විජේවීර තුළ ජිවත් වෙන්න ලැබීමත් ගෞරවයක්
වේදිකාව, සිනමාව, රූපවාහිනිය අතැඹුලක් සේ හැඳින සිය රංගප්රතිභාවෙන් ප්‍රේක්ෂකයා වසඟ කිරීමට සමත් වූ හෙතෙම විටෙක යෞවනයේ අරුමැසි ජේත්තුකාරයා වී යෞවනියන්ගේ සිහින සොරාගත්තේය. තවත් විටෙක සිය ලයාන්විත හඬමාධුර්යයෙන් සවන් පත් සනසාලීය. හෙතෙම ශ්‍රමයෙන්, ඩහදියෙන්, ලෙයින් මේ බිම තෙත් කළ මිනිසුන්ගේ අසහාය නායකයාගේ ස්වරූපයෙන් අප අබිමුවට පැමිණ සිටී. ඔහු වෙෙනකකු නොව කමල් අද්දරආරච්චිය. මේ ඔහු සමඟ කළ කෙටි පිළිසඳරකි.
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුණේ කොහොමද?
විජේවීරගේ චරිතය අලළා චිත්‍රපටයක් කරනවා, එහි ප්‍රධාන භූමිකාව වන විජේවීරගේ චරිතය නිරූපණය කරන්න මාව තෝරගෙන ඉන්නවයි කියල සිනේප්‍රෝ ආයතනයේ අධිපතිතුමා මට කතා කරල කිව්වා. ඇත්තටම් ඒ අවස්ථාවේ මට ඒක හිතා ගන්න බැරි වුණා. කතාවට එහෙම කිව්වට මේක ඇත්තටම කරයිද? කියන හැඟීමෙන් තමයි මම ඒ වෙලාවේ උත්තර දුන්නේ. නමුත් ඕන අභියෝගයක් භාරගන්න කැමැති කෙනෙක් විදියට මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ නැහැ.
ඊට පස්සේ මොකද වුණේ?
ඒ අය එක දිගට දෙතුන්වතාවක් කතා කරද්දි මට තේරුණා මේක සීරියස් වැඩක් කියලා. මම ඊළඟ දවසේ කතා කරද්දි මට ස්ක්‍රිප්ට් එක නැතුව මුකුත් කරන්න බැහැ ස්ක්‍රිප්ට් දෙන්න කිව්වා. ඊට පස්සේ කතා කරල මුහුරත් උලෙළට එන්න කිව්වා. මට ස්ක්‍රිප්ට් එක දීලත් නැතුව මම කොහොමද මුහුරත් උලෙළට එන්නෙ කියලා ඇහුව්වා. පස්සේ මට ස්ක්‍රිප්ට් එකක් හම්බ වුණා.
හැබැයි ඒක අසම්පූර්ණ පිටපතක්. දෙබස් එහෙම තිබුණෙත් නැහැ. නමුත් මම ඒක හොඳින් කියෙව්වා. ඒ සැකිල්ල හොඳට ලියල තිබුණා. දේශපාලනමය චිත්‍රපටයකට වඩා රෝහණ විජේවීර ගැන අදහසක් ඒ ස්ක්‍රිප්ට් එකේ තිබුණා. මම කිව්වා මේක තාම සම්පූරණ නැහැ නේ කියලා. ඊට පස්සේ මට කිව්වා ඔව් අපි මේක තවම සාකච්ඡා කරමින් ඉන්නේ, මුහුරත් එකට එන්න අපි එදාට සම්පූර්ණ පිටපත දෙන්නම් කියලා.
මුහුරත් උලෙළ දවසේ මට දෙබසුත් එක්ක සම්පූර්ණ කළ පිටපත හම්බ වුණා. ඒක කියවන් යද්දී යම් යම් අඩුපාඩු කම් තිබුණත් සෑහෙන්න දෙයක් ඒ තුළ අන්තර්ගත වී තිබුණා. අපිට ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන් ඒ මොනා වුණත් මට විජේවීරගෙ පෙනුම හරියට හදාගන්නේ නැතුව රූගතකිරීම් වලට එන්න බැහැයි කියල මම කිව්වා. මොකද මේ වැඩේ හරියට කරනව නම් ඒක අත්‍යවශ්‍ය කාරණයක්.
