කපිතාන් එල්මෝ ජයවර්ධන සිංහල පාඨකයන් අතර ප්‍රකට නමක් බවට පත් වූයේ සිනමාවට ද නැඟුණු ‘සැමීගේ කතාව’
නවකතාවේ කතුවරයා ලෙසිනි. ඔහු ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ට ගණයේ ලේඛකයෙකි. ‘ද ලාස්ට් කිංඩම් ඔෆ් සිංහලේ’,
‘යන මඟ’, ‘රේන්බෝ ඉන් බ්‍රේල්’ කපිතාන් ජයවර්ධන ලියූ සෙසු පොත් අතර වෙයි. ‘අන්නාසි සහ කඩල ගොටු’
සාහිත්‍ය උලෙළ ඔහුගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූවකි.
ඔබ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙක්. ඒ වගේ වෘත්තිකයකුට සාහිත්‍යය කියන්නේ මුළුමනින් ම පරිබාහිර ක්ෂේත්රයක්.
ඉතින් ඔබ කොහොම ද ලේඛන කලාවත් එක්ක බද්ධ වුණේ?
මම පොඩි කාලේ ඉඳන් ම හරියට පොතපත කියවන කෙනෙක්. නොකා නොබී හරි මං පොත් සල්ලි දීලා අරන් තියෙනවා.
පොත්වලට පුදුම කෑදරකමක් මට තියෙන්නේ. මම හුඟක් කියෙව්වේ සෝවියට් රුසියානු පොත්. ටොල්ස්ටෝයි, පැස්ටර්නැක්, ෂොලහෝව්
මගේ ප්‍රියතම ලේඛකයෝ. අනික නිර්මාණාත්මක ලේඛනය කාගෙන්වත් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමේ. මම නිකම්ම ඕලෙවල් කාරයෙක්.
මගෙ දුව ඉංග්ලිෂ් ඔනස්ට්. ඒත් ලේඛකයෙක් වුණේ මම. දුව ලේඛිකාවක් නෙමෙයි. නිර්මාණාත්මක ලේඛනය ඉගෙන ගන්න නම්
කළ යුත්තේ පෑනකුයි, ඇක්සයිස් පොතකුයි අරන් බස් හෝල්ට් එකක හිටගෙන ඉන්න එකයි. අපි ඇහැ ඇරලා බලන්න ඕනෑ මොනවද
හාත්පස වෙන්නෙ කියලා. නිර්මාණාත්මක රචනය පන්ති ගිහින් ඉගෙන ගන්න බැහැ. මේ නූගත්කම මම උගත්කමක් කරගත්තා.
තේරුණාද? මම ලෝකේ වටේම ගිහින් තියෙනවනේ. ඒ නිසා මට හුඟක් අත්දැකීම් තියෙනවා. ප්රබන්ධකරණයෙදි අත්දැකීම් කියන දේ හුඟක් වැදගත්.
මොකක් ද ඔබ ලියපු මුල් ම පොත?
‘ද ලාස්ට් කිංඩම් ඔෆ් සිංහලේ’. ඒක ලියන්න මට අවුරුදු දහයක් ගියා. පොතේ පිටු 850ක්. ඉතින් ඒ වගෙ ලොකු පොතක් කවුද අච්චු ගහන්නේ.
මං ඒ පිටපත පැත්තක තියලා පොඩි පොතක් ලිව්වා. ඒ තමයි ‘සෑම්ස් ස්ටෝරි’ (සැමීගේ කතාව). ඒකට 2001 දි ග්‍රේෂන් තෑග්ග ලැබුණා.
‘සැමිගේ කතාව’ ඔබේ ගෙදරදි ම ලබපු අත්දැකීමක් කියලා අපි අහලා තියෙනවා?
ඔව්, අපේ ගෙදර හිටපු වැඩකාර කොලුවා ගැනනේ ලිව්වේ. යුද්ධය හා දුප්පත්කම ගැනයි මම ලිව්වේ. මේ පොත ලියන්න මට ගියේ මාස හයයි.
‘සැමීගේ කතාව’ සිනමාවටත් නැඟුණා. එයින් ඔබේ පොතට සාධාරණයක් ඉටු වුණා කියලා කියන්න පුළුවන් ද?
මම ඕවා විවේචනය කරන්න යන්නෙ නැහැ. මොක ද පොත ලියන එක ලේසියි. චිත්‍රපටයක් හදන එකනේ අමාරු. පොතේ හැටියට ඒ
මනුස්සයා (අධ්යක්ෂවරයා) පුළුවන් විදියට වැඩේ කරලා තියෙනවා. සමහර දේවල් පොතටත් වඩා හොඳට කෙරිලා තිබුණා. සමහර දේවල් මීට වඩා
හොඳට කරන්න තිබුණ නේද කියලා හිතුණා. සමහරු කිව්වා, චිත්‍රපටයට සම්මාන ලැබුණා, මගේ නම වත් කියැවුණේ නැහැ නේ කියලා.
මගේ නම කියැවෙන්නෙ මොකටද? පොතේ මගේ නම තියෙනවනේ. ඕවා සත පහකට වැඩක් නැති කතා.
