රූස්ස ගස් වලින් පිරුණු වනය නිශ්ශබ්ද ය. හඬක් නැඟුනේ නම් ඒ දරිද්‍රතාවයෙන් වැහැරුණු කැහැටු ගැහැණුන් සහ මිනිසුන් විසින් එකතු කරන දර කැබැලි, වියළි තුරු පත්හි වැදී සීරෙන විට පමණි. දිරා ගිය අත්තක් වුව, බිමට නොවැටුණේ නම් ඔවුහු අත නොතැබීමට තරම් පරෙස්සම් වෙති. එහෙත් බිමට වට වියැලුණු දර ඇහිලීම පවා සොරකමක් ලෙස අරුත් ගැන්වූ ධනපති ඉඩම් හිමියෝ, ප්‍රශියානු අශ්වාරෝහක හමුදා සොල්දාදුවන් ලවා දුප්පත් ගොවි කම්කරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දෙති. මරා දමති.
“සොරකම සහ අහුලාගැනීම අතර වෙනස නුඹලා විසින් මකා දමා ඇත. මිනිස්සු තමන් කරන ලද අපරාධය නොදැන දඬුවම පමණක් දකිති. අපරාධය නොදැක දඬුවම පමණක් දකින විට, ඔවුන් පළිගැනීමට ඉඩ තිබෙන බැවින් නුඹලා විසින් ඔවුන්ව භීතියට පත් කළ යුතුව ඇත.”
- කාල් මාක්ස්, දර සොරකමට එරෙහි නීතිය පිළිබඳ විවාදය, රයිනිෂ සයිටූන්ග් පුවත්පත (Rheinische Zeitung),1842-43
පිරුණු දිගු රැවුලකින් සහ පැසුණු හිස කෙසින් පිරි කාල් මාක්ස්ගේ ප්රතාපවත්, පරිණත රුවට හුරුවී සිටි අපට, චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වූ රාඋල් පෙක් (Raoul Peck) විසින් දෘශ්යනය කරන ලද රැඩිකල් තරුණ කාල් මාක්ස් (ප්‍රවීණ ජර්මානු සිනමා නළු අවුගුස්ට් ඩියෙල් - August Diehl), ජර්මනියේ කොලොන් (Köln) නගරයේ 'රයිනිෂ සයිටූන්ග්' පුවත්පත් කාර්යාලය තුළදී ඉහත ලිපියෙහි අත් පිටපත කියවන අතරතුර පළමුවරට හඳුන්වාදෙනු ලැබේ.
කෙමෙන් අඩුවන පාඨක සංඛ්‍යාව නිසා, ප්‍රශියානු ආණ්ඩුව විසින් ඉබේ වැසීයාමට ඉඩහැර තිබූ රාජ්‍ය විරෝධී 'රයිනිෂ සයිටූන්ග්' පුවත්පත ශීඝ්‍ර ප්‍රගමනයකට ලක්වන්නේ විසිපස් හැවිරිදි කාල් මාක්ස් එහි සංස්කාරක ධූරයට පත්වීමත් සමඟ ය. මාක්ස්ගේ විප්ලවකාරී ලේඛන රටාවෙන් පුවත්පතෙහි ජනප්‍රියත්වය වැඩිවීම නිසා ප්‍රශියානු ආණ්ඩුව විසින් 1843 මාර්තු මාසයේ දී එය තහනම් කරන ලදි. චිත්‍රපට වෘත්තාන්තය ආරම්භවන්නේ, ප්‍රශියානු හමුදා සොල්දාදුවන් විසින් වට කරන ලද පුවත්පත් කාර්යාලය තුළ වූ උණුසුම් සහ ආවේගකාරී වාතාවරණයත් සමඟිනි. පුවත්පත තහනමට ලක්වීම වෙනුවෙන් මාක්ස් වෙත එල්ල වූ චෝදනාවලට, නිදහස් චින්තක - තරුණ හේගලියානු ලේඛක සගයන් වෙත ඔහු ප්‍රතිචාර දක්වන්නේ, නිශ්චිත නොවූ අදහස් සහ අඩමාන සිද්ධාන්ත සහිත ලේඛන භාවිතාවට එරෙහිව දැඩි වාග්ප්‍රහාරයක් සිදුකරමිනි.
අධ්යක්ෂ රාඋල් පෙක්
“අල්පෙනෙතිවලින් සටන් කළා මට දැන් හොඳටම ඇති. මට ඕනෑ කුළුගෙඩියක්! කුහකකම්, මුග්ධකම් සහ මෘග බලාධිකාරිය ඇති. හිරගේ ඇතුලේ රාත්‍රී කීපයකින් අපිව හරියට හැදේවි!”
