කලාකරුවා යනු රටකට මහඟු සම්පතකි. රටක් පරිවර්තනය කිරීමේ හැකියාව ඔහු සතුය. මන්ද පවතින තත්ත්වයත් යථාර්ථයත් අතර ඇති දුරස්ථ භාවය ආරක්ෂා කොට ගනිමින් සැබෑ යථාර්ථය ග්‍රහණය කර ගැනීමට ප්‍රේක්ෂකයා පෙළඹවීමට ඔහුට වැඩි අවකාශයක් ඇති බැවිනි. පාලක පන්තිය විසින් මවා පෙන්වනු ලබන මායා ලෝකයක ජීවත් වන ජනතාවගේ සෑම ඉන්ද්‍රියයක්ම පාහේ සත්‍ය ලෙස අන් දෙයක් විඳින්නට හුරු වී තිබූ යුගයක මුළු මහත් සමාජයම වෙළාගෙන තිබූ මායා දෘෂ්ටීන් පුපුරුවා හැරීමට 60 දශකයේ සිනමාකරුවා සමත් විය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයත්, භාෂාව හා සාහිත්‍යය පිළිබඳව පෘථුල අවබෝධයත්, දේශපාලන දැනුම හා මාධ්‍ය හැසිරවීමෙහි කුසලතාවත්, නිසර්ගයෙන්ම පිහිටිය යුතු නිර්මාණශීලී ගුණයත් කැටි කර ගනිමින් දේශීය සිනමාවට ධන නිධානයක් බඳු වූ සිනමාකරුවකුගේ ආගමනය ඊට සමගාමීව සිදු විය. ඒ අන් කවරෙකුත් නොව සිංහල සිනමා ක්ෂේත්රය දිග්විජය කළ ධර්මසේන පතිරාජයන්ය. මේ සංක්ෂිප්ත සටහන ඔහු වෙනුවෙනි.
1944 වර්ෂයේදී මනරම් කඳු වළල්ලකින් වට වූ පේරාදෙණියේ උපත ලද ධර්මසේන පතිරාජයන් පේරාදෙණිය ද්විතීයික කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ධර්මරාජයට ඇතුළත් වන පතිරාජයන් හොඳින් අධ්‍යාපන කටයුතුවල නියෑළෙමින් සියලු ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් විෂය කරුණුවලට අමතරව රසාස්වාදය, දේශපාලනය, සමාජ තොරතුරු ආදිය මනා කොට හදාරමින් පුළුල් ජීවිතාවබෝධයක් ලැබීය. එමෙන්ම තම වැඩිමහල් සහෝදරයා හා ඔහුගේ මිතුරන් සමීපව ඇසුරු කිරීමෙන් දේශපාලනය, සාහිත්‍යය ආදී විෂයයන් පිළිබඳ වැඩිදුරටත් අවබෝධයක් ලබා ගැනීමට ඔහුට අවස්ථාව උදා විය. වයස අවුරුදු 19 දී ධර්මරාජයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ඔහු 1963 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු ප්‍රධාන විෂය වශයෙන් සිංහලත් අනු විෂය වශයෙන් බටහිර සම්භාව්‍ය සංස්කෘතියත් තෝරා ගනු ලැබීය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර සිටම දේශපාලනයට ඇලුම් කළ පතිරාජයන් සමසමාජ පක්ෂයට අනුබද්ධිත ශිෂ්‍ය සංගමයකට සම්බන්ධව සිටියේය. ඒ හේතුවෙන් විශ්විද්‍යාලයේදී ලංකා සමසමාජ පක්ෂය සමඟ සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව උදා විය. ඩොරික් ද සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි වාම බුද්ධිමතුන් ළඟින් ඇසුරු කළ ඔහු ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි සමසමාජ නායකයන්ගේ දේශනවලට පවා එකල සහභාගි විය. වාම දේශපාලන නැඹුරුවත් සමඟ කලා ක්ෂේත්රය හරහා ගමන් කළ පතිරාජයන් විශ්වවිද්‍යාලයේදී සිංහල සංගමයට හා නාට්‍ය සංගමයට සම්බන්ධ විය. පසුව සිංහල විෂයට සමගාමීව සංස්කෘත නාට්‍ය කලාවත් බටහිර සම්භාව්‍ය සාහිත්‍ය හා නාට්‍ය කලාවත් හැදැරීම සඳහා අවස්ථාව උදා කර ගත්තේය. පතිරාජයෝ එකල වැඩි කැමැත්තක් දැක්වූයේ නාට්‍ය කලාව පිළිබඳවය. ඒ හේතුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් විෂය ගුරුවරයා කොට ගනිමින් නාට්‍ය කලාවට පිවිසිණි.
