ලොව හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දස දෙනා අතරින් එක් අයෙක් වූයේ බෙංගාල චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායි ය.
ඔහු අප අතරින් සමුගෙන මේ වන විට 33 වසරක් ගෙවී තිබේ. රායිගේ බිරිය බිජෝයා රායිය. ඇය නිළියක, වේශ නිරූපණ ශිල්පිනියක හා සහය අධ්‍යක්ෂිකාවක ලෙසින් කටයුතු කළ අතර රායිගේ සෑම චිත්‍රපටයකටම විවිධ අයුරින් සහය දැක්වූවාය. රායිගේ මරණින් කලකට පසු ඇය බෙංගාලයේ ජාතික පුවත්පතකට තම සැමියා පිළිබඳ අපූරු ලිපියක් ලිව්වාය. පහත පළවන්නේ බිජොයා රායි විසින් එම බෙංගාලි පුවත්පතට ලියූ ලිපියේ සිංහල පරිවර්තනයයි.
බිජෝයා රායි ද 2015 ජුනි මාසයේ දිවියට සමුදුන්නාය.
සත්‍යජිත් රායි හා බිජෝයා රායි ගේ ඡායාරූපයක්
ලිපියේ සිංහල පරිවර්තනය මෙතැන් සිට >>
ජීවිත කාලය පුරාවටම සමීපතයකු, පෙම්වතකු මෙන්ම අවසානයේ මගේ ජිවන සහකරුවා වූ ඔහුගේ වියෝවෙන් පසු මට හැඟුණේ මගේ දිවියද නිමාව දුටු බවකි. මා ඔහු ඇමතුවේ මණික් යන ආදරණීය නාමයෙනි. ළමා වියේ සිට මණික් හා මා හැදුණේ වැඩුණේ එකටය. ඒ ඔහු මගේ ඥාති සොහොයුරා වූ බැවිනි. ඔහු මගේ පියාගේ වැඩිමහළු සොහොයුරාගේ පුත්‍රයා විය.
මට ආඩම්බර විය හැකි ළමා වියක් තිබිණි. බැරිස්ටර්වරයකු වූ මගේ පියාට කිසිදු ආර්ථික අපහසුතාවක් නොවූයෙන් මාත් මගේ වැඩිමහලු සොහොයුරියන් තිදෙනාත් පැට්නාහි ගෙවුයේ ප්‍රීතිමත් හා සමෘද්ධිමත් දිවියකි. ළමා වියේදීම තම පියාගේ අභාවයෙන් තනි වූ මණික් හා ඔහුගේ මව කල්කටාවේ වාසය කළ මගේ බාප්පා සමග ජීවත් වුවෝය.
මම ඔහුට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වීමී. 1931දී මගේ පියා ද අකාලයේ මිය ගියේ අපද ආර්ථික අසීරුතා රැසකට හෙලමිනි එහෙයින් පසූ අපටද පැට්නාව අතහැර කල්කටාවේ සිටි අපේ බාප්පාගේ නිවෙසේ පදිංචියට යාමට සිදු විය.. තම සොහොයුරන් දෙදෙනාගේ වැන්දඹුවන් හා ඔවුන්ගේ දරුවන් බලා ගැනීම අපේ බාප්පාට ගැටලුවක් නොවීය. අවිවාහකයකු වූ ඔහු තම දරුවන් මෙන් අප සියලු දෙනා රැකබලා ගත්තේය.
මණික් හා මා සමීප මිතුරන් බවට පත් වූයේ නොදැනුවත්මය. අප දෙදෙනාම බටහිර සම්භාව්‍ය සංගීතය ප්‍රිය කළ අතර එය අපගේ මිතු දම වර්ධනය කිරීමට බලපෑ ප්‍රධානතම සාධකය විය.
