දශක තුනකට වැඩි කාලයක් මෙරට ගිල ගෙන තිබූ දරුණු ත්‍රස්තවාදය නැවත සිහිගන්වන භීෂණයක් නැවතත් හිස ඔසවලා. ඒ, මුස්ලිම් සමාජය තුළ සිටින අන්තවාදී පිරිසක් කතෝලික ආගම අදහන පිරිසක් ඉලක්ක කර පාස්කු ඉරිදාවේ සිදු කළ මනුෂ්‍ය ඝාතන නිසා. අප අදහන සියලුම ආගමික ශාස්තෘවරුන් දේශනා කළේ මනුෂ්‍ය සංහතියටම යහපතක් සිදුවන දේශනාවන් හා මගපෙන්වීම් වුවත්, අද වන විට එවැනි දේශනාවන් විකෘති කරමින් ක්‍රියාවට නංවන පිරිසක්ද අප අතර ඉන්නවා. එවැනි අන්තවාදී ජන සමූහයක් විසින් පසුගිය දා මෙරට සිදුකරන ලද බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් අහිංසක මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා. තවත් විශාල ප්‍රමාණයක් රෝගී තත්වයට පත්වුණා. සුළුතරයකගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් අතීතයේ සිට සිංහල, මුස්ලිම් ජනතාව අතර තිබුණු සබඳතාවන් ඉරි තැළුණා. එහෙත් ඒ මිතුදම ඉදිරියටත් නොනැසී පවත්වාගෙන යන්නට වැර දරන මිනිසුන්ද අප අතර නැතුවාම නොවෙයි. සිංහල ගීත ක්ෂේත්රය වෙනුවෙන් වසර විසි පහකට අධික කාලයක් තිස්සේ සාහිත්‍යමය මෙහෙවරක යෙදෙන මුස්ලිම් ජාතිකයකු වන නිලාර් එන්. කාසිම් සමග මේ සංවාදය වෙන් වන්නේත් එනිසාවෙන්.
ඔබ මුස්ලිම් ජාතිකයකු වුවත් වැඩි වශයෙන් ලියා තිබෙන්නේ සිංහල ගීත..
ඔව්. මම ගීත රචනයට පිවිස වසර විසි පහකට අධිකයි. දැනට සිංහල ගීත 600කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. එම ගීත අතුරින් චිත්‍රපට පසුබිම් ගීතත් තිබෙනවා. දෙමළ ගීත ලියා තිබෙන්නේ සුළු ප්‍රමාණයයි.
ඔබ අධ්‍යාපනය ලැබුවෙ සිංහල භාෂාවෙන්..
මම පාසල් ගියේ මාතර රාහුල විදුහලට. කලා විෂයයන්වලින් උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්වනවා උපාධිය හැදෑරීමට. සිංහල ගෞරව උපාධියක් ලබාගෙන තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේ. සිංහල ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනය නිමකළ දා සිටම පිටපත් රචකයකු, හඬකැවීම් ශිල්පියකු, නිවේදකයකු, ගීත රචකයකු ලෙස නිර්මාණකරණයෙහි යෙදුණා. පුවත්පත් කලාවේදියකු ලෙසත් දිගුකලක් කටයුතු කළා. අද වන විට නිවේදකයකු, මාධ්‍යවේදියකු, වැඩසටහන් අධ්යක්ෂවරයකු වැනි භූමිකා කිහිපයක නිරතවෙනවා.
ඔබ මිතුරන් ලෙස වැඩිපුර ඇසුරු කරන්නේ...
සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනේම එක ලෙස මිතුරන් සිටිනවා. ඇත්තෙන්ම සිංහල මිතුරන් තමයි වැඩි.
මෙරට ඇතිවූ සිදුවීම ගැන මොකද හිතන්නේ..
රටටම සිදුවුණු අවාසනාවන්ත තත්ත්වයක්. මේ සිදුවීම නිසා තවමත් සිවිල් ජනතාව සිටින්නෙ තැති ගැන්මෙන්. මෙවැනි සිදුවීමක් කිසිවකු බලාපොරොත්තු වුණේ නෑ. මෙය අනපේක්ෂිත තත්වයක්. එම සිදුවීම පිළිකුලෙන් හෙළා දකිනවා.
එම බිහිසුණු ක්‍රියාව සිදුකළේ ඔබේ ජාතියේ කොටසක්..
