දශක හතරකට ආසන්න ඇයගේ කලා දිවියේ දී ඇය අත්පත් කරගත් දෑ මෙන්ම ඇගෙන් ගිලිහී ගිය දෑ ද බොහෝය. මේ සියල්ල දෙස ඈ උපේක්ෂා සහගතව හැරී බලන්නේ හදවතේ දෝරේ ගලා යන සතුටක්ද සමඟිනි. රංගන ක්ෂේත්රයේ ත්‍රිවිධ මාධ්‍යයන්හිම ප්‍රවීණත්වයට පත් ඈ ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන්ය.
මේ දවස්වල ගෙවී යන ඔබේ කලා ජීවිතය මොන වගේද?
පසුගිය දවස්වල ජාතික රූපවාහිනියේ 'මංසල' ටෙලි නාට්‍යය සඳහා දායක වුණා. මේ දිනවල එහි රූගත කිරීම් නිමයි. එය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම අස්වැන්න, අක්වැස්ස කියන ටෙලි නාට්‍යවලට දායක වුණා. ඉන් පසුව සුමිත් තිත්තවැල්ගල ගේ 'ගිරවි' ටෙලි නාට්‍යයටත් දායක වුණා. මේ සියල්ලත් එක්ක තමයි පසුගිය කාලය ගෙවී ගියේ සහ මේ කාලය ගෙවී යන්නේ.
ඔබ මෙගා ටෙලි නාට්‍යවල දකින්නට නැහැ?
කොටස් හතළිහක්, පනහක් වගේ යුතු ටෙලි නාට්‍යවලට විතරයි මම දායක වෙන්නේ. කොටස් සීය ඉක්ම වන කිසිම ටෙලි නාට්‍යයක් මම භාර ගන්නේ නැහැ.
මංසල' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඔබ?
'දේවි' චරිතය තමයි මම එහි රඟපාන්නේ.
ලංකාවේ ඉන්න ගැහැනු පිරිමි හැමෝම නරඹන්නට අවශ්‍ය නාට්‍යයක් එය. පළමු ආදරේ කියන්නේ අපිට අවශ්‍ය දෙයක්. ඒ පළවෙනි ආදරේ තමන්ට දැනෙන්නේ කොහොමද? ආදරය කර විවාහ වුණාම කොහොමද, ආදරය නැතිව විවාහ වූ විට ජීවිතවල ඇතිවන ඛේදවාචකයන් සහ එයින් පසුව ඉපදෙන දරුවනට සිදුවන විනාශය ආදිය ගැන තමයි මෙයින් ප්‍රකාශයට පත් වෙන්නේ.
ඔබ රඟපාන්නේ තෝරා බේරා ගත් නිර්මාණවල විතරද?
ඇත්තටම. තෝර බේරගෙන යන්නේ. හොඳම දෙයක විතරයි රඟපාන්නේ. ඒ වගේම මගේ ව්‍යාපාරයත් දියණියගේ වැඩවලටත් තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. රංගන ශිල්පිනියක ලෙස මගේ රංගන හැකියාව වගේම ඒ රංගනය ඔස්සේ සමාජයට යම් පණිවිඩයක් දෙන්නට පුළුවන් නිර්මාණවලට තමයි මම ප්‍රමුඛත්වය දෙන්නේ.
වසර කිහිපයක සිටම ඔබ ඔබේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන බව පවසනවා?
ඔව්. ඒ බලාපොරොත්තුව අද යම් තරමකට මම මුදුන් පමුණුවාගෙන තිබෙනවා. එහි පූර්ව නිෂ්පාදන කටයුතු බොහෝ දුරට දැන් නිමයි. ඒ අතරවාරයේ තමයි විවිධ නිර්මාණ සඳහා මට ඇරැයුම් ලැබෙන්නේ. ඒවාට දායකත්වය ලබාදීමට යාමෙන් මගේ නිර්මාණයේ වැඩ කටයුතු යම් මට්ටමකට අඩාල වී තිබෙනවා.
ඔබේ දියණිය ගැනත් කතා කරමු?
