ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම චිත්‍රපටය ‘5 සමත්’ මේ දවස්වල රීගල් ඇතුළු සිනමා ශාලාවල තිරගත වෙයි. ළමයින් වෙනුවෙන් තිරගත වන ‘5 සමත්’ චිත්‍රපටයේ සමත්ගේ පියාගේ චරිතයට පණ පොවන්නේ උද්දික ප්‍රේමරත්නයි. මෙතෙක් රඟ නොපෑ වෙනස් ම විදියේ චරිතයකින් ඔබ හමුවට පිවිසෙන උද්දික ප්‍රේමරත්න කාලයකට පසුව රිදී තිරයට පිවිසෙන සිය රංගන ගමන ගැනත්, ‘5 සමත්’ චිත්‍රපටයේදී ලැබූ අත්දැකීම් පිළිබඳත් කළ කතාබහකි.
ඔබගේ රංගනය අවසන් වරට අප රිදී තිරයේ දැක්කේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය හරහායි. එතැන් පටන් ‘5 සමත්’ දක්වා ගෙවුණු කාලය දිගු කාලයක්. දිගු කාලයකින් පසුවයි අප ඔබව රිදී තිරයේ දකින්නේ
මගේ ප්‍රේක්ෂකයන්ට මං ගැන මොනවා හරි වැදගත් දෙයක් දැන ගැනීමට තිබෙන කාලයකයි ‘5 සමත්’ චිත්‍රපටය හරහා මා ඔවුන් අතරට පිවිසෙන්නේ. මගේ නිර්මාණ දායකත්වයක් නැතිව ඔවුන් මං ගැන කතා කරනවාට වඩා මා වඩාත් කැමැත්තක් දක්වන්නේ මගේ නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන්නයි. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නම් අප වැඩ කරන්නේ ඔවුන් අතරට නිර්මාණයක් රැගෙන පැමිණීමයි මේ සිදුකළේ.
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ බොහෝ නිර්මාණවලට ඔබ රංගනයෙන් සහභාගි වී තිබෙනවා. එලෙස සිදුවීමට ඔබ දෙදෙනා අතර තිබෙන බැඳීම කුමක්ද?
මා සිවා අයියාව හඳුන්වන්නේ මගේ ටෙලි නාට්‍ය කලාවේ පියා විදියටයි. ඔහුව මට මුලින්ම හමුවන්නේ ‘අළුපාට හීන’ ටෙලි නාට්‍යයේදියි. අප දෙදෙනාගේ ඒ මුණ ගැසීම අද දක්වා බොහොම ආදරණීය බැඳීමක් බවට පත් වී තිබීම සතුටට කරුණක්. මා දකින්නේ ඒ විදියට අධ්යක්ෂවරයකු හා නළුවකු අතර තිබෙන බැඳීම මෑත කාලයේදි තිබෙන බොහොම දුර්ලබ බැඳීමක් විදියටයි. ඒ වගේ ම අප දෙදෙනා අතරේ තිබෙන ඒ බැඳීම අවංක බැඳීමක්. අද වනවිට ඔහුට ටෙලි නාට්‍ය කලාවේ හා සිනමාවේ තවත් දරුවන් ඉන්නවා. ඔහු මේ කලාව ඇතුළේ පුත්තු වගේ ම දූවරු කිහිපදෙනෙකුත් නිර්මාණය කරලා තිබෙනවා. මා ඔහුව ටෙලිනාට්‍ය කලාවේ පියා විදියට සලකන විට ඔහු මාව සලකන්නේ ඔහුගේ ලොකු පුතා විදියටයි.
ඔබ දෙදෙනා අතර තිබුණු මේ බැඳීම හරහා විවිධ කතාබහ ගොඩනැඟුණාද?