ඊට පස්සේ කමල් අද්දරආරච්චි කියන නළුවා මැකිලා ගිහින් මේ තරම් හොඳින් රෝහණ විජේවීර කියන විප්ලවවාදියා බිහි වුණේ කොහොමද?
ඒක ඉතාම අසීරු කාර්යයක් වුණා. මමයි නාරද ධනංජයයි එකතු වෙලා වැඩේ කරගෙන යද්දි දත් සෙට් එකක අව්‍යශ්‍යතාව මතු වුණා. විජේවීරගේ මුහුණෙ හැඩය, කට, කොණ්ඩේ තියෙන විදිය ඒ විදියට ගන්න නම් ඒක අත්‍යවශ්‍යයයි. තමන්ගේ නොවන තමන්ගෙම දත් සෙට් එකක් වෙන්නත් ඕන නේ.
ඒකත් හදාගෙන දවස ගානේ ගිහින් දදා බලනවා. ඔය විදියට දවස් ගණනාවක් ගියා. ෂූටින් යන දවසුත් ළං වුණා. ඒත් තාම මම සෑහීමකට පත්වෙලා නැහැ. ඒ නිසා මම රූගත කිරීම්වලට යන්නේ නැතිව අනෙක් අයට යන්න කිව්වා. අනෙක් අය රූගත කිරීම්වලට ගියා.
මේකේ මොකක් හරි නිමාවක් දකින්න ඕන නිසා මමයි නාරදයි නැවතුණා. මොකද චිත්‍රපටියේ ඉන්න ඕන රෝහණ විජේවීර මිසක් කමල් අද්දර ආරච්චි නෙමෙයිනේ. ඒ අය ෂූටින්වලට ගිහින් දවස් දෙකක් විතර ගියා. විජේවීරගේ පෙනුමට 70%වක් විතර ආවට පස්සේ මම නාරදට කිව්වා අපි දැන් යමු.
ඉතුරුටික සෙට් එකට ගිහින් හදාගමු කියලා. පස්සේ පසුතලයට ගිහින් ඇඳුම් ඇඳල කොණ්ඩේ එහෙම දාල එද්දි මේ චරිතය කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ තමයි අපි රූගත කිරීම් ආරම්භ කළේ. මං හිතන්නේ අපි එකතුවෙලා දරපු ඒ ශ්‍රමයේ මහන්සිය තමයි අද ඔබ ඔය විදියට දකින්නේ.
මේ තරම් තාත්විකව මේ චරිත නිරූපණය කරන්න මොන විදියේ අභ්‍යාසයකද ඔබ නිරත වුණේ.
මූලිකවම මම තිර රචනය කෙරෙහි අවධානය යොමු කළා. එය ගවේෂණය නොකර මොන අභ්‍යාසයක නිරත වුණත් වැඩක් නැහැ. අනෙක් අතට රෝහණ විජේවීර කියන්නේ සත්‍ය චරිතයක් මිසක් ප්‍රබන්ධයක් නෙමෙයි. ඒ නිසා මේ චරිතය මොනවිදියේ චරිතයක්ද කියන කාරණය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒක කරන්න පුළුවන් විජේවීර දැකපු ආශ්‍රය කරපු අය හා සත්‍ය තොරතුරු මඟින් පමණයි. මීට අමතරව නළුවෙක් විදියට දැනගත යුතු තවත් දෙයක් තිබෙනවා.
ඒ තමයි මේ පුද්ගලයා කෙබඳු පුද්ගලයෙක්ද කියන කාරණය චෛතසික වශයෙන් හඳුනා ගැනීම. අවසානයේ තමන් ජීවත් කරවන්නේ ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණවලටත් වඩා ඔහුගේ මනෝභාවයන්, ඔහුගේ අරමුණු, අභිප්රායන්, ඔහු සිතන්නේ කොහොමද යනාදියයි.
