-මානුෂිය ධර්ම හලලා කූඨ ඉලක්ක මාකට් කළාට රට දියුණු වෙන්නේ නැහැ චින්තනය තියෙන්නේ කාණු පල්ලේ නම්.-
වචන ගායනා කරන කලාකරුවන් අතරින් වචනවලට පණ දීමට හැකි, මිනිස් හදවතේ තානය හඳුනන කලාකරුවන් සිටින්නේ අතලොස්සක් පමණි. හදවතේ සියුම් තැන් කොනිත්තන, ගැඹුරුම තැනට කිමිදෙන නිර්මාණ ඔවුන් අතින් පණ ලබයි. එවැනි නිර්මාණ අපි අපේ කරගන්න දෙවරක් හිතන්නේ නැහැ. ආයේ ආයෙමත් ඒ සංවේදනාවට සමවැදෙන්නයි අපි කැමති. එවැනි නිර්මාණ කිහිපයකටම පණ දුන් සංකල්පීය කලාකරුවෙක් සාදර බණ්ඩාර,
සාදරගේ ළමා කාලයෙන්ම කතාව පටන්ගමු. සංගීතය හදාරන්න අඩිතාලම වැටුණේ කොහොම ද?
මගේ අම්මා, තාත්තා සංගීතයට සම්බන්ධ නැහැ. මගේ සීයා කලාප සංගීත අධ්යක්ෂවරයෙක්. සීයාගේ ගුරුවරයෙක් තමයි මට සංගීතය ඉගැන්නුවේ. මුල් කාලේදී නම් සංගීතයට අබමල් රේණුවක තරම් වත් කැමැත්තක් තිබුනේ නැහැ. ක්‍රිකට් ගහන්නම තමයි ආසාව තිබුණේ. පොඩි කාලේ කඳුරට සේවයේ ළමා පිටියට සම්බන්ධ කරලා, සංගීතය පැත්තට යොමු කරන්න සීයා උත්සහ කළත් මට ලොකු ආසාවක් තිබුණේ නැහැ. නිදහසේ ඇවිදින්න, නටන්න, දඟලන්න තමයි මම කැමති වුණේ.
මම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙන ගත්තු කාලේ වයස අවුරුදු 15 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ අනිවාර්ය සාමාජිකයෙක්, චෙස් ජාතික තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණ පවා අරගෙන තියෙනවා. ඒ කාලේ වෙනකොට මට සංගීතයට ආසාවක් ඇතිවෙලා තිබුණේ. මම පාසල් බක්ති ගීත කණ්ඩායමේ අනිවාර්ය සාමාජිකයෙක්. අවුරුදු 16 දී වගේ මම සංගීත කණ්ඩායම් දෙකක සාමාජිකයෙක් විදියට කටයුතු කළා.කොහොම හරි සාමාන්‍ය පෙළ සමත් වුණාටත් පස්සේ මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ පාසලේදීත් මම බක්ති ගීත කණ්ඩායමට, ගීතිකා කණ්ඩායමට නැතිව බැරි චරිතයක්. ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ සාමාජිකයින් 5 දෙනෙක් එකතු කරගෙන අපි ක්ලවුඩ් 9 කියන පොඩි සංගීත කණ්ඩායමක් හදාගත්තා. අපේ කණ්ඩායම හාමනයිසින් තමයි කළේ. ඒ කාලේ හැටියට ඒක ලොකු දෙයක්. මට වයස අවුරුදු 18 දී කොළඹ තිබුණු තරමක් ප්‍රකට සංගීත තරග වගයකට සහභාගී වුණා. වර්තමානයේ ඉතාමත් ප්‍රසිද්ධ ගායකයෙක් සහ ගායිකාවක් තමයි ඒ තරගයේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන ලබා ගත්තේ. අපේ කණ්ඩායම “ක්ලවුඩ් 9” තමයි තරගය ජයග්‍රහණය කළේ.
කුඩා කාලයේ සංගීතය කළත් පසු කාලීනව ඔබ ඉදිරියට යන්නේ ගණිත අංශයෙන්. බැංකු රැකියාවට තිත තියලා කොහොමද කලාවට මාරු වෙන්නේ?
උසස් පෙලට සංගීතය කරන්න ආසාව තිබුණත් ඉගෙන ගන්න පුළුවන් නිසා වෙන්න ඕන සංගීතය කරන්න ගෙදරින් කැමැත්ත දුන්නේ නැහැ. ඒ නිසා මම උසස් පෙලට පෙනී සිටියේ ගණිත අංශයෙන්. ඊට පස්සේ රැකියාව සඳහා මම තෝරාගන්තේ බැංකු ක්ෂේත්රය. රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක අවුරුදු ගණනක් මට සංගීතය මග හැරෙනවා.
