳගෙන බිඳගෙන යන්නෙ. අනෙක මම ඉගෙන ගනිමින් ඉන්නවා කියන්නේ ශාස්ත්රාලීය අධ්‍යාපනයම නෙවේ. ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල යන්න ඕනේ නෑ. ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ මැටි මෝල්ලු බිහි කරන තැනක්. මොන විශ්වවිද්‍යාලෙද නිර්මාණාත්මක රචනය උගන්වන්නේ. රයිටින් ටෙක්නික්ස් පාවිච්චි කරනවා නම් ලේඛකයෙක් දියුණු වෙනවා. අන්න පරිනාමය. එහෙම කෙනකුගෙන් හැමදාම එකම අච්චුවේ පාන් ඉල්ලනවා නම් එය පාඨකාගාරයේ තිබෙන අශිෂ්ඨකමක් සහ නොදැනුවත්කමක්.
ඔබේ පාඨකාගාරය ගැන විශ්වාසද?
මට ඉන්න පාඨකාගාරය වෙනස්. මට කවදාවත් කියලා නෑ වස්සානෙ වගේ අම්මා වගේ, නිර්වාණය වගේ පොත් දිගටම ලියන්න. මම ලීව නිසා නෙවෙයි, මම හිතනවා මගේ පොත්වල එකිනෙකට වෙනස් දේවල් මම ස්පර්ශ කළා කියලා.
ඒ වෙනස පාඨකයන් ඔබ වෙත තවත් ඇද ගත්තාද?
නෑ, මගේ ෆැන් බේස් එක හරි විදිහට නම් ලංකාවේ මැදිවිය පැන්න ගැහැනු සහ මිනිස්සු විය යුතුයි. මොකද වස්සානේ කියවූ හුඟක් අය දැන් අවුරුදු 50 පැනලා. හැබැයි මම මේ වෙනකොට විවිධ විධිහේ පාඨකාගාර හොයගෙන තිබෙනවා. අවුරුදු18 කොල්ලො කෙල්ලොත් මගේ පොත්පත් කියවනවා. ඒ අය මගේ ෆෑන් බේස් එකේ මුණුපුරු හා මිනිබිරි පරම්පරාව. එය විසිරුණු එකක්. ලංකාවේ කියලා නෑ. වයස් සීමාවක්, කුල භේදයක් නෑ. එය ලේඛකයකුගේ පහසු ජයග්‍රහණයක් නෙවෙයි. අනෙක ඒ අය මට අනුව, ලංකාවේ සහිත්‍ය සම්මාන දෙන විනිශ්චය කරුවන්ට වඩා ශිෂ්ඨයි සහ දියුණුයි.
ලිංගිකත්වය ගැන කතා කිරීමද ඔබ ශිෂ්ඨත්වය කියන්නේ?
ලිංගික්වය ම විෂයයක් කියනදේ පිළිගත්තොත් විතරයි ඒකෙ තිබෙන වනචරකම පිලිබඳ හැඟීම අයින් වෙන්නේ. එය දරුවන්ට උගන්වන්න පුළුවන් ශාස්ත්‍රීය විෂයයක්. තව විදිහකින් කීවොත් අපේ ශරීර විද්‍යාවේ කොටසක්. එය ඉගැන්වීමෙන් විතරයි මිනිස්සු ශිෂ්ඨ කරන්න පුළුවන්. එය හංගගෙන ඉන්න ඉන්න වනචර කමේ ගෝත්රවාදී වෙනවා. ඒ විෂය කතා කරන්න පටන් ගත්ත ගමන් කෑ ගහන්නේ ශිෂ්ඨ මිනිස්සු නෙවේ අර වනචරයෝ ටික. එහෙව් වනචරයන්ට ලංකාවේ ආණ්ඩු හා මාධ්‍ය බයයි. ඒ කැලෑ සත්තුන්ට බයේ මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහි වැඩසටහන් නවත්වලා ජ්‍යොතිෂ වැඩසටහන් දාන්න හදන මාධ්‍ය කලාවක් තිබෙන්නේ. ශිෂ්ඨත්වය කියන්නෙම කැලෙන් එළියට එන එක. ලංකාව වගේ රටක පාලකයන්, මාධ්‍ය, දැන්වීම්, ජ්‍යොතිෂ්‍ය වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන් සිලයල්ලෙන් කරන්නේ කැලේට ඇදගන යන එක. එහෙම උන්ට මොන ලිංගිකත්වයද? උන්ට මම මේ කියන දේ වත් තේරෙන්නේ නෑ.