ඔහු තම උපාධිය ලබා ගත්තේ 1940 දීය. එම වසර කිසිදා මගේ මතකයෙන් බැහැර නොවන්නේ අප දෙදෙනා එකිනෙකාට ප්‍රේම කරන බැව් වටහා ගත්තේ එම වසරේ බැවිනි. සොහෛායුරන් දෙදෙනකුගේ දරුවන් වූ බැවින් ඥාති සොහොයුරා හා සොහොයුරිය වීම මත ඉන්දියානු සමාජය අපට කිසිදා විවාහ වන්නට ඉඩ නොදෙන බැව් අප දැන සිටියෙමු. එහෙයින් අප දෙදෙනා සදාකාලිකවම අවිවාහකව සිටින්නට තීරණය කළෙමු. අප දෙදෙනා එක්ව චිත්‍රපට නැරඹීමට යෑම නම් කිසි දිනෙක නතර නොකෙළෙමු. ගීතමය චිත්‍රපටවලට අපේ දැඩි ඇල්මක් තිබිණි. චිත්‍රපට නරඹා යළි නිවෙස කරා එනවිටදී මා එම ගීත සෙමෙන් මුමණද්දී ඔහු එහි තාලයට සිවුරුවම් බෑවේය.
අපගේ ප්‍රේමය ඔහුගේ මවට ඉව වැටී තිබිණි. එහෙත් බුද්ධිමත් කාරුණික කාන්තාවක වු ඇය කිසි දිනෙක ඒ සම්බන්ධයෙන් කලබල නොවු අතර අපගෙන් කිසිවක් විමසුවේද නැත.
මවගේ අපේක්ෂාව වූයේ මණික් උපාධිය ලැබීමෙන් පසු ශාන්ති නිකේතනයට බැඳී චිත්‍ර ශිල්පය හා සංගීතය හදාරනු දැකීමය. උපාධියෙන් පසු ඔහු මවගේ අපේක්ෂාව ඉටුකරලීම සඳහා ශාන්ති නිකේතනයට බැඳුණේය.
ශාන්ති නිකේතනයට ගිය ඔහුත් මාත් නිරතුරුවම ලිපි මගින් හමුවීමු. ඒ වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබිණි. මටද බාප්පාගේ සහයෙන් සැපයුම් දෙපාර්තමේන්තුවේ රැකියාවක් සොයාගත හැකි විය.
තාගෝර්තුමාගේ අභාවය සිදු වූයේ මේ කාලයේය. එතුමන්ගේ අභාවයෙන් වසරකට පමණ පසු මණික් ශාන්ති නිකේතනයෙන් සමුගෙන යළි කල්කටාව බලා පැමිණියේය. ඔහුට අවශ්‍ය වූයේ වාණිජ චිත්‍ර ශිල්පියකු වීමටය. කල්කටාවේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් වූ ඩී. ජේ. කෙයිමර් ආයතනයේ චිත්‍ර ශිල්පියකු ලෙස ඔහුට රැකියාවක් ලැබිණි. කෙටි කලෙකින්ම එහි කලා අධ්‍යක්ෂවරයා වූ ඔහුට ලොකූ වැටුපක් හිමිවිය.

චිත්‍රපට කිහිපයක රඟපෑමට අවස්ථාව සැලසීම නිසා මම බොම්බාය බලා ගියෙමි. ඔහු බොහෝ සති අන්තවල මා දැකීමට කල්කටාවේ සිට බොම්බායට පැමිණියේය. මේ වන විට ඔහු පැහැදිලි නිගමනයකට එළැඹ සිටියේය. ඒ කුමන ප්‍රශ්නයක් මතු වුවද මා විවාහ කර ගැනීමටය. 1948 ඔක්තෝබර් 20 වැනි දින අපි දෙදෙනා රහසේ විවාහ වීමු. පසුව ඔහු ඒ බැව් තම මවට දැනුම් දුන්නේය. ඇයගේ අනුමැතිය අපට ලැබිණි. එහෙයින් සියල්ලන්ගේම කැමැත්ත ඇතිව විශාල විවාහ මංගල උත්සවයක් ගැනීමට අපට හැකි විය.

