වේලාව උදෑසන පහයි. නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටා ඇති ඞ්රුක් ගවා කිල්වා නම් මෙහෙණි ආරාමයේ සිටින මෙහෙණිවරු කුංග්ෆු සටන් පුහුණුවේ නිරත වෙති.
එක් පාදයක් ඉදිරියට නවා අනෙක් පාදය පිටුපසට ඇද නැවත නැවතත් පහර එල්ල කිරීම ක්ෂණිකව සිදු කරමින් නිවැරදි පහර එල්ල කිරීමෙහි පුහුණුව ලබා ගැනීමට ඔවුහු මහත් පරිශ්‍රමයක් දරති. ශක්තිය කැටි කොටගත් මේ සෑම චලනයක්ම, දෙසවන් විනිවිද යන බෙර නාදයත් සමඟ බද්ධව එයට අනුකූල රිද්මයකට සිදුකරනු ලබති. කරාතේ නිළ ඇඳුමට සමානව සකසා ගත් මඳටිය ඇටයේ රතු පැහැයට හුරු සම්ප්‍රදායික මෙහෙණි චීවරයෙන් සැරසීගත් ඔවුන්ගේ සිනාසෙන මුහුණු පිටුපස සැඟව ඇති ජවය හා බලය අති මහත් බව හැඟවේ.
ඔවුහු නමින් කුංග්ෆු මෙහෙණිවරු වෙති. ලෝක ප්‍රසිද්ධ බෲස්ලී සටන් ශිල්පියා හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ බිහිසුණු සටන් කලාව පුහුණු වීමේ භාග්‍යලත් නේපාලයේ එකම කාන්තා කොට්ඨාසය ද ඔවුහු වෙති. මෙතෙක් නේපාලයේ බෞද්ධ භික්ෂුලභික්ෂුණින් අතර වූ කටයුතු සම්බන්ධයෙන් ප්රමුඛ ස්ථානයක් මෙන්ම නායකත්වය ද භික්ෂූන්ට හිමි විය. මෙහෙණිවරුන්ට ඉතිරි වූයේ ඵල ප්‍රයෝජනයක් නොමැති ගෘහාශ්‍රිත කටයුතු පමණි. නමුත් 2008 වර්ෂයේදි එය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඒ වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන ඞ්රුක්පා පෙළපතේ ග්යල්වැන්ග් ඞ්රුක්පා නායකතුමන්ගේ මැදිහත් වීමෙනි.
ඔහු වියට්නාමයේ සිදුකළ සංචාරයක් මේ සියල්ලෙහිම මූලාරම්භය විය. වියට්නාම මෙහෙණිවරු සිය ආත්මාරක්ෂාව සඳහා මේ සටන් කලාවේ නියැලෙනයුරු දුටු ඔහු එය නේපාලය වෙත ද ගෙන ඒමට ඉටා ගත්තේය. ඉන්දියාවේ මෙන්ම තිබෙතයේ දරිද්‍ර පවුල්වලින් පැවත එන බොහොමයක් තරුණ නේපාල මෙහෙණිවරුන්ට සමානාත්මතාවය මෙන්ම ශක්තිය ලබා දීමට පෙළඹවීම ද ඔහුගේ අරමුණ විය.
සෑම දිනකම මෙහි වෙසෙන වයස අවුරුදු 10ත් 15ත් අතර පසුවෙන තරුණ මෙහෙණිවරු 350 දෙනෙකු පමණ ඉතා වෙහෙසකර වූ පුහුණු වාර තුනකට සහභාගි වෙති. වසරකට දෙවතාවක් පැමිණෙන වියට්නාම ගුරුවරුන් විසින් කියා දෙන අභ්‍යාසයන් ඔවුහු එහිදී පුහුණු වෙති. ඉරියව් වඩාත් නිවැරදි කර ගැනීමට සම්ප්‍රදායික ආවුධ පවා ඔවුහු භාවිත කරති. ඒවා නම් කි ඇම් (කඩුව), කුඩා දාවෝ (කුඩා වකුටු කඩුව), විශාල දාවෝ (කෙටේරිය), ටොං (හෙල්ලය) සහ නංචක්කුව (යකඩ පොලු දෙකකට සවි කරන ලද දම් වැලකින් යුත්) වේ. නොයෙක් සටන් චිත්‍රපටවල දැක ඇති පරිදි ක්ෂණිකව උළුකැට, ගල් කුට්ටි ආදිය කඩා දැමිමේ දි භාවිත කරන විශේෂිත වූ තාක්ෂණික ක්‍රම ඔවුන්ගේ කායික මෙන්ම මානසික ශක්තීන් ද ආශ්‍රය කොට ගෙන පුහුණු කෙරෙති. ඒවා ප්‍රදර්ශනාත්මකව පෙන්වනු ලබන්නේ ද ග්යල්වැන්ග් ඞ්රුක්පාතුමන්ගේ උත්පත්ති දිනයන්හි පමණක් වීම විශේෂත්වයකි.