ඔබ එහෙම කීවට ඔබේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙනෙන්නේ වෙන දෙයක්?
උත්තරේ කෙටියි. සන්නස්ගල රත්මලාන පරදින්නේ ඇයි කියල හෙව්වොත් උත්තරේ ලැබෙනවා.
ඉතින් ඔබ හේතුව හෙව්වද?
කොළඹ දිස්ත්‍රික්කය කියන්නෙත් ශීෂ්ඨත්වයේ දිස්ත්‍රික්කය නොවන බව සහතික කළ නිසා. ගොඩක් දෙනා හිතන්නේ කොළඹ මොඩර්න් කියලානේ... එහෙම නෑ. කොළඹ හැදෙන්නේ කොටකෙතනෙන්, කහවත්තෙන්, මාතරින්, දෙහි අත්ත කණ්ඩියෙන් ආව ගැමියන්ගේ මූලස්ථානය හැටියට. ගම කොහෙද ඇහුවොත් පොළොන්නරුවේ, හම්බන්තොට. කොළඹ බණ කියන හාමුදුරුවරුන් ඔක්කොම හද්ද පිටිසර. කොළඹ කියලා ඉන්නේ කැලණිය පන්සලේ කොල්ලුපිටියේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ විතරයි. මාධ්‍යවල ඉන්න කෙල්ලො කොල්ලෝ, පොලිසියේ අයගේ මූණ බැලුවොත් ගම කියතහැකි. හැබැයි.. සෙට්අප් එක මොඩර්න්. පාර්ලිමේන්තුව මොඩර්න්. වාහන මොඩර්න් හැබැයි ඇතුළෙ යන එකා හද්ද ගොබ්බයා. ඒ ගොබ්බයන් එකතු වුණු මහාගමෙන්, ඒ කියන්නේ කොළඹින් ජන්දෙ මම දිනුවා නම් තමයි පුදුමේ. ඒක වෙන්න බෑ. මොකද කොළඹ කියන්නේ පැරිස් නගරය නෙමෙයිනේ. මනුෂ්‍යයෙකුට ලේසියෙන් අත්හදා බලන්න බැරි ලිටමස් පරීක්ෂණයක් ඒක.
එහෙම නම් ලංකාවේ කොහේ හරි ඔබ කියන ඔය ශිෂ්ඨ කණ්ඩායම් ඉන්නවාද?
පොඩි පොඩි උපකණ්ඩායම් හරි ශිෂ්ඨයි. සිරී පාදේ යන නවීන තරුණ කොල්ලො කෙල්ලො ශිෂ්ඨයි. උපාසකම්මලයි අනෙක් ගෝත්රවාදියොයි සිරිපාදේ ගියාම අයිස්ක්‍රීම් කොළෙයි, අරක්කු බෝතලෙයි, බුලත් විටයි, ෂොපින් බෑග් එකයි, මළපහයි ඔක්කොම සිරී පාදේ දාලා එන ආගමිකයො. ඒක තමයි මහා කුලකය. ඒත් සමහර කොල්ලො කෙල්ලෝ ඉන්නවා ඒ වටපිටාව සුද්ධ කරලා එනවා. අර ආගමිකයන්ට වඩා නිර්ආගමිකයෝ ශිෂ්ඨයි. මගේ ආයතනටය එන අයත් ඒ වගේ ශිෂ්ඨ වෙලා තිබෙනවා මම නැතත් මෙතැන සුද්ධ පවිත්‍ර කරලා යන්න, හොරකමක් නොකරන්න. ගෑනු පිරිමි සම්බන්ධතා අතර පවා ඉතාම හොඳීන් ශිෂ්ඨාචාරගත වුණු කොටසක් ඉන්නවා. අපි උත්සාහ කරන්න ඕන ඒ අය වැඩියෙන් බෝ කරගන්න.