පසුකාලීනව සිනමාව කෙරේ වැඩි අවධානයක් යොමු කළ ධර්මසේන පතිරාජයන් එකල කොළඹ හා පේරාදෙණිය තිබූ සිනමා සංගම්වලට සම්බන්ධ වී සිනමාව හැදෑරීමට පටන් ගත්තේය. ඒ හරහා ලෝකයේ තිරගත වූ සම්භාව්‍ය චිත්‍රපට නැරඹීමේ හා ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ මහඟු අවස්ථාව ලද ඔහු ඒ හරහා තම සිනමා දිවියේ පදනම දමා ගත්තේය. එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම හේතුවෙන් ලෝකයේ තිබූ සිනමා කෘති බොහොමයක් කියවීමේ අවස්ථාව ලද පතිරාජයන් ඒ හරහාද තම සිනමා දැනුම මුවහත් කර ගත්තේය. කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් බොහෝ තරුණයෝ 60 දශකයේ සිනමාවට පිවිසීමට උත්සාහ දැරූහ. පතිරාජයන්ද පළමුවරට "සතුරෝ" නමින් කෙටි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේය. සයිමන් නවගත්තේගම, විමල් කුමාර ද කොස්තා වැන්නවුත් එයට රංගනයෙන් දායක වූහ.
1974 දී ධර්මසේන පතිරාජයන් තම ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් "අහස් ගව්ව" චිත්‍රපටය නිර්මාණය කළේය. ඒ සඳහා එකල ඔහුගේ පාසල් මිත්‍රයකු වූ මිත්‍රරත්න හේරත් අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දුන්නේය. කෙසේ නමුත් "අහස් ගව්ව" චිත්‍රපටය එකල වාණිජමය වශයෙන් අසාර්ථකත්වයට පත් විය.
කෙසේ වෙතත් වාණිජ වශයෙන් පාඩු ලැබුවද "අහස් ගව්ව"ට ප්‍රේක්ෂක විචාරක ප්‍රශංසා ඉහළින්ම ලැබිණි. අලුත් තේමාවකින් සහ නව දේශපාලන ඇසකින් යුක්ත වීම එයට ප්‍රධාන හේතුවයි. ඒ හරහා අසාර්ථක "අහස් ගව්වෙන්" සාර්ථක ගමනක යෙදෙන අලුත් මිනිසෙකු බිහි විය. එමෙන්ම සිංහල සිනමාව දිග්විජය කළ සම්භාව්‍ය නළුවකු වන අමරසිරි කලංසූරිය නළුවකු වශයෙන් ස්ථාපිත වන්නේ අහස් ගව්ව චිත්‍රපටය හරහාය. විශේෂයෙන් විජය කුමාරතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, විමල් කුමාර ද කොස්තා, සිරිල් වික්‍රමගේ වැනි දැවැන්තයෝ පිරිසක් මෙම නිර්මාණයට දායක කරගන්නට පතිරාජයෝ එකල කටයුතු කළහ.
ධර්මසේන පතිරාජයන් වෘත්තීයමය වශයෙන් සිනමා නිර්මාණයක් සඳහා සම්බන්ධ වන්නේ 1965 දී නිර්මාණය වූ හන්තානේ කතාව චිත්‍රපටයේ තිර රචකයෙකු වශයෙනි. සුගතපාල සෙනරත් යාපා, සුමිත්ත අමරසිංහ, ටයිටස් තොටවත්ත, ප්‍රේමසිරි කේමදාස වැනි දැවැන්තයන් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාව ඒ හරහා ඔහුට උදා විය. එය ඔහුගේ සිනමා දැනුම පුළුල් කර ගැනීමට ලැබූ මහඟු අවස්ථාවක් ලෙස ධර්මසේන පතිරාජයෝ කවදත් සැලකූහ. හන්තානේ කතාව වැඩි හරියක් රූපගත කළේ පේරාදෙණිය සරසවියේ බැවින් මුළු චිත්‍රපටයේ සෑම කාර්යයක් පිළිබඳවම දැනුමක් ලබා ගැනීමට පතිරාජයන්ට වැඩි අවකාශයක් ලැබිණි. ඒ හේතුවෙන් සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" පතිරාජගේ සිනමා දිවිය අවුළුවන්නක්ම විය. ඒ හරහා ලැබූ අත්දැකීම් හා පරිචය තවත් බොහෝ නිර්මාණ කිරීම සඳහා පතිරාජයෝ පෙළඹවූහ.
