(අරුණ පුවත්පත)
‘‘සරාගයේ සිට අසීමිත කරුණාවක් දක්වා වෙනස්වූ හැඟීම් රැසක් විසින්, හමුවීමේ හෝ වෙන්වීමේ අන්තයන් බොඳ කෙරුණා වැන්න. යථාර්ථය මහපොළොවෙන් ඉහළද, රොමෑන්තික අහසින් පහළද පිහිටි මේ හැඟීම්වලට ඉලක්කයක් සපයාගැනීමට හැකිවූයේ චමත්ට පමණකි. ඔහුට වඩා අත්දැකීම් බහුල මිලංකාට එය කළ නොහැකි දෙයකි.’’
මේ චන්ද්‍රරත්න බණ්ඩාර ලියූ ‘පියාසර සමය’ නවකතාවෙන් උපුටාගන්නා ලද කොටසකි.
2024 වසරේ ප්‍රකාශයට පත්වූ සියයකට අධික නවකතා අතරින් මේ වනවිට වඩාත් අවධානයට ලක්ව ඇති නවකතාව වනුයේ ‘පියාසර සමය’ නවකතාවයි. ඊට හේතුව නම් එය 2025 ස්වර්ණ පුස්තක සම්මානයෙන් සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීමයි. මෙහි කතුවර චන්ද්‍රරත්න බණ්ඩාර මීට පෙර ලියූ නවකතාව ‘ප්‍රේමානිශංස’ 2022 වසරේද ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේය. කෙටිකතාව, කවිය සහ නවකතාව විෂයයෙහි සමත්කම් දක්වන චන්ද්‍රරත්න බණ්ඩාර සමඟ මේ සංවාදය ‘පියසර සමය’ පිළිබඳවයි.
සංවාදකයා - ඔබ පළමු නවකතාවෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් නවකතාකරුවෙක්. 'මෙරු' ලියමින් ආරම්භ කළ ඔබේ නවකතා චාරිකාවේ දෙවැනි අදියර ආරම්භ වූයේ ‘වලාකුළු බැම්ම’ නවකතාවෙන් පසුව බව ඔබ ස්වර්ණ පුස්තක සම්මානය ලැබූ පසුව කළ කෙටි අදහස් දැක්වීමේදී පැවැසුවා.
චන්ද්‍රරත්න බණ්ඩාර - මගේ නවකතා නිර්මාණයේ විකාශනය මගේ දැනුමට හා අත්දැකීම්වලට සාපේක්ෂයි. මගේ දැනුමට වැඩිම බලපෑමක් කළේ මා ලැබූ විධිමත් අධ්‍යාපනයට වඩා මා ලද අත්දැකීම් හා කියවීම. පසුකාලීනව මා විදෙස්ගතවූ පසු හොඳ සැරිසරන්නෙක් බවට පත්වුණා. ඒ නිසා ලැබුණු ලොකුම භාග්‍යය ලොව පුරා සංචාරයට ලැබුණු ඉඩකඩ. එය මා නව දැනුම් කලාපයකට විවෘත කළා. ඔව්, ‘වලාකුළු බැම්ම’ නවකතාවෙන් ඇරැඹෙන මගේ නව සාහිත්තයික කලාපය නිසා මගේ සාහිත්‍ය දෘෂ්ටිය නව නිදහස් එකක් වුණා. අතීතයද ඇතුළු සියලු දේ දෙස කිසියම් ‘හෙලිකොප්ටර් දෘෂ්ටියකින්’ බලන්න පුළුවන්කමක් ලැබුණා. සංසංදනාත්මකව මගේ පොත් කියවුවහොත් ඔබට එය වැටහේවි.
ඔබට මතකද පළමු නවකතාව ‘මෙරු’ මුද්‍රණය කරගැනීමේදී ඔබ ආධුනිකයෙක් විදිහට මුහුණදුන් අත්දැකීම...
