ස්වර්ණසිංහ සම්මානය පිළිබඳ අපට ඇසෙන්නේ හැත්තෑ වසරක් සපිරුණු අපගේ සිනමා ක්ෂේත්රයෙනි. රිදී තිරයෙනි. ස්වර්ණසිංහ සම්මාන පිරිනැමෙන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්රයෙහි විශිෂ්ටයන් තෝරාගෙන ඔවුනට රාජ්‍ය මට්ටමින්, ගරු බුහුමන් පිදෙන ජනාධිපති සිනමා සම්මාන උළෙලෙහි දී ය. ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙරට සිනමා සම්මාන උළෙල අතර, උසස්ම සම්මාන උළෙල බවට පත්වන්නේ 1979 වර්ෂයේ සිටයි. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එහි හිමිකරුවායි. 1971 අංක 47 පනත යටතේ 1972 දී මෙරට සිනමාව රාජ්‍ය පාලනය යටතට පත්වන්නේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීමත් සමඟයි.
1970 දී බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වූ මැතිවරණ සටනට එක් වූ සිනමා නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීමකට කන්දෙමින්, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව එතෙක් පෞද්ගලික සමාගම් කිහිපයක් අත වූ මෙරට සිනමා කර්මාන්තය රජය සතු කළ බව මතකය.
එදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව අද ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව ලෙසින් ප්රකටය.
එදා මෙදාතුර, බලයට පත් වූ විවිධ ආණ්ඩු යටතේ, ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්ය භාරය ද මෙරට සිනමා කලාව හා කර්මාන්තය ද අනේකවිධ හැලහැප්පීම්, බාධක, නැඟිටීම්, වැටීම් හමුවේ, නොසැලී, නොවැටී පැවතීම සිනමා ලෝලීන්ගේ සතුටට හේතු වේ. ජාතික චිත්‍රපට සංස්ථා ඉතිහාසයේ අමරණීය සලකුණක් වන්නේ, 1977 බලයට පත් වූ රජය යටතේ සංස්ථාවේ සභාපති වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, 1979 දී අරඹන ලද ජනාධිපති සිනමා සම්මාන ප්රදානෝත්සවයයි. එය සැබැවින්ම, අපගේ සිනමාවේ විශිෂ්ටයන් අගයමින් සෘජුවම රජය විසින් ගරු බුහුමන් දැක්වීමට ඇරඹූ ප්‍රථම සම්මාන උළෙලයි. 1979 දී සම්මාන පිරිනැමුණේ 1978 තිරගත වූ චිත්‍රපට හා සම්බන්ධිත කලාකරුවන් සඳහා පමණක් වූවත්, 1980 දී සංස්ථාව අනුස්මරණ උපහාර තිළිණ ප්‍රදානයක් හඳුන්වා දෙයි.
ජනාධිපති සිනමා සම්මාන උළෙල, ප්‍රථම වරට ස්වර්ණසිංහ නමින්, සිනමාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ කලාකරුවකු තෝරා ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය පිරිනැමීම අරඹන්නේ 1982, ජනාධිපති සිනමා සම්මාන උළෙලෙහිදීය. එදා පළමු ස්වර්ණ සිංහ සම්මානයෙන් බුහුමන් ලැබූ අපගේ සිනමාවේ යුග පුරුෂයා සේ සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මුහුණ අදත් අපට දකින්නට වාසනාව ලැබීම, ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාව සතු අසිරිමත් සිදුවීමකැයි සිතමි.
පසුගිය සති අන්තයේ මාර්තු 31 සිකුරාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, සරදාකාශයේ දකින්නට ලැබෙන තාරකාවලියක් සේ, රිදී තිරයේ තාරකාවලින් පිරීතිරී ගියේ වසර අටක නිහැඬියාවකින් පසු පවත්වන ලද ජනාධිපති සිනමා සම්මාන උළෙල නම් අසිරිමත් කලා මංගල්ලය හේතුකොට ගෙනය. 1979 සිට 2007 දක්වා දීර්ඝ කාලය තුළ, ජනාධිපති සිනමා සම්මාන පිළිබඳ අසන්නට නොලැබුණු වාර බොහෝය. 1988 – 1993 කාල පරිච්ඡේදයෙහි ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්වී නොමැත. දිගු නිහැඬියාවට මුල පිරෙන්නේ, 2007 දී අවසන්වරට පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලින් පසුවය.
