-Lakmina Ranasinghe-
ශ්‍රී ලංකාවේ හොඳම ටෙලි සම්මාන උළෙලවල් දෙක තමයි රයිගම් සහ සුමති. කවුරු බැන්නත්, මොන චෝදනා තිබ්බත් මේ දෙක අපේ කලාවට නිධානයක් වගේ මිත්‍රයා. මම මේ දෙකටම පට්ට ආදරෙයි!
සුමති රයිගම් සම්මාන උළෙලවල්වලට නාම යෝජනා ඉදිරිපත් කරද්දි ඒ හැමෝම හිතන්නෙ මම තමයි හොඳටම කළේ කියලා. ඒත් නාමයෝජනා ඉදිරිපත් කරන හැමෝම ජූරියේ සාපේක්ෂ “ගුණාත්මක” තීරණවලට ගරු කරන්න ඕනෙ. තමන්ට සම්මාන ලැබිය යුතුයි කියලා වක්‍රව කැම්පේන් කරන එක, සම්මානයක් ලැබුනෙ නෑ කියලා සෘජුවම හෝ වක්‍රව ජූරිය සහ සම්මාන උළෙල විවේචනය කරන එක සදාචාරාත්මක නෑ.
ජූරි තීරණ නිසා තමන්ට අසාධාරණයක් වුනා නම් ඒක විධිමත්ව අදාළ සංවිධායකයින්ට දන්වන්න පුළුවන් පිළිගත් ක්‍රමයක් තියනවා නම් සම්මාන උළෙලේ අනාගත සාර්ථකත්වයට ඒක ලොකු හේතුවක්. උදාහරණයක් විදිහට අදාළ අසාධාරණය ගැන සාක්ෂි සහ තර්ක සහිතව වෘත්තීමය ලෙස, ලිඛිත පැහැදිලි කිරීමක් නාමිකව ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියනවා නම් නියමයි. ඒ අතර හොඳ අදහසුත් තියෙන්න පුළුවන්. ඒත් මේකට අවිධිමත් ක්‍රම මොනතරම් තිබුනත් විධිමත් ක්‍රම නැති එක ලොකු පාඩුවක්. අනාගතේදි මේ දේවල් විධිමත් වෙනවා නම් කලාවටත් සම්මාන උළෙලවල්වලටත් ඉතා හොඳ කලක් උදාවෙයි.
Sumathi Awards සහ Raigam Tele'es ආයතනත් එක්ක අනිත් අනුග්‍රාහකයොත් එකතු වෙලා අති විශාල ධනයක්, කාලයක් සහ ශ්‍රමයක් යොදවලා ඉතා යහපත් චේතනාවෙන් කරන මේ සම්මාන ව්‍යාපෘතිවල සමස්ත සාර්ථකත්වය තීරණය කරන ප්‍රධානතම දේ තමයි ජූරි තීරණ. ඒ නිසා ඒ ධනයට සහ මහන්සියට උපරිම සාධාරණයක් කරන්න ජූරිවලට අසමසම වගකීමක් තියනවා.
හංසයා දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ, ටෙලිනාට්‍යයක වඩාත් ගුණාත්මක සාධනීය දක්ෂතා දක්වපු අයව ෆිල්ටර් කරලා වෙන්කරලා ගන්න ජූරියකට පුළුවන් වෙන්න ඕනෙ. තමන් දෙන තීරණවල ගුණාත්මක සහ තාක්ෂණික දෝෂ බහුල වුනොත්, ජූරි සභිකයින්ට වගේම සුමති සහ රයිගම් නාමයන්ටත් බලපෑමක් වෙනවා. ඉතිං ජූරි තීරණවල දෝෂ නිසා ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය සම්මාන කලාවේ මුදුන්මල්කඩ වගේ තියන රයිගම් හෝ සුමති කියන නම් දෙකට පොඩි හරි ඩැමේජ් එකක්වත් නොවිය යුතුයි කියන එක තමයි මගේ මතේ.