ඒ වගේම කියන්න ඕන මගේ පළමුවැනි ගීතය නිර්මාණය කළේ 1996 විතර. මම පොඩි කාලේ. ගීතයේ නම “තනි වුණු තරුවක්” සම්පත් නන්දසේන කියන මගේ මාමා කෙනෙක් තමයි තමයි ලිව්වේ. “නාට්ටාමි” මගේ දෙවැනි ගීතය වුණත් එළියට එන්නේ පළමු ගීතය විදියට.
කොහොම වුණත් බැංකු රස්සාව කළාට මගේ ආසාව යටගහන්න බැරිවුණා. ගිටාර් එක අතට ගත්තම මගේ ඇඟ ඇතුලේ ඉන්න කලාකාරයා තමයි එළියට ආවේ. එක අරමුණක තියාගන්න අවශ්‍ය නිසා වැඩ කළ ආයතනය වුණත් කැමති වුණේ නැහැ මම සංගීතය කරනවට. ඒ නිසාම මට කොළඹ ශාඛාවකට මාරුවීමක් ලැබෙනවා. “නාට්ටාමි” ගීතය නිර්මාණය කරන්න පසුබිම හැදුණේ එහෙමයි.
“නාට්ටාමි” ගීතයේ යටි පෙළ ගැන කිව්වොත්?
“නාට්ටාමි” අතිශයින්ම දේශපාලනික කතාවක්. ලිව්වේ සදීෂ මොහොට්ටි. නාට්ටාමි කියන්නේ බර අදින, මුට්ට කරගහන කෙනෙක් කියල කිව්වට අපිට තේරෙන්න ගන්නවා, නැහැ... නාට්ටාමි කියන්නේ ඔහුටම නෙවෙයි. ක්ලීන් සූට් ගහලා, ටයි දාලා, A/C එකේ ඉන්න මිනිහත් නාට්ටාමිම තමයි. ගුරු, නීතිඥ, පොලිස්, වෛද්‍ය වේවා මේ ඕනෑම වෘත්තියක් අදින්නේ වෙන කෙනෙක්ගේ බර. හැමෝගෙම ජිවිත අස්සේ ඉන්නේ නාට්ටාමිලා. සමහරු හරි උජාරුවෙන් ඉන්නවා, සමාජ තල හදනවා... මේ කුණු අතගාන පාරේ වැඩ කරන මනුස්සයා, මම ලොකු රස්සාවක් කරන මනුස්සයා කියලා. ඒත් ඒවා පුහු ආකල්ප විතරයි. ඇත්තම කියනවනම් පාරේ කුණු අදින, වැසිකිලි වලවල් සෝදන පුද්ගලයාට තමයි අපි “සර්” කියලා ආමන්ත්‍රණය කළ යුත්තේ. නැතුව දේශපාලකයාට නෙවෙයි. මොකද එකෙකුටවත් බැහැ ඔය රස්සාව කරන්න.
සාදරගේ ඊළඟ ගීතය Battle for Rights, පක්ෂග්රාහී කියන චෝදනාවක් එල්ල වෙලා තිබුණා?
Battle for Rights ගැන අන්තරේ තේරුම් ගත්තේ එය ඔවුන්ට විරුද්ධව පාවිච්චි කළ ගීතයක් විදියට. ඊට පිළිතුරු ගීතයක් පවා ඔවුන් නිර්මාණය කරලා තිබුණා. මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ නිර්මාණය කියවා ගැනීම ඔවුන්ට ගැටළුවක් වී ඇති බවයි. හැමෝටම චිත්‍ර කියවන්න බැහැ. ඒ වගේම තමයි හැමෝටම ගීත රසවිඳින්නත් බැහැ.