මේ සිදුවීම සිදුකළ අන්තවාදී කණ්ඩායම මුස්ලිම් සමාජය තුළ සිටින්නන් වීම ගැන මම ලජ්ජාවට පත් වනවා. ඔය කල්ලිය සුළුතරයක්. සමස්ත මුස්ලිම් ප්‍රජාව නොවෙයි. ඉස්ලාම් ආගම අදහන බහුතර මුස්ලිම් ජනතාව මේ ප්‍රහාරය හෙළා දකිනවා. එම අන්තවාදීන් අපේ ජාතියේවත්, ආගමේවත් පිරිසක් වෙන්න බැහැ. ඉස්ලාම් දහම තුළ තිබෙන්නේ අහිංසාවාදී දර්ශනයක්. ඉස්ලාම් යන වචනයේ අර්ථයත් සාමය යන්නයි.
කිතුනු භක්තිකයන් ගැන මුස්ලිම් ජනතාව දරන මතය කුමනාකාරද?
ඉස්ලාම් සහ කිතුනු ආගම් අතර තියෙන්නේ ලොකු නෑකමක්. ශුද්ධවූ බයිබලයේ පැරැණි ගිවිසුම සහ ශුද්ධවූ අල් කුරානය අතර තියෙන්නේත් ලොකු සමානකමක්. පාස්කු ඉරිදා සාහසික ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමි වූ, රෝගී තත්වයට පත්වූ කිතුනු බැතිමතුන් ඇතුළු සියල්ලන් පිළිබඳව මුස්ලිම් ජනතාව අතිශය කනගාටුවෙන් පසුවෙනවා. ඔවුන් අදටත් එම සිදුවීම ගැන කම්පාවට පත්ව සිටිනවා. මේ අන්තවාදීන්ගේ ක්‍රියා කලාපය නිසා අපේ ජාතිය ලජ්ජාවට පත්වුණා. අගරදගුරුතුමා කීවා මුස්ලිම් ජනතාවට චෝදනා කරන්න එපා මෙය අන්තර්ජාතික අදිසි හස්තයකින් ක්‍රියාත්මක වූවක් කියා. උන්වහන්සේගේ ප්‍රකාශය බොහොම නිවැරැදියි. මෙරට දශක තුනක් පැවැති යුද්ධය අවසන් වී දශකයක් වත් ගතවන්නට පෙර නැවතත් මෙවැනි ත්රස්තවාදයක් මතුවීම හරිම අවාසනාවන්ත තත්වයක්. එම සිදුවීමෙන් අපේ රට නැවතත් දශකයක් පසුපසට ගියා.
මේ සියලු සිදුවීම් වලට බලපෑවේ ආගම යැයි බොහෝ දෙනකු චෝදනා කරනවා..
ආගම යනු ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ පෞද්ගලික කාරණාවක්. එය බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් යන සියලුම ආගම්වලට පොදු ලක්ෂණයක්. නමුත් ජාතියක් විදිහට අපි ශ්‍රී ලාංකිකයන්. මේ සිදුවීමෙන් පසු ක්‍රියාකළ ආකාරය නිසා කතෝලික භක්තිකයන් කෙරෙහි ජනතාව තුළ තිබු පැහැදීම වැඩිවුණා. විශේෂයෙන් අගරදගුරුතුමා පිළිබඳව. එතුමා මෙවැනි බිහිසුණු අවස්ථාවක් සාමකාමීව පාලනය කළා. එතුමාට මුස්ලිම් ජනතාවගේ ගෞරවය පුද කරනවා. මීට වසර කිහිපයකට උඩදී අලුත්ගම බේරුවල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අවස්ථාවේදීත් මුස්ලිම් ජනතාව කලබල වුණේ නෑ. ඔවුන් තත්ත්වය පාලනය කළේත් සංසුන්ව.
ආගමික අන්තවාදීන් කුමන අපේක්ෂාවෙන් මෙවැනි දේවල් කරනවායැයි ද ඔබ සිතන්නේ...
ඒක තමයි අපටත් හිතාගන්න බැරි. මේක අන්තර්ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් වෙන්න පුළුවන්. මේ රටේ සුළුතර අන්තවාදි කල්ලියක් එහි බළල් අත් විදිහට භාවිත වෙන්නත් ඇති. කොහොම හරි සමස්ත මුස්ලිම් ප්‍රජාවම මේ තත්ත්වය හමුවේ අපහසුවට පත්වුණා.
ෂරියා අධ්‍යාපනය ගැන මොකද හිතන්නෙ..
