පතී ගැන බද්දරමල්ල එදවස සොඳුරුමය සතිපතා තීරුවට මගේ මතක එකතුවෙලා යන්තම් මාස දෙකක් ගෙවුණා විතරයි. මෙන්න පතීට අමුතුම වර්ගයේ උපහාර උත්සවයක්. 2017 අප්‍රේල් 25 අඟහරුවාදා, එදවස සොඳුරුමය, තීරුවෙ හෙඩිම වුණේ, ධර්මසේන පතිරාජ, සිනමාවේ කැරලිකාරුවාය, ගීත රචකයා ය, කවියා ය කියල. ඒ තීරුව කියවපු මාධ්‍යවේදී ‘පර්සි ජයමාන්න මිතුරා මට මතක් කළේ, පතී, ඉස්කෝලෙ යන කාලේ ඒ කියන්නෙ, මහනුවර ධර්මරාෙජ ඉගෙන ගන්නකොට කෙටිකතාත් ලියල තියෙනව කියලා. පස්සෙ කාලෙ පර්සි ලේක්හවුසියේ වැඩකරනකොට පතීගෙ කෙටි කතා නවයුගය ඇතුළු ලේක්හවුස් ප්රකාශනවලත් පළවී තිබුණා කියලා. ඔව්, පතී, ඇත්තටම තාමත් කෙටිකතාකාරයා බව අපට මතක් කරල දෙනවා. 2017 ජුනි 18 රාවය, අහස අතිෙර්කය (ජීවිතයට ආදරයෙනි - ටිරන් කුමාර බංගමආරච්චිගේ සංස්කරණය) ආවතේවකාරය කියල අපූරු කෙටිකතාවක් පළකරනවා. ඒකේ අයිතිකාරය ධර්මසේන පතිරාජ. පතීගෙ අලුත් කතාවක්ද පරණ කතාවක්ද කියල දන්නෙ නෑ. ඒත් පතී කවියා වගේම කතාකාරයෙකුත් බව දැන් අපි හොඳින්ම දන්නවා.
ධර්මරාජෙ ඉන්දෙද්දි වගේම පතී, පේරාදෙණි, කැම්පස් ඉන්න කාලෙත්, කෙටිකතා ලිවීම අත්හැරියෙ නැති බව පේනවා. පේරාදෙණියෙදි සිංහල ගෞරව උපාධියට ඉගෙන ගත්තත් පතීගෙ සිනමා පිස්සුව දරුණුවටම තිබුණා කියල ඊයේ පෙරේදා මට මතක් කළේ, කොළඹ විශ්වවිද්‍යාලයෙ සිංහල මාහාචර්යවරියක වූ රෝහිණී පරණවිතාන. පතීට පනහයි කියල පවත්වපු අමුතු වර්ගයේ උපහාර උත්සවය ගැන කතාබහකදී, රෝහිණි පරණවිතාන මතක් කළේ, එයාට වැඩිය අවුරුද්දක් විතර සීනියර් පතිරාජ, කැම්පස් එකේ ෆිල්ම් ක්ලබ් එකක් හදාගෙන, ෆිල්ම්ස් බලන්න කැමති අයට මෙම්බර්ෂිප් පොතක් දීල, හැම මාසෙකම මොකක් හෝ චිත්‍රපටයක්, කතිකාවක් සංවාදයක් පැවැත්වූව කියලා. ඒ වගේ පතිරාජල, පේරාදෙණිය නෙවී, ලංකාවෙ වෙන මොනයම්ම හරි විශ්වවිද්‍යාලෙක දැන් ඉන්නවද කියල හොයල බලන්න වටිනවා. හිටියත් අතක ඇඟිලි ගාණට වඩා අඩුයි කියන එක නම් ෂුවර්ම ෂුවර්.