ජූරියක ගුණාත්මක තීරණවලදි විවිධ අය හිතන විදිහ සාපේක්ෂව වෙනස්. ඒත් ගුණාත්මක කුලකයට අයිති නැති, තාක්ෂණික කුලකයේ දෝෂ තියනවනම් ඒවා ගැන අපි කතා කරන්න ඕනෙ.
ගියපාර තරින්දි ප්‍රනාන්දු තප්පරයක් දෙන්න ඩ්‍රාමා එකේ අති විශිෂ්ට විදිහට කරපු ප්‍රධාන චරිතයක් වුන පූජනීගේ චරිතය රයිගම් උළෙලේ නිර්දේශ වෙලා තිබුනෙ නෑ. මේක සාපේක්ෂ ගුණාත්මක කුලකයේ ජූරි තීරණයක් නිසා ඒ තීරණය අවුලක් නෑ කියමුකො. ඒත් ගියපාර වියළි ටෙලිනාට්‍යයේ මාලා කියන සහය චරිතය වෙනුවෙන් තරින්දිව හොඳම නිළිය විදිහට නිර්දේශ වෙලා සම්මානයත් හිමිවෙනවා. ගියපාර රයිගම් ජූරිය, සහය සහ ප්‍රධාන චරිත තෝරපු විදිහත්, සමහර ප්‍රධාන අංශවල නිර්දේශ නාම තෝරපු විදිහත් ටිකක් ආන්දෝලනාත්මකයි.
හංසයා දියෙන් කිරි වෙන්කරගන්නවා වගේ ටෙලිනාට්‍යයක ඉන්න ප්‍රධාන නළු නිළියන් සහ සහාය නළු නිළියන් වෙන්කරගන්නත්, ගුණාත්මක රංගනයක් කරපු අයව වෙන්කරගන්නත් ජූරියට පුළුවන් වෙන්න ඕනෙ. ඒත් මේ පාරත් ගුණාත්මක සහ තාක්ෂණික පැතිවලින් ප්‍රධාන අංශ කිහිපයකම ආන්දෝලනාත්මක ලක්ෂණ තියනවා මිත්‍රයා. ඒත් ඉතිං ජූරියේ තීරණයට ගරු කරන්න අපි හැමෝම සදාචාරාත්මකව බැඳිලා ඉන්නවා.
තාක්ෂණික පැත්තෙන් බැලුවොත්, මෙදා පාර සසංකාරා ඩ්‍රාමා එකේ චම්පා ශ්‍රියානිව සහ වසන්ත මොරගොඩව සහය චරිත විදිහට රයිගම් ජූරියෙන් නම් කරනවා. ඒත් මේ දෙන්නා කරපු සිංගි අම්මා සහ හේරත් හාමි කියන්නෙ පට්ට ප්‍රධාන චරිත කියලා තමයි රංග න්‍යායන් ගැන නොදන්න මගේ පුංචි මොළේට තේරෙන්නෙ. යම් චරිතයක් විසින් ප්‍රධාන කතා තේමාවට කරන බලපෑමේ ප්‍රමාණය, සමස්ත තිර රචනය විසින් අදාළ චරිතයට ලබාදී ඇති බර සහ තිර කාලය යන සාධක තුන අනුව තමයි මම මේ ප්‍රධාන චරිත තේරුවෙ. ඒත් මම වැරදි වෙන්නත් පුළුවන් මිත්‍රයා.
රයිගම් නිර්දේශ නාම එළිදැක්වීමේ උළෙල ආරම්භකරන්න මොහොතකට කලින් වසන්ත මොරගොඩ කියන ඒ විශිෂ්ටයා එතන හිටපු නිවේදිකාවක් අහපු ප්‍රශ්නෙකට මෙහෙම උත්තර දෙනවා...
