lan englan tam

විශේෂාංග

විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයා – අර්නස්‌ට්‌ හෙමිංවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විශ්ව සාහිත්‍යයේ කීර්තියට පත් ලේඛකයකු වන අර්නස්‌ට්‌ හෙමිංවේ විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයන් අතරින් කෙනෙක්.

 

Yousuf Karsh Ernest Hemingway 1957 785x980අර්නස්ට් මිලර් හෙමිංවේ

ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහුගේ ජීවන චරිතය අසාමාන්‍ය වූ අතර ඒ පිළිබඳව තාමත් හෙළි නොවූ තොරතුරු තිබෙනවා. ඉතින් අද ලිපිය මඟින් ඔහුගේ ජීවන චරිතය පිළිබඳව පාඨකයා නොදත් කරුණු කිහිපයක් ගෙන එන්නට අපි තීරණය කළා.

 

පවුලේ එකම පිරිමි දරුවා

"නොනිමි අරගලයක්” ලෙස ජීවිතය අර්ථ දැක්වූ අර්නස්ට් මිලර් හෙමිංවේ උපදින්නේ 1899 වර්ෂයේ ජුලි 21 වැනිදා ඉලිනොයිස් ප‍්‍රාන්තයේ චිකාගෝ නගරය අසල ඕක් පාක් හිදීයි. හෙමිංවේගේ පියා වෛද්‍යවරයකු ලෙස සේවය කළ අතර මව සෞන්දර්ය කලා විෂයන්ට අදාළව සංගීත ගුරුවරියක් විය. කුඩා කාලයේදී තම මව, මෙහෙකාරිය හා සහෝදරියන් හතරදෙනා සමඟයි ඔහුගේ දිවිය ගෙවෙන්නේ.

 

Hemingway Toddlerමව විසින් කාන්තා ඇඳුම් අන්දවන ලද ළදරු හෙමිංවේ

 

කුඩා හෙමිංවේ සම්පුර්ණයෙන් කාන්තා අධිපත්‍යයට නතු වන අතර ඔහුගේ මව කුඩා හෙමිංවේට වසර කිහිපයක් යන තුරු අන්දවන්නේ ගැහැණු දරුවන්ගේ ඇඳුම්. හෙමිංවේ සමඟ පාසල් යැවීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියට වැඩිපුර වසරක් නිවසේ ගත කිරීමට පවා සිදු වෙන්නේ ඔහුගේ මව විසින් මේ දෙදෙනා නිවුන් දරුවන් ලෙස පාසල් ගත කරවූ බැවින්.

 

කතන්දර ගොතා කියූ කුඩා හෙමිංවේ

තම දෙමාපියන් සහ යාළු මිත‍්‍රයන් ඉදිරියේ කතන්දර ගොතා කියන්නට කුඩා කාලයේ පටන්ම ඔහුට අපූරු හැකියාවක් තිබුණා. පාසල් අධ්‍යාපනය සඳහා ඕක්‌පාර්ක්‌ නම් විදුහලට ඇතුළත් වූ හෙමිංවේ එම විදුහලේ ඉගෙන ගන්නා සමයේදී විදුහල මගින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය සඟරාවේ සංස්‌කාරකවරයා ලෙස කටයුතු කරනවා. එය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ මුල් පියවර විය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව හෙමිංවේ, කැන්සාස් සිටි ස්ටාර් (Kansas City Star) පුවත්පතට වාර්තාකරුවෙක් ලෙස එක් වී කටයුතු කරනවා.