එහෙත්, දැන් ගෙවුණු අතීතය පිළිබඳ අමතක කොට ඇරැඹුණු නව යුගය, යළිදු කඩා බිඳවැටීම්, අතුරු ආබාධවලින් තොරව පවත්වාගෙන යාමේ විශාල වගකීම, ජාතික චිත්‍රපට සංස්ථාවටත්, එය පාලනය වන ජනමාධ්‍ය අමාත්‍යාංශයටත්, රජයටත් පැවරී ඇති බව, සිහිපත් කළ යුතුය.
වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන ආ යුතු සම්මාන උළෙලක් නොපැවැත්වෙනවාය යන්නෙහි අරුත වන්නේ, සිනමාව වේවා අන් කවර කලා ක්ෂේත්රයක වූව, දස්කම්පානා විශිෂ්ටයන්ගේ කුසලතාවනට ලැබෙන නිසි ඇගැයීම ඔවුන්ගෙන් පැහැර ගැනීමකි.
ඔවුනගේ හැකියාවන්ට කරනු ලබන අසාධාරණයකි. වසර අටක නිහැඬියාව තුළ තිරගත වූ චිත්‍රපට සංඛ්‍යාව අනිවාර්යයෙන්ම සියය ඉක්මවන්නක් වේ. ඉදින් එකී වසර අටෙහි හොඳම චිත්‍රපට, හොඳම නළු නිළියන්, නැඟී එන නළු නිළියන් කවරහුදැයි අපි නොදනිමු. රාජ්‍ය මට්ටමින් නොවන උළෙල කිහිපයකදීම ඔවුන් ඇගැයුමට ලක්වූවද ඒ කුමන සම්මානයක් හෝ ජනාධිපති සිනමා සම්මානයක් තරම් වටිනාකමක්, අගයක් ඇත්තේ යයි විශ්වාස නොකෙරේ. අට අවුරුදු නිහඬතා යුගයේදී ස්වර්ණසිංහ සම්මානයෙන් හෝ පුරෝගාමී බුහුමනින් පුදනු ලැබීමට සුදුස්සන් කොතෙක් සැඟවී යන්නට ඇද්ද? එහෙත් අද අපි යළිත් ස්වර්ණසිංහ උත්තමාචාරය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඔවුන් කවුරුන්දැයි හඳුනාගනිමු.
සිනමාවේ දැවැන්ත යුග පුරුෂයන්, යුග ස්ත්‍රීන් හය දෙනෙකු මෙවර ස්වර්ණ සිංහ තරු බුහුමනින්, පුද ලද බව, දැන් අපි දනිමු. ඔවුන් හයදෙනාට පෙර, 1982 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් ඇරැඹුණු ස්වර්ණසිංහ සම්මානලාභි නාමාවලියේ, සඳහන් බොහෝ කලාකරුවන් අද අප අතර නොවේ.
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා 1984, ගාමිණි ෆොන්සේකා 1986, ජෝ. අබේවික්‍රම 1987, හියුගෝ ප්‍රනාන්දු, දෙනවක හාමිනේ 1994, හෙන්රි ජයසේන, 2000, ටයිටස් තොටවත්ත, විලී බ්ලේක් 2001, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ටෝනි රණසිංහ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 2005, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය පණ්ඩිත් අමරදේව 2007 චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්, රඟපෑමෙන්, සංගීත නිර්මාණයෙන්, කැමරාකරණයෙන්, සංස්කරණයෙන් ආදී අංශ තුළ විශිෂ්ටයන් වී ස්වර්ණසිංහ සම්මානයට හිමිකම් පා, රිදී තිරයෙන් මැකී ගියද ජනහදවත්හි සදා රැඳෙන්නෝ වෙත්. එහෙත් ස්වර්ණසිංහ සම්මානය අතැතිව, අද ද අපට හමුවන, අප දකින අපගේ ආදරණීයයන් රැසක් සිටිති. ඔවුහු ද, අධ්‍යක්ෂණයෙන්, රූපණයෙන්, ගායනයෙන්, සංස්කරණයෙන් හෙළ සිනමාව බැබල වූ චරිතයි. මෙතෙර නොව එතෙර ද සම්භාවනාවට පාත්‍ර වූවන්ය. ආචාර්ය ධර්මසේන පතිරාජ, පුණ්‍යා හීන්දෙනිය 1997 – 1998, සුමිත්‍රා පීරිස් 2000, අයිරාංගනී සේරසිංහ 2005, මාලිනී ෆොන්සේකා.
