කාන්තාවන් කේන්ද්‍රකරගත් සිනමා නිර්මාණ ඉන්දීය සිනමාවේ නව ප්රවණතාවකි. එය බොහෝවිට කාලයක් පුරාම රංගන ශිල්පීන් ඉදිරියේදී දෙවැනි පන්තියෙහිලා සැලකෙන රංගන ශිල්පිනියන් ලද විජයග්රහණයක් ද වේ. 2018 වසරේ මුල් තෙමසේදී අති සාර්ථක ලෙස වාර්තා පිහිටුවමින් තිරගතවූ දමිළ / තෙළිඟු සිනමා පටය වී තිබෙන්නේ ‘භාගමතී’ ය. එය තාරකාව ප්‍රධාන කොට නිර්මාණය වුණු එලෙස ම අති සාර්ථක වුණු 2018 වසරට අති සාර්ථක ඇරැඹුමක් ලබා දුන් සිනමා නිමැවුමකි.
ත්‍රාසය, භීතිය අනූන සිනමා පටයක් වුවද මෙය සිනමා බසින් සාර්ථක ලෙසින් සමාජ දේශපාලනයක් ද වේ. තෙළිඟු සිනමා පටයේ චන්චලා ලෙස ද දමිළ සිනමා පටයේ සන්සලා ලෙස ද අනුෂ්කා ෂෙට්ටි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නීය.
ඉන්දියානු පරිපාලන සේවයේ නිලධාරිනියක වූ චන්චලා සමාජ ක්‍රියාකාරිකයකු වූ ශක්ති මරා දැමීමෙන් පසු සිරගත කරනු ලැබේ. අපරාධ විමර්ශන අංශයේ වෛශ්නවී නටරාජන් චන්චලා වෙත යවන්නේ ඊශ්වර ප්‍රසාද් ගැන වැඩිදුරටත් තොරතුරු සොයා ගැනීමටයි. චන්චලා සිරගත කර තිබෙන්නේ ජරාවාසයට ගිය කලක් භාගමතීගේ නිවස්නය වූ බංගලාවකය. අද්භූත බංගලාවක් ලෙස ප්‍රකට එහිදී චන්චලාට භයානක අත්දැකීම් ලැබීමට සිදුවේ. ඇය කෙසේ හෝ ඉන් බේරෙන අතර එය සියල්ලන්ගේ ම ඉරණම වෙනස් කරයි. චන්චලා යනු සැම විටම සමාජයේ යහපත වෙනුවෙන් නැඟී සිටි දිරිය කතකි. ඇය සියලු බාධා මැඬලමින් එම අරමුණ වෙනුවෙන් කෙසේ නැඟී සිටීවිද? ‘භාගමතී’ කතාව අධ්යක්ෂ ජී. අශෝක්ගේ මනසේ චිත්රණය වූයේ 2012 වසරේදී ය. ඔහු අනුෂ්කා ෂෙට්ටි නම් දකුණු ඉන්දීය තාරකාව සිතේ තබාගෙන ම තිර රචනය කළේය.
අශෝක් අනුෂ්කා හමුවී පිටපත පෙන්නුවද ඇය ඊට එක්වර ම මනාපය දී නැත. පිටපතට කැමැති වුවත් ඒ වනවිට බහුබාලි (2015) රුද්රාමාදේවි සිනමාපට සමඟ කාර්ය බහුල වීම ඊට හේතුවයි. ලින්ගා, සයිස් සීරෝ, බහුබාලි (2017) ද ඇයගේ රංගන නාමාවලියට එක්වූ පසු අශෝක්ට තවදුරටත් ඇය වෙනුවෙන් ඉවසීමෙන් බලා සිටින්නට සිදුවිය. අවසානයේ 2016 දී අනුෂ්කා ‘බාගමතී’ සිනමා රංගනයට එක්වූවාය.
පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස රඟන චරිතයට සාධාරණය ඉටු කිරීමට ඇය සිරුරේ බර කිලෝග්‍රෑම් 20 ක් අඩුකර ගන්නා ලදී. එනම් ඉතා දුෂ්කර ආහාර පාලනයක් කළාය. මුලින් ම සිනමා පටය හින්දි රැජිනක වූ භාග්මතීගේ චරිතය පාදක කරගෙන නිම වන්නක් බවට රාවයක් පැතිර ගියත් පසුව එය එවැන්නක් නොව සමාජමය කථිකාවක් බව අධ්යක්ෂවරයා විසින් ම හෙළි කෙරිණි.
ජයරාම්, ඊශ්වර් ප්‍රසාද් ලෙස ද ශක්ති ලෙස උන්නි මුකුන්දන් ද ආශාසරත්, වෛශ්නවී නටරාජන් ලෙස ද සුබ්බා රෙඩ්ඩි ලෙස ප්‍රභාස් ස්රීනුද ලිංගමූර්ති ලෙස ධන්රාජ් ද සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළහ.
