මසාල සුරංගනා ලොවක ප්‍රේක්ෂකයන් වල්මත් කරන බොලිවුඩ් පුරවරයේ අමිත් වී. මසූර්කර් අධ්යක්ෂවරයා වෙර දරන්නේ අර්ථාන්විත සිනමා නිර්මාණ මඟින් උඩුගං බලා යාමට ය. ඔහුගේ මුල් ම නිර්මාණය ‘සුලේමානි කීඩා’ (2013) ප්රහසනයකි. ‘නිව්ටන්’ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. සිවු වසරක ඇවෑමෙන් ඔහු කළ නිර්මාණය ගැන දැන් ලොවම කතා කරයි. ඒ ‘නිව්ටන්’ අනූවැනි ඔස්කාර් සම්මාන උලෙළේ විදෙස් භාෂා සිනමා අංශයෙන් තරග කිරීමට තේරී ඇති බැවිනි. විදෙස් රටවල් 92 ක් මේ තරග අංශය සඳහා සිනමා නිර්මාණ ඉදිරිපත් කර තිබේ.
‘නිව්ටන්’ ඔස්කාර් සම්මාන උලෙළ සඳහා ඉන්දියානු චිත්‍රපට ෆෙඩරේෂණය මඟින් තෝරාගෙන ඇත්තේ විවිධ භාෂාවලින් නිර්මාණය වුණු සිනමා පට 26 කිනි.
තරුණ ලිපිකරුවකු වූ නිවුටන් කුමාර්ට ඡන්ද රාජකාරි සඳහා යාමට සිදුවන්නේ ඉන්දියාවේ චතිස්ගාහි ජනතා ගරිල්ලා නිදහස් සටන් හමුදාව විසින් පාලනය කරනු ලබන නගරයකටයි. එය කැළෑ බඳව පිහිටි නගරයකි. හමුදා ආරක්ෂාව යටතේ ඡන්ද මධ්‍යස්ථානය පැවැත්වෙන්නේ කමියුනිස්ට් විප්ලවකාරයන්ගේ ගරිල්ලා ප්රහාරයන්ට ඇති බිය නිසා ය. නිවුටන් කුමාර්ට අවශ්‍ය ඉතා සාධාරණ, නිදහස් ඡන්දයක් පැවැත්වීමට ය. එහෙත් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ නොකිරීම නිසා ඔහු මහත් සේ කලකිරෙන්නේ ය. පසුව ගමට විදෙස් වාර්තාකරුවන් පැමිණෙන අතර ආරක්ෂක හමුදාව ගම්මුන් ඡන්දය දීම සඳහා පොලඹවයි. නූගත් ඔවුන්ට ඡන්දය ගැන කිසිදු අවබෝධයක් නැති බව ‘නිව්ටන්’ට වැටහෙන්නේ පසුව ය. ඡන්දය දීමේ වටිනාකම ගැන ‘නිව්ටන්’ කියා දෙන පාඩම ගම්වැසියන් තේරුම් ගන්නවාද? සාධාරණ මැතිවරණයක් උදෙසා ඔහු ගෙන යන අරගලය සාර්ථක වේවිද? ශ්‍රීමත් අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය ලෝකයට ඉතිරි කළා සේ ම ‘නිව්ටන්’ ද බොලිවුඩ් සිනමාවටත් විශ්ව සිනමාවටත් වටිනා යමක් ඉතිරිකර ඇත.
මාපියන් නූටන් ලෙස තැබූ කාන්තා නාමය සෙස්සන්ගේ උසුළු විසුළුවලට ලක්වීම නිසා දහය වසරේදී නිව්ටන් ලෙස නම වෙනස් කරගන්නා, යුක්තිය වෙනුවෙන් උණුසුම් වුණු රුහිරයෙන් යුතු තරුණයා නිව්ටන් කුමාර් ලෙස රඟන්නේ ජාතික සිනමා සම්මානලාභී රාජ්කුමාර් රාඕ ය.
ඔහු ශාහිඩ් (2013) සඳහා හොඳම නළුවා ලෙසින් ජාතික සම්මානයට පාත්‍ර විය. කායි පෝ චේ (2013) සිනමා පටයේ ගෝවින්ද් පටෙල් ලෙස ද ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට නිර්දේශ විය. ශාහිඩ් රංගනයට ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස විචාරකයන් විසින් තෝරා ගැනිණි. තවමත් තිස් තුන් හැවිරිදි ඔහුට ‘නිව්ටන්’ මිහිරි මෙන් ම අමිහිරි මතකයකි. ඔහුගේ මව මියගියේ ‘නිව්ටන්’ රූගත කිරීම්වල අඩක් නිමකර තිබියදී ය.
සිනමා පටය ආදායම් වාර්තා පිහිටුවමින් සාර්ථකව විචාරක ප්‍රේක්ෂක පැසසුම් ලබමින් තිරගත වේ. දැන් එය ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ වී තිබේ. ඔහු සිතන්නේ මේ සියල්ලම මිය ගිය මවගේ ආශිර්වාදයෙන් සිදුවන බවයි.
රාජ් කුමාර් රාඕගේ රංගනයට බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්ගේ සිට ආයුෂ්මාන් කුරානා දක්වා සියල්ලන්ගේ ම ප්‍රසාදය හිමිවී ඇත. බච්චන් සුබ පතා තිබුණේ මල් කලඹක් හා අතින් ලියන ලද අගය කිරීමේ ලිපියක් සමඟිනි.