ඔව්, ඒ 1990 වගේ කාලය. එදා නවකතාවක්, කෙටිකතා සංග්‍රයක් මුද්‍රණය කිරීම අදට සාපේක්ෂව දුෂ්කර කාර්යයක්. ‘මෙරු’ නවකතාවට පුස්තකාල මණ්ඩලයේ ආධාරය ලැබුණා. ඒ නවකතාව පුස්තකාල සේවා මණ්ඩලයෙන් අනුමැතිය සඳහා යවා තිබුණේ ඒ කාලයේ තරුණ කථිකාචාරයවරයෙක් වෙලා හිටිය සරත් විජේසූරියට. එතකොට මා ඔහු හඳුනන්නෙ නැහැ. සරත් එය කියවා ලද ආශ්වාදය, ඔහු උගන්වපු බාහිර උපාධි පන්තියකදී විස්තර කර තිබුණා. ඒ පංතියේ ඉගෙනගත් ශිෂ්‍යයෙකු වුණු සත්‍යපාල ගල්කැටිය ඒ බව මට පැවසුවා. සරත් විජේසූරිය හුදු අනුමත කිරීමකින් ඔබ්බට ගිහින් කළ ඒ අගය කිරීම මට කිසියම් නියත විවරණයක් වුණා. සරත් හා මා අතර මිත්‍රකම් ඇරැඹුණෙත් ඒ කරුණ පදනම් කරගෙන.
තරමක ලොකු පොතක් නිසා ‘මෙරු’ මුද්‍රණය කිරීමට තවත් මුදල් අවශ්‍ය වුණා. ඒ කාලයේම තමයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සිය ප්‍රකාශන ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒ වැඩපිළිවෙළ යටතේ මගේ ‘මෙරු’ කෘතිය ප්‍රකාශයට පත්කිරීමටත් තෝර ගත්තා. ඒ කාලයේ නවකතාවකින් පිටපත් දාහක් පමණයි මුද්‍රණය කරන්නෙ. ඒත් මගේ නවකතාව හොඳ නිමාවකින් යුතුව පිටපත් තුන්දාහක් මුද්‍රණය කළා. පුවත්පත් දැන්වීම් ආදියෙන් හොඳ ප්‍රචාරයකුත් ලැබුණා. හොඳින් විචාරයටත් භාජනය වුණා. ඒ නිසා මට පළමු පොතෙන්ම කිසියම් ස්ථාවරයක් ලබාගන්න පුළුවන් වුණා. තාමත් මගේ අලුත් නවකතා සියල්ලටම වඩා ‘මෙරු’ට කැමැති පාඨක පිරිසක් ඉන්නවා. කොටින්ම කියනවා නම් නවකතාකරුවෙක් ලෙස මගේ ඉරණම් ගමන ඇරඹුණේ ‘මෙරු’ නවකතාවෙන් කිව්වොත් වැරැදි නෑ.
එදා මෙදා තුර ඔබ ලියූ නවකතා හතෙන්, නවකතා පහක්ම ජාතික මට්ටමේ සම්මානයන්ට පාත්‍රවී තියෙනවා. පළමු නවකතාව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබද්දි සහ අද ‘පියාසර සමය’ සම්මාන ලබද්දියි දැනෙන හැඟීම එකක්ම ද?
‘මෙරු’ නවකතාවට හා සයිමන් නවගත්තේගම මහත්තයාගෙ ‘දඩයක්කාරයගෙ කතාවට’ සම්මාන ලැබුණෙ ප්‍රශස්ත කෘති කියන වර්ගීකරණය යටතේ. ‘ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි’ කියන කෘතියට තමයි ප්‍රධාන සම්මානය ලැබුණෙ. ඒත් එකල තිබුණු එකම සම්මාන උලෙළ රාජ්‍ය සාහිත්‍ය උලෙළ නිසා එයට අදට වඩා විශේෂ වටිනාකමක් තිබුණා.
පසුව මගේ දෙවැනි නවකතාව ‘වන සපු මල’ට ඩී. ආර්. විජේවර්ධන ප්‍රදානය හිමිවුණා. එය මට විශේෂ භාග්‍යයන් ගණනාවක් ළඟාකරදුන්නා. කාලෝ ෆොන්සේකා මහතා ඒ නවකතාව අගය කිරීම නිසා විශේෂ තත්ත්වයක් මට ලැබුණා. ‘Hostage City’ නම් වූ ‘වන සපු මල’ ඉංග්‍රීසි පරිවර්තනය මහාචාර්ය සේනක බණ්ඩාරනායක මගින් මයිකල් ඔන්ඩච්චිට ලැබී තිබුණා. ඒ අවුරුද්දෙ තමයි ඔන්ඩච්චි මහත්මයාට බුකර් සම්මානය ලැබුණේ. එයට ලැබුණු මුදල් යොදවා ග්‍රේෂන් ත්‍යාගය ආරම්භ කිරීමේ අදහස ඔන්ඩච්චි තුළ රෝපණය වුණේ ‘Hostage City’ නිසා කියලා මට බණ්ඩාරනායක මහතා කිව්වා.
