අමලා අක්කිනෙනි (amala akkineni) ඉන්දියාවේ හයිද්‍රාබාදයේ තිබෙන චිර ප්‍රසිද්ධ සත්ත්ව සුභ සාධන සංවිධානයක් වන Blue Cross of Hyderabad හි නිර්මාතෘ වරියයි. මේ සංවිධානය හයිද්‍රාබාදයේ පමණක් නොව සමස්ථ ඉන්දියාවේම තිබෙන එවැනි වර්ගයේ ප්‍රචලිතම ආයතනය වේ. ඉතා ආකර්ශනීය මෙන්ම වේගවත් පාරිසරික ක්රියාකාරීත්වයකට නායකත්වය දෙන ඇයගේ ඉතිහාසය මදක් පිරික්සා බැලීම වටින්නේ ඇය නිර්මාංශ වේදය ප්‍රචලිත ඉන්දියාවට නිර්සත්ත්ව වේදය (veganism) ආකර්ශනීය ලෙස හඳුන්වා දුන් නිසාය.
නිර්මාංශ වීම පිලිබඳ සාරවත් ඉතිහාසයක් තිබෙන ඉන්දියාවේ බොහෝ දෙනකු යහමින් සත්ත්ව කිරි පානය කරති. අමලා උත්සාහ කරන්නේ මේ කිරි ඇබ්බැහියෙන් ඉන්දියානුවා මුදවා ගැනීමටයි. ඒ සඳහා ඉතාම විද්‍යාත්මක ප්‍රවේශයක් යෝජනා කරන ඈ මූලික වශයෙන් සිටගෙන සිටින්නේ බටහිර සත්ත්ව සුභසාධන වාදය නොව හින්දු දහමේ එන ලෝකායත ධර්මයත් බුදු දහමේ එන අවිහින්සාවාදයත් මතය. නිර්මාංශ වාදය කොතරම් හුරු වුවද නිර්සත්ත්ව වේදය වෙනම ජීවණ කලාවක් ලෙස දකුණු ආසියාවට එතරම් හුරු නැත. අමලාගේ උත්සාහය මේ අදහස ඉන්දියානුවන් තුල ප්‍රචලිත කිරීමය. නර්තන ශිල්පිනියකුද හිටපු චිත්‍රපට නිළියකද වන ඇගේ වතගොත මදක් විමසා බැලීම් වටින්නේ එහෙයිනි.
ලලිත කලාව පිලිබඳ තමිල්නාඩුවේ කලස්ශේත්ර ඇකඩමියෙන් තම උසස් අධ්‍යාපනය නිම කල ඇය ඉන් පසු එම විශ්වවිද්‍යාලයේම නර්තන කණ්ඩායම සමග මුළු මහත් ඉන්දියාවේත් විදේශ රටවල් ගණනාවකත් සංචාරය කරයි. ඇයගේ චිත්‍රපට ජීවිතය පටන් ගන්නේ ඉන් පසුවය. 1985 සිට 1992 වන තෙක් භාෂා පහකින් නිමවුණු චිත්‍රපට 50ක පමණ රඟ පාන ඇය ඉන් පසු තෙලිගු රංගන ශිල්පියකු වන නාගර්ජුන සම විවාහ වෙයි. ඇගේ සත්ත්ව සුභ සාධන සහ පාරිසරික වෘතාන්තය ආරම්භ වන්නේ මෙතැනිනි.