1950දී සයමසක කාලයකට ඔහුට එංගලන්තය බලා යන්නට සිදු වූයේ රාජකාරිමය කටයුත්තක් සඳහාය. මමද ඔහු හා එක්වීමි. එහිදී අපට ලෝක සිනමාවේ විශිෂ්ට නිර්මාණ රැසක් දැක ගැනීමට හැකි විය. බර්ග්මාන්, කුරොසාවා රෙනේ වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ අප දෙදෙනා හඳුනා ගත්තේ එම ගමනේදීය. විශේෂයෙන්ම විටෝරියෝ ඩි සිකාගේගේ බයිසිකල් තීෆ් චිත්‍රපටය ඔහුගේ ජීවිතයට දැවන්ත ආලෝකයක් එක් කළේය. එවැනි උත්තම ගණයේ චිත්‍රපටයක් ඉන්දියාවේ නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ විය. ලන්ඩනයේ ගෙවුණු සය මස තුල ලද විවේකය වැඩි වශයෙන්ම ගෙවුණේ චිත්‍රපට, නාට්‍ය හා සන්දර්ශන නැරඹීම සඳහාය. නැවත ඉන්දියාවට පැමිණීමට පෙර වෙනිස්, සල්ස්බර්ග්, සහ පැරිසියේ සංචාරය කරන්නට අපි අමතක නොකෙළෙමු.
එක්තරා නවකතාවක ළමුන් සඳහා කෙරෙන සංස්කරණයක් සඳහා සිතුවම් නිර්මාණ කරන මෙන් දන්වා ඔහුගේ සේවා ආයතනය මණික් වෙත නවකතාවක් එවා තිබිණි. එම කෘතිය කෙතරම් ඔහුගේ සිත් ගත්තාද යත් එක දිගට ඔහු එය කියවන්නට විය. නවකතාවේ නම පාථේර් පංචාලි විය. තම අනාගත නිර්මාණය සඳහා අවශය දේ හමුවූයේයැයි ඔහු මහත් සතුටින් මට කීවේය.

ඉන්පසු සිදු වූ සියල්ල ලොවම දනී. එම සිනමා නිර්මාණය ඉතිහාසයට එක්වී අවසන්ය. 1955 කාන් චිත්‍රපට උළෙලේ ගෝන් ෆ්‍රී සම්මානය හිමිකර ගන්නට පාථේර් පංචාලියට හැකි විය. එම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔහුට විශාල අරගලයක් කරන්නට සිදු වූ බැව් සත්‍යයකි. එහෙත් ඒ සෑම මොහොතක්ම අපගේ ජිවිතවලට වැදගත් විය. එහි දෙවැනි කොටස වූ අපරාජිතෝ ඔහු 1956 දි නිර්මාණය කළ අතර එය වෙනිස් චිත්‍රපට උළෙලලේ ශුද්ධවූ මාක්ගේ රන් වලසා සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ සමඟ ඔහු එතෙක් සේවය කළ වෙළෙඳ ප්‍රචාරක ආයතනයෙන් සමුගෙන පූර්ණ කාලීන චිත්‍රපට අධ්‍යක්වරයකු බවට පත් විය.
මගේ සැමියා තරම් වෙහෙස මහන්සි වී වැඩ කළ වෙනත් අධ්‍යක්ෂවරයකු සිටියේදැයි මම නොදනිමි. චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වූ මොහොතේ සිට ඔහු ජීවත් වූයේ ඒ තුළය. ඔහු තිරනාටකය හා දෙබස් ලිවීය. නළු නිළියන් සෙවීය. ඔවුනට තිර පිටපත් කියැවීය. එම චරිත රඟ පා පෙන්නුවේද ඔහුය. චිත්‍රපටයට අවශ්‍ය ඇඳුම් මිලට ගත්තේය. මම ඔහුට සහය වීමි. වේශ නිරූපණ පෙරහුරු පැවැත්තුවේද අප නිවෙසේය. තම චිත්‍රපටයේ එන සෑම චරිතයක්ම ඔහු සිතුවම් කළේය. පසුතල ඇන්දේය. එහෙයින් කලා අධ්‍යක්ෂවරයාට හා කැමරා ශිල්පියාට පහසුවෙන්ම ඔහුට අවශ්‍ය දේ හඳුනාගත හැකි විය. සෑම දර්ශනයක්ම චිත්‍රයට නඟා තිබූ හෙයින් කැමරා කෝණ හා ආලෝකය නිර්මාණ කිරීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොවීය.
ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු බලා සිටීම හරිම සුන්දරය. නළු නිළියන්ගෙන් තමාට අවශ්‍ය දෙය ලැබෙන තෙක් ඔහු සෑම චරිතයක්ම රඟ පා පෙන්වීය. ඔහු බොහෝ විට පළමු රූප ගත කිරීම -first take - කෙරෙහි විශ්වාසය තැබීය. ඔහු හා නළු නිළියන් අතර ලෙන්ගතු බැඳීමක් විය. අඩි හයයි අඟල් හතරහමාරක් උසැති, ගැඹුරු හඬින් ඔවුන් ඇමතූ මේ අපූරු මිනිසා කෙරෙහි ඔවුන් තුළ වූයේ දැඩි සෙනෙහසක් හා භක්තියකි.
සංගීතය ඔහුගේ පළමු ප්‍රේමය විය. තම මුල් නිර්මාණ සඳහා රවි ෂන්කර්, අලි අක්බාර් කාන් හා විලායත් කාාන් වැනි සංගීතඥයන් යොදා ගත්තද තීන් කන්‍යා චිත්‍රපටයේ සිට ඔහුම සංගීතය නිර්මාණය කළේය.
ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ චිත්‍රපට අධ්‍යක්ෂණය උදෙසා ලද මුදල පමණි. තම චිත්‍රපටය සඳහා සෑම අයුරින්ම දායකත්වය දැක්වුවද ඔහු මුදල් ගත්තේ අධ්‍යක්ෂණය උදෙසා පමණි. ඉතා සරල මිනිසකු වූ ඔහු කිසි දිනෙක මුදල් පසුපස හඹා ගියේ නැත. දිනකට ආහාර වේල් දෙකකින් පමණක් යැපුණු ඔහු සැම විටම සිටියේ සතුටිනි.
සත්‍යජිත් රායි බිජෝයා රායි සහ පුතු සන්දීප් සමඟ
අපට ආර්ථික ප්‍රශ්න බොහෝ විය. මා නිවෙසේ අඩුපාඩු කෙලෙස පිරිමසා ගත්තාදැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු හැඟීමක් නොවීය. බැරිම අවස්ථාවක මා ඔහුගෙන් ඉල්ලා සිටියේ චිත්‍රපට සඳහා සංගීතය නිර්මාණ කිරීම උදෙසාවත් මුදල් ලබා ගන්නා ලෙසය. එවිට ඔහු හිස වනා මෙසේ කීවේය. ‘බටහිර බෙංගාලය ඉතා කුඩා ප්‍රාන්තයක්. එහි නිෂ්පාදකවරු චිත්‍රපට සඳහා මුදල් යොදවන්නේ ඉතා අසීරුවෙන්. ඒ නිසා ඔවුන්ගෙන් වැඩිපුර මුදල් ඉල්ලා සිටීම අසාධාරණයි. ඔබ මුදල් පිළිබඳව කරදර විය යුතු නැහැ. අප මේ ලෝකයේ සිටින ධනවත්ම මිනිසුන්ට වඩා බොහෝ සතුටින් ජීවත් වෙනවා නේද? අපිට ඔවුනට මෙන් බදු හෝ කළු සල්ලි ගැන නපුරු හීන පෙන්නේ නැහැ නේද? අපට ඉඩකඩ සහිත හොඳ නිවෙසක් තියෙනවා. අවශ්‍ය පමණට ආහාර ලැබෙනවා. සාමාන්‍ය සරල ජීවිතයකට අවශ්‍ය සියල්ල තිබෙනවා. ඉතින් ඇයි අපි මුදල් පස්සේ දුවන්නේ.” ඒ ඔහුගේ පිළිතුර විය.එහෙත් ඒ වන විටත් අප ජීවත් වන්නේ කුලියට ගත් මහල් නිවෙසක බැව් ඔහුට අමතක වී තිබිණි. නැතිනම් ඔහු එය අමතක කර දමා තිබිණි.