ඒ අප දෙදෙනා අතර ගොඩනැඟී තිබුණු බැඳීම හරහා මට එදා ඉඳන් තිබුණු ආසාවක් වුණේ සිවා අයියාත් සමඟ චිත්‍රපටයක් කිරීමයි. ඒ සඳහා මා ඔහු සමඟ සාකච්ඡා කළා. අනේක වාරයක් ඒ ගැන විමසලා ඔහුට වද දුන්නා. කරදර කළා. ඒත් ඔහු ඒ දේවල්වලට යම් යම් අවස්ථාවල එකඟ වුණා. යම් යම් අවස්ථාවලදි එකඟ වුණේ නැහැ. ඒ සිදුවුණු කතාබහ අතරදි මා නිතරම ඔහුට පැවසුවේ මා වඩාත් කැමැත්තක් දැක්වූ වාණිජ ධාරාවේ අපේ තාරුණ්‍ය ගැන කතා කරන චිත්‍රපට පිළිබඳයි. ඒ අවස්ථාවලදි ඒ නිර්මාණවලට තිබෙන බාධක ගැන ඔහු මට පැහැදිලි කළා. කොහොම හරි ඒ කටයුත්ත මඟහැරී තිබුණා. වාණිජ සිනමාව ඇතුළේ අපට ගොඩනැඟීමට තිබෙන බාධක මොනවාද කියන ඒ විවිධ කතා ඇතුළේ අපේ කතාව මොකක් හෝ මාතෘකාවක් නිසා නතර වීමයි මෙතෙක් සිදුවුණේ. ඒත් මේ වනවිට ඒ බාධක මඟ හරිමින් තාරුණ්‍ය ගැන කතා කරන චිත්‍රපට පසුගිය කාලයේ දිගටම නිර්මාණය වුණා. ඒක හොඳ ප්‍රවණතාවක්. තරුණයන් විදියට එවැනි සිනමා කර්මාන්තයක් දකින්නට අප කැමැතියි.
ඒ ආකාරයේ කතාබහ සිදු කරමින් සිටින අතරදියි ඔහුගේ නවතම චිත්‍රපටය ‘5 සමත්’ චිත්‍රපටයේ සමත්ගේ පියා ලෙස රංගනයෙන් සහභාගි වීමට ඔබට ආරාධනා ලැබෙන්නේ?
ඒ ආරාධනාව ලැබුණු මේ චිත්‍රපටය මගේ කැමැත්ත තිබුණු මා බලාපොරොත්තු වුණු විදියේ චිත්‍රපටයක් නොවෙයි. ළමා චිත්‍රපටයක්. පොඩි දරුවන්ට බොහොම ආදර්ශවත් පණිවුඩයක් ගැන කියැවෙන චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ තාත්තා විදියටයි මා රඟපාන්නේ. ඒ කියන්නේ සමත්ගේ තාත්තා විදියටයි ඔහු මට මේ චිත්‍රපටයට සහභාගි වීමට ආරාධනා කරන්නේ. සිවා අයියා මට මුලින්ම කතා කරලා “මේ වගේ චරිතයක් තියෙනවා. මොනවාද කියන්නේ” කියලා මේ චරිතය ගැන මගෙන් විමසුවා. ඒ වෙලාවෙම මා ඔහුට කැමැත්ත දුන්නා.
ඒත් සමඟම ඒ චරිතයේ යම් වෙනස්කමක් කළ යුතු යැයි අධ්යක්ෂවරයා ඔබට පැවසුවා නේද?
ඔහු පැවසුවේ මගේ ප්‍රතිරූපය පොඩ්ඩක් වෙනස් කිරීමට සිදුවේවි කියලා. නළුවන් විදියට අප කරන්නේ ඒකයි. අලුත් චරිතයක් ගොඩනඟන විට ඒ චරිතවලට අවශ්‍ය විදියට, චරිතවල තිබෙන හැඟීම්, භාවමය ප්‍රකාශන ඊට උචිත විදියට අප වෙනස් කර ගත යුතුයි. ඒ නිසා රංගන ශිල්පියකු විදියට වෙනස් වෙනස් චරිත රඟපෑමට මා කැමැතියි. ඉතිං ඔහු පැවසූ ඒ වෙනස්කම්වලට මා එකඟ වුණා. ඒ වගේ ම කිතුල් ගස් නඟින්න සිදුවේවි යැයි ඔහු පැවසුවා. ඒ සියලු කාරණාවලට මා එකඟත්වය පළ කළා.
