ඔහුගෙ රැකියාව අලෙවිකරණයයි. නමුත් ඔහුගෙ හැකියාව රැකියාව මත නැවතී නොමැත. එනිසාම එය සාහිත්‍යකරණයට ද යොමුව ඇත. නමින් ඔහු අජන්ත සෙනෙවිරත්නය. ඔහුගේ රැකියාව ශ්‍රීලංකා ටෙලිකොම් හි ප්‍රධාන අලෙවි කළමනාකරුය.
එකී වෘත්තියත් සමඟ සාහිත්‍යකරණයේ යෙදීම යන්න ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මන්ද ඔහු කටයුතු කරන්නෙ තරගකාරී ක්ෂේත්රයක ඉහළම තනතුරක නිසාය. එවන් පසුබිමක හිඳගෙනත් ඔහු මේ වන විට සාහිත්‍ය කෘති හතක්ම ප්‍රකාශයට පත්කර අවසානයි. මේ වන විට අටවෙනි කෘතියත් එළිදක්වන්නට සියලූ කටයුතු සූදානම් කර ඇත. ඉදින් මේ කෙටි පිළිසඳර ඒ ගැනය.
ඔබ කටයුතු කරන්නේ ඉතාමත් තරගකාරී ක්ෂේත්රයක. එවන් පසුබිමක දි ඔබ කලා කටයුතුවලට වෙලාව වෙන්කර ගත්තෙ කොහොමද?
බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට ඔය ප්රශ්නය මගෙන් අහනවා. ඒකට දෙන්න තියෙන්නෙ සරල උත්තරයක්. අපට වෙනත් දේකට වෙලාවක් නැතිවෙන්නෙ අප තුළ ඒ දේට දක්ෂතාවක් නැති වුණොත් විතරයි. දක්ෂතාව හොයාගන්න වෙහෙසෙන්න වෙනවා. යමෙකුට දක්ෂතාවක් තියෙනවා නම් ඒ දේ සම්පූර්ණ කරගන්න අපට වෙලාව කොහොම හරි හම්බ වෙනවා. ගෙදරදි හම්බ වෙන පැය දෙක තුන, සෙනසුරාදා, ඉරිදා, පෝය මේ හැමදේම එකතු වෙද්දි අමතර වැඩකටයුතුවල නිරත වෙන්න විශාල කාලයක් හම්බ වෙනවා. ඒ කාලය මට හොඳටම ඇති.
අලෙවිකරණය සහ සාහිත්‍යය කියන්නෙ එකට ගමන් කරන දෙයක්ද?
මේ සියලූම දේවල් අවසාන වශයෙන් ගත්තොත්, හදවත් එක්ක ක්‍රියාත්මක වන දේවල්. හැබැයි මං මෙතන දි සාහිත්‍යය අලෙවිකරණයත් එක්ක එකට යනවයි කියන්නෙත් නැහැ. යන්නෙ නැහැයි කියන්නෙත් නැහැ. අලෙවිකරණය කියන්නෙ මගෙ රැකියාව. සාහිත්‍යකරණය කියන එක රැකියාවක් නොවුණත් ඒ මගේ හැකියාව. මගේ රැකියාවයි, හැකියාවයි එකට කලවම් නොකර, මනුෂ්යයාගෙ හදවත්වලට කතා කිරීමේ හැකියාව ඒ දෙකෙන්ම මට වෙන වෙනම ලැබෙනවා.
ඔබේ මේ කෘතිය ගැන ටිකක් කතා කරමු. මොකක්ද මේ කෘතිය?
මේ කෘතිය මං නම් කරන්නෙ ‘අකාල ප්‍රේමය’ කියලා. මෙතන දි මං කතා කරන්නෙ ප්‍රථම ප්‍රේමය සම්බන්ධව. ප්‍රථම ප්‍රේමය කියන්නෙ අහම්බෙන් පටන් ගන්න දෙයක්. ඒ වගේම කාලයත් සමඟ ඉස්සරහට යන්නෙ නෑ. ඒකට හේතුව පුද්ගලයෙකුට ජීවිතයේ වගකීම් දැනෙන්න පටන් ගන්නෙ පස්සෙ. එහෙම වෙනකොට ප්‍රථම ප්‍රේමය මඟහැරෙන හැටි අපි අත්විඳලා තිබුණත් නවකතාවක් ඔස්සේ වෙනත් මානයකින් බලන්න තමයි මං උත්සාහ කළේ.
මේ ඔබගෙ කීවෙනි කෘතියද?
මේ මගේ හත්වෙනි නවකතාව. අටවෙනි කෘතියෙත් වැඩකටයුතු මේ වන විට අවසානයි. මං විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරනවත් එක්කම පුවත්පත්වලට ලිපි ලියන්නත් පටන් ගත්තා. හැබැයි රැකියාවත් එක්ක ගොඩක් වෙලාවට ඒක මඟ හැරෙනවා. ආසාව නැති වෙලා යනවා. කාලයක් ගියාම ආයෙමත් ආසාව ඇති වෙනවා. දැන් මගේ ආසාව උපරිමව ලේඛනයට යොමු වෙලා තියෙන කාලය.
නවකතාකරුවකු වශයෙන් ඔබ ලිවීමේ දි විශේෂිත වූ ක්රමෝපායන් භාවිතයට ගන්නා කෙනෙක්ද?
සාමාන්‍යයෙන් නවකතාවක දි මතුපිටින් පෙනෙන කතාව ගලාගෙන යනවට අමතරව යොදා ගන්නා චරිතවල ඇතුළට කිඳා බැහැලා එයාලගෙ මානසික තත්ත්ව ගැන විග්රහ කරන්න මං උත්සාහ ගන්නවා. ‘අකාල ප්‍රේම’ තුළින් ද මං ඒ උත්සාහය කළා. එමඟින් පාඨකයාටත් සරලව කතාව දිහා බලන්නෙ නැතිව ඒ චරිතවල ජීවත් වීමට වගේම ඒ මානසිකත්වය තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා.
(සත්හඬ)