මේ දේවල් හඳුන ගන්න වෙනවා. ඒ නිසා ඔහු පිළිබඳව තමන් තුළ ගොඩනැගෙන ආකල්පය හරිම වැදගත්. මොකද කෙනකුට ඇඳුමෙන් සහ පෙනුමෙන් මෙවැනි විප්ලවීය නායකයෙන් වෙන්න පුළුවන්. නමුත් ඊටත් එහාට එහි ගැඹුරට ගියාම ඒ පුද්ගලයා කතා කරන විලාසය, ඔහු කතා කරන දේ තුළ තිබෙන හරය ආදිය හැඳින ගත්තාම අපට ඒ පුද්ගලයාගේ මතවාදය ඔහු කෙබඳු මානසිකත්වයක ඉන්න පුද්ගලයෙක්ද කියන කාරණය වටාහ ගන්න පුළුවන් වෙනවා.
ඔබ කියන්නේ නළුවෙක් සාර්ථක වෙන්න නම් ඔහු රඟපාන භූමිකාව පිළිබඳව ඔහු තුළ තක්සේරුවක් තිබිය යුතුයි කියලද?
ඔව්. නළුවෙක් කිසියම් චරිතයක් සාර්ථකව නිම කරන්න නම් ඔහු තමන් රඟන චරිතය පිළිබඳව කිසියම් තක්සේරුවකට එන්න ඕන. ඒ තක්සේරුව තුළ එක්කෝ මම මේ පුද්ගලයාට කැමැතියි, නැත්තම් අකැමැතියි.
මේ දෙකම නොවේ නම් මම ඔහුව දකින්නේ මෙන්න මෙහෙමයි කියල තමන් තුළ ඒ පිළිබඳ මිනුම් දණ්ඩක් තිබය යුතුයි. ඒ අනුව රංගන ශිල්පියා ඒ චරිතය පිළිබඳව දක්වන කැමැත්ත හෝ අකමැත්ත මත මේ චරිතය හොඳද, නරකද, කළුද, සුදුද කියලා ප්‍රේක්ෂකයා තීරණය කරනවා. මම රෝහණ විජේවීරව දැක්කේ හරිම අව්‍යාජ, දේශහිතෛෂී, කෘතහස්ත සමාජවාදී නායකයෙක් විදියට.
ඒ චරිතයට මම ගරු කරනවා. ඒ ගෞරවනීය භාවයත් එක්ක කිසියම් විදියක ප්‍රතිරූපයක් මම ඒ චරිතය තුළ ගොඩනගනවා. ඒ සඳහා මට ඉවහල් වුණේ ඔහු කියපු කතා ඔහුගේ වාග් විලාශය ඔහු ළඟින් ඇසුරු කළ අය කියපු දේවල්.
ඒ වගේම මට ඔහු ගැන යම් යම් දේවල් කියවන්න ලැබුණා. ඒ අතර ඔහු පිළිබඳව සමකාලීනයන් ලියූ ලිපි ලේඛන, හඬපට, වීඩියෝ අහල දැකල ඔහු පිළිබඳවත් ඔහුගේ ඇතුළාන්තය පිළිබඳව ඇති කරගත් තක්සේරුව නිසා තමයි මේ සාර්ථකත්වය ලැබුණේ.
මේ රංගන කාර්ය සාර්ථකව නිමා කරගන්න අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන් මොන විදියේ දායකත්වයක්ද දැක්වූයේ.
වෙන වෙනම කතා කළොත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරිය සහෝදර නළුනිළියන්, මේකප් ආටිස්ලගෙ ඉඳල ටීමේකර් දක්වා හැමෝගෙම දායකත්වය මේ සඳහා ලැබුණා. සාර්ථක නළුවෙක් වෙන්න නම් මේ හැමෝම කියන දේවල් වැදගත්. මේ චිත්‍රපටයේ කිසියම් හෝ සාර්ථක භාවයක් තියෙනව නම් ඒ ගෞරවය මේ හැමෝටම හිමිවෙනවා. මොකද මේක සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්.
රසික කොටුදුරගේ
සිළුමිණ