‘5 සමත්’ චිත්‍රපටයේ ඔබට රඟපාන්නට ලැබෙන්නේ ප්‍රධාන චරිතයක් නොවෙයි. ඒ කාරණයට ඔබ එකඟ වූවාද?
සිවා අයියා ඒ ගැන මට මුලින්ම පැවසුවා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. අප කරන චරිතය චිත්‍රපටයට අවශ්‍ය චරිතයක් නම් ඒ චරිතය සඳහා මාව නම් සුදුසු ඒ චරිතය මා භාර ගැනීමට සූදානම් බවයි පැවසුවේ. ඒ චරිතය භාර ගැනීමට හේතු වූ අනෙක් කාරණය නම් මා අධ්යක්ෂවරයා කෙරේ තබා තිබුණු විශ්වාසයයි.
ඔබ රඟපෑ චරිතයේ සිදුකළ වෙනස්වීම් සිනමා ප්‍රේක්ෂකයා භාර ගත්තේ කුමන ආකාරයෙන්ද?
මූලිකවම ඔහුට වුවමනා වුණේ මගේ රූපය වෙනස්කර ගැනීමටයි. අපට වුවමනා වුණේ බැලූ බැල්මටම කවුද මේ ඉන්නේ කියලා ප්‍රේක්ෂකයන්ගේ සිතේ ප්‍රශ්නාර්ථයක් ඇති කිරීමයි. ඔවුන්ගේ ඇස පොඩ්ඩක් විතර රැවැට්ටීමටයි අපට වුවමනා වුණේ. ඒ හරහා පසුව “ආ මේ උද්දික නේද?” කියන කාරණය ඔවුන්ගේ මතකයට නැඟීමට අපට වුවමනා වුණා. ඒ අපේ අදහස ඒ ආකාරයටම චිත්‍රපටය තිරගත වීමේදි සිදුවීම ගැන අපට සතුටුයි. මෙතෙක් චිත්‍රපටය නැරැඹූ බොහෝ සිනමා ප්‍රේක්ෂකයන්ට මාව බැලූ බැල්මටම අඳුනා ගන්න නොහැකි වුණා. ටික වෙලාවක් යද්දියි ඔවුන් මාව හඳුන ගත්තේ.
අධ්යක්ෂවරයා තරුණ ඔබව මැදිවියේ වෙසෙන්නකුගේ චරිතයක් බවටයි පත්කළේ. ඔහු රා මදින්නෙක්
‘5 සමත්’ චිත්‍රපටයේ සමත්ගේ තාත්තා ඇතුළු ඔවුන් ජීවත් වන්නේ කර්කශ පරිසරයකයි. රා මැදීම තමන්ගේ වෘත්තිය කරගෙන ඒ හරහා හකුරු නිෂ්පාදනය කරන, ඒ මඟින් සිය පවුල නඩත්තු කරන පියකුගේ චරිතයයි මා රඟපෑවේ. අපේ රටේ බොහොම දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන, බොහොම අඩු ආදායම් මට්ටමක සිටිමින් තම පවුල ජීවත් කරවන අහිංසක, අසරණ පවුලක් වටායි මේ කතාව ගෙතී ඇත්තේ. අපේ රටේ ජීවත්වන, අපේ සමාජයේ ජීවත් වන එක්තරා පිරිසක් පිළිබඳයි අධ්යක්ෂවරයා මේ කතා කරන්නේ.
රා මදින්නාගේ චරිතය ඔබට යම් අභියෝගයක් එල්ල කළ චරිතයක්ද?