ගීතය ගැන කියනවනම්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ චමිඳු මිහිරංග මේ ගීතය ලිව්වේ.ඊට පසුබිම් වුණේ විශ්වවිද්‍යාල උද්ඝෝෂණයක දී "වඩින්න හාමුදුරුවනේ අපිත් මේ ඕඩරයක් පිට ඉන්නේ" කියලා ආරක්ෂක නිලධාරියෙක් හිමි නමකගෙන් වැඳලා ඉල්ලන අතරතුර, සංඛ කියන ඡායාරුප ශිල්පියා අරගත් ඡායාරූපයක්. Battle for Rights සින්දුවෙන් කියන්න උත්සහ කරන්නේ අපි හැමෝම පාවිච්චි වෙනවා කියන කාරණය. වෛද්‍යවරු, දුම්රිය සේවකයෝ ස්ට්‍රයික් කරනවා. ඔය ඕනෑම කෙනෙක් මහින්දට හරි රනිල්ට හරි JVP එකට හරි කාටහරි පක්ෂග්රාහී වුණහම තැලෙන්නේ කවුද ? අන්තරේ කොල්ලෝ කෙල්ලෝ පාරවල් බ්ලොක් කළාම උදේට හැන්දෑවට දුක් විඳින්නේ කවුද? ඒ ළමයි වුණත් පාවිච්චි වෙන එකයි වෙන්නේ. අරගලය තවදුරටත් වීදිය තුල නැහැ. වෙනස ඕන නම් අවශ්‍ය අමුතු වෙනසක් නෙවෙයි චින්තන විප්ලවයක්. සින්දුවෙන් කියන්න ගිය මේ දෙය හරියට තේරුම් ගත්තේ නැහැ.
මේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ලොකු ගැටළුවක් තියෙනවා. අධ්‍යාපනය ලබාගන්න සිය දෙනෙක් බාලාංශයෙන් ඇතුල් වුණොත් අවුරුදු 13 ක් ඉගෙන ගෙන පස් දෙනෙක් වගේ තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. ඉතිරි 95 ට ප්‍රශ්නයක් තියෙනවා. සල්ලි තියෙන අය රට යනවා. නැතිනම් පෞද්ගලික තැනකින් ඉගෙන ගන්නවා. බහුතරයක්, සියයට අනූවක් වගේ පිරිසකට මුල ඉඳන් පටන් ගන්න වෙනවා. නැතිනම් රස්සාවක් කරන්න වෙනවා. ඒ වගේම කැම්පස් ගියත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ශ්‍රම බලය රටට ගන්න පුළුවන් වයසේ ළමයි අවුරුදු 4 ක් කැම්පස් එකක් ඇතුලේ හිර වෙන එක. ඒකෙන් එළියට ආවට පස්සෙත් රස්සා දියන් කියලා අරගල කරනවා. සිස්ටම් එකේ පිළිවෙලක් නැතිකම නිසා හැමදේම අවුල් වෙලා තියෙන්නේ. ළමයෙක් දක්ෂ මොන අංශයට ද, ඒ අංශයට යොමු කරලා පොඩි කාලේ ඉඳලම අදාළ මාර්ගයෙන් ඉදිරියට යන්න අවස්ථාව සලසා දෙන එකයි විය යුත්තේ. කුසලතා පූර්ණ ළමයි එළියට දැම්මම උද්ඝෝෂණ කරන්නේ නැහැ. උන් බලන්නේ අලුත් අලුත් නිර්මාණ කරමින් ඉදිරියට යන්න. තව පැත්තක් ගැන කතා කරනවානම්... කෙනෙක් ඉහළම අධ්‍යාපනය ලබලා තියෙනවා කියනවා, සමීකරණවල ඉදන් දන්නවා. ඒ වුණාට ගෙදර ලයිට් බල්බ් එක කැඩුනම හදාගන්න දන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ. බොහෝ දෙනෙක්ට කළමනාකරණ හැකියාවක් නැහැ. අනුන්ගෙන් වැඩ ගැනීම නෙවෙයි සමඟ වැඩ කිරීමයි අවශ්‍ය. ළඟ ඉන්න කෙනත් එක්ක බෙදාහදාගෙන ජිවත් වෙන්නේ කොහොමද කියන එක වෙන රටවල පොඩි කාලේ ඉඳන් උගන්වන කොට අපි හිතන්නේ ළඟ ඉන්න කෙනා ඉන්නේ අපිට කෙලින්න කියලා. අපිට වැරදිලා තියෙන්නේ එතන. ගුණ ධර්ම එක්ක මිනිස්සු හදන්න ඕන ඒත් අපි පළවෙනියා වෙන්නනේ හදන්නේ. රට දියුණු කරනවා කියන්නේ මිනිස්සුන්ගේ ඔලුව හදන එක මිසක් බිල්ඩින් හෝ පාරවල් හදන එක නෙවෙයි. මානුෂිය ධර්ම හලලා කූඨ ඉලක්ක මාකට් කළාට රට දියුණු වෙන්නේ නැහැ චින්තනය තියෙන්නේ කාණු පල්ලේ නම්.