එදා කැම්පස් ජීවිතයත්, අද කැම්පස් ජීවිතයත් අතර වෙනස්කම් බොහොමයක් තියෙනව කියලා කාටහරි නිදහසට උත්තර දෙන්නත් පුළුවන්. අද කැම්පස් නංගිල මල්ලිලට කොච්චර කෝටියක් බාහිර ක්‍රියාකාරකම්ද? විරෝධතා, වර්ජන, උපවාස, ඕව මැද්දෙ කලාව, සාහිත්‍යය, සිනමාව වගේ ජීවිතකයට අලුතින් හිතන්න පුරුදු කරවන දේවල් ගැන ඔළුව යොදවන්න වෙලාව හොයාගන්න බැරුව ඇති. ඒත් රෝහිණී පරණවිතාන මැඩම්ගෙ අතීත මතක විදියට නම්, පතිලගෙ කාලේ කැම්පස් එකේ හුඟදෙනෙකුට පික්චර් පිස්සුව තිබුණලු. ඒ පිස්සුව හදන්න පෙරමුණේ හිටපු වීරයෙක් විදියට පතීව මතක් කරන්න පුළුවන්ලු. මට මතකයි, පතී මතක් කරනවා, පේරාදෙණියෙ ඉන්න කාලෙදිම කොළඹ නාට්‍ය, සාහිත්‍ය කලා කණ්ඩායම් එක්ක ළඟ සමීප සම්බන්ධකම් පවත්වගෙන ගිය විදිය. පේරාදෙණියෙ හිටපු සරච්චන්ද්‍ර පතීගේ ගුරුතුමා. ඒත් කොළඹ ඉඳන් නාට්‍ය කරපු අපේ කට්ටියේ සුගතපාල ද සිල්වා, ඔහුගෙ වීරයෙක්. අලුත් නාට්‍ය ශෛලියක පුරෝගාමියා සුගත්. පතී පේරාදෙණියෙ හිටියත් කොළඹ හිටපු අපේ කට්ටිය එක්ක මිත්‍ර පයුරු පාසානය නිසා, තිලක් ජයරත්න, ඩබ්ලිව්. ජයසිරි, විමල් කුමාර ද කොස්තා, සරත් කැල්ලපොත, රංජිත් ප්‍රනාන්දු, පියසේන අහංගම වගේ මිත්‍ර සමාජයකුත් එක්කත් සම්බන්ධ වෙනවා. පතීට පනහයි කියපු උපහාර උත්සවය තේමාව, පතීගෙ කලා ජීවිතයට, විශේෂයෙන්ම ඔහුගේ සිනමාවට අවුරුදු පනහයි කියන එක. පතී සුගතපාල සෙනරත් යාපා කණ්ඩායමත් සමඟ හන්තානෙ කතාව චිත්‍රපටය හදන්නෙ 1967 දී. හන්තානෙ තිර කතාව ලියන්න පතී හවුල් වෙනවා, ඒ වගේම, සෙනරත් යාපගෙ සහාය අධ්යක්ෂවරයා විදියටත්, ඉතින් 2017 වෙනකොට පතීගෙ සිනමාවට පනහයි.
හැබැයි පතීගෙ කලාවට වයස නම් ඊට වැඩියි. මොකද ධර්මරාජෙ ඉන්න දවස්වල ඉඳලම පතී අනෙකුත් කලා නිර්මාණ සමඟත් සම්බන්ධ නිසා. අප්‍රේල් මාසෙ එදවස සොඳුරුමය තීරුවෙ මගේ හෙඩිම පතී, සිනමාවේ කැරලිකරුවාය, ගීත රචකයාය, කවියාය කියල කිව්වත් ඊට එකතුවෙන්න ඕන තව බොහෝ කලාංශ පතීගෙ නම ඉදිරියේ සටහන් කරන්න වෙනවා. පතිරාජ නම් වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයා (පුටු) පතිරාජ නම් නාට්‍ය රචකයා (කොරා සහ අන්ධයා - ධම්ම ජාගොඩ නිෂ්පාදනය), පරිවර්තකයා, (පේද්රෝ පරාමෝ) ටෙලිනාට්‍ය කලාවේ’ පතිරාජ (මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නි හාමිලාගේ කතාව, සුදු බණ්ඩලාගේ කතාව, පුරසක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නාඳුනන පුත්තු, දුර්ගාන්තය, කම්පිත විල්), මේ අතරිනුත් ඇල්ල ළඟ වලව්ව නැත්නම් විශේෂයෙන්ම කඩුල්ල අපට කියල දෙන්නෙ පතිරාජ කියන සිනමාකරුවගෙ නිපුණතාව පිළිබඳ පාඩමක්. සිනමාවෙ ඔහුගේ අහස් ගව්ව, බඹරු ඇ විත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ වගේ චිත්‍රපට එක්ක ටෙලිනාට්‍ය කලාවෙ කඩුල්ල ඉහළින්ම සලකන්න පුළුවන් නිර්මාණයක්. ඉතාම මෑතක දී නිමාවුණු ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ජූරියේ සභාපති විදියට පතිගෙ ජූරිය ගත්ත තිරණ ගැන රසිකයො වගේම විචාරකයොත් දැක්වුවෙ ඉතාම සාධනීය ප්‍රතිචාර. පතිරාජ සිංහල සිනමාවෙ පළමුවන අධ්යක්ෂවරයා දෙමළ භාෂීය චිත්‍රපටයක් හදන. පොන්මනී (1977) යාපනය සරසවියේ සේවය කරන සමයේ සිත උපන් කතා වස්තුවක් අපූර්වත්වයෙන් පතී පොන්මනී සිනමාවට ගේනවා. යාපන සරසවියේ උප කුලපති කෛලාසපති, පතීට පොන්මනී, බඹරු ඇවිත් චිත්‍රපට හදන්න නිල නිවාඩු අනුමත කරමින් මෙහෙම කියනවා. “You go and do the film and bring the fame to the university” උප කුලපති කෛලාසපතිට, යාපනය සරසවියට පතීගෙ වටිනාකම දැනුනත්, පතී වැදගත් වුණත්, පතී වැනි විශිෂ්ටයෙක් බිහිකළ පේරාදෙණිය සරසවියට පතීව මතක් වෙන්නෙ නෑ. සාහිත්‍ය සූරී සම්මාන උපාධියක් (D. Litt) වත් දෙන්න, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට වුණත් පතීව අමතක වෙනවා. එක අතකට ඒගොල්ලන් සම්මාන ආචාර්ය උපාධි දීල තියෙන සමහර අය ගැන හිතනකොට පතීට ඒ වගේ උපාධියක් නොලැබීමත් එක විදියක ගෞරවයක්.