චිත්‍රපටයක් කරනවා කියන්නේ ම අභියෝගයක්. චරිතයක් වෙනස් කර ගන්නවා කියන තැන ම ඒ අභියෝගය ලැබෙනවා. රංගන ශිල්පීන් විදියට අප මේ කරන්නේ අභියෝග භාර ගැනීමයි. නැත්නම් ඒ චරිත ගණන් ගන්නේ නැතිව ඉන්නට අපට බැහැ. රා මදින්නකුගේ සමාජ මට්ටම, පන්තිය වෙනස්. ඒ හරහා අපට චරිතය රඟපෑමට ප්‍රථම සූදානම් වීමට දේවල් ටිකක් තිබෙනවා. පුරුදු පුහුණු කළ යුතු දේවල් ටිකක් තිබෙනවා. ඒ චරිතය නිසියාකාරව ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන දේවල් වගේ ම අනවශ්‍ය දේවල් ටිකත් අප අවබෝධ කර ගත යුතුයි. ඒ සියලු දේවල් පිළිබඳ මා නිතර සෙවිල්ලෙන් කටයුතු කළා. මා සිතනවා මේ වනවිට ඒ චරිතය ඉතාමත් සාර්ථක වී තිබෙන බව. ලැබෙන ප්‍රතිචාරයි අපට ඒ බව පවසන්නේ.
රා මදින්නාගේ චරිතය බවට ඔබව පත් කිරීමේදී ඔබගේ චරිතයේ සිදුකළ වෙනස්කම් මොනවාද?
රා මදින්නාගේ චර්යාව කිතුල් ගස් නැඟීම, රා මැදීම වැනි ක්‍රියාකාරකම් හරහායි බැඳී පවතින්නේ. රා මදින්නකුගේ බාහිර ස්වරූපයේ තිබෙන්නේ රළු බවක්. උඩුකය විවෘත වුණු එවැනි අයකුගේ සමේ පැහැය සාමාන්‍යයෙන් කන්තෝරුවක රැකියාවක් කරන අයකුගේ සමේ පැහැයට වඩා වෙනස්කම්වලින් යුක්තයි. ඒ නිසා මගේ සමේ පැහැයට වඩා ඔහුගේ සමේ පැහැය වෙනස්විය යුතුයි. අනෙක් කාරණය මුළු දවසම අව්වේ, එළිමහනේ වැඩ කරන මිනිසකුගේ රූපයක් බැලූ බැල්මට අපේ නෙතට දැනෙන්නට වුවමනායි. මේ සියලු දේ වෙනස් කිරීමට උත්සාහ කරන තැන මුහුණේ කරගත යුතු වෙනස්කම් සඳහායි අලුතෙන් දත් කුට්ටමක් පාවිච්චි කිරීම සිදුවුණේ. දත් කුට්ටමක් භාවිත කිරීම මඟින් අපට වුවමනා වුණේ මම අලුත් දත් කුට්ටමක් දමාගෙන ඉන්නවා කියන්න සිනමා ප්‍රේක්ෂකයන්ට දනවන වුවමනාව නොවෙයි. ඒ මඟින් මගේ හැඩය වෙනස් කිරීමයි චිත්‍රපටයේදී සිදුවුණේ. එහිදි ප්‍රමාණය ඉක්මවා නොයන ආකාරයට, මට වඩා දත් කුට්ටම අභිභවා නොයන ආකාරයටයි ඒ චරිතයේ මුහුණේ ඇතිකළ වෙනස්කම සිදුකළේ. ඒ වෙනස්වීම් සුදුසු ආකාරයට, සිනමා ප්‍රේක්ෂකයා විශ්වාස කරන ආකාරයට සිදු වූ බව මා සිතනවා. දත් කුට්ටම නිර්මාණය කරන්නේ වේශ නිරූපණ ශිල්පියා රුචිරයි. ඔහුවත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.
එහිදි රැවුලේ ඇතිකළ වෙනස්වීමත් ඔබට යම් බලපෑම් කළාද?
රා මදින්නාගේ චරිතයට උචිත ආකාරයෙන් මගේ රැවුලේ කොටස් කිහිපයක් ඉවත් කර ගත්තා. ඒ වලවල් තුනක් තිබෙන ආකාරයෙන්. මේ චිත්‍රපටයේ රූගත කිරීම් කළේ අප්‍රේල් මාසයේ. සිංහල අවුරුද්ද ආසන්නයේයි එහි රූගත කිරීම්වල කොටසක් අවසන් වුණේ. ඒ වනවිටත් මගේ මුහුණේ රැවුලේ තැනින් තැන වලවල් තුන තිබුණා. අවුරුද්දට නිවාඩු ගන්නට මට සිදුවුණේ මේ වලවල්තුනත් සමඟයි. ඒ නිසා මට මුහුණ දෙන්න වුණේ බොහොම සුන්දර අත්දැකීම්වලටයි. මාව දකින හැමෝම මගේ රැවුලේ තිබෙන වලවල් ගැන අහනවා. ඒ අහන අහන එක් එක්කෙනාට ඒ සිදුවීම් විස්තර කරන්න සිදුවීම මොන වගේ අත්දැකීමක් වන්නට ඇත්දැයි ඔබට සිතාගන්න පුළුවන් ඇතැයි මා සිතනවා.