හැබැයි ඒ මහා කුලකයට අනුව අර කුඩා පිරිස්වල ඇතැම් දේ අසම්මතයි?
ඇත්ත. මොකද අර මිථ්‍යා දෘෂ්ටික ගෝත්රවාදයට බෝම්බ ගහල කුඩුපට්ටම් කරන්නේ නැතුව අලුත් දෙයක් හදන්න බෑ. පරණ ගම්බිම් කුඩු පට්ටම් කරගෙන හයිවේ ගියේ නැත්නම් නාගරීකරණය වෙන්න බෑ. හැබැයි සිල් ගන්න අපට ඒ පාරේ බල්ලෝ මැරෙනවාට දුකයි. ඒත් දැන් මැරෙන්නේ නෑ. ඇයි? මැරෙන්න හිටිය ගාණ මැරිලා ඉවරයි. ශිෂ්ටත්වයට යද්දි කොටසක් බිලි වෙන්න ඕනා. කරන්න දෙයක් නෑ. සමාජයේ මහ විනාශයකින් තොරව අලුත් එක හදන්න බෑ.
ඔබේ මතය අපේ පවතින සංස්කෘතිය සමඟ ගලපන්නේ කොහොමද?
නුවර දළදා පෙරහැරට සියලු කුලවල අය සම්බන්ධ වනවානේ...ඒ වගේම ගිනි පෑගීම් ආදියට ද්‍රවිඩ, හින්දු අය එකතු වෙනවා. ථෙරවාදී වගේම මහායාන ලක්ෂණත් ඇතුළත් වෙනවා. එය මේ වෙද්දී ආගමිකද? නෑ... සංස්කෘතිකාංගයක්. එය රැක ගැනීමට අපි කියනවා සංස්කෘතිය රැකගන්නවා කියලා. හැබැයි ඒ මත තියලා ආගම කපන්න බෑ. ඒක වෙන දෙයක්. යුරෝපයේ පල්ලි ආදිය ලස්සනට තියාගෙන සංස්කෘතිය පවත්වා ගන්නවා. ඒත් දෙවියන් වහන්සේ ලොකේ මැව්වා කියලා දැන් උන් පිළිගන්නේ නෑ. තොවිල් පවිල් ශාන්තිකර්ම තිබෙන්න ඕනා. ඒවා සංස්කෘතික ලක්ෂණ. අපේ රටේ වෙලා තියෙන්නේ ඒවා සත්‍ය හැටියට විශ්වාස කරන එක. සිංහබාහු ප්‍රබන්ධයක්. නිතියට අනුව මෘඝසංවාසයක්. සුප්පාදේවි සිංහයෙක් එක්ක ...ලා දරු දෙන්නෙක් හදනවා. එහි සාහිත්‍යමය නිර්මාණය නොතකා සිංහලේ කියලා ස්ටිකර් ගහගෙන යන්නේ ඇත්තටම සිංහයෙක් එක්ක ඉඳලා අපි හැදුණා කියලා අදහන නිසා. විද්‍යාව කියල එකක් දන්නේම නෑ.
ඔබට ඕනෑ සමාජය හදන්නද?
එහෙම නම් මට සිවුරක් දාගන්න තිබුණා. මට මේ සමාජය හදන්න, යහපත් මාර්ගයට යවන්න ඕනෙ නෑ. හැබැයි මට කියවීමක් තිබෙනවා. මං ඉන්න සමාජය ගැන. එය මම පොත් ආදියෙන් හෙළි දක්වනවා. එතනින් පස්සේ සමාජයට වන්නේ මොකක්ද කියන එක උන්ගේ වැඩක් මිස මගේ වැඩක් නෙවෙයි.
