දහනව වැනි සියවසේ ප්රංස ජනජීවිතය චිත්තාකර්ෂණීය ලෙස සිය නිර්මාණ ඔස්සේ සිත්තම් කළ ලේඛකයා ගී ද මෝපසාං ය. වසර 43 ක් වැනි කෙටි ජීවිත කාලය තුළ ඔහු කෙටිකතා 300 ක් සහ නවකතා 6 ක් විශ්ව සාහිත්‍යයට දායාද කළේ ය. මෝපසාං කවියකු ද වේ. ඔහුගේ නිර්මාණ වලින් වඩාත් පිළිබිඹු වූයේ යථාර්ථවාදී ලක්ෂණය. යථාර්ථවාදී මෙන් ම ස්වභාවිකවාදී ගුරුකුලය ද නියෝජනය කළ ලේඛකයකු ලෙස ඔහු සැලකේ. චාරිකා සාහිත්‍ය යටතේ වර්ගීකරණය කළ හැකි කෘතීන් 3 ක් ද ඔහු අතින් රචනා විය. මෝපසාංගේ පළමු ප්‍රකාශිත කෙටිකතාව වන බෝල් ඔෆ් හැට් (1880) ඔහුගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර කෘතිය බව පිළිගැනීමය. නූතන කෙටිකතාවේ පිතෘවරයා ලෙස ද ඔහු සැලකේ.
1850 අගෝස්තු 5 වැනිදා ප්‍රංසයේදී උපත ලැබූ හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං මධ්‍යම පාන්තික පවුලක දරුවෙකි. ඔහු 11 හැවිරිදි වියට එළැඹෙනවිට මව සහ පියා නීතියෙන් වෙන්විණි. හෙන්රි සහ ඔහුගේ සොයුරු හර්ව් එවක් පටන් හැදී වැඩුණේ මවගේ සෙවණේ ය. ඇය, ලෝරාල ‘පොයිතවින්’ අසාමාන්‍ය ලෙස පොත - පත කියැවීමට හුරු වී සිටි අයෙකි. ශේක්ස්පියර්ගේ කෘතීන්වලට ඇය වඩාත් ප්‍රිය විය.
මෝපසාං සොහොයුරන් මවත් සමඟ ජීවත් වූයේ සරුසාර පිටිසරබද වෙරළබඩ පළාතකය. එළිමහනේ කෙළි සෙල්ලම් කිරීමට මෙන් ම මාළු බෑමට ද ගී ද මෝපසාං බෙහෙවින් රුචි කළේ ය. 13 හැවිරිදි වියට පැමිණි කල සිය පුතුන් දෙදෙනා පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීමට ලෝරා පෙලඹිණි. ඔවුන්ට නේවාසිකාගාරයේ නතර වීමට සිදු විය.
17 හැවිරිදි වියට එළැඹි මෝපසාං කණිෂ්ට උසස් පාසලට ඇතුළත් කෙරිණි. මවගේ දැන හැඳුණුම්කම ඔස්සේ ප්රංස ලේඛක ගුස්ටාව් ෆ්ලොබෙයා, ගී ද මෝපසාංට හැඳින ගැනීමට ලැබෙන්නේ එහිදී ය. මෝපසාං පාසල් වියේ පටන් ම කාව්‍ය රචනයට හා නාට්‍යකරණයට දක්ෂයෙකි. 18 හැවිරිදි මෝපසාං ප්‍රකට ප්රංස කවියකු වූ ඇල්ගර්නන් චාර්ල්ස් ස්වින්බර්ස් මුහුදේ ගිලෙමින් සිටියදී ඔහුගේ දිවි බේරා ගැනීමට සමත්වීම ද විශේෂ කාරණයකි. පැරිස් සරසවියේ නීති ශිෂ්‍යයකු ලෙස උසස් අධ්‍යාපන කටයුතු හමාර කරන්නටත් පෙර ප්රංස - ප්රසියානු යුද්ධයේ අමිහිරි අත්දැකීම විඳ ගැනීමට මෝපසාංට ද සිදු විය. ස්වේච්ඡා සෙබළකු ලෙස ඔහු යුද බිමට යැවිණි. වසරක් යුද බිමේ සිටි ඔහු ආපසු පැරිසියට පැමිණියේ ය. ඉන් පසු නාවික දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවයට බැඳී දසවසරක් එහි නිරත විය. මේ කාලයේදී ඔහුගේ එකම විනෝද ක්‍රීඩාව වූයේ සති අන්ත දිනවල බෝට්ටු පැදීම හා මාළු බෑමයි.
දිගින් දිගටම ෆ්ලොබෙයාගේ රැකවරණය මෙන් ම මඟ පෙන්වීම මෝපසාංට ලැබීම වාසනාවකි. ෆ්ලොබෙයා ඔහු පුවත්පත් කලාවට සහ සාහිත්‍යයට තවදුරටත් නැඹුරු කළේ ය. ෆ්ලොබෙයාගේ නිෙවසේ දී ඔහුට එමිල් සෝලා මෙන් ම රුසියානු නවකතා කරු ඉවාන් ටර්ගිනිව්ද හමු විණි. ඒ හැරුණු විට තවත් නිර්මාණකරුවන් ගණනාවක් ම ඔහු එහිදී හැඳින ගත්තේ ය. වර්ෂ 1875 දී ඔහු ප්‍රහසනාත්මක නාට්‍යයක් රචනා කරමින් එහි චරිත නිරූපණයේද යෙදිණි. ඊට ෆ්ලොබෙයාගේ ආශිර්වාදය ද හිමි විය.
පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයකු ලෙස අත්දැකීම් ලැබූ මෝපසාං අමතර කාලය යෙදවූයේ කෙටිකතා හා නවකතා ලිවීම වෙනුවෙනි. වර්ෂ 1880 දී ප්‍රකාශයට පත් වූ ඔහුගේ මුල් ම කෙටිකතාව වන Boule de Suif (Ball of fat) විශාල වශයෙන් සාර්ථක විය. මේ කෘතිය පිළිබඳ ෆ්ලොබෙයාගේ හැඳින්වීම වූයේ එය මෝපසාං ගේ ලේඛක ජීවිතයේ අනුමැතිය වශයෙන් පවතිනු ඇති බවයි. එය එසේ ම විය. වර්ෂ 1880 - 1891 වකවානුව මෝපසාංගේ නිර්මාණ ජීවිතයේ සශ්‍රීකම අවදිය ලෙස සැලකේ. පළමු කෘතියෙන් ම අතිවිශාල අවධානයකට ලක්වූ ඔහුගේ සෑම කෘතියක් පාහේ විශාල ඉල්ලුමක් ලද්දේ ය. ඔහු ධනවතකු වීමට එය හේතු විණි. La Maison Tellier නම් ඔහුගේ පළමු කෙටිකතා එකතුව දෙවසරක් තුළ මුද්‍රණ 12 ක් නිකුත් විය. ඔහුගේ පළමු නවකතාව Une Vie (A Woman’s Life) වසරකට අඩු කාල සීමාවක් තුළ පිටපත් 25000ක් අලෙවි විය. දෙවන නවකතාව Bel Ami මාස 4ක් තුළ මුද්‍රණ 37ක් නිකුත් විය. මෝපසාංගේ නිර්මාණ බොහොමයකට පසුබිම් වූයේ ප්රංස - ප්රසියානු යුද්ධයයි.
පැරිසියේ අයිෆල් කුලුන ඉදි වූ සමයේ ප්රංස ජාතිකයන් බොහෝ දෙනා එය අවලස්සන නිර්මාණයක් ලෙස සැලකීය. මෝපසාංට ද එය පෙනුණේ එලෙසම ය. එය දැකීමට නොරිසි වූ බැවින් ඔහු බොහෝ විට දිවා ආහාරය ගැනීමට ගියේ අයිෆල් කුලුන පාමුල පිහිටි අවන්හලට ය. එතැනට කුලුන දර්ශනය නොවීම ඊට හේතුවයි. ඔහු සහ තවත් ලේඛකයන් හා කලාකරුවන් 45 දෙනකු කුලුන ඉදි නොකරන ලෙස ලිපියක් මගින් රජයෙන් ඉල්ලා තිබේ. ගී ද මෝපසාං, ගී ද වොල්මොස්, ජෝෂප් පෘනියර් වැනි නම්වලින් ද ලේඛන කටයුතුවල යෙදී තිබේ. අවාසනාවකට වයස විසි ගණන්වලදී ඔහුට සිෆිලිස් රෝගය වැලඳිණි. එහි එක් රෝග ලක්ෂණයක් වූයේ උන්මත්තකභාවයයි. මානසිකව ඔහු කිසියම් හුදෙකලාවක ගිලී සිටියේ ය. මේ රෝගී තත්ත්වය ඔහුගේ නිර්මාණ ජීවිතයට ද බලපෑමක් ඇති කළේ ය. ශීඝ්‍රයෙන් එහෙත් අතිදක්ෂ ලෙස ලේඛන කටයුතුවල යෙදුණු ඔහුගේ එම ලේඛන කාර්යයන් මන්දගාමී වී තිබිණි. ඔහු භාවනාවට මෙන් ම චාරිකාවල යෙදීමට ද නැඹුරු වී සිටියේ ය.
වර්ෂ 1880 - 1886 වකවානුවේදී මෝපසාං ජිසෙල් එස්ටොක් නම් යුවතියක සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව දැක්වේ.
ජොසපින් නමැති කාන්තාවක සමඟ ද ඔහු ප්‍රේමයෙන් වෙළී සිටියේය. ඇය දරුවන් තිදෙනකුගේ මවක් වූ බව ද ඔවුන්ගේ පියා ලෙස පෙනී සිටියේ මෝපසාං බව ද ඇතැම් මූලාශ්රවල සඳහන් ය.
රෝගී තත්ත්වය මත ඇතිවූ උන්මත්තක බව උග්‍ර අතට හැරී සිය දිවි නසා ගැනීමට පවා ඔහු ප්රයත්න දරා තිබේ. වර්ෂ 1892 දී ගෙල කපාගෙන දිවි තොරකර ගැනීමට ඔහු වෑයම් කර තිබිණි. අවසානයේදී ඔහු උන්මත්තකාගාරයට යැවීමට තරම් තත්ත්වය දරුණු විය.
පැරිසියේ පිහිටි එම උන්මත්තකාගාරයේදීම 1893 ජූලි 6 වැනිදා ඔහු ජීවිතයෙන් නික්ම ගොස් සිටියේ ය. ඒ වනවිට ඔහු 43 හැවිරිදි වියේ පසුවිණි.
ධම්මික සෙනෙවිරත්න