රූගත කිරීම් සිදුවුණු ප්‍රදේශය තරමක් දුර බැහැරයි. එහි යන එන ගමනේදී විඳීන්නට සිදුවුණු දුෂ්කරතා ගැනත් සඳහන් කරමු
කිතුල්ගල ගත කළ කාලය, එහි ජීවත්වුණු කාලය අපට දැනුණේ අපේ අතීතයට ගිය බවයි. අප ගමනා ගමනයේදී යාන වාහන භාවිත කරන්නේ අපගේ පහසුව තකායි. ඒත් ඒ කිතුල්ගල සිටි මාසයේ කිලෝමීටර් හතරක් පමණ රූගත කළ ස්ථානයට උදේ පාන්දරම අපි ආවේ ගියේ පයින්මයි. අද ඒ ගැන කතා කරනවිට බොහොම සුන්දරයි. එදා නම් ඒ ගමන්වල දුෂ්කරත්වය වින්ඳේ අමාරුවෙන්. මහන්සියෙන්. කොහොමත් මහන්සියෙන් කැපවීමක් නොකර අපට ප්‍රතිඵලයක් ලබන්නට බැහැ. ඒ නිසා ඒ කාලය බොහොම සුන්දරව ගෙවුණා.
ඔබ හා වැඩකළ අනෙක් ශිල්පීන් පිළිබඳ හා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
‘5 සමත්’ චිත්‍රපටය රසික සුරවීරආරච්චිගේ පිටපතක්. ඔහුගෙත් පළමු සිනමා පිටපත. ඔහු සමඟ ඔහු ලියූ ටෙලි නාට්‍ය නිර්මාණවලට නම් මා දායක වී තිබෙනවා. ඔහුගේ මේ රචනාවත් මා සිතන්නේ සිනමාත්මක පිටපතක් ලෙස අපට දකින්නට හැකියි. සිවා අයියාගේ අධ්‍යක්ෂණය. තුසිතගේ කැමරා අධ්‍යක්ෂණය. ඔහුගේත් උපරිමය චිත්‍රපටයට අවශ්‍ය පරිදි සිදුකර තිබෙනවා. ඒ සියල්ල සිවා අයියාගේ අනුදැනුම ඇතිව, ඔහුගේ අධ්‍යක්ෂණය ඇතුළේ සිදුවුණා. ඒ වගේ ම මා සමඟ රඟපෑ දිල්හානි අක්කා, පොඩි පැංචන් ටිකත් මතකයට නැඟිය යුතුයි.
ඒ පැංචන් සමඟ ගෙවුණු කාලයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔබට කරදරකාරී බවක් ගෙනාවාද?
