සව් සත වෙත මෙත් සිත පතුරන වෙසඟ සමයේ තරම් සාමයේ සිසිලස දැනෙන අන් කාලයක් නොමැති තරම්ය. එහෙත් වැඩි දෙනකුට අවාසනාවකට විඳින්නට සිදුවන්නේ යුද්ධයෙන් දැවී අළුවෙන උණුසුමයි. යුද බියේ වේදනාවයි. හිරෝෂිමාවට පතිතවුණු පරමාණු බෝම්බයේ කළු දුමාරය තවමත් මිහිතලය අඳුරු කරයි. ‘ඉන් දිස් කෝනර් බෆ් ද වර්ල්ඩ්’ සජීවීකරණ ජපන් සිනමා පටය සිහි ගන්වන්නේ යුද්ධයේ අමිහිරි බව වගේම සාමයේ සිසිලසයි.
ජාති, දේශ සීමා අයිතීන් උදෙසා මිනිසුන් එකිනෙකාට එරෙහිව අවි ඔසවන සමාජයකට සාමය කාලීන අවශ්‍යතාවකි.
මාංගා හාස්‍යත්පාදක කලාව ජපන් සාහිත්‍යයට එක් වුයේ දහනව වැනි සියවසේ අග භාගයේදීය. ෆුමිකෝ කෝනො විසින් 2007 වසරේ සිට 2009 දක්වා ගෙන ආ ‘කෝනෝ සෙකායි නො කතාසුම් නි, මාංගා සම්මානනීය කතා මාලාව කෙතරම් ජනප්‍රිය වුණාද කිවහොත් එය ‘ඉන් දිස් කෝනර් ඔෆ් ද වර්ල්ඩ්’ නමින් සජීවීකරණ සිනමා පටයක් ලෙසින් නිර්මාණය විය.
එක් දහස් නවසීය තිහේ දශකයේ සිට හතළිහ දශකය දක්වා කාල පරාසයකදී හිරෝෂිමාවේ හා කූරේ වරායේ සිදු වු සිදුවීම් මාලාවක් කතාවට පාදක වී තිබේ. එනම් හිරෝෂිමාවට බෝම්බ හෙළීමට දස වසරකට පෙර සහ පසු කාලය අළලා කතාව නිර්මාණය කෙරිණි.
සුසු යුරානෝ සිතුවමට සිත ගිය, කරුණාවන්ත, පරෝපකාරී අටළොස් වියැති තරුණියකි. පවුලේ ව්‍යාපාරයක් වු නොරි නම් ආහාරයට ගන්නා ඇල්ගී වගාවට මිත්තණියට උපකාරී වු ඇයට හිරෝෂිමාවට යාබද කුරේ නගරයේ පදිංචි ෂුසකු නම් තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ලැබිණි. කුරේ නගරයේ නාවික වරායත් හිරෝෂිමාවත් අතර දුර සැතපුම් 15ක් විය. දෙදෙනා ළමා වියේදීද නගරයේදී මුණ ගැසී තිබිණි. සුසු ඔහු හා විවාහ වීමට කැමැති වු අතර දෙදෙනා විවාහ වී කුරේහි පදිංචි වුහ. පැසිෆික් යුද්ධය සෙමෙන් සෙමෙන් හිස ඔසවන්නට විණි. සුසු - ෂුසකු ඇතුළු නාගරිකයන්ගේ ජන ජීවිතය රුදුරු ලෙස ගිල ගත්තේ මෙතෙක් ගත කළ සැහැල්ලු සුන්දර ජීවන රටාව උඩු යටිකුරු කරමිනි.
ආහාර හිඟය වැනි විවිධ කටුක අත්දැකීම් හමුවේ සුසූ සිය සරල, ප්‍රබෝධවත් චර්යා රටාව වෙනස්කර ගත්තේ නැත. සෑම ජපන් ගෙවත්තකම බෝම්බවලින් ආරක්ෂා වීම පිණිස බංකර ඉදි කෙරිණි. අවසානයේ අමෙරිකානු හමුදාව 1945 කුරේ ප්‍රධාන ජපන් දිවයිනට බෝම්බ හෙළිය. නගරයේ වැඩි පෙදෙසක් ගින්නෙන් කාල වර්ණ විය. යුද්ධය සුසූ, ෂුසකු ඇතුළු ඔවුනගේ නැසියන්ගේ ජීවිතවලට සාපයක්වන අන්දමත් යුද්ධය අවසන් වු පසු වෙනස්වන ජීවන රටාවත් කෙළවරක් නැති රුදුරු මානව ක්‍රියාවලියක අනිටු විපාකත් සිනමා පටය පුරා දිග හැරෙයි.
