'රුසියානු සාහිත්‍යයේ විවේචනාත්මක යථාර්ථවාදයේ පුරෝගාමියා වන නිකොලායි ගොගොල් (1809-1852) සමකාලීන සරල රුසියානු චරිතය ගැඹුරින් හදාරා ඇති අසමාන නිර්මාණකරුවෙකු සේ සැලකෙයි. 1842 දී ඔහු අතින් නිර්මාණය වූ 'හිමකබාය' තරම් රුසියානු සමාජයේ කඳුලත් සුසුමත් සාදර ලෙසින් හඳුනාගත් වෙනත් නිර්මාණයක් නැති තරම් ය.'
'ලියෝ තෝල්ස්තෝයි, ප්යෝදර් දස්තයෙව්ස්කි, සල්තිකෝෆ් ෂෙද්රින්, ඉවාන් තුර්ගේනිෆ්, ඇන්තන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි යනාදි මහා රුසියානු ගත්කරුවෝ ගොගොල්ගේ යථාර්ථවාදී කලාත්මක රීතියෙන් ආභාසය ලබා රුසියානු සාහිත්‍ය කලාව පෝෂණය කළහ. දස්තයෙව්ස්කි එය කැටිකොට දැක්වූයේ`අපි සියලු දෙනා ගොගොල්ගේ හිම කබායෙන් එළියට ආවෙමු´ යන වදන්වලිනි.'
සියුම් හැඟීම්වල අනපේක්ෂිකත්වය රැඳි ගොගොල්ගේ කාව්‍ය ලෝකය අපුර්ව ය. බොහෝ විචාරකයන් සලකන්නේ, ලෝකය තුල බිහි වූ වචනයේ කලාකරුවා ගොගොල් බවයි. ඔහුගේ නිර්මාණ තුලින්, පිටත ලෝකය තුල පවතින විචිත්රත්වයේ රූපවිපරිත බව අපුර්ව ආකාරයෙන් ඔහු සමාජයට මුදාහරින්නට සමත් විය.
ජනතාව ඔහුව විකට චිත්‍රකරුවෙකු ලෙස සලකා, ඔහුගේ නිර්මාණවලින් හුදු වින්දනයක් පමණක් ම ලැබී ය. නමුත් ඔවුන'තරින් සමහරෙක් ඒ තුල රැඳී තිබු විශ්වාසනීයත්වය, අවශ්‍යතාවය, සද්භාවය වටහාගැනීමට තරම් ඥානවන්ත විය. පිරිසකට ඉතා සුළු දේ, හිස් බව, පහත් බව ඇතැයි සිතුණු ඔහුගේ නිර්මාණ තවත් පිරිසකට සදාචාරසම්පන්න, අධ්‍යාත්මික ඥාන ප්‍රවේශයක් බවට පත්විය. එසේ ම ගොගොල්, එතෙක් තහනම් කර තැබු විචිත්‍ර මායාවන් විනාශකරන්නෙකු බවට ද පත්විය.
ඇන්තන් චෙකොෆ්ප් වරක කවීන් පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ මෙසේ ය. 'නියම කවීහු කොහේදෝ යමින් තමන් කැටුව එන ලෙස අපට ද අඬගාති. ඔවුන් තුල කිසියම් ජීවන දැක්මක් අර්ථයකට පැමිණවීමක් පවතින බව සිතින් නොව මුළු අධ්‍යාත්මයෙන් ම අපට හැඟෙයි' එය කාව්‍ය මෙන් ම විශිෂ්ඨ ගද්‍ය නිර්මාණ ද නිර්මාණය කල ගොගොල් වැන්නෙකු සම්බන්ධයෙන් කෙතරම් සාධාරණ කියමනක්දැයි මට සිතේ.