නිවේදිකාව - “ඔබතුමා නිර්දේශ වුනේ මොන කැටගරි එකටද?“
වසන්ත මොරගොඩ - “මම සසංකාරා එකේ ප්‍රධාන චරිතෙ කරපු නිසා, මං හිතන්නෙ හොඳම නළුවා යටතේ තමයි නිර්දේශ වෙලා ඇත්තෙ”
රංගනය සහ ටෙලිනාට්‍යකරණය ගැන ඉතාමත් හොඳ කියවීමක්, අවබෝධයක්, ප්‍රායෝගික හැදෑරීමක් තියන, අත්දැකීම් බහුල වසන්ත මොරගොඩ එහෙම කියලා ශාලාව ඇතුළට ගියාට පස්සෙ ජූරිය විසින් තමන්ව සහය නළුවෙක් කරලා තියනවා දැකලා එතුමා ෆුල් අන්දොස් වෙන්න ඇති!!
ඊට අමතරව තාක්ෂණික අංශයේ තවත් දෝෂ රයිගම් නිර්දේශ නාමවල තිබුනත්, සම්මාන උළෙලට දින නියමවෙලා තියන මේ නොනගත කාලෙදි ඒ දෝෂ ගැන වැඩිය කතා කරන එක ඒ තරම් සදාචාරාත්මක නෑ. බැරි වෙලාවත් තාක්ෂණික වැරදිත් එක්ක නිර්දේශ වෙලා තියන සමහර තාක්ෂණික අංශවලට සම්මාන ලැබුනොත් ඉතිං අදාළ සම්මානය ලැබුන අංශයට අදාළව ටෙලි නාට්‍යයේ තියන අවුල් සහගත කොටස් youtube එකෙන් අරගෙන, ස්ක්‍රීන් ෂොට් ගහලා, වීඩියෝ ක්ලිප්ස් හදලා රතුපාටින් රවුම් කරලා සාක්ෂි සහිතව පෙන්නන්න පුළුවන්. ඒත් ඉතිං එහෙම නොකර ඉන්න පුළුවන් නම් තමයි අපි හැමෝටම හොඳ.
මේ හැමදේම මම කියන්නෙ ඉතිං අපිට ඉතුරු වෙලා තියන හොඳම සහ ආදරණීයම ටෙලි සම්මාන උළෙලවල් දෙකේ ප්‍රමිතිය තවත් වැඩි කරගන්න ඕන නිසා. මේ දෙකට අමතරව තවත් ගොඩක් සම්මාන උළෙලවල් මේ පුණ්‍ය භූමියේ තිබුනත් ඒවා ගැන කතා කරලා ලොවෙත් වැඩක් නැති නිසා තමයි ඒ සම්මාන උළෙලවල්වල අඩුපාඩු ගැන මම ලොවෙත් කතා කරන්නෙ නැත්තෙ.
මම මේ කියපු අදහස්වල දෝෂයක් තියනවා නම් ඒ අදහස්වල දෝෂ හදාගන්න මම කැමතියි. ඒ නිසා මගේ අදහස්වල අඩුපාඩුවක් තියනවා නම් කරුණාකරලා ඒ ගැන මට කියන්න. මම නොදන්න දේවලුත් ඕන තරම් තියනවා මිත්‍රයා.
මාගේ ගුරුවරුන්ද නියෝජනය කරන ආදරණීය, ගෞරවනීය රයිගම් සහ සුමති ජූරි සභිකයිනි.., වැරදිකරුවෙක්ව නිදහස් කරනවාට වඩා, නිවැරදිකරුවෙක්ව හිරේ දාන එක විශාල ඛේදවාචකයක්. ඒ වගේම “සම්මානයක් ලැබිය යුතු කෙනෙක්ට සම්මානයක් නොදීමට වඩා, සම්මානයක් නොලැබිය යුතු කෙනෙක්ට සම්මානයක් දීම මහා ඛේදවාචකයක්.” ස්තූතියි.

සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.)