‘ද ලාස්ට් කිංඩම් ඔෆ් සිංහලේ’ පොත ලියැවුණේ කොහොමද?
මට වතාවක් මුරුසි දිවයිනට යන්න ලැබුණා. එහිදී ඇහැලේපොළ සොහොන දැකගන්න ලැබුණා. ඒක තමයි මේ පොත ලියන්න නිමිත්ත වුණේ.
මේ පොතටත් මට සම්මානයක් ලැබුණා. ඒ රාජ්‍ය සම්මානය 2005 දී.
මේ ඉතිහාස පොත ලිවීමෙන් ඔබ අදහස් කළේ මොකද්ද?
අපි අපේ රටේ ඉතිහාසය දන්නේ නැහැ. අපි දන්නේ පෝස්ට් කාඩ් එකක ලියන්න පුළුවන් තරම් ඉතිහාසයක් විතරයි. අපි විජය ආපු බව දන්නවා,
කාශ්‍යප සීගිරිය හදපු බව දන්නවා, දුටුගැමුණු එළාර යුද්ධය දන්නවා, ඉංග්රීසිකාරයෝ මේ රටට ආපු බව දන්නවා. ඉතිහාසය ගැන අපි දන්නේ එච්චරයි.
ඇත්තට ම මමත් දැනගෙන හිටියේ එච්චරයි. මේක හරියන්නෙ නැහැ. ඉතිහාස පොතක් ලියන්න ඕනෑ කියලා මං හිතුවා. ඒකයි පසුබිම සහ අරමුණ.
අපේ හුඟක් ඉතිහාස පොත්වල තියෙන්නෙ බොරු නේ කැප්ටන්?
බොරු කියන වචනය ටිකක් සැර වැඩියි. එක එක්කෙනා එක එක විදියටනේ ඉතිහාසය ලියන්නේ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා එයාගේ
ආචාර්ය උපාධි නිබන්ධයට ලිව්වෙත් උඩරට රාජධනිය ගැන. ඒකෙත් වැරදි කරුණු තියෙනවා. ඉතිහාසය කියන්නේ කාගෙ හරි මතයක්.
දුටුගැමුණු එළාරව මැරුවයි කියලා ඕනෑම පොඩි ළමයෙක් දන්නවනේ. ඒත් එළාර අවුරුදු 44ක් මේ රටේ රජකම් කළා කියලා සමහරු දන්නේ නැහැ නේ.
එළාර ඒ අවුරුදු 44ට හොඳ දේවලුත් කරන්න ඇතිනේ. දැන් බලන්න: මං දේශපාලනය කතා කරනවා නෙමෙයි. ‘ගෝඨාස් වෝ’
කියලා පොතක් තියෙනව නේ. ඒකේ සරත් ෆොන්සේකා කියලා කෙනෙක් නැහැ නේ. සරත් ෆොන්සේකා නැතුව කොහොමද යුද්ධයක් තිබුණේ?
ඔබේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවද?
තියෙනවා. ‘සිංහලේ අන්තිම රජදහන’ කියලා ප්‍රේමසිරි මාහිංගොඩ තමයි පරිවර්තනය කළේ. ඔහු ඒක හොඳට පරිවර්තනය කරලා තියෙනවා.
ඔබ ලියපු අනිත් පොත් මොනව ද?
තව පොත් තුන -හතරක් ලියලා තියෙනවා. එකක් ‘යනමඟ’. ඒක ලංකාව ගැන ලියපු පොතක්; බයිලා ගැන, ක්ලැරන්ස් විජේවර්ධන ගැන.
මුත්තයියා මුරලිදරන් ගැන යනාදි වශයෙන් විවිධ මාතෘකා අලළා ලියපු පොතක්. තව පොතක් තියෙනවා ‘රේන්බෝ ඉන් බ්‍රේල්’ කියලා.
අපිත් එහෙමනේ අපි බ්‍රේල් එකෙන් දේදුන්න බලන මිනිස්සු නේ. අනිත් පොත ‘සෙන්ටිනරි ස්කයි’ ඒක අපේ ගුවන් සේවයට අවුරුදු 100 පිරීම
නිමිත්තෙන් ලියූ පොතක්. ඒක ලිව්වේ මාස දෙකෙන්.
මේ දවස්වල මොනව ද ලියමින් ඉන්නේ?
මම කාක්කෙක් ගැන පොතක් ලිව්වා. ‘ස්ටෝරි ඔෆ් අ ක්‍රෝ’ කියලා. ඒක පිටු 160 ක විතර පොතක්. කාක්කට මොළේ තියෙනව නේ අපිට වැඩිය.
ඒකනේ උන් දෙයියනේ කියලා ඉන්නේ. අපිට මොළේ නැති නිසා අපි හැමදේම අනා ගන්නවා. කාක්කෝ උන්ගේ පැටවුන්ට කියලා දෙන්නේ
දන්නෙ නැති දේවල් කරන්න යන්න එපා කියලයි. දැන් බලන්න ගිරවා. උන් කතා කරන්න ගිහින් නේ කූඩුවෙ වැටෙන්නේ. අපේ අය “පෙත්තප්පු බත් කෑවද”
කියලා අහන්නේ ඒකනේ. ඉතින් මුළු පොතේ ම තියෙන්නේ කාක්කා ගැන.