ඉතිහාස දර්ශන පථය
“තරුණ කාල් මාක්ස්” (Der junge Karl Marx) යනු 2016 වසරේ සම්මානයට පාත්රවූ “මම ඔබේ නීග්රෝවා නොවේ” (I am not your Negro) වාර්තා චිත්‍රපටයෙන් පසුව, හයිටි ජාතික රාඋල් පෙක් විසින් අධ්‍යක්ෂණය කරන ලද අළුත්ම චරිතාපදාන වෘතාන්ත සිනමා පටයයි. චිත්රපටයෙහි තිර රචනය, අධ්යක්ෂ රාඋල් පෙක් සහ ඔහුගේ ම තවත් ප්‍රබල චිත්‍රපටයක් වූ “ලුමුම්බා” (Lumumba) හි තිර පිටපතට සම්බන්ද වූ පැස්කල් බොනිට්සර් (Pascal Bonitzer) ගෙනි. රාඋල් පෙක් ජර්මනියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි අවදියේ දී පළමු වරට මාක්ස්වාදය ගැන අවබෝධයක් ලබද්දී, කාල් මාක්ස්ගේ දාර්ශනික අදහස්වලටත් වඩා ඔහුගේ භාවිතාව පිළිබඳව ආශක්ත වීම නිසාවෙන් මීට වසර 10 කට පමණ පෙර මෙම චිත්‍රපටයේ මූල බීජය සිතෙහි පිළිසිඳුණු බව ඔහු තැනෙක ප්‍රකාශ තිබේ.
මාක්ස් ගේ චරිතාපදානයේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් ඇසුරෙන් නිමැවුණු මෙම චිත්‍රපටයේ නාමකරණය “තරුණ කාල් මාක්ස්” වුව, එය කාල් මාක්ස්ට අමතරව, ජර්මනියේ වංශාධිපති පවුලකින් පැවත එන මාක්ස්ගේ බිරිඳ ජෙනී (ජර්මානු රංගන ශිල්පිනී විකී ක්‍රීප්ස් - Vicky Krieps), ධනවත් රෙදි මෝල් හිමිකරුවෙකුගේ වැඩිමහල් පුතු වූ ෆෙඩ්රික් එංගල්ස් (ජර්මානු නළු ස්ටෙෆාන් කොනාර්ස්ක - Stefan Konarske) සහ අයිරිෂ් කම්කරු ස්ත්‍රියක හා එංගල්ස්ගේ ජීවන සහකාරිය වූ මේරි බර්න්ස් (බ්‍රිතාන්‍ය සිනමා නිලි හැනා ස්ටීල් - Hannah Steele) වටා ගෙතුණකි.
1843 සිට 1848 දක්වා වූ වසර කිහිපය මාක්ස්වාදයේ ඉතාමත් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වූ කාලාවධියකි. විශේෂයෙන්ම, මාක්ස්වාදය වෙනුවෙන් ඉතා ප්‍රබල දායකත්වයක් සැපයූ ෆෙඩ්රික් එංගල්ස් නම් වූ සමාජ විද්‍යාඥයා/දාර්ශනිකයා/ලේඛකයා සමඟ කාල් මාක්ස්ගේ මිත්‍රත්වය පිළිසිඳීම, නිශ්චිත දේශපාලන හරයක් නොමැති යල් පැන ගිය මතවාදයන් පරාජය කර ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් විද්‍යාත්මක සමාජවාදය උදෙසා කොමියුනිස්ට් ලීගය බිහි කිරීම සහ ඉන් අනතුරුව කොමියුනිස්ට් ප්රකාශනය සම්පාදනය කිරීම ඉන් කිහිපයකි. ඉතිහාසගත සිදුවීම් ඉතා සැලකිල්ලෙන් නිවරැදි ලෙස විත්රපටය තුළ පෙළගැස්වෙන්නේ, මෙම කාලවකවානුවේ ඉතා වැදගත් භූමිකා සේ සැළකුණු ප්‍රංශයේ අරාජික-සමාජවාදී ක්‍රියාකාරියෙකු වූ පියෙර් ජෝසෙෆ් පෘදොන් (Pierre-Joseph Proudhon) සහ මනෝරාජික රැඩිකල් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ විල්හෙල්ම් වයිට්ලින් (Wilhelm Weitling) චිත්‍රපටය අතරමැද දී හඳුන්වාදෙමින්, ඔවුන්ගේ දේශපාලන මතවාදයන් අභිභවනය කරවමින් කොමියුනිස්ට් ලීගය බිහිවන අයුරු දක්වමිනි. මාක්ස් - එංගල්ස්ගේ දේශපාලන වැඩ පිළිවෙල සහ ලේඛන කටයුතු කෙරෙහි ජෙනී සහ මේරිගේ සෘජු දායකත්වය චිත්‍රපටයේ තිර රචනය තුළින් ඉස්මතුව තිබේ.
