"දුයිෂේන්" යනු කවරෙක්දැයි බොහෝ දෙනෙක් දනිති. දුයිෂේන් යනු "ටින්ජිස් අයිත්මාතොව්" ගේ "ගුරු ගීතය" නමැති ශ්‍රේෂ්ඨ නවකතාවේ එන පරමාදර්ශී ගුරුවරයා ය. සෝවියට් රතු හමුදාවේ සේවය කළ දුයිෂේන් කිර්ගීසියාවේ දුප්පත් ගමකට පැමිණෙයි. ඒ සෝවියට් ජනතා රජය බිහිවී වර්ෂ කීපයකට පසුවය. ඔහුට පැවරුණ කාර්ය භාරය වූයේ එම දුප්පත් ගමේ පාසලක් ආරම්භ කිරීමය.
මොකක්ද අපට ඉස්කෝලෙන් ඇති ප්‍රයෝජනේ? අපි ගොවියෝ අකුරු ඉගෙන ගන්න ඕන ලොකු ලොක්කො විතරයි. අපේ දරුවොත් අපි වගේම ගොවියො වගේ ජීවත් වේවා"
"අකුරු උගන්වන්නේ "මුල්ලා" වරු උඹේ තාත්තත් අපි වගේම දුප්පත් ගොවියෙක් . ඒ ගොවියාගේ පුතා කොහොමද මුල්ලා කෙනෙක් වුණේ?
දුයිෂේන්ට බොහෝ ගැටලු මතුවෙයි. එහෙත් පසු බසින්නේ දුයිෂේන් නොවේ. අධ්‍යාපනයෙහි කුසලතා දක්වන මැණිකක් දුයිෂේන් එම ගමෙන් සොයා ගනී. ඒ "අල්තීනායි" ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා "අල්තීනායි" යවනු ලබන්නේ "ටෂ්කන්ට්" හි උසස් අධ්‍යාපන ආයතනය ටය.
ටෂ්කන්ට්" යනු උස්බෙකිස්ථානයේ අගනුවරයි. එය පිහිටා ඇත්තේ මොස්කව් සිට කි.මි. 2390 පමණ ගුවන් මාර්ගයක ඈතිනි. ටෂ්කන්ට් රාජ්‍ය විශ්වවිද්‍යාලය ආරම්භ කළේ 1920 වර්ෂයේදීය. ඒ සෝවියට් ජනතා රජය බිහිවී වර්ෂ තුනක කෙටි කාලයක් තුළය. ටෂ්කන්ට් රාජ්‍ය විශ්වවිද්‍යාලය යනු සෝවියට් දේශය තුළ පමණක් නොව මධ්‍යම ආසියානු කලාපයේම වූ එවන් අන්දමේ ප්‍රථම අධ්‍යාපන ආයතනය යි.
"අධ්‍යාපනය" යනු කුමක්ද? අද එය වෙළෙඳ භාණ්ඩයකි. ඒ ධනවාදී ආර්ථික රටාව යටතේය. එහෙත් අධ්‍යාපනය යනු සත්‍ය ලෙසට රටක ආර්ථික සංවර්ධනයේ මෙන්ම සමාජයීය සංවර්ධනයේ ද මූලික අඩිතාලම යි. එම අඩිතාලම සකස් කිරීම සඳහා සෝවියට් ජනතා රජය කැපවීමෙන් කටයුතු කළේය. ඒ තම දේශය තුළ පමණක් නොවේ. මුළු ලෝකය පුරාය. රටක් ලෙස තමන් ලබාගත් දැනුම සමස්ත ලෝකයටම බෙදා දීමට ඔවුහු කැපවීමෙන් කටයුතු කළහ. ඒ අනුව සෝවියට් දේශයේ නගර සියයක් තුළ විදේශීය සිසුන් සඳහා වන අධ්‍යාපනික ආයතන 420 ක් පිහිටුවනු ලැබීය. මොස්කව් හි ස්ථාපිත "ජනතා මිත්‍රත්ව සරසවිය" ඒ අතරින් ප්‍රධානය. එය ලෝකයේ පළමුවන ජාත්‍යන්තර සරසවිය යි.