එහෙම පුළුවන්ද? ඔබ වැඩිහිටියෙක්, ගුරුවරයෙක්?
මම වැඩිහිටියෙක්වත් ගුරුවරයෙක්වත් කලාකාරයෙක්වත් නඩත්තු කරමින් ඉන්නේ නෑ. එහෙම කරන කෙනකුට ඔය ප්‍රශ්නේ හරි.
ඒත් සිවිල් සමාජයේ අනෙක් අය තුළ ඔබේ ප්‍රතිරූපයක් නඩත්තු වෙනවා?
මම හිතන්නේ මම ගුරුවරයෙක් වශයෙන් විතරක් හිටියා නම් යම් ප්‍රමාණයට ඔය ප්‍රකාශයට එකඟ වන්න පුළුවන්. එත් චිත්‍රපටවලට සම්බන්ධ වුණ නිසා මා එක්ක සම්බන්ධ වුණු වෙනම ෆෑන් බේස් එකක් තිබෙනවා. පොත් කියවන වෙනම පිරිසක් ඉන්නවා. ඒ කිසි කෙනෙක් මාව ගුරුවරයෙක් විදිහට දකින්නේ නෑ. ඇත්ත උත්තරේ මාව කොතැකවත් ප්ලේස් කරගන්න බැරි වෙලා තිබෙනවා මේ සමාජයට. හරියට තැන තැන ඉන්න අහකුන්ඨික ගතියක් ඒකේ තිබෙන්නේ. එක තැනක රැඳෙන්නේ නෑ.
ඔබ ඔබේ ස්වරූපය වරින් වර වෙනස් කරනවා?
අනන්‍යතා අර්බුදයක් නැති මිනිසුන්ට ස්වරූපය වෙනස් කරන්න පුළුවන්, ඕන තැනක ඉන්න පුළුවන්, බ්රේක් නැතිව ඕන දෙයක් කියන්නත් පුළුවන්.
ඔබේ චිත්‍රපට බැලුවෛත් ඔබ කියන ශිෂ්ඨ සමාජයද?
මම හිතනවා ඒ සමහර චිත්‍රපට හා මගේ ලිවීම ආවේ ආ යුතු කාලයට කලින් කියලා. සයිමන් නවගත්තේගම සමහරුන්ට තාම තේරුම් ගන්න බෑනේ. සමාජය මෝරලා නෑ. හැබැයි ඒ නොමේරීමට ප්‍රධා හේතුව ආගම සහ ජාතිය. මේ ආගම්වාදය සහ ජාතිවාදය නිසා සමාජයට දියුණු තැනකට කිසිම විදිහකින් ගොඩ වෙන්න බැරි වෙලා. පොත පතට, සාහිත්‍යයට, චිත්‍රපටයකට, ව්‍යවස්ථා වෙනසකට, සමාජය වෙනස් කරන කිසිම දේකට ඉදිරියට එන්න බෑ. අපේ ජාතියට මොකද වෙන්නේ කියපු ගමන් ඔක්කොම බ්ලාස්ට්.
ජාතිවාදය නොවේ ජාති වාත්සල්‍යයත් එපාද?
හැම මනුස්සයකුටම මව්බිම ගැන පොඩි හැඟීමක් තිබෙනවානෙ. ඕක අපේ වචනවල තිබෙන අර්බුදයක්. ඉංග්‍රීසියෙන් ලියන කියන අය මීට වඩා පොඩ්ඩක් වෙනස්. ඉංග්‍රීසි පත්තරකාරයින්ට පුළුවන් වුණා යුද්දෙ කාලෙ මිස්ටර් ප්රභාකරන් කියලා ලියන්න. ඔබ්සවර් පත්තරේ එහෙම ලිව්වට සිළුමිණේ එහෙම ලිව්වා නම් ඒ මාධ්‍යවේදියා එල්ලා මරයි. ඇයි ඉංග්‍රීසි මාධ්‍යවේදියාගේ නිදහස සිංහල මාධ්‍යවේදියාට නොලැබෙන්නේ. ආගම සහ ජාතිය නිසා. ඒ ගෝත්රවාදී ඇදහීම තිබෙනකල් එක අඩියක් ඉස්සරහට තියන්න බෑ සමාජයට.