කාල් මාක්ස් (අවුගුස්ට් ඩියෙල්) සහ ෆ්රෙඩ්රික් එංගල්ස් (ස්ටෙෆාන් කොනාර්ස්ක )
දැවැන්ත චරිතාපදානයක දී, පැය දෙකක ට සීමා වූ රූපාවලියකින් එම චරිතයට හානියක් නොවී ඉදිරිපත් කිරීම මෙන්ම, චරිතාපදාන චිත්‍රපටයක් නීරස නොවී එම දෙපැය තුළ උත්තේජිතව පවත්වාගැනීමත් ප්‍රබල අභියෝගයකි. එහෙත් රාඋල් පෙක් එම අභියෝගය ඉතා සූක්ෂමව ජයගන්නේ මාක්ස් හා ජෙනීගේ රොමෑන්තික සම්බන්ධතාවය ද, ආර්ථික දුබලතා සමඟ මාක්ස් ගෙ ජීවන අරගලය ද, එංගල්ස් සහ ඔහුගේ පියා අතර පවතින ශ්‍රම සූරා කෑමට එරෙහි ඝට්ටනය ද, එංගල්ස් සහ මේරි අතර වූ අපූර්ව ප්‍රේමයද වරින් වර මතු කරවමිනි. එහෙත්, දෙපැයක් ඇතුළත සිදුවන දේශපාලන විචල්යතාවයන්ගේ ශීඝ්‍රතාවය හේතුවෙන් චිත්‍රපටය පසුබිම් කරගන්නා පූර්ණ සන්දර්භය එකවර ග්‍රහණය කරගැනීමේ අපහසුවක් නරඹන්නාට දැනේ. උපසිරැසි සහිත සිනමා කෘතියක ඇති, චිත්‍රපටය පළමුවර දෘශ්‍යව ග්‍රහණය කරගැත නොහැකි වීමේ පොදු අපහසුකම (මෙම චිත්‍රපටය ජර්මන් මුල් බසින් නිමවා ඇත) මෙන්ම, ඉහතින් සඳහන් දේශපාලන විචල්‍යයන් හා සමපාත විය නොහැකි වීම ද මඟ හරවා ගැත හැක්කේ මෙම චිත්‍රපටය නැවත වරක් නැරඹීමෙන් පමණි.
චිත්‍රපටයේ සියළුම ප්‍රධාන චරිතයන් හී රඟපෑම් සිනමා රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව යනු කවරේදැයි කදිමට හෙළි කරයි. තරුණ කාල් මාක්ස් තියුණු අදහස් වලින් පිරිපුන්ය . චෙස් ක්‍රීඩාවෙහි නිපුණයෙකි. සිය අරමුණු වෙනුවෙන් කැපව වෙහෙසෙයි. වාදයෙහි ආවේගශිලී ය. ව්‍යක්තය. පෞද්ගලික ජීවිතයේ දී ඔහු හැඟීම්බර ය. අසංවිධිත ය. අධ්යක්ෂවරයා, අවුගුස්ට් ඩියෙල්ගේ හැකියාවන් වෙතින් මාක්ස්ගේ ආර්ථික අපහසුකම් සහ ඒ පිළිබඳව ඔහුගේ නිතොර පසුතැවීම වෙසෙසින් ඉස්මතුකර ඇති අතර, කාල් මාක්ස් යනු අවිශද දේශපාලන න්‍යායන් වෙත සම්මුති විරහිතව ප්‍රහාර එල්ලකරන භෞතිකවාදී චින්තකයෙකු බව ද ඉතා පැහැදිලිව විද්‍යාමාන කරවයි.