මොස්කව්හි පිහිටි එම ජාත්‍යන්තර සරසවියෙන් අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 31 දෙනෙකුට ශිෂ්‍යත්ව ලැබිණි. ඒ 1960 වර්ෂයේ දීය. විවිධ ක්ෂේත්රවල උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා ප්රදානය වූ එම ශිෂ්‍යත්ව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ශිෂ්‍යත්ව විය. උසස් අධ්‍යාපනයට අමතරව ගුවන් ප්‍රවේශ පත්‍ර නවාතැන් පහසුකම් සෞඛ්‍ය පහසුකම්, උණුසුම් ඇඳුම් පැළදුම්, පොත් පත්, එම ශිෂ්‍යත්වයට අයත් විය. එයට අමතරව එක් ශිෂ්‍යයෙක්ට මාසික වියදම් සඳහා රූබල් 90 ක් ද සෝවියට් රජයෙන් ලැබිණි. එය සැලකිය යුතු මුදලකි. කොළඹ - මොස්කව් ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවකට රූබල් 350 ක් විය. සියලු පහසුකම් සහිත එම අධ්‍යාපනික ශිෂ්‍යත්ව එදා සමහරෙක් හැඳින්වූයේ අටපිරිකර දානයක් ලෙසය. අද අධ්‍යාපනය පත්ව ඇති නින්දිත ස්වරූපයට සාපේක්ෂකව එදා එම හැඳින්වීම තුළ තිබූ උත්ප්රාසය ද තේරුම් ගත යුතුවෙයි.
ප්‍රථමයෙන්ම අධ්‍යාපනය ලබාගැනීමට සෝවියට් දේශයට ගිය පිරිස විවිධ දක්ෂතා ඇති අය වූහ. ඔවුහු දක්ෂ ලෙස තම අධ්‍යාපන කටයුතු නිම කළහ. එහෙත් එම විෂයානුබද්ධ අධ්‍යාපනයට පරිබාහිරව වෙනත් වැදගත් අංශ කෙරෙහිද තම චින්තනය මෙහෙය වූ පිරිසක්ද එම සිසුන් අතර වූහ. සාර් රාජ්‍ය පාලනය තුළ සෝවියට් ජනතාව සිටියේ අන්ත දුගී තත්ත්වයක ය. එහෙත් සාර් පාලනයෙන් මිදී වසර ගණනාවක් තුළ ඔවුහු අති දැවැන්ත ආර්ථික ජයග්‍රහණ අත්පත් කර ගත්හ. එම ජයග්‍රහණ සඳහා පදනම් වූ සැබෑ සාධකය කුමක්ද? සෝවියට් ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වූවා පමණක් නොවේ. එම ජයග්‍රහණයන්හි ප්රතිලාභ ලෝකයේ දුගී රටවලට ප්රදානය කිරීමට තරම් පරාර්ථකාමී විය. එය එසේ වූයේ කෙසේද?
සෝවියට් දේශය බිහිවන විට එහි අධ්‍යාපන තත්ත්වය පැවතියේ පහළ මට්ටමකය. එහෙත් වසර ගණනාවකින් ලොව ප්‍රථම අජඨාකාශගාමියා බිහි කිරීමට ඔවුහු සමත් වූහ. අධ්‍යාපන ක්ෂේත්රයේ එම පෙරළිකාර වර්ධනය පිටුපස වූ ගාමක බලවේගය කුමක්ද? සෝවියට් ජනතාව අධ්‍යාපනය පිළිබඳව විසල් ජයග්‍රහණ අත්පත් කරගත්තා පමණක් නොවේ. ජාතියක් ලෙස තමන් රැස් කරගත් දැනුම ලෝකය පුරා බෙදා හැරීමට තරම් ඔවුහු ප්‍රගතිශීලිද වූහ. එවැනි පරාර්ථකාමී ප්රගතිශීලි සොදුරු මිනිසෙක් සෝවියට් දේශය තුළ නිර්මාණය වූවේ කෙසේද? මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතය සකස් වන්නේ මිනිසාගේ ආර්ථික ජීවිතයට අනුරූපීවය. එය පිළිගත් සත්‍යයයි. සෝවියට් ජනතාවගේ ආර්ථික ජීවිතයට පදනම් වූ සැබෑ සාධක පිළිබඳව අධ්‍යයනය කිරීමටත්, එම සැබෑ දහම පොතේගුරුවාදයෙන් ඔබ්බට මහ පොළව මත යථාර්ථයක් කිරීමටත් තම ජීවීතය කැප කළ සැබෑ විරුවන් ද එදා එම ශිෂ්‍ය පිරිස අතර විය. සාහිත්‍ය ක්ෂේත්රයේදී පරිවර්තන සාහිත්‍යයට ප්රමුඛස්ථානයක් හිමිවෙයි. ඒ එයින් සංස්කෘතියද පෝෂණය වන බැවිනි. එදා මෙදා තුර සිංහල සාහිත්‍ය ක්ෂේත්රයට වැඩිම පරිවර්තන කෘති සංඛ්‍යාවක් එක්කළ පරිවර්තතයෙන්ද එදා සෝවියට් දේශයට ගිය ප්‍රථම සිසු කණ්ඩායම තුළ විය. ඒ ශ්‍රේෂ්ඨ පරිවර්ථකයා අන් කවරෙක්වත් නොව දැදිගම වින්සන්ට් රුද්‍රිගු ය.