මගේ ජීවිතයේ අංක එක මගේ දියණිය. ඇයට තමයි හැම දෙයකින්ම මම මුල් තැන දෙන්නේ. මේ මැයි මාසෙ ඇය උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. මගේ එකම බලාපොරොත්තුව ඇය සමාජයේ හොඳ පුරවැසියෙක් කරන එකයි. මම ලොකු රේස් එකක් තනිවම ආවා මගේ දරුවා අරගෙන. දැන් එය සමාප්ත කරන්න තව පොඩ්ඩයි තියෙන්නේ. ඒ කාලෙත් ඇගේ හෙවණැල්ල වගේ මම පිටුපසින්ම ඉන්නවා.
ඔබේ නිර්මාණය චිත්‍රපටයක් ද? ටෙලි නාට්‍යයක් ද?
චිත්‍රපටයක් කරන්න තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වෙ. ඒත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සෙවීම දුෂ්කරයි. ඒ නිසා ටෙලි නාට්‍යයක් කරන්නට අදහස් කළා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්නට අදහසක් තිබෙනවා.
ඔබ මේ දිනවල අපට හමු වන්නේ 'පුංචි තිරයේ' 'අම්මා' ලෙසයි?
ඔව්. අම්මා චරිතය වුණත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත. 'හැන්දෑව' ටෙලි නාට්‍යයේ පොළොවේ පය ගහන මවකගේ චරිතයක්. ළමයි එක්ක දුක්විඳින ජීවත් වෙන්න ගල් කඩන චරිතයක්. 'ගිරිකුල' ඉතාම අසරණ අම්ම කෙනෙක්. 'අස්වැන්න', 'අක්වැස්ස' නාට්‍යවල චරිත ගත්තත් ඒවා එකිනෙකට වෙනස්. මේ චරිත මම ඉතාම ආසාවෙන් ආදරයෙන් රඟපෑ චරිත. මගේ හිතේ තැන්පත් වූ චරිත තිබුණා. ඒ චරිත තමයි මේ විදිහට මගෙන් නිරූපණය වෙන්නේ.
මොනවද ඔබේ හිතේ ඇඳුණු ඒ චරිත?
විශේෂයෙන්ම සිනමාවේ 'සුද්දිලගේ කතාවේ' සුද්දි චරිතය, 'මල්දෙණියේ සිමියොන්' හි සෝමගේ චරිතය, 'බැද්දේගම' චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා රඟන පුංචි මැණිකා චරිතය. මේවා එදා සිටම මගේ ඔලුවේ කැරකුණු චරිත. මම බැද්දේගම බැලුවේ පාසල් යන කාලයේ. ඉතාම ආසාවක් තිබුණා මේ චරිතවලට. ඒවා මගේ ඇඟ පුරා දුව යන්න පටන් ගත්තා. මට මතකයි මම 'අයෝමා' චිත්‍රපටයේ රඟපාන කාලේ ස්වර්ණ අක්කා මගේ දිහා බලා කියනවා දෙවන ස්වර්ණා මල්ලවාරච්චි වගේ වෙන්න පුළුවන් කියලා. අපි දෙන්නා එක වගේ කියලා ඇය මට කියනවා. ඇයගේ රංගනයට මම හුඟක් කැමැතියි. මම ඇයත් සමඟ රඟපාන විට ඇයගේ රඟපෑම් ගැන හුඟාක් අධ්‍යයනය කළා. ඒ දවස්වල සිටි ප්රවිණ රංගන ශිල්පිනියන්ගේ රඟපෑම් ගැන මම ඉතාම ලෝභයෙන් යුතුව අධ්‍යයනය කළා. ඩී. බී. නිහාල්සිංහගේ 'කෙළිමඬල' චිත්‍රපටයේ මම රඟපෑවා. 1992 සරසවිය සම්මාන උලෙළේදී නැගී එන නිළිය ලෙස මම සම්මාන ලැබුවා. ඩී. බී. නිහාල්සිංහයන්ගේ චිත්‍රපටයක අනෝජා වීරසිංහ වගේ ප්‍රවීණ නිළියක් සමඟ රඟපෑවා කියන්නේ එදා රංගන පාසලකට ගියා වගේ තමයි.
කෝ අද එදා අපිට හිටපු සිනමා නිළිය නිල්මිණි?