මාක්ස්වාදය රාක්ෂහරණය
ඉහළ සමාජ පංතියකින් පැවත එන විසිතුන් හැවිරිදි ෆෙඩ්රික් එංගල්ස්ගේ චරිත ස්වභාවය සිය පියාගේ ව්‍යාපාරික පෙළපතෙහි ගති පැවතුම් වලින් යුක්ත ය. එංගල්ස් ලෙසින් වෙස්ගැන්වෙන ස්ටෙෆාන් කොනාර්ස්ක උපශාන්ත ය. සුපිළිසන් ය. මාක්ස් තරමට ආවේගශීලී නොවේ. සටන්කාමී ය. එහෙත් ඉවසිලිවන්ත ය. මාක්ස්-එංගල්ස් යනු දයලෙක්තික භෞතිකවාදයේ සහ විද්‍යාත්මක සමාජවාදයේ ඓතිහාසික සමිබන්ධතාවයකි. ඉතිහාසයේ සටහන් වූ පරිදිම මාක්ස් සතු වූ දැනුම මෙහෙයවා ඔහුගේ සංකල්පනා සහ අදහස් මතුකර මුවහත්කර ගැනීමට ඔහුගේ දිරිගන්වන්නා, මෙහෙයවන්නා වූයේ එංගල්ස් ය. එහි උච්ඡාවස්ථාව, බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් (Ostend) මුහුදු වෙරළේ දී එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්රකාශනය ලේඛනගත කිරිමේ දැඩි අවශ්‍යතාවය පෙන්වා දී ආර්ථික පීඩාවෙන් හෙම්බත් වූ කාල් මාක්ස් ව ඒ කාර්යය සඳහා පොළඹවණු ලබන මොහොතයි. කොනාර්ස්කගේ රඟපෑම් තුළින් තරුණ ෆෙඩ්රික් එංගල්ස් මැනවින් අනාවරණයකර ගැනීමට අධ්යක්ෂවරයා සමත් වේ.
ෆ්රෙඩ්රික් එංගල්ස් (ස්ටෙෆාන් කොනාර්ස්ක) සහ මේරි බර්න්ස් (හැනා ස්ටීල්)
ගෘහස්ත අගහිඟකම් සහ දේශපාලන හැලහැප්පීම්වලට මුහුණ දෙමින් ගෙවෙන ජෙනීගේ ප්‍රේමණීය බව විකී ක්‍රීප්ස් තුළින් ද, කම්කරු ස්ත්‍රියක් වූ මේරි බර්න්ස් ගේ මුඛරි-මුරණ්ඩු චරිතය හැනා ස්ටීල් වෙතින් ද අධ්යක්ෂවරයා විසින් ඉතා හොඳින් මතුකරගෙන තිබේ.
“තරුණ කාල් මාක්ස්” චිත්‍රපටයේ ප්‍රධානම සාධනීය ප්‍රතිඵලය වශයෙන් හැඟෙන්නේ අධ්යක්ෂවරයාගේ මූලික අභිප්‍රාය වූයේ යැයි ඔහුම සඳහන් කළ, මාක්ස්වාදී දේශපාලන ලේඛනයන් සහ එම දේශපාලන භාවිතාව පිළිබඳව වත්මන් තරුණ පරපුර වෙත මෙම චිත්‍රපටය මඟින් උනන්දුවක් ඇති කරවීමට සමත් වීමයි. සමාජ යුක්තිය සහ ගැඹුරු සිනමා සම්ප්රදායක් වෙනුවෙන් කැපව සිටින දේශපාලන සිනමාකරුවෙක් ලෙස රාඋල් පෙක් එය ඔහුගේ වගකීමක් ලෙස දකියි.
“මෙය ආචාර්ය උපාධි නිබන්ධනයක් නොවේ. නමුත් මෙමඟින් යම් අදහසක් ඔබට ලබා දෙනවා. ඉන් පසුව එය පොතක් කියවා තව දුරටත් හැදෑරීමේ අවකාශය ඔබට තියෙනවා. අඩු ගණනේ මාක්ස්වාදය යනු, ඔබට උගන්වා තිබෙන පරිදි ඔබ දුටු රාක්ෂයා නොවේ. මේ චිත්‍රපටය සමඟ මගේ අරගලය මෙයයි. මෙය, කාල් මාක්ස් ගැන බටහිර රටක නිපදවූ පළමු චිත්‍රපටය වන්නේ හේතුවක් සහිතවයි.” - රාඋල් පෙක් සමඟ සංවාදය, ෆ්‍රෙඩ් මසෙලිස්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2018 මාර්තු 01
රූපාවලිය සහ නාමාවලියේ පරස්පරය
පැය දෙකකට සීමා කරන ලද කාල රාමුව, චිත්රපටයෙහි සිදුවීම් කිහිපයක් තරමක අභව්‍ය ගතිස්වභාවයකින් යුක්ත කරවීමට හේතු වූයේ යැයි සිතිය හැක. මාක්ස් සහ එංගල්ස් අතර මිත්‍රත්වය, එක් රැයක සිදු වූ අසීමාන්තික මධු පානයකින් අනතුරුව ක්ෂනිකව ගොඩනැඟීම එක් සිදුවීමකි. එමෙන්ම කොමියුනිස්ට් ලීගය බිහිකිරීමේ අරගලයෙහි දැවැන්ත බව සහ ඒ සඳහා වූ අප්රමාණික වෙහෙස මහන්සිය මෙම චිත්‍රපටය තුළින් පැහැදිලිව දක්නට නොලැබේ. එංගල්ස්ගේ කොමියුනිසිට් ලීගයේ ඉතිහාසය පිළබඳව වූ On The History of the Communist League (1885) කෘතියෙහි දක්නට ලැබෙන, කොමියුනිසිට් ලීගය බිහි කිරීමේ සංකීර්ණ සහ දීර්ඝ ක්‍රියාවලිය වෙනුවට එය තරමක සරල සහ පහසු කාර්යයක් වැනි ඇඟවුමක් මෙහි වේ.