වරක් රුසියානු මහා කවියෙකු වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්,ගොගොල්ගේ 'ඉවාන් දෙපල වයිර බැඳගත් වග' කතාව කියවා මෙසේ පවසා ඇත. ' අපූර්ව ප්‍රතිභාපූර්ණ නිර්මාණයක්. හාස්‍ය රසයෙන් අනූනයි. ගණන් නොගත යුතු තරම් සුළු දෙයක් කෙරෙහි මෙතරම් දැඩිව අවධානය යොමු කරවීමේත්, අමන මිනිසුන්ගේ අමනකම් මෙතරම් ප්රබලව නිරූපණය කිරීමේත් කුසලතාවය මේ තාක් කිසි ම ලේඛකයෙකුට නො තිබිණි'
ගොගොල් විසින් රචිත 'රහස් කොමසාරිස්' (මෙය පී වැලිකල විසින් විවාහය හා ආණ්ඩුවේ පරීක්ෂක මැයෙන් සිංහලට පරිවර්තනය කර ඇත) ප්‍රහසනය පිලිබඳව ඔහු විසින් අදහස් දක්වා ඇත්තේ මෙසේ ය. 'මා රුසියාවේ දි දැන සිටි හිතුවක්කාර පාලනය, වංචාව,ප්‍රෝඩාව, අල්ලස, දූෂණය, සාධාරණත්වය මූර්තිමත් කලයුතු තැන්වල දක්නට ඇති අසාධාරණත්වය යනාදි සියල්ල කැටිකොට දක්වා සිනාසෙන්නට රහස් කොමසාරිස් නාට්‍යය මඟින් වෑයම් කෙළෙමි. එහෙත් සිනා මුසුව ගලා ගෙන යන දුක්බර කඳුළු දක්නට ප්රබුද්ධ ප්‍රේක්ෂකයෝ සමත් වූහ. 'ඔබ කුමට ද, කාට ද සිනාසෙන්නෙ. ඔබ ඔබට ම සිනා සිය යුතුයි' යනුවෙන් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන නගරාධිපති පවසන වදන් මුළු සමාජයට මුර ගා පවසන මෙන් රැව් දෙයි.' ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් එම දෙබස කෙතරම් වලංගුදැයි සිතෙන්නෙ, මෑත කාලයේ බොහෝ පිරිස් තැන තැන පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් නිදාගන්න එක ගැන, මාධ්‍ය සාකච්ඡාවල දී එවැන්නෙකු කී මරි මෝඩ කතාවක් ගැන එකිනෙකාට අදහස් හුවමාරු කරගනිමින් උසුළු විසිළු කරන ආකාරය දකින විට ය.
දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තනය තුලින් අප හට, ඒ මහා කතුවරයාගේ ඒ අපූර්ව ලක්ෂණයන් පාඨකයා වෙත තිලිණ කිරීමට අපමණ වෙහෙසක් ගෙන ඇති බවට කරුණු සපයයි. මා හුදෙක් ම එයට ඇද බැඳ තබාගත්තේ කෘතිය පුරා දැදිගමයන්, අඛණ්ඩව පවත්වාගෙන යන දියුණු, විරල සිංහල වචන භාවිතයන් හා නුපුුරුදු වර්ණනාවන් ය.
'දෙවියනේ, ඔහුගේ කතා ලතාවෙහි මිහිර ! එය හිස පිරිමදින්නාක් වැනි, සුමුදු ඇඟිලි තුඩින් විළුඹ කසන්නාක් වැනි හැඟීමක් දනවන කතා ලතාවකි.'
'තේ පෝච්චියේ අඩුවෙන් අල්ලා ගන්නා තරම්ම පහසු ලීලාවෙකින් ගැහැනුන් විසින් පිරිමින් නාසයෙන් අල්ලා මෙල්ල කරනු ලැබීම'
'ඒකතානමකින්,මනෝ විනෝදය, නිරනුමානය, සමාජාවාරවලට, දෙනාසා පූටයෙන් ම, කටලු කතා,පක්ෂභාජනය.'
මේ ඒ අතරින් කිහිපයකි. දැදිගමයන් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතාවන ඇතැම් ඉලන්දාරී භාවිතාවන් ද තැනින් තැන එක් කරමින් රුසියානු සාහිත්‍යයේ පවතින නිර්ව්යාජබාවය තම පරිවර්තනය තුල රැකගන්නට උත්සහ දරා ඇත.
'කලකට පස්සේ වෙලකට බැස්සේ, හෙන ගහපන් ගණං බලාපං'
'ගොගොල්ගේ උපහාසාත්මක කලා රීතිය, තියුණු වුව ද, ඇතැම් විට නිර්දය වුව ද මිනිසා විඩම්බන සිනාවට හසු නොකරන සදය මානව දයාන්විත උපහාසයකි. බීඩලු ගලවාලා කෙසෙල් ගස්වල හර නැති නියාව දක්වන්නා සේ මිනිසුන්ගේ බොරු හර පෙන්වා දෙන්නාවුත් මිනිස්කමේ උතුම් සාරධර්ම ධ්වනිත කොට දක්වන්නා වූත් උපහාසයකි'
'ගොගොල්ගේ හිම කබාය අසමානාත්මතාවයට විරුද්ධ ව මානුෂික උදාරත්වය උදෙසා ද නිදහස් සාධාරණ ජීවිතය උදෙසා ද ගෙන යන සටනේ ධජයක් මෙන් විශ්ව සාහිත්‍යකලා මන්දිරය මුදුනේ ලෙළ දෙයි'
-රෝ-
හිම කබාය හා තවත් කතා
පරිවර්තනය- දැදිගම වී රුද්‍රිගු/ පද්ම හර්ෂණ කුරණගේ