ඉන් අනතුරුව අදටත් සිනමා රසිකයන් සම්භාවනාවෙන් සිහිපත් කරන "පාර දිගේ", "බඹරු ඇවිත්", "පොන්මනී", "එයා දැන් ලොකු ළමයෙක්", "සොල්දාදු උන්නැහේ" වැනි චිත්‍රපට නිර්මාණය කරමින් ඔහු සිංහල සිනමාව පෝෂණය කිරීමට පෑ දායකත්වය සුළුපටු නොවන්නේය.
ඒ සෑම චිත්‍රපටයකම පාහේ සෙසු සිනමාකරුවන් නොදුටු දේශපාලන හා සමාජ යථාර්ථයක ලකුණු වැටී තිබිණි. එම සිනමා පටයන්හි කැමරාව, සංස්කරණ විධිය, දෙබස් සහ රඟපෑම්වල සෑම විටම අසාමාන්‍යතාවක් ගැබ්ව තිබිණි. ඒ නිසාම හුදු නරඹන්නන් නොව බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් සෑම විටම පතිරාජයන් වටා ගොනු වන්නට විය. මේ අතරතුර 1968 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි කථිකාචාර්ය ධුරයක් ලබන ධර්මසේන පතිරාජයන් ඔස්ට්‍රෙලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. සෑම විටම වාණිජ පරමාර්ථයෙන් තොරව නිර්මාණකරණයෙහි යෙදුණු පතිරාජයෝ තම විශ්වවිද්‍යාල කථිකාචාර්ය වැටුපෙන් සෑහීමකට පත්වන්නට සමත් වූහ. සෑම විටම සිනමාව තුළින් ඔහු ජීවිතයේ ගැඹුර සහ සමාජ දේශපාලනයේ ගැඹුර සොයා යැමට නිරතුරුවම උත්සාහ දැරීම එයට හේතුපාදක විය.
විශිෂ්ට නිර්මාණකරුවන් අගයා 1979 වර්ෂයේදී පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලේදී ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්" චිත්‍රපටයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයන් හිමි විය. එමෙන්ම විවිධ සමාජ ව්‍යූහයන් තුළ ඔහුගේ නිර්මාණය මහත් ආන්දොලනයක් ඇති කිරීමට සමත් විය. විශේෂයෙන් ඔහු මාධ්‍යට ආවේණික සීමා මායිම් හඳුනා ගනිමින් නිර්මාණාත්මක කෞශල්‍යය සිය චිත්‍රපට තුළින් විදහා දැක්වීමට සමත්වීම තුළ ඔහු දේශපාලන සිනමාකරුවකු ලෙස ස්ථාපිත වන්නේය.
විශේෂයෙන්ම සිංහල සිනමා ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ධර්මසේන පතිරාජයන් සමත් විය. ඒ සඳහා හේතු පාදක වන්නේ ඔහු තුළ ඇති අධ්‍යාපනයත් අත්දැකීම සමුදායත්ය. අවුරුදු 40 ක් විශ්වවිද්‍යාල ගුරුවරයකු වශයෙන් ගතකොට විශ්‍රාම ලැබුවද පතිරාජයන් තවමත් තම පෘථුල දැනුම ඉදිරි පරම්පරාව සඳහා ලබාදීමේ මාහැඟි කාර්යයේ නිරත වෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේද, වෘත්තීය පුහුණු කිරීම් අමාත්‍යාංශයේ සිනමා උපදේශකයකු වශයෙන්ද රජයේ චිත්‍රපට අංශයේ පාඨමාලා උපදේශකවරයකු වශයෙන්ද කටයුතු කරමින් සිටින්නේය. ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්රයේ පෝෂණයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසේන පතිරාජයන් සියලු දෙනාගේ ඇගයීමට ලක් විය යුතුය. ලාංකේය සිනමාවට ඉටු කළ යුගාරක මෙහෙවර ඉදිරියටත් කරගෙන යැමට අවශ්‍ය නිදුක් නිරෝගී ආයූ සම්පත්තිය ඔබ හට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
තිලිණ ලක්මාල් අභයරාජ