රටේ ව්‍යවසායකත්වය ගැන කියනවනම් සියයට 3 ක අවම ව්‍යවසායකත්වයකින් අපිට බැහැ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න. ඉතින් කොහොමද මේ රට ගොඩ එන්නේ? මේ හැමදේම හදල දීපන් කියල අපි මෙච්චර කල් ඉල්ලුවේ දේශපාලකයා ගෙන්. නැහැ අපි හැදෙන්න ඕන. අපි හැදෙන්න ගත්තොත් පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කියන ගොන් කතාවලට රැවටෙන්න, බත් පැකට් එකට ආත්මය විකුණන එක මිනිස්සුන්ට ඊට පස්සේ අදාළ නැති වෙනවා. තමන් හම්බ කරනවා නම් යැපෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කඩේ යන්නේ නැති වුණහම දේශපාලකයෝ සෙට් එකට පුළුවන් ද මිනිස්සුන්ට බොරු කියලා අන්දවන්න. ඒබ්‍රහම් ලින්කන්ගේ කතාවක් තියෙනවා ඔබට හැමදාටම යම් කිසි කොටසක් මෝඩයෝ කරගෙන ඉන්න පුළුවන් සමස්තයම ටික කාලෙකට මෝඩයෝ කරගෙන ඉන්න පුළුවන් හැබැයි හැමදාටම මෝඩයෝ කරගෙන ඉන්න බැහැ. ඔය කියන තත්වයට ලංකාව පත් වුණොත් දේශපාලකයන්ට පැවැත්මක් නැති වෙනවා. දේශපාලකයෝ මෝඩයි නෙවෙයි හරි කට්ටයි. මිනිසුන්ට සංවර්ධනය වෙන්න දෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ පැවැත්ම නැතිවෙන නිසා. මිනිස්සු හැදෙයි ද කියන ප්‍රශ්නයත් ඔළුවට එන්නේ නැතුවාම නෙවෙයි. ඒක හරියට බුදු රජාණන් වහන්සේ මහා ධර්මස්කන්ධයක් අවබෝධකරගෙන මේ දේ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න පුළුවන් වෙයි ද වගේ ගැටළුවක්. කෙලෙස් අඩු මිනිස්සු ඉන්නවා පිරිපහදු කරලා ගන්න පුළුවන්. ඒ වගේම තාමත් අපේ රටේ මිනිස්සු ඉන්නවා දෙයක් කියල දීල තේරුම් කරවන්න පුළුවන්. ඒක තමයි මම සංගීතය හරහා මිනිසුන්ට කියන්න උත්සහ කරන්නේ.
කවියකින් ගීතයක් නිර්මාණය කිරීම අද නොකෙරෙන තරම්?
දැක්මක් තිබුණු නිර්මාණකරුවන් ඉස්සර කවි ගීතවලට පෙරළුවා. වචනවලට පණ පෙව්වා. අපි පොඩි කාලේ පන්නරය ලැබුවේ ඒවගෙන්. ගුණදාස කපුගේ, නන්දා මාලනියගේ ගීත.. එතකොට පවන, කම්පන වගේ ප්‍රසංග.. මේ වගේ සංකල්ප හැදුවේ දැවැන්තයෝ එක් වෙලා. නිදහස්, පිරිසිදු හිතක් ඇති කලාකරුවන් තුලින් එවැනි නිර්මාණ බිහි වුණා.
මම සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙන ගත්තු කාලේ පාසල් සුබ සාධක සමිතියට ආධාර පිණිස සංවිධාන කළ ප්‍රසංගයකට ගුණදාස කපුගේ සූරීන් ඇවිත් හිටියා. ඔහු ගීත ගායනා කරලා, ස්ටේජ් එකෙන් බැහැලා යනකොට මට අඬගහල, “කොලුවෝ මොකක්ද මේ වැඩේ?” කියලා විස්තර එහෙම අහලා, ගමන් වියදමට පොඩි ගාණක් විතරක් ඔහුගේ අතේ තියාගෙන, ඉතුරු සම්පුර්ණ මුදල මගේ අතට දීලා කිව්වා “මේ සල්ලි ඉස්කෝලේ වැඩේට ගන්න” කියලා. ඒකට අද? දැන් ඇහෙන සින්දුවලින් තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතාට ආදර්ශයක්වත් දෙන්න පුළුවන් ද? ජංගි ටික ගලවලා සල්ලි හොයන අය ඉන්නවනේ.. පොඩි කාලේ අම්මා, තාත්තා, ගුරුවරු ටොක්කක් ඇනලා මේ දේ වැරදියි, මෙහෙම හැදෙන්න එපා කියලා උන්ට වටහලා දුන්නනම් ඔහොම වෙන එකක් නැහැ. උන්ගේ වැරද්දක් නැහැ. මොකද උන්ට කියලා දීලා නැහැ. එහෙම අයගෙන් එළියට එන්නේ සැබෑ නිර්මාණ නෙවෙයි. නිකම්ම වචන ගොඩක් විතරයි.