“මා ඔබගේ රංගනයන් ‘බෙයාලි කා බර්ෆි’ සිට ම දැක්කා. අදහන්න බෑ. බොහෝ කාලයක සිට ඔබේ සිනමා පට අගය කරමින් නරඹනවා. ඒත් මේ සිනමා පටයේ රංගනය අතිවිශිෂ්ටයි. උත්කෘෂ්ටයි. සැම විටම මං සුබ පතනවා.
ආදරෙන්,
“අමිතාබ් බච්චන්”
අනිල් කපූර්, පරේෂ් රාවල්, කරන් ජොහාර්, අක්ෂේ කුමාර්, මනෝජ් වජ්ජායි, භූමි ෂෙඩ්නෙකර්, දියා මිර්සා, අලියා ඛාත්, අනුපමි ඛේර්, ක්‍රිති සැනොන් සුබ පැතූ සෙස්සන් අතර විය.
මෙහි අණ දෙන නිලධාරි ආත්මා සිං ලෙස රඟන්නේ පන්කජ් ත්‍රිපාති ය.
සිනමා පටයේ රාජ් කුමාර්ගේ සේම පන්කජ් ගේ ද රංගනය ඉහළ ම විචාරක සම්මානයට පාත්‍ර විය.
‘නිව්ටන්’ චරිතාංග රංගනයෙන් ආලෝකවත් කරන තාරකාව මල්කෝ ලෙස රඟන අංජලී පට්ල් ය. තිස් හැවිරිදි අංජලී පට්ල් ජාතික සිනමා සම්මානලාභිනියකි. ඇය ශ්‍රී ලාංකේය අපට ද නුහුරු නුපුරුදු චරිතයක් නොවන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (විත් යූ, විතවුට් යූ) සිනමා පටයේ රංගනයට සරසවි, ජනාධිපති සම්මාන, හිමිවීම නිසයි. ‘නිව්ටන්’ හි මල්කෝ චරිතය සඳහා අංජලී ‘ගොන්ඩි’ භාෂාව හැදෑරූ අතර විචාරකයන් ඇයගේ රංගනය මෙන් ම චතුර ලෙස ගොන්ඩි භාෂාව කතා කිරීම ද අගය කර තිබිණි.
ලෝක්නාත් චරිතය රඟන රගුභීර් යාදව් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ ඉන්දියානු සිනමා පට අටකට ම දායක වී තිබීම සුවිශේෂී ය. ‘නිව්ටන්’ ඔස්කාර් සම්මාන සඳහා තරග කරන ලෝක්නාත්ගේ අටවැනි සිනමා පටයයි.
නිව්ටන් මංගල දර්ශනය පැවැත්වුණේ 67 වැනි බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේදී ය. හොංකොං අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම සිනමා පටය බවට පත්වූ මෙය උතුරු ඇමෙරිකාවේ ට්රිබෙකා සිනමා උළෙලේ ද අන්තර්ජාතික කතා නාද තරගකාරී අංශයෙන් තිරගත විය. ඉන්ටර්නැෂනල් කන්ෆිඩරේෂන් ඔෆ් ආර්ට් සිනෙමාස් උළෙලේ විචාරක අංශයෙන් හොඳම සිනමා පටය වූයේ ‘නිව්ටන්’ ය.
ඇතැම් විචාරකයන් 2001 දී තිරගත වූ ‘සීක්රට් බැලට්’ ඉරාන සිනමා පටයට මෙයට සමාන බව පැවසුවත් අධ්යක්ෂ මෙන්ම වැඩි දෙනකු පවසන්නේ එහි පසුබිමත් චරිතායනයත් හාත්පසින් ම වෙනස් බව ය. ඉරාක අධ්යක්ෂවරයා ද කියා සිටියේ මෙය සම්පූර්ණයෙන් ම වෙනස් වූ නිර්මාණයක් වග ය.
මනීෂ් මුණ්ඩු අධ්‍යක්ෂණය කළ, අමිත් වී මාසුර්කර් රචනා කළ ‘නිව්ටන්’ සිනමා පටයේ සංගීතය නරේන් චන්දවර්කර්, රචිත අරෝරා සහ බ්‍රිතාන්‍ය සංගීතඥ බෙනෙඩික්ට් ටේලර්ගෙනි. අමිත් ත්රිවේදි, රගුබිර් යාදිව, මෝහන් කන්නන් ගායනයෙන් දායක විණි. ද්රිශ්යම් සිනමා නිපැයුමක් වන මෙය ඊරෝස් අන්තර්ජාතික බෙදා හැරීමකි. මිනිත්තු 106 ක් දුරා ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ‘නිව්ටන්’ සැප්තැම්බර් 22 වැනිදා සිට තිරගත වේ.
මෙහි බොක්ස් ඔෆිස් වාර්තාව ඉන්දියානු රුපියල් කෝටි 26.28 කි. එය තරග වැදුණේ සංජේ දත්ගේ භූමි හා ශුද්ධා කපූර්ගේ හසීනා පාකර් සමඟ ය. සිනමා පට තුනෙන් වැඩිම ප්‍රේක්ෂක, විචාරක මනාපය හිමිවුයේ ‘නිව්ටන්’ ට ය. අයි.එම්.ඩී.බී. දර්ශකයේ 10 න් 8 – 4 ක් ද ගූගල් ප්‍රේක්ෂක මනාපයෙන් 92% ක් ද රොටින් ටුමැටෝස් ශ්‍රේණිගත කිරීමට අනුව 5 න් 4 ක් ද, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා අනුව 5 න් 4.5 ක් ද සිනමා පටයට හිමි විය. දැන් ‘නිව්ටන්’ සිනමා කණ්ඩායම ඇතුළු මුළු භාරතීය ජනතාව ම බලා සිටින්නේ ‘ඔස්කාර්’ ජයග්‍රහණයයි.
චම්පිකා දීපානි රණසිංහ