මම විසින්ම නැති කරගත්ත දෙයක් තමයි ඒ. සිනමා නිළි නිල්මිණි නැති වෙන්නට පළවෙනි වැරැදිකාරයා නිල්මිණිම තමයි. මම සිනමාවට එක් වෙන්නේ ඉතාම කුඩා වයසකදියි. සිනමාවෙන් සම්මානනීය වෙන්නට මම වාසනාවන්ත වුණා. මේ ළඟදී දවසක එක්තරා කනගාටුදායක සිදුවීමක් වුණා. ඒ ගැන විශාල දුකක් හිතට දැනුණා.
මොකක් ද ඒ?
එක්තරා රූපවාහිනි නාළිකාවක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත් වූවා. එහිදී එදා සිට අද වන තුරුම සිනමා ක්ෂේත්රයට එක්කාසු වූ රංගන ශිල්පිනියන් වේදිකාවට කැඳවුවා. ඒත් මගේ නම එතැන තිබුණේ නැහැ. මම සිනමාවේ බොහෝ දුරක් ආ රංගන ශිල්පිනියක්. සම්මානනීය නිළියක්. හේතුව මම දන්නේ නැහැ. මට ඇයි කතා නොකළේ කියලා. මට හරි වේදනාවක් දනුණා. කලාව වෙනුවෙන් කැපවුණු අපිට ඇයි මෙහෙම කරන්නේ කියලා හිතුණා. මම කා එක්කවත් කිසිම තරහක් නැහැ. ඊර්ෂ්‍යාවක් නැහැ.
ඔබ සිනමාට එක් වුණා නම් අද සිනමාවේ යුගයක් ඔබ නමින් ලියවෙන්න තිබුණා නේද?
ඇත්ත. සිනමාව මගෙන් දුරස් වී ගිලිහී යන්න හේතු කිහිපයක්ම තිබුණා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ 'දූ දරුවෝ' ටෙලි නාට්‍යය සන්ධිස්ථානයක්. එහි 'දිප්ති' චරිතය මුළු ලංකාවේම ඉතාම ජනප්‍රිය වුණා. 'දීප්ති' අඳින ඇඳුම, දීප්තිගේ හෙයාර් කට් එක විතරක් නෙමෙයි දීප්තිගේ රුව යෙදූ ඇඳුම් පැළඳුම් පවා එකල ජනප්‍රිය වුණා. ඒ කාල වකවානුවේ මම හරිම කාර්යබහුල වුණා. ඒ අතර සිනමා අධ්යක්ෂවරු සිනමා නිර්මාණ වෙනුවෙන් මගෙන් දින ගන්න හුඟක් වෙහෙසුණා. නමුත් මම එතැනදී දින දෙන්නට විදිහක් නැතිව හිර වුණා. මොකද මමත් තීරණයක හිටියා. මම මල් ගස් වටේ දුවන්නේ නැහැ කියලා. ඒ වෙන කොට මම රඟපෑවෙත් අයිරංගනී සේරසිංහ, හෙන්රි ජයසේන, එච්. ඒ. පෙරේරා වගේ ප්‍රවීණයන් සමඟ. මේ සමඟම මට ගලාගෙන ආපු චිත්‍රපට ගණනාවක් මම මිස් කර ගත්තා වගේම මම එන මඟ විශාල වලල්ලක් බැඳලා ඒ මඟ අවහිර කරපු පිරිසකුත් ඒ අතර හිටියා. ඒ සියල්ල සමඟ මම සිනමාවෙන් යම් තරමකට දුරස් වුණා. ඒ වගේම මගේ ආදරය නිසාත් චිත්‍රපට මිස් වෙලා ගියා. අවුරුදු දෙකක් ආදරය වෙනුවෙන් ගෙදරට වෙලා හිටියා. මගේ ඒ නිද්‍රාව කැඩුවේ 'දියසුලිය', 'නිදිකුම්බා මල්', 'කුමාරයාණෙනි' ටෙලි නාට්‍යයි. මගේ ඒ නිද්‍රාව නිසා අම්මා මට අත ඉස්සූ වාරත් අනන්තයි. ඒ හැම දෙයින්ම ඇය මාව දිරිමත් කළා.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
සරසවිය