සිනමා පටය තිරගත වීමට පෙර සිටම විචාරක පැසසුම් ලැබිණි. ‘භාගමතී’ සිනමා පටය සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ සමඟ තරග වැදී පරාජයට පත්වුවද එය මේ වසරේ සුපිරි ආදායමක් ලද සිනමා පටයක් වී අවසන්ය. බහුබාලි 2 ට පසු අනුෂ්කාගේ අති සාර්ථක වූ සිනමා පටයක් වී ඇත්තේ බාගාමතීය. මේ දමිළ, තෙලිඟු සිනමාපටය ඉන්දියානු රුපියල් කෝටි 58.90 ක මුදලක් ඉපයීය. අමෙරිකාවේ ඩොලර් මිලියන 1 ක ආදායමක් ලැබීමට භාගමතී සමත් වී තිබේ. තාරකාවක ප්‍රධාන චරිතය රඟපෑ සිනමාපටයක් අමෙරිකාවේදී එතරම් ආදායමක් ලද දෙවැනි අවස්ථාව මෙයයි. ඩොලර් මිලියනයකට වඩා ආදායමක් ලබා මුල් ම වාර්තාව පිහිටවූයේ 2012 දී ශ්‍රී දේවිය රැඟූ ඉංග්ලිෂ් විග්ලිෂ් සිනමා පටයයි.
අධ්යක්ෂ ජී. අශෝක් අනුෂ්කා ෂෙට්ටි වෙනුවෙන් ම චන්චලා / සන්චලා චරිතය වෙන්කර තිබීම පුදුමයක් නොවන බව විචාරකයන් දක්වා තිබේ. එම චරිතයට සුදුසු වෙනත් තාරකාවක් නැති බව අධ්යක්ෂවරයා පවසා තිබිණි. මේ අනුෂ්කා ත්‍රාසජනක සිනමා පටයක රඟපෑ ප්‍රථම අවස්ථාව නොවේ. ඇය 2009 තෙලිඟු / දමිළ ත්‍රාසජනක සිනමා පටයක් වූ අරුන්දතී හි ප්‍රධාන චරිතය රඟපෑවාය. එය ද ඉහළ ම ආදායම් ලද සිනමා පටයකි.
භූත මන්දිරවල කතා කොතෙක් බිහිවුණ ද බාගාමතී බංගලාවේ කතාව සපුරා වෙනස්ය. එය තවත් එක් සාම්ප්‍රදායික භූත මන්දිරයක පුරාවෘත්තයක් නොවේ. බාගාමතී යනු මීට පන්සිය වසරකට පෙර රජකු විසින් ප්‍රියතම බිසවකට ත්‍යාග කරන ලද මාළිගාවකි. අධ්යක්ෂ අශෝක් එවැනි මන්දිරයක් සොයා ඉන්දියාව පුරා සැරිසැරුවත් එවැන්නක් ලැබී නැත. අවසන හයිද්‍රාබාද් නගරයේ විසල් මැඳුරක් ඉදිකළේය. එහි ගෞරවය ඔහු පිරිනමන්නේ කලා අධ්යක්ෂ රවීන්දර්ටය. ඔහු දින විසිපහකින් මේ මැඳුර ඉදිකර තිබේ. කුණු, දූවිලි, මකුළු දැල් පිරි මන්දිරය තුළ රූගත කිරීම් දින හතළිස් පහකින් අවසන් කෙරිණි. එහෙත් එය සිනමා කණ්ඩායමේ කිසිදු සාමාජිකයකුට පහසු කාර්යයක් නම් වී නැත. නළු නිළියන් ඇතුළු සියල්ලන් ම පාහේ හිසරදය, කන් කැක්කුම, නාස් ආසාදනවලින් නිරන්තරයෙන් පීඩා වින්ද නමුත් අනුෂ්කා ඇතුළු කිසිවකු ඊට මැසිවිලි නඟා නැත.
සිනමා පටයේ අනුෂ්කා බිත්තියට තබා ඇණගසන ජවනිකාවක් තිබූ අතර එය දෙදිනක් පුරා රූගත කර ඇත. සිටගෙන දෑත් ඉහළට කර ගෙන ඇය පැය ගණනක් දර්ශන තලයේ සිටීම අධ්යක්ෂ අශෝක්ට අමතක නොවන අත්දැකීමකි.
බාගමතී මලයාලම් බසින් හඬකවාද තිරගත කෙරිණි. මෙහි සංගීතය එස්. තමන්ගෙනි. සිනමාපටය මිනිත්තු 138 ක කාලයක් පුරා තිරයේ දිග හැරෙන අතර මෙය යූවී ක්‍රියේෂන්ස් නිර්මාණයකි.
චම්පිකා දීපානි රණසිංහ