කථිකාචාර්ය ධර්මසේන පතිරාජ ආචාර්ය ධර්මසේන පතිරජ වෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ මොනෑෂ් සරසවියෙන් Film studies සිනමා අධ්‍යයනය වෙනුවෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස. විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් විදියට පතී විද්‍යාලංකාරේ (කැලණිය විශ්ව විද්‍යාලය) යාපනය සරසවිය, කොළඹ විශ්වවිද්‍යාලය. ශ්‍රී පාලි මණ්ඩපය වැනි විද්යස්ථානහි ආචාර්යවරයකු විදියට සිප් බෙදා දුන් අයුරු මතක් කරන්න පුළුවන්. පතීගෙ සිනමාවෙන් ප්‍රකට වෙන්නෙ පතී විශ්වාස කරන අදහන දේශපාලනයේ පිළිබිඹුව.
අහස් ගව්ව, 70 දශකයේ තරුණ පරම්පරාවෙ විරැකියාව පිළිබඳ ගැටලුව ආමන්ත්රණ කළ චිත්‍රපටයක්. උගත් තරුණ පරපුරේ අපේක්ෂා භංගත්වය, ආදරය, ලිංගිකත්වය ගැන කියවුණා වගේම, සිංහල සිනමාවට තරු නොවන අලුත්ම මුහුණු රැසක්ම එකතු කළේ පතී. විමල් කුමාර ද කොස්තා, පියසේන අහංගම, විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය පතීගෙ සිනමාවෙ ඔවුන් එක්ක අඛණ්ඩ දායකත්වයේ විශිෂ්ටතම භුමිකා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, මාලිනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, ඩබ්ලිව්. ජයසිරි, සුනිලා අබේසේකර, දයා තෙන්නකෝන්, අජිත් තිලකසේන, නීල් අලස්, හෙන්රි ජයසේන, ජෝ අබේවික්‍රම, පතීගෙ නළුවරණයට හා ආනුශංගික අංශ දායකත්වයට එකතුව සිටි දැවැන්ත මුහුණු. බඹරු ඇවිත් වගේ අපූරු සිනමා කෘතියක් පිළිබඳ කතාබහක් ඇති වුණත්, පතීගෙ පාරදිගේ, සොල්දාදු උන්නැහේ, නිසි විචාරයට, කතාබහට ලක්වුණේ නෑ වගේ හැඟීමක් තියෙනවා. විශේෂයෙන්ම පාරදිගේ චිත්‍රපටය ගැන ප්‍රේක්ෂක අවධානය කෙසේ වුණත් විචාරක අවධානය, මීට වඩා ගැඹුරු කියවීමකට යන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. පතී වම් ඉවුරේ සිනමාකරුවා වගේම වම් ඉවුර දේශපාලනයෙත් ක්‍රියාකාරිකයා. ඔහු ගේ කලා භාවිතය, දේශපාලනයෙන් වියුක්තව කතා කරන්න අමාරුයි. රටට සමාජ වෙනසක් අවශ්‍ය වූ හැම කල්හිම පතිරාජ, නිවැරදි පිළ නියෝජනය කළා පමණක් නෙවී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් බය වුණේ නෑ.
