වර්තමානයේ සාහිත්‍යකරණය සඳහා වන කාන්තා දායකත්වය අතිමහත් බව ප්රකටය. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ආසියාවේම දැකිය හැකි සාධනීය ලක්ෂණයකි. සිය හදවතට, නැතිනම් නිවසට පමණක් සීමා වූ චින්තනය සාහිත්‍ය පිටු අතරට ගෙනා ප්‍රබල කාන්තා චරිත බොහොමයක් ම හමුවේ. හුදු ආදර කතාවලට පමණක් සීමා නොවෙමින් ඉන් ඔබ්බට ගොස් සිය දේශපාලන, ආර්ථික හා සමාජීය චින්තන ද ඔවුහු සිය පන්හිඳෙන් මුදා හරිමින් සිටිති.
එහෙත් මෙම ප්‍රවණතාව තවමත් ඇත්තේ යොවුන් වියේය. මීට වර්ෂ පනහකට ඉහතදී පවා සාහිත්‍යකරණයට ලද කාන්තා දායකත්වය ඉතා අල්ප විය. එපමණක් නොව යම් සාහිත්‍ය නිර්මාණයකට කාන්තා නමක් භාවිත කිරීම පවා ආන්දෝලනාත්මක විය. සමාජය, කාන්තාව යම් කාර්යන් පෙළකට පමණක් සීමා කර තිබීමත් සමාජය කාන්තාව දැකීමට කැමැති දෘෂ්ටි කෝණයෙන් මිදීමටත්, අවතක්සේරුවට ලක්වීමටත් ඇති බිය නිසා තම හැකියාවන් සඟවා ගනිමින් සම්ප්‍රදායික රාමුවේ ම රැඳීමට බොහෝ කාන්තාවන්ට සිදු විය.
එහෙත්, නිර්ණාමිකව හෝ පිරිමි නාමයකින් හෝ සිය පීඩනයත්, චින්තනයත් සාහිත්‍යකරණයෙන් මුදා හැරිය කාන්තාවෝ මීට සිය වසරකට පෙරත් සිටියහ. ටී. එස්. එලියට්, බ්‍රොන්ටේ මීට උදාහරණය.
මෙහි කතා නායිකාව එවන් සාහිත්‍යය සඳහා දායක වූ හා දායක වෙමින් සිටින සියලු කාන්තාවන්ට මඟ පෙන්වු මුල් පුරුක යැයි හැඳින්විය හැකිය. නවකතාකරණයට පිවිසි ප්‍රථම කාන්තාව ලෙස හඳුන්වන්නේ ඇයයි. ඇය උපන්නේ ක්‍රිස්තු වර්ෂ 976 තරම් අතීතයේය. ඒ ජපානයේ කියෝටෝ නගරයේය. මුරසාකි (Murasaki) ආර්යාව ලෙස ඇයව හැඳින්වුවද ඇයගේ සැබෑ නම අප්‍රකටය. මුරුසාකි ආර්යාව ලෙස ඇය නම් ලද්දේ ඇගේ ම නවකතාවක චරිතයකිනි.
මෙම ජපන් නවකතා රචිකාවිය කිවිඳියකද වූ අතර ජපන් ඉතිහාසය තුළ හියෑං (Heian) නම් කාල පරාසය තුළ රාජ සභාවේ ගෞරවනීය ආර්යාවක් ද වූවාය. මුරුසාකි ආර්යාවගේ පියා උතුරු ෆුජිවාරා ගෝත්‍රයේ සාමාජිකයකු වූ ප්රභූවරයෙකි. ඇයව හදා වඩා ගන්නට හිටියෙ පියා පමණි. ඔහු ඇයවත් ඇගේ සොහොයුරාවත් චීන භාෂාව අධ්‍යාපනයට යොමු කළේ එය රාජ සභාවේ නිල භාෂාව වූ බැවිණි.
එකල තරුණියන් අධ්‍යාපනය ලැබීම අසාමාන්‍ය කාර්යක් විය. දැඩි ආරක්ෂාවක් ද දැඩි නීති මාලාවක් ද සමඟ ගෘහ ජීවිතයකට පමණක් හුරු කරන ලද පරිසරයක ඇයට කළ හැකිව තිබූ ක්‍රියාකාරකම් සීමිත විය.
මෙනිසාම ඇය ගැහැනු දරුවකු වී ඉපදීම පිළිබඳ ඇගේ පියා ඇයට අනුකම්පා කළේය. තම දියණිය දක්ෂතාවයෙන් ද බුද්ධියෙන් ද පිරිපුන් බව ඔහු හඳුනාගෙන සිටියේය. මෙනිසාම ඇය පිරිමියකු වී උපන්නා නම් ඇයට සිය ජීවිතය තුළ තවත් බොහෝදෑ තම බුද්ධිය හා හැකියාවෙන් කිරීමට අවස්ථාව උදා වන්නට තිබූ බව ඔහු තදින් විශ්වාස කළේය. මෙනිසාම ඇගේ උපරිමය සමාජයට දායක කිරීමට නොහැකි වූවා යැයි ඔහු සිතුවේය.
එකල තරුණියන් ඉතා අඩු වයස් කාලයක් තුළ විවාහ දිවියට ඇතුළත් කරන ලදී. එහෙත් මුරුසාකිට අවුරුදු විස්ස වනතුරු අවිවාහකව රැඳීමට ඇගේ පියාගෙන් අවසරය ලැබුණි.