ඔබේ වෘත්තිය අනුව පොත් ලියන්න විවේකයක් ඔබට තියෙනව ද?
අපේ රස්සාව උඩ ගිහිල්ලා බිමට බහින එක නේ. ඊට පස්සේ ගෙදර යන කොට මුකුත් මතක නැහැ. අනික මේ රස්සාව ෆයිල් ගෙදර ගෙනියන
එකකුත් නෙමෙයි. හරියට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වගේ. කතන්දරේ වෙනස්. ඉතින් අපිට විවේකය තියෙනවා.
අපේ ඉංග්‍රීසි සාහිත්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?
දක්ෂ ලේඛක ලේඛිකාවන් ඉන්නවා. ජෙනි ත්වයිට්ස් තමයි අපේ රටේ මං කැමැති ම ඉංග්‍රීසි ලේඛිකාව. දැන් එයා වයසයි; අවුරුදු අසූ ගානක්.
එයා ලියපු ‘ඉට්ස් අ සනි ඩේ ඔන් ද මූන්’ කියන්නේ ඉතා ම හොඳ පොතක්. ඒකටත් ග්‍රේෂන් ත්‍යාගය ලැබුණා.
එතකොට තිස්ස අබේසේකර?
බොහෝ ම හොඳයි. තිස්ස අබේසේකර කියන්නේ අමුතු ම මනුස්සයෙක්නේ.
සිංහල සාහිත්‍යය ගැන මොකද්ද හිතෙන්නේ?
දක්ෂයෝ ඉන්නවා. දැන් බලන්න ටිම්රාන් කීර්ති. හරිම දක්ෂ කවියෙක් නේ. මිනිහ ආව මාව හම්බු වෙන්න. සෙරෙප්පු දෙකකුත් දාගෙන.
දුප්පත් කොල්ලෙක්. මං මිනිහගේ පොත් පනහක් සල්ලි දීලා ගත්තා. මං ඒවා ඔක්කොම ඕස්ට්‍රේලියාවේදි සිංහල අයට වික්කා. ඔයා දන්නවනේ
ලයනල් බෝපගේ ජේ.වී.පී. එකේ හිටපු. එයා පොත බලලා කිව්වා මේක දෙසීයට ගන්න බැහැ මං පන්සීයක්ම දෙන්නම් කියලා.
ඒ විදියට මං ටිම්රාන්ට සල්ලි ටිකක් හොයලා දුන්නා.
‘අන්නාසි හා කඩලගොටු’ සාහිත්‍ය උලෙළ ඔබේ සංකල්පයක්?
සාහිත්‍යය කියන්නේ පේව්මන්ට් එකෙන් එන්න ඕනෑ දෙයක්. සාමාන්‍ය මනුස්සයන් අතරින් එන්න ඕනැ දෙයක්. ඒක කේක් කාලා,
කෝපි බීලා කතා කළ යුතු දෙයක් නෙමේ. ඔයා අහලා තියෙනවද ‘ඇරපන් ලුසිය දොර - මාළු කඩේ ජොරා මම - සුරුට්ටුව පත්තු කර - ගන්න
ඇරපන්කෝ දොර”. ඔතැන සුරුට්ටුව කියලා කියන්නේ වෙන කතන්දරයක් නේ. අන්න සාහිත්‍යය. මේක තමයි නිර්මාණාත්මක රචනයේ හොඳ ම එක.
මෙවරත් අන්නාසි හා කඩල ගොටු සාහිත්‍ය උලෙළ පැවැත්වෙනවා.
ඔව්. මැයි 14 - 15 දවස් දෙකේ කොළඹ බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේදි පැවැත්වෙනවා. මෙවර විශේෂත්වය
වන්නේ ලේඛකයන් දහදෙනකුට පොත් දහයක් දොරට වැඩීමේ උත්සවයක් මෙහි පවත්වන්ට අවකාශ සලස්වා දීමයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඕනැම
ලේඛකයකුට මෙය විවෘතයි. වැඩි විස්තර 0775080256 දුරකථන අංකයෙන් ගංගානාත්ගෙන් ලබාගන්න පුළුවන්.
කැන්ඩල් ඒඩ් (CANDLE AID) නමින් ඔබ පිහිටුවා ගෙන ඇති සංවිධානය ගැනත් යමක් කියන්න?
මේක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන සංවිධානයක්. ප්ලේන් එකක් එළවන එක මහ කජ්ජක් නෙමෙයි. පොතක් ලියන එකත්
මහලොකු දෙයක් නෙමෙයි. අනුන්ට උදව් කිරීම තමයි ලොකු ම දේ වෙන්න ඕනෑ. ඒක අපේ යුතුකමක්.
සංලාපය - සුනිල් මිහිඳුකුල