අමලා පසුගිය වසර 18 තුලදී මුළුමහත් ඉන්දියාව පුරාම, විශේෂයෙන්ම දකුණු ඉන්දියාව තුල සත්ත්ව සුභ සාධනය, වනසත්ත්ව සංරක්ෂණය, ළදරු සුභසාධනය, ග්‍රාමීය කාන්තාවන් දිරිබලගන්වීම , AIDS රෝගය පිලිබඳ සමාජයේ ආන්තික කොටස් දැනුවත් කිරීම, හා පොදුවේ පාරිසරික සංරක්ෂණය යන අංශ වල අද්විතීය සේවාවක් ඉටු කොට තිබේ. කාලගුණික විපර්යාස පිළිබඳව ඇය කල සරල , කාවැදෙන සුළු දැනුවත් කිරීම් තමිල්නාඩුවේ සහ ආන්ද්‍රා ප්‍රදේශයේ විශාල පිරිසක් වෙත ගමන් කොට තිබේ. දකුණු ආසියානු කලාපය තුල පසුගිය දශකය තුල සිදු වුනු සාර්ථකම පාරිසරික දැනුවත් කිරීම් මාලාව වන්නේද එයයි. ප්‍රසිද්ධ නිලියක මෙන්ම රුපවාහිනි අයිකනයක්ද වන ඇය තමන්ට ලැබෙන සෑම අවස්තාවක්ම කුමන හෝ පාරිසරික ගැටළුවක් තම ජනතාව ඉදිරියට ගෙන යාමට යොදා ගනියි.
ඇගේ විශ්වාසය අනුව ඇගේ ජීවිතය ප්‍රධාන බලකණු තුනක් මත රඳා පවතියි. ඒවා නම් විදර්ශණාව , යොගා පුහුණු කිරීම සහ නිර්සත්ත්වේදී බවයි.
පහත දැක්වෙන්නේ දකුණු ඉන්දියානු පුවත් පතක් ඇය හා සිදු කල සම්මුඛ සාකච්චාවක සිංහල අනුවර්තනයකි.
ප්‍රශ්ණය: ඔබත් එක්ක කතා කරන ඕනෑම කෙනෙක් මුලින්ම අහන ප්රශ්ණයෙන් පටන් ගන්නම්. ඔබ කවදාද තීරණය කලේ නිර්මාංශ වීමට? සහ ඒ ඇයි?
පිළිතුර: මම අවුරුදු 11 ඉඳන් නිර්මාංශ භක්ෂිකයෙක්. මෙහෙම ඉන්නකොට තමයි 2005 දී විතර මට විශාල බඩේ රුදාවක් හැදුනේ. මුලදී මම හිතුවේ මේක සුළු දෙයක් කියල. මම කුළු බඩු සහිත කෑම අඩු කළා . නමුත් සහනයක් ලැබුනේ නැහැ. දොස්තර කිව්වා මම සතුන් සමග ගැවසෙන නිසා මේක ඔවුන්ගෙන් ආපු දෙයක් වෙන්න පුළුවන් කියල. මම ඒක තාවකාලිකව පිළිගත්තා.
ඔය අතරේ 2007 ඔක්තෝම්බර් මාසේ මට නියම උනා ඉන්දියාවේ සත්ත්ව සුභසාධන මණ්ඩලයේ ආරාධනය මත ගව ඝාතකාගාරයක් නියාමනය කරන්න යන්න. මෙතන හිටපු හැම කෙනෙක්ම කිරි නිෂ්පාදනයට යොදා ගැනුණු ගැහැණු හරක්. එතන එවේලෙහි මරණයට නියම වුනු හරක් 500ක් පමණ හිටියා. කිරි නිෂ්පාදන ධාරිතාව පහල වැටුණු ගමන්ම ඔවුන් ඝාතකාගාරය වෙත යොමු කෙරුණා. මේක තමයි කිරි කර්මාන්තයේ අඳුරු පැතිකඩ. එය අත්‍යන්තයෙන්ම මස් කරමාන්තය හා බැඳි පවතිනවා. අපි මස් නොකා කිරි බිව්වට වැඩක් නැහැ , අවසානයේදී අපට කිරි සපයන්න ඇති කරන ගවයනුත් යොමු වෙන්නේ මසට. ඇත්තටම මස් කර්මාන්තය පවතින්නේ කිරි කර්මාන්තය ලාභ ලබන්නක් ලෙස පවත්වාගෙන යන්න. ඒ නිසා සැබෑ සත්ත්ව අවිහිංසා වාදියෙක් නම් මසින් පමණක් නොවෙයි කිරෙනුත් තොර වෙන්න ඕන. මේ අනුව මම කිරි භාවිතාවත් සම්පූර්ණයෙන් නැවැත්වුවා.