ඒ පැංචන්ව නම් මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඔවුන්ගේ හැබෑම වින්‍යානුකුල බව කිසිම දවසක මට අමතක වෙන්නේ නැහැ. මා පවසන්නේ ළමයින් වුණාම දඟලනවා. කෑ කෝ ගසනවා. එහෙත් අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය තැනට ඇවිත් ඇහුම්කන් දෙනවා. නිර්මාණයට අවශ්‍ය තැනදි ඔවුන් එතැනට පැමිණෙනවා. එහෙම දරුවනුයි අපට අවශ්‍ය වන්නේ. අනෙක් වෙලාවට ඔවුන් ළමාවිය ගත කළා. ඒකනම් සමහර වෙලාවට වදයක්. පස්දෙනා ජාති පහක් එකම වෙලාවේදි කියනවා. පහටම උත්තර දෙන්න ඕන එකවිට. ඒ විදියටයි එහි කාලය ගතවුණේ. ඔවුන් තවමත් මට ළෙන්ගතුයි. ඔවුන්ගේ මවුපියන් සමඟ වුණත් බොහොම සහෘද බවක් ගොඩනැඟුණා. ඒ සියලු කටයුතු මැද චිත්‍රපටය නිමාවුණා. මෙවැනි නිර්මාණයකට සහයෝගය දෙන්නට ලැබීම සතුටක්. සිවා අයියාත් සමඟ මට එකතු වී වැඩ කළ යුතු චිත්‍රපටය මේ නිර්මාණය නොවන බවයි මා නම් සිතන්නේ. ඒ චිත්‍රපටය සිවා අයියා දවසක කරයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
‘මහින්දා ගමනය’ චිත්‍රපටය හරහායි ඔබගේ සිනමා ආගමනය ආරම්භ කරන්නේ. ඔබ වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනි’ චිත්‍රපටයෙන්. ඊට පසුව චිත්‍රපට කිහිපයකම ඔබගේ රංගනය සිනමා ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙනවා
පළමුව චිත්‍රපටයකට රංගනයෙන් සහභාගි වන්නේ ‘මහින්දා ගමනයෙන්’. ඊට පසුව ජයන්ත අයියාගේ ‘සමනල සංධ්වනි’. ඒ සඳහා මාව යෝජනා කරන්නේ එහි සංගීතය කළ දර්ශන රුවන් දිසානායක. ඉන් පස්සේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ගැමුණු රජුගේ චරිතය මට ලැබෙනවා. එය අපේ රටේ විශිෂ්ට චරිතයක්. ඔහු අප කුඩා කාලයේ දැක්ක වීරයෙක්. අපේ ඉතිහාසය ගොඩනැඟුව වීරයෙක්. එවැනි චරිතයක් රඟපාන්නට ලැබීම ලොකු වාසනාවක්. මගේ ගමත් අනුරාධපුරයේ. දුටුගැමුණු රජතුමාගේ රාජධානියත් අනුරාධපුරයේ. ඒ චරිතය මගේ සිනමා ගමනට මට ලැබුණු ලොකු දායකත්වයක්. ඒ චරිතය කිරීමට ලැබීමේ ගෞරවය මා ලබාදෙන්නේ චිත්‍රපටය නිර්මණය කළ ජයන්ත අයියාටයි. ඉන්පසුව ‘පත්තිනි’, ‘ආලෝකෝ උදපාදි’ නිර්මාණවලටයි මා දායකත්වය දක්වන්නේ.
ඔබගේ රංගන දක්ෂතාව යම් විදියකට කතාබහට ගැනෙන්නේ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතය ඔස්සේයි. එහෙත්‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේදි ඔබ ඉදිරිපත් කළ රඟපෑම ඒ දක්ෂතාව වඩාත් වර්ධනය කරගත් බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ චරිතය හරහා ඔබ එක් සීමවකට කොටු වූ බවක් හැඟෙන්නේ නැද්ද?
