එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙළා නොගත්තේ මගෙ බෝසත්කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
ප්‍රේමය අත්පසුරෙන් වැළැඳ ගන්නා දුරක තිබෙන තුරු බෝසත් චරිතයන් අරුම නොවේ. නමුත් ආලවන්තකම් මිටින් ගිලිහී යද්දීත්,සත් සමුදුරින් එහා කොදෙවුවකට ඇදී යද්දීත්, ඒ බෝසත් චරිතය තව දුරටත් ජීවත් වන්නේ නම්, එතැන සැබෑ ප්‍රේමය තිබේ යැයි මා තරයේ අදහමි. "හුලවාලි" කතා පුවතේ "බිබිලේ ඇත්තන්"ට තම පෙම්බර බිරිය දන් දුන් හැඩිදැඩි "දාරා" පවා වටහා ගත් ස්ත්‍රී - පුරුෂ ප්‍රේමයේ යථාර්ථය එය නොවේද ?
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී - රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී - ආලවඩන යන තේරුම බෝසත්කම සකී
සෙනෙහසේ වරපටින් ඔබව ඇඳ , බැඳ තබා ගන්නට නොවෙහෙසෙමි. ඔබ තව දුරටත් ඒ ප්‍රේමය තුළ යමක් නොදකිනවා විය හැකි නමුත් මා අදටත් ඒ ප්‍රේමය තුළ ජීවිතයේ ආනන්දය සොයමි.ඉදින්, ඔබ ඔබේ ලෝකයේ දොරටු විවර කර ගන්න. අවසර ඇත්තේ නම් පමණක් ඒ ලෝකයේ කවුළුවකින් මගේ ලෝකය වෙතඑබී බලන්න. දකින්න - ඔබත්,මාත් එක්ව බිහිකළ ප්‍රේමයේ බිජුවට මා තවමත් උණුසුමින් රැක බලා ගන්නායුරු. . . ..........
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකට ද දුක් ගී කල්පනාවන්
ප්‍රේමය,ප්‍රේමයම විනා වෙන කිසිම දෙයක් වන්නට බැරිය. එසේ නම් ඔබ මා සතු නොවූ පමණින් ඒ ප්‍රේමය මියැදෙන්නට කොහොමත් බැරිය. ඔබ ලොවේ කොතැනක සිටින්නේදැයි මා නොසොයමි. ඔබ සිටින්නේ කා සමගදැයි මා නොඅසමි. පෙම් සිතිවිලි වලට එසේ අසුරු සැණින් මියැදෙන්නට හැකි නම් සෑම මිනිස් සිතක්ම ප්‍රේමයේ සොහොන් කොත් පිරී ඉතිරී ගිය සුසාන භූමියක් වනු නිසැකය.
- සහන් කසීර වික්‍රමසිංහ -