කලාසූරී ලතා වල්පොල හා රෝයි ද සිල්වා, 2007 ජීවමාන ස්වර්ණසිංහලාභීහු වෙති. මේ විශිෂ්ටයන් සියල්ලන්ම, ඔවුන්ගේ ජීවිතයේ හැත්තෑ වන දශකයට පැමිණ සිටින පිරිසක් වුවද ඔවුන්ගේ නිර්මාණ ක්‍රියාකාරකම් අතර මඟක රැඳී නොමැති බව අපි දනිමු. ආචාර්ය ධර්මසේන පතිරාජ, අදත් අධ්යක්ෂණයේය. සක්කාරං, ස්වරූප ඔහුගේ මෑත කාලීන නිර්මාණයි. මාලිනී ෆොන්සේකා අදත් රිදී තිරය බබලවන්නීය.
සරිගම ඊට නිදසුනකි. සිනමා ගීතයේ කෝකිලාව, ලතා වල්පොල වේදිකාව මත සජීවීව ගී ගයනු අප අසා සිටින්නේ, අපගේ ඇසෙහි රැඳෙන කඳුළක් ද සමඟය. පුණ්‍යා හීන්දෙනිය, අයිරාංගනී සේරසිංහ, සුමිත්‍රා පීරිස් යන කාන්තාවන්ගෙන් අයෙක් විප්රවාසයේය. (පුණ්‍යා) එහෙත් ඈ දිවයිනට පැමිණෙන මොහොතක, තම සහෝදර කලාකරුවන් හා එක්ව ඔවුනට බුහුමන් පුදන්නටද එක්වන්නීය. සුමිත්‍රා පීරිස්ගේ අලුත්ම චිත්‍රපටය තිරගත වන තෙක් (වෛෂ්ණා වී) අපි බලා සිටින්නෙමු.
අයිරාංගනී සේරසිංහගේ විශිෂ්ට රංගන ප්‍රතිභාව, තවමත් අපට ළංවන්නේ ‘සිනමාවෙන් මෙන්ම පුංචි තිරයෙන් ද වීම විශේෂත්වයකි. 1956 රේඛාව රිදී තිරයට ගෙන ආ ආචාර්ය ලෙස්ටර් සමඟ ස්වර්ණසිංහ සම්මානලාභී අයිරාංගනී ද දකින්නට ලැබීම, අප සියල්ලන්ගේ වාසනාවක් නොවේද? ස්වර්ණසිංහ බුහුමන්ලාභී රෝයි ද සිල්වා ගේ ගරු රඟපෑමක් වුව අදත් අප සිතට සොම්නසක් ගෙනේ. නිසි කල, නිසි මොහොතේ, ඔවුනට ස්වර්ණ සිංහ බුහුමන හිමි වීම, ඔවුනගේ නිර්මාණ ජීවිතයේ ඔවුන් ලද ජයක් සේම ඔවුනගේ නිර්මාණ කාර්යයනට උත්තේජනයක් ද වූ බව ඔවුන්ගේ අඛණ්ඩ නිර්මාණශීලිත්වය පසක් කොට දේ.
ස්වර්ණ සිංහ සම්මානයෙන් පුදනු ලැබූ ඇතැමෙකුට, එනම් මීට පෙර වුවද පුදනු ලැබීමට සුදුසුකම් වූ නිර්මාණකරුවන් ද ඇතුළු පිරිසගේ මුහුණු දුටුවෙමි.
වසන්ත ඔබේසේකර, නන්දා මාලිනී වැනි නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියකට ස්වර්ණසිංහ සම්මානය පිරිනැමීම පමාවූයේ කෙසේද යන්නට පිළිතුරු සෙවීමට වඩා මේ මොහොතේ හෝ ඔවුන් නිසි ඇගැයුමට පාත්රවීම පිළිබඳ රසික කෘතඥතාව ජාතික චිත්‍රපට සංස්ථාවට හිමි කොට දිය යුතුය. ඔවුනට අමතරව ස්වර්ණසිංහ සම්මානයෙන් බුහුමන් ලැබූ ධර්මසිරි බණ්ඩාරනායක, ඩොනල්ඩ් කරුණාරත්න, අනෝජා වීරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි ආදීන් තමන්ගේ කාර්යභාරය, වගකීම සපුරාලූවෝ වෙත්. චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් කැමරාකරණයෙන් හා රංගනයෙන් ඔවුන් පසුගිය දශක කිහිපය පුරා පෑ දායකත්වය පෙළහරක් බඳුය.
චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා වසන්ත ඔබේසේකර නම් වූ විශිෂ්ටයාගේ මුල්කාලීන නිර්මාණ සේම අවසන් නිර්මාණය ද එක සේ අප සිත් පැහැරගනී. වරෙක වම් ඉවුරේ සිනමාකරුවා ලෙස හැඳින්වූ ඔහුගේ වල්මත් වූවෝ, පළඟැටියෝ වැනි මුල්කාලීන චිත්‍රපට, වසන්තගේ දෘෂ්ටිය පිළිබඳ මනා නිදසුන්ය. දඩයම, කැඩපතක ඡායා, මෙන්ම ආගන්තුකයා ද වසන්ත ඔබේසේකර නම් වූ අධ්යක්ෂවරයාගේ අනන්‍ය සලකුණුයි. ඔහුගේ පරම්පරාව ඉදිරියට රැගෙන යමින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා ප්‍රතිභාන්විත නිර්මාණශිලීත්වය ප්‍රකට කරනු ලැබ සිටින ධර්මසිරි බණ්ඩාරනායක නිසි මොහොතෙහි ස්වර්ණසිංහ සම්මානයෙන් පුදනු ලැබී යයි හැඟේ. හංස විලක්, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම, තුන්වන යාමය වැනි සිනමා නිර්මාණ, තරුණ අධ්යක්ෂවරයකු ලෙස සිනමාවේ හපන්කම් පෑ බණ්ඩාරනායක පරිපාකයට පත්වෙමින් සම්පූර්ණ කළ නිර්මාණ සේ සැලකේ. නන්දා මාලිනී, සිංහල සිනමාවේ ගායිකාවක ලෙස අත්පොත් තබන්නී, පාසල් යමින් සිටි, දැරියක ලෙසින් රන්මුතුදූව චිත්රපටයෙහි, ගලන ගඟකි ජීවිතේ ගායනයෙනි
සිනමා ගීත ගායනයෙහි ලා ඇගේ ප්රදානය කැපී පෙනෙන ගීතාවලිය ඉතා දිගුය. සඳ හාවුන් සඳේ, අම්මාවරුනේ, රන් කෙන්දෙන් බැඳි, යොවුන් වසන්තයේ, සිරිබෝ අයියා හි ගායනා, දෙනෝදාහක් දෙනා අතරේ, සරා සොඳුරු මල් පැටලී වැනි ගීත ඉන් බිඳක් පමණි.
හොඳ චිත්‍රපට ගීත ගායනය යනු ගීතයත්, රූප රාමුවත් මතකයට නංවන, සවනට හා හදවතට සමීප කලා නිර්මාණයක් බව අපට කියාදෙන්නී නන්දායි. අනෝජා හා ස්වර්ණා යනු සිංහල සිනමාවේ පූර්ව වාසනාවකට පහළ වූ නිළියන් දෙදෙනකු නොවේදැයි අපට දැනෙන්නේ, ඔවුන් දෙදෙනාම ස්වර්ණසිංහ සම්මානයෙන් පුදනු ලැබීම නිසාම නොව ඔවුන් අප මතකයෙහි නිදන්ගත කොට ඇති විශිෂ්ට රංගන ප්‍රතිභාව මතකයට නිරතුරුවම එන බැවිනි. ස්වර්ණා, සත්සමුදුරෙහි, සුද්දිලාගේ කතාවෙහි හංස විලක්හි, දඩයමෙහි, සාගර ජලයෙහි හෝ කැඩපතක ඡායා හී පෑ රංගන ප්රාතිහාර්යය, ස්වරණසිංහ සම්මාන එකක් නොව කිහිපයකට වුව හිමිකම් කීමට ප්රමාණවත්ය.
අනෝජාගේ රංගනය අප මතකයට නංවන්නේ මල්දෙනියේ සිමියොන්, සිරිමැදුර, සුරබිදෙන සෙයිලම ප්රමුඛ කොටගත් චිත්‍රපට නාමාවලියකි. ඩොනල්ඩ් කරුණාරත්න යනු සිංහල සිනමාවේ නව පරපුරේ විශිෂ්ටතමයා ලෙස 70 දශකයේ සිනමාවේ පුරෝගාමියා වූ ධර්මසේන පතිරාජගේ අධ්යක්ෂණයට අනුප්‍රාණය සැපයූ සිනමා කැමරා අධ්යක්ෂවරයායි.
පතීගේ අහස් ගව්ව, බඹරු ඇවිත් සිට සක්කාරං දක්වා ද, වසන්ත ඔබේසේකරගේ දඩයමෙහි කැමරාකරණය ද, ඩොනල්ඩ් කරුණාරත්න ස්වර්ණ සිංහයකුට හිමිකම් පෑමට පසුබිම සැකසූ නිර්මාණ වේ. වසර අටකට පසු අප දුටු ස්වර්ණසිංහ බුහුමන්ලාභීන් සමඟ, ඔවුන්ගේ සිනහව, ආඩම්බරය සමඟ අපි ද එක්වෙමු.
බුද්ධදාස ගලප්පත්ති