ප්‍රශ්ණය: ඉතින් මේ අලුත් ජීවණ රටාව ඔබට පිහිට උනේ කොහොමද?
පිළිතුර: ඒක තමයි කියන්න ඕන. මම කිරි නවත්වන මොහොත වෙනකොටත් ඉතාම දැඩි ලෙස උදරාබාධයකින් පෙළෙමින් හිටියේ වසර කීපයක් තිස්සේ. කිරි බීම නවත්වලා සතියකින් මගේ ඇඟට විශාල සහනයක් දැනුනා. සියලු රිදුම් පහ උනා. ඇත්තම මගේ නැති වුනු ශක්තිය නැවත ලැබුණා කියන්න පුළුවන්. නැවත වතාවක් උපරිම උද්යෝගයෙන් වැඩ කරන්න මට හැකි උනා. අවුල තියෙන්න කොහෙද කියල මට තේරුනේ එතකොටයි.
ප්‍රශ්ණය : මේ අලුත් ජීවණ රටාව ගැන ඔබේ පවුලේ උදවියගේ , මිත්‍රයන්ගේ ප්‍රතිචාර කොහොමද?
පිළිතුර: හැමෝම අඩුවැඩි වශයෙන් එයට සහයෝගය දක්වනවා. මට හරි කියල හිතෙන දේ කරන්න මට තියෙන ශක්තිය සහ හැකියාව ගැන ඔවුන් සතුටුයි. ඒ වගේම මම ආහාර වේලකට ඉන්නවා නම් ඔවුන් මම වෙනුවෙන් විශේෂයෙන් යමක් පිළියෙළ කරනවා. ඒ වගේම ඔවුන් බොහොම දෙනෙක් මා අනුගමනය කොට තිබෙනවා. එයත් මට සතුටක්.
මම ආහාර කියන විෂයය සලකන්නේ ගෞරවයකින් යුක්තව. මාංශ භාක්ෂිකයකු ලෙස උපන් මම කුඩා කලදී තීරණය කරනවා මස් අනුභවයෙන් වලකින්න. පසුව මගේ ජීවණ අත්දැකීම් විසි මට බල කෙරුණා සම්පූර්ණයෙන්ම සත්ත්ව නිෂ්පාදන වලින් වලකින්න. හැබැයි හැමෝම මෙහෙම නැහැ. මස් අනුභව කරන, ඒවගේම කිරි බොන යහපත් මිනිස්සු ඉන්නවා. හැම දෙයක්ම නිර්මාංශී හෝ නිර්සත්ත්ව වීම මගින් මනින්න බැහැ. නමුත් සත්ත්ව නිෂ්පාදන වලින් තොර ජීවිතය පිරිසිදුයි ඒ වගේම තිරසාරයි.
ප්‍රශ්ණය: ඔබ ආදර්ශයක් කොට ගත්තේ කවුද? ඔබේ සිත තුලට කාවැදුණු චරිත මොනවාද?
පිළිතුර: මනේකා ගාන්ධිගේ ලියවිලි මාව උනන්දු කළා. ඇත්තටම මේ තීන්දු වලට යන්න බලකෙරුණේ මගේම නිරීක්ෂණයන්. ඒ හැරුණු කොට මට ප්‍රයෝගිකව උදව් කළා ආචාර්ය නන්දිතා. කෙනෙකුගේ ආහාර රටාවන් එක විටම වෙනස් කිරීම පහසු නැහැ. ශරීරය හොයන්නෙම එයට හුරු වුනු දේවල්. ඉතින් ආහාර රටාවේ වෙනසක් කරනවා නං බොහොම පරෙස්සමින් කරන්න ඕන. ඇය මට එතැනදී උදව් උනා.