 

සොල්දාදුවෙකු හා ලේඛකයෙකු ලෙස

 

තරුණ අර්නස්‌ට්‌ හෙමිංවේ 1918 පළමු ලෝක යුධ සමයේ

පසුව පළමු ලෝක යුද්ධය ඇති වූ බැවින් ඉතාලියේ සටන් පෙරමුණේ ගිලන්රථ රියදුරෙකු ලෙස හෙමිංවේ සේවය කරනවා. යුද්ධයේදී ප්‍රහාරයට ලක් වීම හේතුවෙන් වරෙක් ඔහුට රෝහල් ගත වී ප්‍රතිකාර ලැබීමට සිදු වෙනවා. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පුවත්පත් ලේඛකයෙකු ලෙසත් බොක්සිං ක්‍රීඩකයෙකු හා දඩයම්කරුවෙක් ලෙසත් වරින් වර කටයුතු කරනවා. නමුත් පසුව ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ පුවත්පත් ලේඛකයෙක් හා නවකතාකරුවෙක් ලෙසයි.

ඔහුගේ මුල්ම පොත්, වැඩි පිරිසකගේ අවධානයට යොමුවන්නේ නෑ. අලෙවිය අතින් ද ඒවා එතරම් සාර්ථක වන්නේ නෑ. ඔහුගේ පොත් අතරින් කාගේත් කතාබහට ලක්වූ ප‍්‍රථම නවකතාව වූයේ 1926 වසරේ එළි දැක්වුණු “ද සන් ඕල්සෝ රයිසස්” (The Sun also Rises) නම් කෘතියයි. එය ඇමරිකානු සාහිත්‍යයේ සුවිශේෂ වූ කෘතියක් හැටියට සැලකෙනවා. පසුව ඔහු “ටොරන්ට්‌ස්‌ ඔෆ් ස්‌ප්‍රිං” (The Torrents of Spring) යන ග්‍රන්ථය එළිදක්වනවා. 1927 දී “මෙන් විතවුට්‌ වුමන්”( Men Without Women) යන කෙටි කතාද ප්‍රකාශයට පත් කරනු ලබනවා.

 

The Sun Also Rises 1st ed. cover1926 වසරේ Scribner's  ප්‍රකාශයට පත් කළ අර්නස්‌ට්‌ හෙමිංවේ ගේ ප්‍රථම නවකතාව වන 'The sun also rises' හි ප්‍රථම සංස්කරණයක් 

 

හෙමිංවේගේ තවත් මුල් කාලීන කෘතියක් වුණු 1929දී ප්‍රකාශයට පත් වූ “ෆෙයාර් වෙල් ටු ආම්ස්” (A Farewell to Arms) කෘතිය ඇමරිකානු සාහිත්‍ය තුළ ප‍්‍රසාදයට පත්වූ අතර යුද්ධය හා සාමය පසුබිම් කරගෙන ලියැවී ඇති එයට ඉතාලි යුද්ධ පෙරමුණේදී ඔහු ලැබූ අත්දැකීම් පසුබිම් වී තිබෙනවා.

 

නොබෙල් ත්‍යාගය ලැබීම

වයස අවුරුදු 41 දී හෙමිංවේ පදිංචිය සඳහා කියුබාවට යන අතර හෙමිංවේ වසර 30ක කාලයක් පුරා කියුබාවේ ජීවත් වෙනවා. කියුබාවේදී සිය සුවිශේෂී නිර්මාණ ගණනාවක් රචනා කරන අතර හවානාවේ La Bodeguita හී මධුවිත තොලගාමින් ඔහු සිය සවස්වරුව ගතකළ බව සදහන්. කියුබානු ධීවරයන් ඔහුගේ හොඳ මිතුරන් බවට පත්වෙනවා. ඔහු ඔවුන් සමග ගැඹුරු මුහුදේ මසුන් මරන්නට පවා යනවා. එය පාදක කරගනිමින් ඔහු 1952දී “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” (The Old Man and The Sea) කෘතිය රචනා කරනවා. “මිනිසා විනාශ කළ හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය” යන ඔහුගේ අදහස මේ පොතෙන්ද ඔහු අපූරුවට විදහා දක්වනවා.

The Old Man and the Sea 1952 front cover first edition1954 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හෙමිංවේ විසින් හිමිකරගන්නේ “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” කෘතියටයි.