ඇයගේ විවාහයෙන් ඇයට ද දායාද වූයේ දියණියකි. පසුකාලීනව ඇය ද සිය මව මෙන් ම කිවිඳියක වූවාය.
ඇගේ සාහිත්‍යකරණය තුළ කැපී පෙනෙන නිර්මාණය වූයේ ”The Tale of Genji” (ගෙන්ජිගේ කතාව) නිර්මාණයයි. මනෝ විද්‍යාත්මක විග්රහයන්ගෙන් යුක්ත මුල් කාලීන නවකතාවන්ගේ ප්‍රමුඛයා වන මෙය පරම්පරා හතරක ජීවිත පිළිබඳ සොයා බැලීමකි. මෙම නවකතාව පරිච්ඡේද පනස් හතරක් තුළ චරිත හාරසීයක් වටා ගෙතුනකි.
ගෙන්ජිගේ කතාව ඇරඹෙන්නේ හිකාරු (Hikaru) ගෙන්ජි නම් දිදුලන විරුවාගෙනි. මෙම විරුවා හඹා යන්නේ ආදරය හා සතුටයි. ඔහුගේ ජවයට, පෞරුෂත්වයට බලපාන්නේ ඔහුගේ මවයි. මෙනිසාම ඇගේ අකල් වියෝව ඔහුගේ ජීවිතය පුරාම සෙවණැල්ලක් ලෙස ඔහුව වසා ගනී. හිකාරු සතු වර්ණවත් පෞරුෂ ලක්ෂණ මඟින් ඔහු රාජ සභාවේ අතිශය ජනපි‍්‍රය චරිතයක් බවට පත්වේ.
තමා හඹා ගිය ආදරය දිනාගත්ත ද මෙම ආදර කතාව ඔහු වෙත ගෙන එන්නේ සතුරන්, ඊර්ෂ්‍යාව හා ද්වේෂයයි. එහි ප්‍රතිඵලය වන්නේ රාජ සභාව තුළ ඔහු අගෞරවයට පාත්රවීමත් අවසානයේ නෙරපා හරිනු ලැබීමත් ය. එහෙත් මෙම පරාජයත්, අවාසනාවත් ඔහු වෙත රැඳෙන්නේ කෙටි කාලීනව පමණි. අවසානයේ ඔහුට නැවත සමාව ලැබෙන අතර රාජ සභාව තුළ හොඹවන ලද සියලු තනතුරු, ගෞරව නාම ද නැවත හිමිවේ.
මුරුසාකි ඌයි (Murusaki Ue) නම් තරුණිය ඔහුට හමුවන්නේ ඉන් පසුව ය. ඔහු ඇයට හොඳින් අධ්‍යාපනය ලබා දී ඇයව සර්ව සම්පූර්ණ බිරිඳක් බවට නිර්මාණය කරයි.
ඉන්පසු ඔහු නගරයේ විශාල මන්දිරයක් සදන්නේ ඇය ඇතුළු තවත් බිරින්දෑවරුන් කිහිපදෙනකුට සුඛෝපභෝගීව විසීමටය. සුඛ විහරණයන්ගෙන් අඩු නොවුවද හිකරු ගෙන්ජිගේ ජීවිතයට “ආදරය” නිරන්තරයෙන් ගෙන එන්නේ ඛේදයන් ය. සිය පි‍්‍රයතම බිරිඳ මුරුසාකි ඌයි ඉතා අඩු කාලයකින් මිය යන්නේ දරුවන් ද නොලබා, මතකයන්ගෙන් පිරුණු ලොවක හිකරු ගෙන්ජිව තනි කර දමා ය. හිකරු ගෙන්ජිගේ චරිතයට පාදක කරගන්නා ලද්දේ මුරුසාකි ආර්යාවගේම ඥාතියකු යැයි සිතිය හැකිය.
මෙසේ පරම්පරා හතරක කතාන්දරයක් ලෙස දිව යන “ගෙන්ජිගේ කතාව“ මනස්කාන්ත ආරම්භයක් සහිත සුරංගනා ලොවකින්, ඉතා සංකීර්ණ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් තෙක් දිවගොස් අවසන් වේ.
මුරුසාකි ආර්යාවගේ අප්‍රකට තොරතුරු අතරට ඇගේ මරණය සිදුවූ කාලය ද එක්වේ. ඇය වර්ෂ 1014 දි හෝ 1025 හා 1031 අතර හෝ කාලය තුළ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අඩු නිදහසක්, පෙලඹවීමක්, ලේඛනය සඳහා අවශ්‍ය ඇගයීමක් නොලැබු, නොතිබු කාලයක වුවද සාහිත්‍යය සඳහා මුරසාකි ආර්යාව වැනි කාන්තාවන්ගෙන් ලද දායකත්වය අගය කළ යුතු අතර තව තවත් යහපත් ලෙස තම දායකත්වය සාහිත්‍ය පෝෂණය සඳහා ලබාදීම සාහිත්‍යකරණයට පිවිසි හා පිවිසීමට බලාපොරොත්තු වෙමින් සිටින කාන්තාවන්ගේ යුතුකමකි.
තේජා පූර්ණිමා ගුණසේකර