සුසූ, ෂුසකු විසින් යුද්ධයට පෙර සහ පසු මිනිසුන්ගේ ජීවන අරගලය සැබෑවටම සිනමාවේ සිත්තම් කරයි. මෙය ප්‍රබන්ධ කතාවක් වුවත් නිෂ්පාදන කාර්ය මණ්ඩලය විසින් පර්යේෂණ මඟින් සොයාගත් සත්‍ය තොරතුරු රැසක්ම මීට අන්තර්ගත කර තිබේ. පැරැණි ඡායරූප, බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් මිනිසුන්ගේ සත්‍ය කතා බොහෝමයක්ම මෙහි ඇතුළත්ය.
2012 වසරේදී ‘කෝනෝ සෙකායි නෝ කතාසුම් නි’ හෙවත් ‘ඉන් දිස් කෝනර් ඔෆ් ද වර්ල්ඩ්’ සිනමා පටයට මුල පිරිණි. අන්තර්ජාලය හරහා මුදල් එක් කිරීමට පටන් ගැනිණි. විශාල ජන සංඛ්‍යාවකගෙන් සුළු මුදලක් එකතුකිරීම සිදු වු අතර අන්තර්ජාලය හරහා වැඩි වශයෙන්ම මුදල් එකතු කිරීම සිදුවිය. (ක්රවුඩ්ෆන්ඩිං) 2015 වසරේදී යෙන් මිලියන 39 ක් එක්විය. එය නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වු ගණනට බෙහෙවින් ඉහළ ගණනකි.
අධ්යක්ෂ සුනාඕ කත බුච්, දර්ශන කෙතරම් දුරට තාත්වික කිරීමට වෙර දැරුවාද කිවහොත් ගොඩනැඟිලිවල උස ප්‍රමාණ ගැන පවා සැලකිලිමත් විය. සුනාඕ ජපන් ජාතික සජීවී කරණ සිනමා පට අධ්යක්ෂවරයෙකි.
බ්ලැක් ලැගූන්, මායි මායි මිරැකල් සුනාඕගේ ජනප්‍රිය සජීවීකරණ නිර්මාණය. සුනාඕ තවත් සජීවීකරණ අදියුරුවරයකු වු චී උරතානි සමඟ එක්වී ෆුමියෝ කෝනොගේ මාංගා කතාව ඇසුරින් පිටපත රචනා කරන ලදී. සුසූට රේනා නෝනෙන්ද, ෂුසකුට යොෂිමාසා හොසොයාද හඬකවා ඇත. දයිසුකී ඕනෝ, මෙගුම් හන්, ශිගේරු උෂියාමා, මයුම් ශින්තානි, නත්සුකි ඉනබා, මිනෝරි ඹමි, නනසෙ ඉවායි, තෙජගයි ෂිබුයා, ‘කෝනො සෙකායි නෝ කතසුම් නි’ සිනමා පටයට හඬ කැවු සෙසු ශිල්පීන්ය. ෂුසකුට හඬ දෙන යොෂිමාසා හොසෝයා ජපානයේ සම්මානනීය හඬ නළුවෙකි. දහතුන් හැවිරිදි නත්සුකි ඉනබා හඬ කවන්නේ යුද්දයෙන් මව අහිමි වීමෙන් අනාථ වු සුසූ විසින් හදාගනු ලබන දැරිය හරුමිටය. ඇය එරට ජනප්‍රිය ළමා හඬ කැවීම් ශිල්පිනියකි. දයිසුකී ඕනෝ යොෂිමාසා මෙන්ම දෙවරක්ම සෙයිසු සම්මානයෙන් පිදුම් ලැබුවෙකි. දයිසුකී, තෙත්සු මිසුහාරාට හඬ දෙයි.
ඉංග්‍රීසි නිර්මාණයේ ලෝරා පෝස්ට් හා ටොඩ් හේබර්කෝන් ප්‍රධාන චරිත ද්විත්වයට හඬ කවා ඇත. සිනමා පටයේ සංගීතය ජපානයේ පොප් ගායක කොත්රින්ගෙන් ගෙනි. මුලින්ම සිනමා පටය තෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී 2016 ඔක්තෝබර් 28 වැනි දා තිරගත විය.
සිනමා පටය නිෂ්පාදනයට යෙන් 250ක් ( අමෙරිකානු ඩොලර් මිලියන 2.2 ක්) වැය වු අතර යෙන් බිලියන 2.5 ක් ( අමෙරිකානු ඩොලර් මිලියන 22.5 ක) ආදායමක් ලැබිණි. මෙය අයි. එම්. ඩී.බී. දර්ශකයේ 10 ට 7.9 කද රොට්න් ටුමැටෝස් 98% කද මනාපය දිනා ඇත. ‘ඉන් දිස් කෝනර් ඔෆ් ච වර්ල්ඩ්’ පරමාණු බෝම්බයෙන් වරක් පාඩමක් ඉගෙන නොගත් ලොවකට ගෙන එන්නේ සාමයෙන් හැර යුද්ධයෙන් කිසිත් දිනාගත නොහැකියි යන පණිවුඩයයි.
චම්පිකා දීපානි