ප්‍රවීණ ගේය පද රචක ධර්මරත්න පෙරේරා නිර්මාණකරණයට පිවිස තිස් හත් වසරක් පිරිම නිමිත්තෙන් “පුංචි කාමරේ ගී හැන්දෑව” නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඊට සමගාමිව “ලිහිණින් රෑන ගේය කාව්‍ය වර්ණනා” නමින් විචාරක ග්රන්ථයක් සහ සී.ඩි. පටයක් එළිදැක්වීම ද මාර්තු 23 වැනිදා සවස 4 ට පදනම් ආයතනයේදි සිදු කෙරෙනු ඇත.
එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ විශාරද එඩ්වඩ් ජයකොඩි සහභාගී වීමට නියමිතය.
ධර්මරත්න පෙරේරා “පුංචි කාමරේ ගී හැන්දෑව” පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වූයේය,
“මම එදා මෙදා තුර ගීත හාරසියයක් පමණ රචනාකර තිබෙනවා. ඒ අතරින් නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, කම්මලේ පියස , ලිහිණින් රෑන පියාසලන්නේ, වෙස්සන්තර බිසෝ, අප හමුවීම වෙන්වීම, බිත්ති පත්තරේ, පමා වැඩී ආදී ගීත රසිකයන් වඩාත් හදබැඳගත් නිර්මාණ. ටී.එම් ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, මල්කාන්ති නන්දසිරි, සමිතා මුදුන්කොටුව, කීර්ති පැස්කුවෙල්, ප්‍රියා සූරියසේන, නාමල් උඩුගම, ලක්ෂ්මන් හේවාවිතාරණ යන ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් එදින මා පද රචනය කළ ගීත ගායනා කරනවා. ලිහිණින් රෑන ගේය කාව්‍යය වර්ණනා පොතෙහි ඇතුළත් වන්නේ මගේ නිර්මාණ දිවිය පිළිබඳව පුවත්පත් කලාවේදීන් සහ ගීත රචකයන් විසින් ලියනලද විචාර. මේ පොත සංස්කරණය කළේ මේදාවිණි පෙරේරා සහ තාරකා අතාවුදහෙට්ටි. සරසවි ප්රකාශනයක් ලෙසින් දොරට වඩිනවා. එදිනම නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ නමින් ජනප්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක්ද එළිදක්වනවා.”