එහෙමනම් අපට ඉංග්‍රීසි විතරක් තිබුණානම් හොඳද?
අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙවෙයි. සුද්දා අපිව දාලා ගියා කල් වැඩියි. තව අවුරුදු 50ක් දෙයියනේ කියලා සුද්දා හිටියා නම් සිලවතීලා මැදපෙරදිග ගිහින් අනුන්ගේ වළං හෝදන්නේ නෑ. එයාර් පෝර්ට් එකේ එයාර්හොස්ටස්ලා වෙයි. ඉංග්‍රීසි ටීචර්ලා වෙයි.
එතකොට සන්නස්ගල කියලා සිංහල සර් කෙනෙකුත් නෑ?
ඒ විතරක් නෙවේ. මගේ මේ ලිවීම් කිසිවකුත් නැති වෙන්න පුළුවන්. ඇයි ඒ? එහෙනම් මට අරගලයක් නෑ සමාජයත් එක්ක. මම එහෙනම් ඒ ශිෂ්ඨ සමාජයේ පබ් යනවා, බියර් එකක් බොනවා, ලව්කරනවා, ඕන මියුසික් එකක් අහනවා ඒ වගේ සැප භුක්ති විඳීන ආතල් පුරවැසියෙක් වෙනවා.
හැබැයි අද අපි හුරුවෙලා ඉන්නෙත් ඔය සුද්දාගේම වික්ටෝරියානු ශිෂ්ඨත්වයට?
ඔව්, විකටොරියානු සමාජය දාපු නීති කඩන්න තරම් හයියක් ඇයි අපේ සමාජයට නැත්තෙ. උදාහරණයක් හැටියට ඉන්දියානු සිනමාකරුවා පොලිසියට, දේශපාලනඥයන්ට ගහන්නේ පස්සෙන් දුම යන්න ඒ බය නැතිකම නිසා. හේතුව ඉන්දියාවේ කලාව, නීතිය සහ සිවිල් සමාජය දියුණුයි. අපි දේශපාලනඥයකුට එරෙහිව කීවොත් 'මම උඹට විරුද්ධව පොලීසි යනවා' කියලා 'ඉතිං පලයං' කියයි. මොකද නීතියට බයත් නෑ පොලීසියට බයත් නෑ. ඒත් අපි කීවොත් මම කතරගම ගිහින් හත්මුතු පරම්පරාවෙම හතර හන්දි ගැලවෙන්න පොල් ගහනවා කියලා. අනේ බුදු මහත්තයො ඒක නම් කරන්න එපා කියනවා. අපේ රට එහෙමයි. තවත් උදාහරණයක්; ඉන්දියාව වගේ කුල භේදය නිසා ගෑනියකටයි මිනිහෙකුටයි විවාහ වෙන්න බැරි සමාජයක සමරිසි විවාහ ගේනවා. කොච්චර දියුණුද? හේතුව සිවිල් සමාජය ආගමික සමාජයට බය නෑ. ඉන්දියානු සමාජය ඊට වඩා පට්ට ශිෂ්ඨයි.
අපිත් යා යුත්තේ එතැනටද?