අද සම්මාන ලැබෙද්දි දැනෙන සතුට විශාලයි. ඒත් අද ඒක දැනෙන්නෙ වැඩිහිටියෙකු විදිහටනෙ. අනෙක ඒ සම්මාන බෙදී යන්නේ නැහැ. ඒ වටා පෙළගැහෙන රැස් වළල්ලත් විශාලයි.
‘පියාසර සමය’ට ප්‍රස්තුත වෙන්නේ අරගලය. මේ ගෙවෙන පශ්චාත් අරගල සමයේ නව වීරයෝ වගේම ද්‍රෝහියොත් බිහිවෙලා. මේ වෙද්දි අරගලය නිසා නේපාලය ගිනිබත්වී අවසන්. දකුණු ආසියානු කලාපයේ මතුවන අරගල පසුපස ඇමරිකානු න්‍යාය පත්‍ර තියෙන බවත් කියැවෙනවා. ඒ කොහොම වුණත් මේ අරගලයන්ට මූලික වෙන්නේ ඉසෙඩ් පරම්පරාව...
අරගල අතර අපේ අරගලය වඩා සමානාත්මකයි. ඒ යට කුමන්ත්‍රණ තිබුණා හෝ නොතිබුණා හෝ වේවා ඉන් ලැබුණු පරිවර්තනය, පශ්චාත් අරගල තත්ත්වය ලංකාවට වැඩදායකයි. දැන් අපි දන්නවා අප වැටී සිටි නරා වළේ භයානකකම. මං හිතනවා ලංකාවේ අරගලයේ ගුණාත්මක බව හා ප්‍රබුද්ධ බවට නිදහස් අධ්‍යාපනයේ බලපෑම, වාමාංශික ව්‍යාපාරය සියවසක් පමණ මුළුල්ලේ ලබා දුන් ශික්ෂිත විමුක්තිකාමී දේශපාලන අධ්‍යාපනය හේතුවෙන්න ඇති. බංග්ලාදේශයට හෝ නේපාලයටත්, අරාබි වසන්තයටත් ඒ වාසි තිබුණේ නැහැ. ඒ රටවල් දෙකේම සාක්‍ෂරතාව දුර්වලයි. ප්‍රචණ්ඩත්වය සමීප සමාජ අත්දැකීමක්. අපි හැමදාමත් විමුක්ති අවකාශය අහෝසි කරනොගත් ජාතියක්.
මා විශ්වාස කරනවා පැරැණි ඉතිහාසය අවසන් වුණා. දැන් ආරම්භ වී තියෙන්නෙ නව ඉතිහාසයක්. ඔය මොන අවලාද නැගුවත්, ඔය මොන හංවඩුව ගැහුවත්, ඔය මොන රටේත් අරගල ඇතිවුණේ දරන්න බැරි සෑම ආකාරයකම පීඩාව හා පාලක පංතින්ගේ අත්තනෝමතිකත්වය හා දූෂණය නිසා. අරගලය පෙරමුණේ තරුණයන් හිටියාට එය පීඩාවට පත් පුරවැසියන්ගේ සාමූහික නැගිටීමක්. තවදුරටත් මේ නැගිටින්න සූදානම් දේශපාලන බලවේග අමතක කරල රට පාලනය කරන්න බැහැ.
‘පියාසර සමය’ දේශපාලන යථාර්ථය සමඟ සංවාදයක නියැළෙන නවකතාවක්. ප්‍රබන්ධයෙන් දේශපාලනය ගවේෂණය කිරීමට ඔබ පෙළඹෙන්නේ ඇයි?