ඉස්ලාම් ආගම ගැන වගේම ඉස්ලාම් අධ්‍යාපනය ගැනත් බොහෝ දෙනෙක් හරිහැටි තේරුම් ගෙන නෑ කියන එකයි මගේ මතය. ෂරියා කියන වචනයේ අරුත ‘මුස්ලිම් නීතිය‘ කියන එකයි. ඒ වගේම ‘හලාල්‘ කියන වචනයේ අර්ථය ‘නීත්‍යානුකූලව අනුමත කරන ලද ‘යන්නයි. ඉස්ලාම් හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන තියෙන්නේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ. ඒකෙන් පරිබාහිරව උසස් අධ්‍යාපන ආයතන තියෙන්න බැහැ. වෙනත් ආගමික අධ්‍යාපන ආයතන තිබෙනවා නම් ඒවා නියාමනය කිරීම රජය සතු වගකීමක්.
ඔබේ ආගමේ හැටියට සියදිවි හානිකර ගැනීම පවක් නෙමෙයිද?
ඉස්ලාම් ආගමේ සියදිවි හානි කරගැනීම අපාගතවන පාපයක්. අපේ ආගමෙන් මෙවැනි මිනිසුන්ට කිසිම සමාවක් හෝ පවු කමා කිරීමක් සිදුවන්නෙ නෑ. මෙවැනි ත්රස්තවාදීන්ට ජාතියක් හෝ ආගමක් තිබිය නොහැකියි. මොන නමින්, මොන අරමුණින් සිදුකළත් ත්‍රස්තවාදය කුරිරුයි. ම්ලේච්ඡයි. තිරශ්චීනයි.
සිංහල සමාජයේ ගැවසීමේදි මුස්ලිම්වරුන්ට ලැබෙන පිළිගැනීමෙහි අඩුවක් දකිනවද?
ලංකාවට වෙළෙඳ කටයුතු සඳහා ආපු මුස්ලිම් සංක්‍රමණිකයන් අතර හිටියේ පිරිමි විතරයි. ඔවුන් එවකට සිංහල රජවරුන්ගේ ආශිර්වාදය මත සිංහල කාන්තාවන් ආවාහ විවාහ කරගත්තා. ඒ අයගෙන් තමයි ස්වදේශික මුස්ලිම්වරුන් පැවත එන්නේ. මෙරට මුස්ලිම්වරු පිය පාර්ශවයෙන් මැදපෙරදිග රටවලට සම්බන්ධයි වගේම මවු පාර්ශවයෙන් සිංහල. ඒ නිසාවෙන් ශ්‍රී ලාංකික සංස්කෘතිය අපේ සංස්කෘතිය වෙලා. ලෝක මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියට වඩා ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය බැඳී පවතින්නේ සිංහල ජනතාව සමග.
කලාකරුවකු ලෙස ඔබ මේ සිදුවීමට විසඳුමක් ලෙස මොනවගේ මතයක්ද දරන්නේ..
මට කියන්න තිබෙන්නේ ඉතිහාසය පුරා අපි වැරැදි තීරණ අරන් තිබෙනවා. එම වැරැදි තීරණ හේතුවෙන් අප්‍රමාණ කරදරවලට මුහුණ දුන්නා. මෙවැනි අවස්ථාවල ආවේගශීලි වෙලා, හැඟුම්බරවෙලා මේ ප්රශ්නය විසඳන්න බැහැ. විශේෂයෙන් අන්තර් ජාතික ත්රස්තවාදයට අපේ රටට රිංගන්න තියෙන ඉඩකඩ විවෘතවන්නේ දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරිත්වය මත. සමස්ත ලෝකයාටම අපේ රට කෙළිමඬලක් කරගන්න ඉඩ නොදී මෙරට ඇතිවූ ගැටලුවට මෙරට තුළම විසඳුම් ලබාදීමට දේශපාලකයන් කටයුතු කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් , මැලේ යන හැම කොටසක්ම හවුල් කරගත්තු බුද්ධිමය සංවාද මණ්ඩපයකට ප්‍රවේශ විය යුතුයි. එක ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා සමස්ත මුස්ලිම් ජනතාවගේම ආරක්ෂාව, අභිමානය සහ විශ්වසනීයත්වය අහිමිවෙලා. ඔවුන් කතෝලික ජනතාව ගැන කම්පාවෙන අතරම තමුන්ගේ ජාතියේම කොටසක් කළ මේ ක්‍රියාව නිසා අසරණ තත්වයට පත්වෙලා. ඉරිතැළී ගිය ශ්‍රී ලාංකේය ජන සමාජය යළි සුවපත් කිරීමට අපි හැමෝටම විශාල වගකීමක් තිබෙනවා. ඒක දුරදැක්මක් ඇති බුද්ධිමය ක්‍රියාවලියක්.
නයනා වෑත්තෑව
සිළුමිණ