සිංහල සිනමාවෙ පළමු වන සුසමාදර්ශය (Paradigm) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්, දෙවැනි සුසමාදර්ශය ආචාර්ය ධර්මසේන පතිරාජ බව නිසැක ලෙසම පවසන්න පුළුවන්. ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, පතීගෙ උපහාර උළෙල වෙනුවෙන් පළ කළ කුඩා පුස්තිකාවෙ එහෙම කියනවා. ඒක අතිශයින්ම නිවැරදි කියමනක්. පතිරාජෙග් සිනමා සම්ප්රදානය, කලාවෙහි බොහෝ අංශ තුළ විහිදී පැතිරී ගිය නිර්මාණ කෞෂල්‍යය , මෙරට කලා වංශ කතාවේ රැඳිල තියෙනවා, ලියැවී තියෙනවා. පතීගෙ සත් මිත්‍ර වෝල්ටර් අබේසුන්දරට තිබුණෙ පුදුම හදිසියක්, පතී වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න ඕනෙ කියලා. වෝල්ටර් බණ්ඩාර ඇහැළියගොඩවත් එකතු කරගෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලොක්කා, රංග කලන්සූරියගෙන් සම්පූර්ණ අනුග්‍රහය ලබාගෙන පතීට පනහයි, චාම්, එහෙත්, අභිමානවත් උත්සවය පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේම, පතීගේ මිතුරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගෙත් ආශිර්වාදය මැද්දෙ. පතී තමන්ට සුබ පතන්නට පැමිණි සහෝදර මිතුරු සංසදය අමතමින් කළ කතාව ෙඑතිහාසික යි. ඒ තමයි පතී, පතීගෙ දේශපාලනය, නිර්භීතකම. ඔහු පැවසූ බොහෝ දේ රාජ්‍ය නායකයට මෙන්ම අනෙක් මැති ඇමැතිවරුන්ටත් වැදගත් කියල මට හිතුණා. ඔහුට මාධ්‍යවේදියෙක් ආමන්ත්‍රණය කරන විදියම අපේ රටේ වර්තමාන මාධ්‍යයේ කඩාවැටීම පෙන්වන්න හොඳ නිදසුනක්. පතීගේ වචනවලින්ම සිද්ධිය මෙහෙමයි. “පසුගිය දිනෙක එෆ්. එම්. නාලිකාවක මාධ්‍යවේදියෙක් මට දුරකථනයෙන් කතා කරල අහනවා හලෝ මේ ධර්මසේනද කියල. මම ඒකට උත්තර දුන්නෙ නැහැ. පසුව ඔහු ගැන විස්තර කියල මගෙන් ඇහුවා පනහ පිරුණ නේද කියල. මම ඒකටත් උත්තර දුන්නෙ නෑ. මට උත්තරයක් දෙන්න හිතුණා. මට පනහ පිරුෙණ් අවුරුදු 25කට ඉස්සෙල්ල කියලා. ගත වූ අවුරුදු 50 තුළ මා කර තිබෙන්නේ චිත්‍රපට දහයයි. එය අවුරුදු පහෙන් බෙදුවොත් අවුරුදු 5කට එක චිත්‍රපටයක් වගේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව, සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගත හැකිද? රුක්මණී දේවි, එඩී ජයමාන්න, ඩොමී ජයවර්ධන ඇතුළු නළු නිළියන් ගත්තම ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලය කෙතරම් ශෝචනීයද ? සිනමාව කරගෙන යාමට ප්‍රාග්ධනයක් නැතිනම් එතන කොහොමද කර්මාන්තයක් ඇතිවෙන්නෙ? දැනට කර්මාන්තයක් වගේ පෙනෙන්නේ තමන්ගේ බඩවියත රැක ගැනීමට කරන විවිධ දේවල් නිසයි. එමනිසා අනාගත සිනමාකරුවන්ට මේ ක්ෂේත්රයේ ඉදිරියට යාමට අපට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. තරුණ පරපුරට අපට වඩා විශාල උණක් තිබෙනවා මේ ක්ෂේත්රයේ ඉදිරියට යාමට. ඒ සඳහා රජය මැදිහත් වෙන්න ඕනෙ. ඒ අයට ප්රාග්ධනය සොයා දිය යුතුය. ජනාධිපතිතුමා ජනවාරි 08 දා ජයගත්තේ මේ රටේ ආර්ථිකය පිරිහුණු සංවර්ධනය පිරිහුණු අධ්‍යාපනය අාදී සෑම දෙයක්ම සමඟ බුද්ධ ශාසනයත් පිරිහී තිබුණු රටක්. වර්තමානයේදී බුදු හාමුදුරුවන්ටත් බැරි වුණු බුද්ධ රාජ්‍ය පිහිටුවන්න හදන්නේ සිවුරු දාගත් චීවරධාරීන් ජටිලයන්, නිඝන්ටයන් පිරිසකුයි. මේ අය මැඬපැවැත්වීමට කාලය ඇවිත්. ”
පතී කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට එහා ගිය දේශපාලනය, ආර්ථිකය, කලාව පිළිබඳ ඉස්සරහ දකින්න පුළුවන් චරිතයක්. ඔහුගෙ කතාවෙ චීවරධාරීන් ගැන කියපු ටිකම මදෑ පතීව තේරුම් ගන්න. පතී, පතී, පතී ඔබව අපට හරියට වටිනවා. ඔබ අපට සම්පතක්.
බුද්ධදාස ගලප්පත්ති