ප්‍රශ්ණය : ඔබ කියන විදිහට නිර්සත්ත්ව වේදී බව ආහාර පුරුදු වලදී පමණක් නොවෙයි, සමස්ත ජීවණ රටාවේම තිබිය යුතු දෙයක්. නිර්මාංශ ආහාර, ඇඳුම් පැළඳුම්, සපත්තු, වෙනත් බඩු භාණ්ඩ, නිරූපන ද්‍රව්‍ය, ආභරණ සොයා ගන්නේ කොහොමද?
පිළිතුර: මට ඒක ඒ තරම් අපහසු නැහැ. මොකද මම පිස්සුවෙන් වගේ විලාසිතා පස්සේ දුවන්නේ නැහැ. සරල ජීවත් වෙනවා නං ඕක කියන තරං අමාරු නැහැ.
ප්‍රශ්ණය: නිර්සත්ත්ව වීම ගැන ඔබට දියහැකි කෙටි උපදෙස කුමක්ද? විශේෂයෙන්ම අලුතෙන් මේ ජීවණ රටාවට හුරු වන්නන්ට?
පිළිතුර: පළමු කාරණය තමයි කෑදර කම අඩු කරගන්න එක. මොනවා හරි ගන්න හිතුනොත් බලන්න ඇත්තටම ඔබට ඒක අවශ්‍යද කියල. අනවශ්‍ය දේවල් පස්සේ දුවන්න එපා. අවශ්‍යතා සීමිත කරගන්න එක තමයි ප්‍රධාන යතුර. ඊට පස්සේ ඔබට පහසුවක් දැනේවි. මොකද හැම භාණ්ඩ වර්ගෙම නිර්සත්ත්ව නිෂ්පාදනයකුත් තිබෙනවා. අපට අවශ්‍ය විලාසිතාව නැති එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔබ විලාසිතා පස්සේ දුවන්නේ නැතුව තියෙන දේ ඇන්දොත් ඇත්තටම ඒක විලාසිතාව වේවි. ඔබ විලාසිතා අනුකරණය කරන්නෙක් නොවී විලාසිතා මවන්නෙක් වෙන්න ඕන. අහාර සම්බන්ධයෙන් මේක බොහොම පහසුයි. ප්‍රධාන කෑමෙන් පසු ගන්න අතුරු පස කියන්නේ අපිට අත්‍යාවශ්‍ය දෙයක් නොවෙයි. ඉතින් ඕනෙම නං රට ඉඳි ටිකක්, පලතුරු ටිකක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කිරි අඩංගු වෙන්නේ අතුරු පස වල.
ප්‍රශ්ණය : ඉන්දියාවේ නිර්සත්ත්ව ව්‍යාපාරය ඔබ දකිනෙන් කොහොමද?
පිළිතුර: පළමුවෙන්ම මම හාන්සි පුටු විචාරකයන් සහ දේවල් විනිශ්චය කරන්නවුන් මග හරින්න කැමතියි. ඇත්තටම නිර්සත්ත්ව වේදීන් අතරත් මෙහෙම අය ඉන්නවා. මේ ගොල්ල බොහොම හානිකරයි අපේ ව්‍යාපාරයට. කෙනෙක් නිර්සත්ත්ව වාදියකු වීමෙන්ම යහපත් කෙනෙකු වන්නේ නැහැ. මේකේ අනෙක් පැත්තත් සත්‍යයි. කෙනෙකු වෙනස් කරන්න දිරිගැන්වීම් අවශ්‍යයි. අගය කිරීම් අවශ්‍යයි. අතුලාන්තයෙන්ම ඔහුව දැනුවත් කරන්න අවශ්‍යයි. මේකට යම් කාලයක් ගත වෙනවා. වගේම අපි අවස්තාවක් ගන්න ඕන සුදුසු පරිදි. ඉතින් කලබල වෙන්න හොඳ නැහැ. ඉන්දියාවේ නිර්සත්ත්ව ව්‍යාපාරය දීප්තිමත් අනාගතයක් තියෙන එකක් කියල මම හිතනවා.