ඉස්සර හැදුවෙ අඩුගානේ සිංගප්පූරුව තියෙන තැනටවත් යන්නනෙ. දැන් ඉන්දියාවේ තියා ඇෆ්ගනිස්තානේ තියෙන තැනවත් නෑනේ. ඉන්දියාවේ අඩු ගානේ අරුන්දතී රෝයි කෙනෙක් එනවා. තස්ලිමා නස්රින් වගේ කෙල්ලෙක් ලංකාවේ ආවද? සල්මන් රෂ්ඩි වගේ ලේඛකයෙක් ආවද? ස්වර්ණ පුස්තකේට, සාහිත්‍ය සම්මාන උත්සවවලට පවුඩර් දාගෙන, .. උඩතියාගෙන යන්නෙ ලංකාවේ ලේඛකයෝ. උන්ට පුළුවන්ද බං රෂ්ඩිලා වෙන්න කයිය ගැහුවට.
ඒ කියන්නේ වාරණයක්, ජාතියක්, ආගමක් ඕනෙ නෑ?
ඇත්තටම නිර්මාණශීලී කලාකරුවකුගේ පරිකල්පනය දෙවියන්වහන්සේටවත් යටත් නෑ. මොකද ඌ හිතන විදිහට බලපෑම් කරන්න පුළුවන්ද දෙවියන්ට? පොල්තෙල් ටිකකුයි පපඩමකුයි දුන්නොත් බැදගන්නවත් බැරි ...පුතාලා. ලේඛකයා කියන එකාගේ සිතීමම අනෙකාට වඩා වෙනස්. ඒකට කොහොමද වාරණ දාන්නේ. තමන්ම දාගත්තොත් මිස. ඈත පිටිසර ගමක නොදන්න කතාවක් පට්ට නවකතාවක් කියන තැනයි තාම ඉන්නේ. සම්මාන ගන්න ලියන්නේ කොහොමද කියලා පාඨමාලාවක් කරතැහැකි වෙනම. ඒ නිසා නුතන ලිවීම ගැන මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි.
එතාකොට බුදුන්ගේ රස්තියාදුව වගේ පොතක් ලියන එක හොඳයි?
මම, බුදුන්ගේ රස්තියාදුවේ ප්‍රකාශකයා පමණයි. ඒකේ ප්‍රකාශන නිදහස, ලිවීමේ අයිතියේ නිදහස වෙනුවෙන් මම පෙනී සිටිනවා. පොතේ අන්තර්ගතය ගැන ලේඛකයාගෙන් අහන්න.
හැබැයි ප්රකාශකයාටත් යම් වගකීමක් තිබෙනවා?
ඔව් මම කවදාහරි ඒ පොතේ අලෙවි වාර්තාව ප්‍රකාශ කරනවා එතකොට බලන්න.
එහෙම වෙන්නේ 'බුදුන්' කියන වචනය නිසා නෙවෙයිද?
අපි ඇයි සංකීර්ණ ගැඹුරු සාකච්ඡාවකදි දෙකේ පන්තියට යන්නේ?
ඒ ප්රශ්නය සමාජයට තිබෙන නිසා?
පොතේ නම දාන්න අයිතිය තිබෙන්නේ කර්තෘට. කොළඹ කතාවේ ඇත්තටම මාතෘකාව වෙන්න තිබුණේ බුදුන්ගේ රස්තියාදුව. මට ඉස්සල්ලා ශ්‍රීනාත් ඒක ලියලා. පොතේ නම සහ අන්තර්ගතය අතර වගකීම ඔහුට තිබෙනවා නම් මම එය වාරණය කරන්නේ නෑ. මම වාරණයට විරුද්ධව පෙනී සිටින කෙනෙක්නෙ. හෙට උදේ කවුරුහරි මට ගෙනත් දෙනවා නම් 'ජේසුගේ රස්තියාදුව' කියලා අන්තර්ගතයත් එක්ක ඒ නම බද්ධයි කියලා කර්තෘ විශ්වාස කරනවා නම් මම පොත ගහනවා.
මේ තමයි සන්නස්ගල. එහෙමද?
නෑ. සන්නස්ගල කියන මිනිහා එහෙම හොයාගන්න පුළුවන් සරල මිනිහෙක් නෙවෙයි. ටිකක් මහන්සි වෙන්න ඕනේ.
අරුණි මුතුමලී
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
සරසවිය