lan englan tam

විශේෂාංග

රංගන ශිල්පිනියකට පුහුණුව වැදගත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වර්තමානයේ ජීවත්වන තරුණියන් සාම්ප්‍රදායික ගති පැවතුම් වලින් මිදී, තමන්ට රිසිදේට ඇලුම් කරමින් තමාගේ ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ දරති. බොහෝ තරුණියන් සමාජයේ විවිධ වෘත්තීන් තෝරා ගනිද්දී, ඇතැම් තරුණියන් තමා සතු සහජ දක්ෂතාවය හඳුනා ගෙන ඒ ඔස්සේ තමාගේ වෘත්තිය සකසා ගනී. එවන් තරුණියක් පසුගිය දා සරසවියට හමුවිය. ඇය රූමත් ය. හැඩකාරය, දඟකාරය. ඇයව අපට දකින්නට ලැබෙන්නේ වේදිකාවෙන් සහ සිනමා තිරයෙනි. ඇය රංගනයට පිවිසෙන්නේ වේදිකාවෙනි. රංගනය පිළිබඳ මනා පුහුණුවකින් පසුවය. ඇය රංගන ශිල්පිනියක් පමණක් නොව දක්ෂ නර්තන ශිල්පිනියකි, බටහිර නර්තන ගුරුවරියකි.

මම නාට්‍ය සහ රංගකලාව හැදෑරුවේ තරුණ සේවා සභාවෙන්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ රංගනය සහ වේදිකාව ගැන මනා පුහුණුවක් ලැබුණා. එය පූර්ණ කාලීන පාඨමාලාවක්. ඒ හරහා ලබා ගත් දැනුමින් නාට්‍ය සහ රංග කලාව සඳහා ඩිප්ලෝමාවක් මට ලබා ගන්න හැකිවුණා. ඒ 2017 වසරේදී. 2018 දී මට කලාකාරිනියක් විදිහට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව හිමිවුණා. පුංචි කාලේ සිටම මම ඇලුම් කළේ රංගනයට. පාසලේදී ඉඩක් ලද සෑම අවස්ථාවකදීම දුවගෙන ගියේ ඩ්‍රාමා රූම් එකට. මේ දිනවල ප්‍රවීණ රංගවේදියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වූ ගිහාන් ප්‍රනාන්දුගෙ ” ලොක්කා ලෙඩ වෙලා” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නාට්‍යයත් සමඟ රටවටා යනවා. රංගන ශිල්පිනියකුට හෝ රංගන ශිල්පිනියකට වේදිකාවේ පුහුණුව වැදගත් කියලයි මම සිතන්නේ. වේදිකා නාට්‍ය රංගනය තුළින් බොහෝ අත්දැකීම් සහ රංගනය පිළිබඳ මනා පුහුණුවක් ලැබෙනවා. වේදිකාවේදී දෙබස් කීමේදී ,රංගනය ඉදිරිපත් කිරීමේදී වචනයක්වත් වරද්දන්න බැහැ. මගේ රංගනය සාර්ථක කරගත්තේ වේදිකාවෙන්.

මගේ මුල්ම චිත්‍රපටය වුණේ ‘ හිතුමතේ ජීවිතේ’. ඒ වගේම තිත්ත ඇත්ත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. මම රඟපෑ තවත් චිත්‍රපටයක් තමයි මොනාලිසා. ඉදිරියේදි මම රඟපෑ තවත් චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ එරංග සේනාරත්නයන්ගේ ‘ ඔස්කා’ චිත්‍රපටය. එහි කියවෙන්නේ නවක නිළියක් ගැන. එයත් මට ලැබුණ වෙනස් විදිහේ රංගනයක්. ඒ සඳහා මට ආරාධනා කළේ එරංග සේනාරත්න. මම එහි රඟපෑවේ අපේ රටේ දක්ෂ රංගවේදියෙකු වු පාලිත සිල්වා සමඟ. ඔහු මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. සිනමාවේදී මම චරිත තෝරා බේරා ගැනීම ගැන එතරම් උනන්දු වෙන්නේ නැහැ. නමුත් චිත්‍රපටයේ පිටපතට, කතාවට තමයි මුල්තැන දෙන්නේ.

sarasaviya

kemadasa

Back to top
Go to bottom