ඒකට මේ වගේ හේතු කිහිපයක් තිබෙනවා. මාව හුඟක් වෙලාවට පෙනුණේ ඵෙතිහාසික නිර්මාණ ඔස්සේ. ‘පත්තිනි’, ‘මහරජ ගැමුණු’, ‘ආලෝකෝ උදපාදි’, ‘මහින්දාගමනය’ ගත්තත් ඒ කාලයේ දිගින් දිගටම කෙරුණේ ඵෙතිහාසික චිත්‍රපටයි. ඒත් ඒ අපේ රටේ ඉතිහාසයයි. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි. ඒක ඇතුළේ මට ලැබෙන චරිත ප්‍රතික්ෂේප කිරීමට මට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අපට නැවත නැවත ඉතිහාසයේ දේවල් කරන්නට, දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ චිත්‍රපට නැවත කරාවිද කියන්නත් අපට බැහැ. ඒ චරිතවල වටනාකම් එක්ක සහ සියලු නිර්මාණවලට දායක වුණු ප්‍රවීණ අධ්යක්ෂවරු සහ ප්‍රවීණ නිර්මාණකරුවන් යටතේ මට සිනමාවේ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අය අතර ජයන්ත චන්ද්‍රසිරි, සුනිල් ආරියරත්න, සමන් වීරමන් හා චත්‍ර වීරමන්, ‘5 සමත්’ චිත්‍රපටයේ සිවා අයියා පවා, ඒ වගේම ජැක්සන් අයියා, පූජා, දිල්හානි අශෝකමාලා, බුද්ධදාස විතානාරච්චි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්, කැමරා අධ්යක්ෂවරුන් ඇතුළු සියලුදෙනා ම ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන්. ඒ අය සමඟ වැඩ කිරීමට, ඔවුන් ඇසුරු කිරීමට නම් ඒ අයත් සමඟ නිර්මාණවලට සම්බන්ධ විය යුතුයි. එහෙම නැතිව දුරකථයෙන් කතා කළාට, සවසට හමුවෙලා කතා කළාට ඔවුන් සමඟ ගත කළ කාලයේ අත්දැකීම් ලැබීමට කිසිවකුටත් නොහැකියි. ඒ නිසා ඒ කාරණයත් මට විශේෂයි. මොකද ඒ හරහා මට ලැබුණු දේවල් බොහොම නිසයි මා එලෙස පවසන්නේ. ඒ අත්දැකීම් ලබාදුන්නාට ඔවුන් සියලුදෙනාට ම මා ගෞරව කරනවා. ස්තුතිය පුද කරනවා. අපට තව ඉදිරියට නිර්මාණ කිරීමේ අවකාශය තිබෙනවා. මුදුන් මුල හයිය වුණාට පස්සේ අපට ලස්සන ගස් වගේ අතුපතර විහිදවලා, දලු දාලා, ලස්සනට මල් පිපිලා සුවඳ කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කාලය මා සතුයි. ඔබ පැවසූ කතාව නිවැරැදියි. මොකද දිගින් දිගටම ඵෙතිහාසික කතාවලයි මාව දැක්කේ. ඒවා දැවැන්ත නිර්මාණයි. ඒ නිසා මාව තවත් ඉතිහාසයටම එකතු වෙලා පෙනෙන්න පටන් ගන්න ඇතැයි මා සිතනවා. ඒකට මා කැමැතියි. ඒ චරිතවල මා සිටියා කියන්න ඒක හොඳ උත්තරයක්.
එහෙත් ‘සමනල සංධ්වනි’ චිත්‍රපටය ඊට වඩා වෙනස් නිර්මාණයක්
අදටත් ඒ නිර්මාණයට ආදරය කරන සිනමා ප්‍රේක්ෂකයන් මාව දකින්නේ එහි වාගීෂ විදියටමයි. ඒ අය ඒ චරිතය ගැන අදටත් බොහොම ආදරණීයව කතා කරනවා. අදටත් මා ‘ඉකිගසා හඬන... ගීතය ගායනා කළොත් අගය කරනවා. මේ ඊයේ පෙරේදාත් ක්‍රීඩා උත්සවයකට ආරාධනා කළ අවස්ථාවකදි ගිනි මද්ධහනේ ඒ ගීතය ගයන්නට මට ආරාධනා කළා. ඒත් මේ ගීතය කොයිතරම් මේ පරිසරයට ගැළපෙනවාද නැද්ද කියලයි මා ගීතය ගායනා කළේ. කොහොම නමුත් සියලුදෙනා ම ඒ ගීතය අසාගෙන සිටියේ ගල්ගැහිල වගේ. ගීතය අවසානයේ මා ඔවුන්ට ස්තුති කළේ මේ ගිනි අව්වේ එවැනි ගීතයක් රසවිඳීන්නට තරම් රස වින්ඳනයක් ඔවුන්ට තිබුණාටයි. ඊට අමතරව ‘5 සමත්’ චිත්‍රපටය හරහායි මගේ වෙනස් ම රූපයක් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන්නේ.
තිලානි ශානිකා විතානාච්චි