කෙටිම උත්තරය මා දේශපාලනිකව හිතන පතන කෙනෙක් නිසා. ඒක මගේ අවට පරිසරය ළමා අවධියේ සිට ලබා දුන් දායාදයක්. සිංහල බෞද්ධ පාසලක ඉගෙනගෙන, අවට හැම දෙයක්ම ජාතිවාදී ආකාරයට විග්‍රහවෙද්දී වුනත් ජාතිවාදය පිළිකෙව් කරන දැනුම මා නියැළි දේශපාලනයෙන් ලැබී තිබුණා. මගේ ස්ථාවරයන් නිසා ලංකාවේ පමණක් නෙවෙයි, කැනඩාවෙදි පවා මා අපහසුතාවයට පත්වෙනවා. එහෙයින් ජාතිවාදය ඇතුළු අනේකවිධ අගතීන්ගෙන් පුරවාගත් මනසකින් කවර හෝ සත් කලා කෘතියක් බිහිකරන්න අපහසුයි. ඕනෑම කලාකෘතියකින් නිර්මාණකරුවාගේ ජීවත්වන යුගය ප්‍රතිබිම්බනය වෙනවා, ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව. මම නම් දැනුවත්වම ඒ වැඩේ කරනවා. ගීතයක් රචනා කිරීම වැනි සතුට සඳහා වන නිර්මාණ කටයුත්තකදී හැර අන් සෑම බැරෑරුම් කටයුත්තකදීම දේශපාලනය සුවිශේෂයි.
ජෝර්ජ් ඔ්වෙල් වරක් ප්‍රකාශ කළා දේශපාලන සංඥාව තරම් කිසිවක් අපගේ ජීවිතය ඇසුරෙහි දකින්න නැති බව. අප වටා ඇති සියල්ල තුළම යම් ආකාරයක දේශපාලන ගුණයක් ගැබ්ව ඇති බව. ඔබ සිතන්නේ සියලුම ලේඛකයන්ට දේශපාලන න්‍යායපත්‍රයක් තිබුණා හෝ තිබිය යුතු බව ද?
නන්දා මාලනීගේ ‘සුදු හාමිනේ’ ගීතය පිළිබඳ මහාචාර්ය පියසීලී විජේගුණසිංහගේ සුප්‍රකට විචාරයක් තියෙනවා. එය මට ඇහුණේ මීට වසර හතළිහකට පමණ පෙර. හුදකලා වූ මවක් සිය සාංකාව කියාපාන ගීතයක් වුනත් එය පංති සමාජයේ නියත ඛේදවාචකයක් ලෙස ගැඹුරු විචාරයකට ඈ විසින් ලක්කරනවා. ඒ ආකාරයට ඕනෑම කලාකෘතියකට පවත්නා දේශපාලනයෙන් මිදෙන්න අමාරුයි. සමහර විට කෘතිය බිහිකරන කලාකරුවාම මගේ කෘතිය අදේශපාලනිකයි කිව්වත් එහෙම වෙන්නෙ නෑ. මං හිතන්නෙ කලාකරුවෙකු තමා අවට සමාජ ආර්ථික යථාර්ථයන් ගැන දැනුවත් නම් ඔහු අතින් පිරිපුන් කලාකෘතියක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩියි. අපේම ධර්මසේන පතිරාජ, සුගතපාල ද සිල්වා හොඳම උදාහරණ.
මේ නවකතාවේ චරිත විශේෂයෙන් මිලංකාගේ, චමත්ගේ, පුෂ්පේගේ, විජේවික්‍රම මහත්මියගේ කතාවස්තු, කතාව ලිවීමට පෙර වර්ධනය වුණ ඒවා ද? නැත්නම් කතාව ගොඩනැඟීමේදී වර්ධනය වුණා ද?
මේ හැම චරිතයක්ම වාගේ නියෝජනාත්මකයි. තනි තනි චරිත විදිහට ගන්න අමාරුයි. ගෙවී ගිය සියවසකට පමණ ආසන්න කාලය නිරූපණය කළ මෙම චරිත ඒ යුගයට හැඩයක් දුන්නා. පශ්චාත් යටත් විජිත යුගයේ ක්‍රමානුකූල පිරිහීම හා මොවුන්ගේ ආත්මාර්ථය එකකට එකක් සාපේක්ෂයි. වින්දිතයන් බොහෝමයි. යස ඉසුරු සහිත මිලංකා පවා ක්‍රමයේ වින්දිතයෙක්. විමුක්ති අපේක්ෂා විරහිත අසරණියක්.
ඒ වගේම මේ නවකතාවේ චරිත ගොඩනඟද්දි ඔබ කතාකරුවා විදිහට චරිත ස්වභාවය සෘජුව පාඨකයාට කියන්න මැදිහත්වෙන්නේ නැහැ. නමුත් ඒ චරිතයන් හඳුනාගන්න අවැසි ඉඟි ඔබ දෙනවා. මෙය නවකතාවක චරිත ගොඩනැඟීමේ ප්‍රශස්ත ලක්ෂණයක්. ඔබට මේ අභාසය එන්නේ කොහොම ද?