 

මෙම පොත වඩා ජනප්‍රිය වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන පුලිස්ටර් සම්මානයෙන් ඔහු පිදුම් ලබනවා. 1954 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හෙමිංවේ විසින් හිමිකරගන්නේ “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” කෘතියටයි.1952දී ග්‍රන්ථයක් ලෙස එලි දැක්වූ “ද ස්‌නෝස්‌ ඔෆ් ක්‌ලිමන්ජාරෝ ” (The Snows of Kilimanjaro) නමැති කෙටිකතා සංග්‍රහයටද ලැබුණු පාඨක ප්‍රතිචාර ඉහළ වූ අතර එම ග්‍රන්ථය ඉතා ඉක්මණින්ම අලෙවි වෙනවා.

ඔහුගේ විවාහ ජීවිතය සම්පූර්ණයෙන් අසාර්ථක එකක් වූ අතර මේ හේතුවෙන් පළමු බිරිඳගෙන් වෙන් වී දෙවන විවාහයක්ද අනතුරුව තෙවන හා සිව්වන විවාහ ද කරගනු ලබනවා. හතරවන විවාහය සාර්ථක වන්නේ ඇය ඉතාමත් ඉවසිලිවන්ත කාන්තාවක් වූ හේතුවෙන් බව හෙමිංවේ පසුව ප්‍රකාශ කරනවා.

 

ලිවීමේ හැකියාව අහිමි වීම හා දිවි නසා ගැනීම

 

Ernest Hemingway 1954 in Cubaඅර්නස්‌ට්‌ හෙමිංවේ 1954 වර්ෂයේ කියුබාවේදී

ජීවිතයේ සැඳෑ සමය කියුබාවේ තම ගොවිපොළේ තෘප්තිමත්ව ගත කළ හෙමිංවේට නොසිතන කරදරයකට මුහුණ දීමට සිදු වෙනවා. කියුබාව අතහැර යන ඔහුට පසු කාලයේදී පරම්පරාගත මානසික රෝගයකින් පිඩා විදින්නට සිදු වෙනවා. ඉන් පසු දිවියේ විවිධ වෙනස්කම් හේතුවෙන් රෝග ගණනාවකට ගොදුරු වී දැඩි මානසික අසහනයකට පත්වෙන ඔහුට තම ලිවීමේ හැකියාව පවා අහිමි වෙනවා.

අනතුරුව තමන්ගේ ආරක්ෂාව හා මුදල් පිළිබඳව දැඩි කණගාටුවෙන් පසු වූ හෙමිංවේ මානසික පීඩනයෙන් කල් ගෙවනවා. වරක් දිවි නසා ගැනීමට තැත් කළ ඔහුව මායෝ ක්ලිනික් (Mayo Clinic) නම් මානසික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු කර ප්‍රතිකාර ලබා දෙනවා. එහිදී ශරීරයට විදුලි සැර වද්දවා කරනු ලබන ප්‍රතිකාර ඔහුට සිදු කරන අතර නැවතත් සුව වීමෙන් පසු නිවසට පැමිණෙනවා. නමුත් 1961 වසරේ ජූලි 2 වනදා ඔහු දිවි නසා ගන්නේ තම ගිනි අවියෙන් තමා විසින්ම වෙඩි තබා ගැනීමෙන්.

මෙම මානසික රෝගී බව ඔහුගේ පියාටත් සහෝදරයෙකුට හා සහෝදරියකට ඇතුළු පරම්පරාවේ පස් දෙනෙකුට වැළඳී තිබුණු අතර ඔවුන් මිය යන්නෙත් සියදිවි හානිකරගෙනයි. මෙම මරණය ඔහු ගිනි අවිය පිසදමමින් සිටියදී ඇති වූ අනතුරක් හේතුවෙන් සිදු වූ බව ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කළත් ඉන් මාස කිහිපයකට පසුව එය සියදිවි හානි කරගැනීමක් බව ඇය විසින් පිළිගන්නවා.

 

 

 

 

kemadasa

Back to top
Go to bottom