කවියෙන් එන හැඟීම ගීතයෙන් එළියට දෙන්න බැරි වුණොත් නිර්මාණකරුවා අසමත්. “පොඩ්ඩියේ” ගැන කතා කරනවානම් ඔබ ඒ පිම්ම ගේමක් නැතිවම පනිනවා.
ඉස්සරවෙලාම කියන්න ඕන රචකයා, ටිම්රාන් ගැන. “පොඩ්ඩියේ” කවිය සම්බන්ධයෙන් මම ටිම්රාන්ගෙන් ඇහුවම ඔහු කියනවා කැමති දෙයක් කරගන්න කියලා. ඊට පස්සේ තමයි මම නිර්මාණය කරන්න පටන් ගත්තේ.
කලා කෘතියකින් විය යුත්තේ මිනිසුන්ගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කිරීමයි. “පොඩ්ඩියේ” ගීතයෙන් වචන නෙවෙයි කියවෙන්නේ එය භාව ප්රකාශනයක්. මහ ලොකු දේවල් නැහැ, දරු නැළවිලි ඇසුරින් කළ සංගීත නිර්මාණයට පාවිච්චි කළේ ගිටාර් එක විතරයි. ඒ වගේම මේ ගීතය හරහා මම කළේ කවියක් ගීතයක් බවට පත් කරන එකම නෙවෙයි. පොත් අස්සේ කොළ අස්සේ තිබුණු කවි එළියට ගෙනියන එක. මාකටින් කන්සල්ටන්ට් කෙනෙක් විදියටත් මට යම්කිසි අවබෝධයක් තියෙනවා මිනිසුන්ගේ ඔලුවේ මේ දවස්වල වැඩ කරන්නේ මොනවගේ දෙයක් ද කියන දේ ගැන. රික්තය බලලා නිර්මාණය එළියට දැම්මම මිනිස්සු ඒක වැළඳගන්නවා. ඔවුන්ම ඒ නිර්මාණය ඉදිරියට අරගෙන යනවා. “පොඩ්ඩියේ” මාකට් කරන්න වුණත් සත පහක් ගියේ නැහැ. මම කියන්නේ මම විතරක් නෙවෙයි අනිත් අයත් මේ දේ කරන්න අවශ්‍යයි.
එන්න තියෙන අලුත් වැඩ මොනවාද?
සදීෂ මොහොට්ටි ලිව්ව “යාචකයා” කියන ගීතයත්, යුග ගීයකුත් එන්න තියෙනවා. තව, පොඩි ළමයි වෙනුවෙන් ගීත ඇල්බමයක් හදන්න පදනම සකස් කරලා තියෙන්නේ. මොකද පොඩි ළමයිට දෙයක් කරනවා නම් ආවට ගියාට කරලා බැහැ. රිසර්ච් එකක් එක්කලා කරන්න ඕන. ඒවගේම, Battle for Rights ගීතයට වීඩියෝව කරන්න ඉන්නේ, ඒකට ලක්ෂ එකහමාරක් විතර වියදම් වෙනවා. මුදල් ගැටළුවක් නිසා පොඩ්ඩක් වැඩේ ඇදෙමින් තියෙනවා. මුදල් කියන්නේ නිර්මාණකරුවන් බහුතරයකට තියෙන ප්‍රශ්නයක්නේ.
බැංකු රස්සාවට සමුදීලා දැන් කරන රස්සාව ගැන තෘප්තිමත් ද?
අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මේ කලාව හැමකෙනාටම පිහිටන්නේ නැහැ. ඒ දෙයින් ප්‍රයෝජනයක් අරගෙන මිනිසුන්ගේ හිත් සුවපත් කරමින් පොඩි හෝ සේවයක් කරන්න ලැබීම ගැන නොසෑහෙන සතුටුයි. බැංකු ක්ෂේත්රයේ සේවය කරන්න ලැබෙන්නේ සීමිත පිරිසකට. ඒත් මේ ක්ෂේත්රයේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සේවය කරන්න ලැබීම සතුටක්.
සංවාද සටහන :අභිෂේකා වාසලබණ්ඩාර