ප්‍රශ්ණය: ඔබ නිර්සත්ත්වවේදියකු වෙන්න කල් තියාම සත්ත්ව සුභසාධනයට යොමු වුනා. Blue Cross of Hyderabad සංවිධානය පිහිටවීමට ඔබ මුල් වුනේ ඇයි?
පිළිතුර: ඒක දිග කතාවක්. ඇත්තටම මම තුවාල වෙලා ඉන්න සතුන්ට පිහිට වෙන්න පටන් ගත්තේ මම ශිෂ්‍යාවක් කාලයේදී. පස්සේ මම පුරුදු උනා ඔවුන්ව ගෙදර ගෙනියල සාත්තු කරන්න. විවාහයෙන් පස්සේ මගේ සැමියා කිව්වා මේ වැඩේට වෙනම තැනක් හදමු කියල. ඔහු මට ambulance එකක් තෑගී කරා. ඕක තමයි සංවිධානයේ ආරම්භය.
ප්‍රශ්ණය: ඔබ සමග වැඩකළ බොහෝ දෙනෙක් කියන්නේ ඔබ සාමයෙන් පිරුණු කෙනෙක් විදිහට. සත්ත්ව හිංසාවට එරෙහිව විවධ බලවේග සමග සටන් කරන ඔබ මේ සාමය පවත්වා ගන්නේ කොහොමද?
පිළිතුර: බොහොම ස්තුතියි. නමුත් කියන්න ඕන මම වැටුණු අවස්ථා තියෙනවා. සතුන් සිය ගණනකට නැත්නම් දහස් ගණනකට පිහිට වීම සාගරයකට දිය බිඳක් තරම් කුඩා වැඩක් නේද කියල මට හිතුනු වාර අනන්තයි. මුළු දවසෙම සතුන්ගේ දුක සමග ඉඳල මම විඩාවට පත් වෙච්ච අවස්ථා තියෙනවා. මෙතනින් මට ගොඩ එන්න පිහිට වුනේ බුදු හාමුදුරුවන් උගන්වපු විදර්ශනා භාවනාව. දුකෙන් මිදෙන හැටි මම පියවරෙන් පියවර ඉගෙන ගත්තා.ඒක විශාල සංචාරයක් වගේ එකක්.
මම හැම දවසකම භාවනා කරනවා. ඒවගේම අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වෙනවා. බුදු හාමුදුරුවෝ කියල තියෙනවා ප්රශංෂාවක් ලැබුනොත් දුකක් බලාපොරොත්තු වෙන්න කියල. මිනිස්සු ඔබව උස්සල තියල එකිනෙහිම පොළොවේ ගහනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඕක තේරුම් ගත්තම ඇතුලාන්තයේ සාමය ඇති වෙනවා.
ප්‍රශ්ණය: අවසාන වශයෙන් සත්තු වෙනුවෙන් ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?
පිළිතුර: අපේ විශ්වවිද්‍යාලයේ මගේ ගුරුතුමිය රුක්මිනි දේවි , නිතර කියපු දෙයක් තමයි මනුෂ්‍යයන්ට තමන්ගේ මහන්සියෙන් විමුක්තිය උදා කරගන්න පුළුවන්. හැබැයි සතුන්ට අපේ උදව් ඕන. මගේ අදහස අපි හැමෝටම මේ විශ්වයේ නියමිත චරිතයක් තියෙනවා. අපි ඒක නොපිරිහෙලා ඉටු කරන්න ඕන. මට සියලු සත්ත්වයන් වෙනුවෙන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුදුන්ගේ වචනයක්. එනම් සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා, සියලු දුකෙන් මිදෙත්වා කියල...
-දිනෙත් මල්ලිකාරච්චි-