ඔහුට ප්‍රථම ආචාර්ය උපාධිය ප්‍රදානය කෙරුණේ දිල්ලි සරසවියෙනි. ඉන්පසු තවත් බොහෝ උපාධි ඔහු වෙත පිරි නැමිණි. ලන්ඩනයේ රෝයල් කොලේජ් ඔෆ් ආට්ස් වෙතින් ඩි ලිට් සම්මානයද, 1974දී කල්කටා විශ්වවිද්‍යාලයෙන් ඩි ලිට් සම්මානයද ඔහුට හිමි විය. පසුව ජද්වපූර් විශ්වවිද්‍යාලයෙන් හා ශාන්ති නිකේතනයෙන්ද එම සම්මානය ඔහුට ලැබිණි. 1960 ගණන්වල ඔහුට මැග්සයිසයි සම්මානයද හිමි විය.
ඔහු මිනිසුන්ට බෙහෙවින් ආදරය කළේය. බොහෝ විට මිනිසුන් පිරිවරා සිටින්නට කැමති විය. කතා බහේ යෙදෙමින් සිනහ සෙමින් මිනිසුන් සමඟ සිටීම තරම් සතුටක් ඔහුට නොවීය. කා සමග කතාබහේ යෙදී සිටියද ඔහු තම අත රැඳුණු සටහන් පොතේ ලියවිල්ල නම් නතර නොකළේය. ඔහුට එකවර රාජකාරි දෙකක් කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබිණි. ඔහු මිනිසුන් හා කතා කරමින් ඔවුන් ගැන තොරතුරු, කතා විලාසය, ඔවුන් පවසන දෑ සටහන් කර ගත්තේය. ඒවා පසුව ඔහුගේ නිර්මාණවලින් එළියට ආවේය.
ලොව නන් දෙසින් කීර්තිය හා සම්මාන ඔහු වෙත ගලා ආවේය. ඔක්ස්ෆඞ් විශ්වවිද්‍යාලය එතෙක් එකම සිනමාකරුවකුට පමණක් පිරිනමා තිබූ සම්මාන ආචාර්ය උපාධියකින් ඔහු පිදීය. ඉන් පෙර එම සම්මාන ආචාර්ය උපාධිය හිමිවී තිබුණේ චාලි චැප්ලින්හටය. හාවඞ් විශ්වවිද්‍යාලයද ඔහු සම්මාන ආචාර්ය උපාධියකින් පුදන්නට සූදානම් වුවද ඔහු බෙහෙවින් ගිලන්ව සිටි හෙයින් එය ලබා ගැනීමට යා නොහැකි විය.
1991දී පුද්ගලයකු හට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ඇකඩමි (ඔස්කා) සම්මානයට ඔහු නම් කළේය. එම පුවත ඇසූ ඔහු මහත් ප්‍රමෝදයට පත් විය. එය ඔහුට නොබෙල් සම්මානය හිමි වූවාක් බඳු විය. එහෙත් ඔහුට සම්මානය ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යා නොහැකි තරමට ගිලන්ව සිටියේය. එහෙයින් 1992 මාර්තු 15 දින ඇකඩමි සම්මාන ප්‍රදාන මඩුල්ල ඔහු සිටි රෝහල කරා පැමිණ රෝගී සයනය මතදී එය ඔහු වෙත පිදීය. එම සම්මානය පිළිගනිමින් ඔහු ඔවුන් හා ඉතා සතුටින් කතාබහ කළ අයුරු මට මේ මොහොතේ මැවී පෙනෙයි. එම සම්මානය රැගෙන යළි නිවෙසට පැමිණෙන්ට ඔහුට වාසනාවක් නොවීය. ඔහු ජීවිතයේ බොහෝ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබිණි. එහෙත් මරණය ඔහු පරාජය කළේය. 1992 අප්‍රේල් මස 23 දින ඔහු අප සියල්ලන්ගෙන් සමුගෙන කොහේදෝ ඉසව්වක සැඟව ගියේය.
පරිවර්තනය - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
( මෙම සටහන "Priyanjan Suresh De Silva" මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)