යෞවන කාල් මාක්ස් (අවුගුස්ට් ඩියෙල්)
චිත්‍රපටය අවසානයේ සමාප්ති නාමාවලිය සහ පසුබිමෙන් ඇසෙන ඇමෙරිකානු ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ බොබ් ඩිලන් ගේ ඉතා ජනප්‍රිය “Like a Rolling Stone” (1965) ගීතය අතරතුර පෙන්වන විසිවෙනි සියවසේ දේශපාලන පුවත් දසුන් පෙළ, චිත්‍රපටයේ අන්තර්ගතය සමඟ සැසඳීමේදී විවාදාත්මක ය. චේ ගෙවාරා, සැල්වදෝර් අයියන්දේ, නෙල්සන් මැන්ඩෙලා, ජෝන් එෆ්. කෙනඩි වැනි දේශපාලන චරිත දැක්වෙන රූප රාමු මෙන්ම බර්ලින් තාප්පය බිඳ දැමීම ද, මෑතක ගොඩනැඟුණු Occupy Movement හි වාර්තා දසුන් ද එහි ඉදිරිපත් කෙරේ. එහෙත් 1917 දී ඓතිහාසික රුසියානු විප්ලවයට උරදුන් ලෙනින් සහ ට්‍රොට්ස්කි, අධ්‍යක්ෂකවරයා විසින් උවමනාවෙන්ම නොසළකා හැර තිබූ අතර, සමස්ත දේශපාලන විරෝධතා සහ නැඟීටීම් සහිත එම රූපාවලියම ඔහුගේ “පෞද්ගලික කැමැත්ත” යනුවෙන් රාඋල් පෙක් අර්ථ දක්වයි. එහෙත් ඔහුගේම තිර පිටපතෙහි, නිශ්චිත දේශපාලන සිද්ධාන්තයක් නොමැතිව, කම්කරුවන් වෙත ආදරය, කරුණාව, සතුට, සාමය කැඳවීම වැනි දිව්‍යමය-මනෝරාජික අදහස්වලින් හෙබි විල්හෙල්ම් වයිට්ලින්ට එරෙහිව සිදුකරන පහතින් සඳහන් මාක්ස්ගේ ප්‍රහාරාත්මක දෙබස්, මෙම අවසන් රූපාවලියේ ගම්‍යාර්ථය සමඟ ප්රතිවිරෝධී වේ.
“කම්කරුවන් වෙත වැඩදායී න්‍යායක් ඉදිරිපත් නොකර, ඔවුන්ව ඇවිස්සීම එක් පැත්තකින් ආවේශී ශාස්තෘවරයෙක් සහ අනෙක් පැත්තේ තුෂ්නිම්භූතව සිටින මෝඩයන් රැළක් සමඟ කරන වංචනික සහ ව්‍යාජ ක්‍රීඩාවකි. අඥානභාවය කිසිදා කිසිවෙකුට සේවයක් නොකරයි!”
එතෙකුදු වුවත් “තරුණ කාල් මාක්ස්” සිනමා කෘතිය, මාක්ස්වාදී දේශපාලනයට ඇල්මක් දක්වන, එය අනුයන සහ හැදෑරීමේ යෙදන කිසිවෙකුගේ බලාපොරොත්තු සුන් නොකරවයි. රාඋල් පෙක් විසින් ප්රශස්තව චිත්රණය කරන ලද මාක්ස් සහ එංගල්ස්ගේ තරුණ විය, බොහෝ දෙනෙක්ගේ සිත් අවදි කරවනු නියත ය.
මහේෂ් මුණසිංහ
උපුටා ගැනීම -JDS