බොහොමයක් කළු පටිදාරී මෙහෙණිවරු විශ්වාසයෙන් පවසන දෙයක් වන්නේ කුංග්ෆු සටන් ශිල්පය ඔවුන්ට ආරක්ෂාව, ආත්ම අභිමානය දනවන බවත් ශක්තිමත්ව සිටිමට උපකාරී වන බවත් ය. එමෙන්ම සිත එකඟ කර ගැනීමටත්, එක දිගට බාවනාවෙහි නිරත වීමට එයින් හැකියාව ලැබීමත් අමතර වාසියක් වූ බව ඔවුහු පැවසූහ.
වයස අවුරුදු විසි ගණන් වල පසු වූ ජිග්මේ කොන්චොක් වසර පහක පමණ සිට කුංග්ෆු සටන් කලාව පුහුණු වන්නියකි.
“මගේ චලනයන් පිළිබඳව නිරතුරුවම අවධානයෙන් සිටිමට මට අවශ්‍යයයි. එහි ඇති වැරැද්ද සහ නිවැරදිතාවය සොයා ගැනීමටත්, අත්‍යවශ්‍ය නම් පමණක් එය නිවැරැදි කර ගැනීමටත් මට අවශ්‍යයයි. මාගේ මතකයේ සටහන්ව ඇති සෑම චලනයකම අනුපිළිවෙල පිළිබඳව මාගේ අවධානය යොමු කරනවා. අපගේ ඉරියව් වරදින්නේත්, ආවුධ බිම වැටෙන්නේත් සිත එකඟ නොවුණොත් පමණයි. බාවනාවේදී ද එය එසේමයි.”
ජල නළ කාර්මික කටයුතු, විදුලි කටයුතු, අක්ෂර මුද්‍රණය, පාපැදි භාවිතය, ඉංග්‍රීසි ඉගෙනීම වැනි පිරිමි පාර්ශවය පමණක් සිදු කළ කටයුතු සිදු කිරීමටත් ග්යල්වැන්ග් ඞ්රුක්පා තුමන් ඔවුන්ව දිරිමත් කරයි. ඔහුගේ අනුදැනුම යටතේ යාඥා කිරීම ආදියට නායකත්වය සැපයීම, මූලික ව්‍යාපාර හැකියා වර්ධනය, අමුත්තන්ට වෙන්වූ නිවාසයක් සහ කෝපි හලක් පවත්වා ගෙන යාමට ද ඔවුහු කටයුතු කරති. මානසිකව ඔවුන් ලැබූ පන්නරය සමාජ සුබ සිද්ධිය සඳහා යෙදවීමට ද ඔවුන් කටයුතු කරමින් සිටි.
2015 වර්ෂයේ නේපාලයේ සිදුවු දරුණු භූමි කම්පවේ දි පවා ඔවුහු ආපදා වූවන්ට සහන සැලසීමෙහි නිරතව සිටියහ. නිරුපද්‍රිත ස්ථානයන් කරා යෑම ප්‍රතික්ෂේප කළ මෙහෙණිවරු, අවට ගම්මාන කරා ගොස් අවහිර වූ මාර්ග යනාදිය පිළියෙල කරමින් නේපාල ජනතාවට උපකාර කළහ. ආපදාවෙන් දිවි ගලවාගත් පුද්ගලයින්හට ආහාර මෙන්ම නවාතැන් ගැනීමට කූඩාරම් ඉදිකිරීමෙහිදී ද මෙහෙණිවරු මහත් දායකත්වයක් දැක්වූහ.
පරිසරය පිළිබඳ මිට වඩා ඇල්මක් උනන්දුවක් දක්වන ලෙස සහ මෝටර් රථ වෙනුවට පාපැදි භාවිතයට හුරු වෙමු යන පණිවිඩය රැගත් පා පැදි රැළියක් පැවැත්වීමට ද ඔවුහු කටයුතු කළහ. ග්යල්වැන්ග් ඞ්රුක්පා නායකතුමන්ගේ මූලිකත්වය හෙබවූ මෙම රැළිය කත්මණ්ඩු නුවර සිට දිල්ලිය දක්වා කි.මි. 2200ක දුරක් ගෙවා ගමන් කිරීම විශේෂත්වයක් වුණි. එසේම කාශ්මිරය වැනි බල අරගලය නිසා අසරණ වූ ප්‍රදේශ හරහා ද සිය පණිවිඩය රැගෙන ගමන් කිරීමට ඔවුහු කටයුතු කළහ. විවිධත්වය හා සාධාරණත්වයෙහි ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදි දේශනා පැවැත්වූහ. කෙසේ වෙතත් කාන්තාවන්ගේ ශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය විය.
ස්වාති ජේන්, BBC පුවත් සේවයට කළ විමසුමක් ආශ්රයෙන් සැකසුණු ලිපියකි.පරිවර්තනය අභිෂේකා වාසල බණ්ඩාර.