ප්‍රධාන වශයෙන් කියැවීමෙන්. දෙවැන්න විචාර විධික්‍රම ළැදිව හැදෑරීමෙන්. පියසීලී විජේගුණසිංහ, සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ වැනි උදවියගේ විචාර හා කලා කෘති මට බෙහෙවින් බලපෑවා. බටහිර සිනමාවත් සාහිත්‍යයත් චරිත නිරුපණයේදී ඔබ කියන ඉම් පෙදෙස් ජය ගැනීමට මට ආලෝකයක් වුණා.
ඔබේ නවකතාවල හැමවිටම සංස්කෘතික ගැහැනුන් හමුවෙනවා. පියාසර සමයේ මිලංකා, ප්‍රේමානිශංසහි නිරූ වැනි චරිත මතක් වෙනවා...
ඒක නිරායාස දෙයක්. පුරුෂ මූලික සමාජයක අවසාන වශයෙන් බිත්තියට හේත්තුවෙන්නෙ කාන්තාව. බලන්න අර බණ්ඩාරවෙල ප්‍රසිද්ධ භික්ෂුව අධිපති හඬකින් සිය අනුගාමිකයන්ට කියන කතා. ඒවා නිහඬව අසා සිටන භක්තිමත් ගැහැනු පිරිමි සියල්ලෝම ඒවා පිළිගන්නවා. නව වටයකින් ගැහැනිය පෙළන්න ආයුධ තනාගන්නවා. අපේ රට පසුගාමීය කියන්න හොඳම උදාහරණය ගැහැනුන්ට ඇති පීඩාව. ‘වලාකුළු බැම්මේ’ සෙල්වි, ‘පියාසර සමයේ’ මිලංකා, විජේවික්‍රම මහත්මිය, ‘ප්‍රේමානිශංස’ නවකතාවේ නිරූ ඒ සියල්ලෝම සිය පීඩිත ස්ත්‍රීත්වයට එරෙහි කැරළි ගහන ධී සම්පන්න කාන්තාවෝ.
කියුබාවේ නූතන සැබෑ චිත්‍රය ඔබේ මේ නවකතාව ඇතුළේ මා දුටුවා. ඔබ ඒ වෙනුවෙන්ම ඔබ කියුබාවට ගියා ද?
ඔව්. ඒ මම එහි ගිය හතරවැනි වතාව. මෙවර ගියේ නවකතාව වෙනුවෙන් පැරැණි මතකයන් අලුත්කරගන්න. කියුබාව අපේ පොදු වාමාංශික ලෝකයේ වීරත්ව රාජ්‍යය. වාමාංශික තරුණයන් තුළ තවමත් එහෙමමයි. එහෙත් පශ්චාත් සීතල යුද්ධයෙන් පසුව එය දුගී හා අත්තනෝමතිකත්වයේ රාජ්‍යයක් බවට පත්වුණා. පැරැණි විභූතියෙන් ගැලවීමක් නැති ප්‍රපාතයට ඇදවැටුණු රාජ්‍යයක්. එය එක්තරා ආකාරයකට පැරැණි සමාජවාදී ලෝකයේ කෞතුකාගාරය කියන්න පුළුවන්.
‘පියාසර සමය’ ඔබ මහත් වෙහෙසවී කළ නිර්මාණයක්. ඇත්තෙන්ම ඊට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ සෑහීමකට පත්වෙනවා ද?
‘ප්‍රේමානිශංස’ට ලැබුණු ප්‍රතිචාර එයට නොලැබෙන විට මම කම්පා වුණා. ඒ මගේ මහන්සිය හා නිර්මාණයක් වශයෙන් එහි පුළුල් බව ‘ප්‍රේමානිශංස’වලට නොදෙවැනි නිසා. මගේ ප්‍රාකාශකයින් කිව්වෙ, පිටු සංඛ්‍යාව වැඩිවීම එයට හේතුවෙන්න ඇති කියලා. ඒ අනුව මිලත් වැඩියිනේ. ඇත්තටම මේ සම්මාන ඇගයීම් නවකතාව පිළිබඳ මගේ පසුබෑම් සහගත මනස වෙනස් කොට ගැඹුරු සතුටක් ලබා දුන්නා.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(සති අග අරුණ - 2025/09/21)
( මෙම සංවාදය 2025/ 09/ 21 සති අග 'අරුණ' පුවත්පතේ පළවිය)
(මෙම් සටහන 'Suranga Indika Lakmal Bogahawatta' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