සාර් පාලනය පරාජය කොට සෝවියට් ජනතාව බිහිකළේ සමෘද්ධිමත් සෝවියට් දේශයක් පමණක් නොව්. ශ්‍රේෂ්ඨ සෝවියට් සංස්කෘතියක්ද එදා ඔවුහු බිහි කළහ. ඔවුන් විසින් බිහි කරන ලද එම ශ්‍රේෂ්ඨ සංස්කෘතිය තුළ සෝවියට් සාහිත්‍යයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. දණින් වැටී සිටි ජනතාවත් දෙපයින් නැගී සිටි අන්දම පිළිබඳව එම සාහිත්‍යයෙන් අපූරුවට නිරූපනය වෙයි. එම සෝවියට් සාහිත්‍ය පරිශීලනය කිරීමේදී අපට හමුවන්නේ ඉච්ඡාභංගත්වයට පත් බිඳ වැටුණු චරිත නොවේ. ජීවිතයට දිරියෙන් යුතුව මුහුණ දෙන මිනිසුන්ය. අභියෝගයන් හඹා ගොස් එම අභියෝගයන් ජයගන්නා මිනිසුන්ය. සෝවියට් සාහිත්‍ය තුළ අපට දැකිය හැකි වන්නේ මායාකාරී ලෝකයක් නොවේ. ජනතාවගේ සැබෑ ජීවිතයයි. එම සැබෑ ජීවිතය තුළ සැරිසරණ මිනිසුන් සුන්දරය. ලෙන්ගතුය, සමාජශීලිය එවැනි සාහිත්‍යයෙන් යනු ගොඩ නැගෙන ජාතියකට අත්‍යවශ්‍ය සම්පතකි. සෝවියට් සාහිත්‍යය මගින් සිංහල සාහිත්‍යය පෝෂණය වීම යනු සත්‍ය ලෙසට සැබෑ ජාතික කර්තව්‍යයකි. එම ජාතික කර්තව්‍ය ඉටුකිරීම සඳහා සෝවියට් දේශයට ප්‍රථමයෙන්ම ගිය ශිෂ්‍ය කණ්ඩායමේ සිටි දෙදෙනෙක් උර දුන්හ. එයින් එක් අයෙක් වන්නේ පරිවර්තන කෘති රාශියක් කළ පද්ම හර්ෂ කුරණගේය. එහෙත් වඩාත් අරමුණු සහගතව එම කාර්යය ඉටුකළ දැදිගම වින්සන්ට් රුද්‍රිගු සියල්ලන් අතරින් ඉදිරියෙන්ම වෙයි.
සෝවියට් කෘති එම බසින් සිංහලයට නැගීමේදී රුද්‍රිගු සූරීන් දැක්වූ දක්ෂතාවය සුළු පටු නොවේ. එම කාර්යයේදී ඔහුගේ සිංහල භාෂාව පිළිබඳව වූ භාවිතය ප්‍රශස්තය. එය සිංහල පාඨකයාගේ සිංහල දැනුම පෝෂණය කරවන්නක් විය. "ටිංජිස් අයිත්මාතොව්" ගේ ජනප්‍රියම නවකථාව අන් අයෙක් වෙතින් "මුල් ගුරුවරයෙක්ගේ අන්දරය" වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එහෙත් වින්සන්ට් රුද්‍රිගු ශූරීන්ට එය "ගුරු ගීතය" විය. එම කෘතියේ අන්තර්ගතයට අමතරව, එම කෘතිය හැඳින්වෙන නාමය නිසාම එම කෘතිය සමස්ත සහෘද ගුරු පරපුරටම දායාදයක් වෙයි. ඔහු විසින් පරිවර්තනය කරන ලද ළමා අන්දරයක "ආයිබොලීත්" යන චරිතයක් විය. රුද්‍රිගු සූරින් විසින් එය සිංහල ළමා සාහිත්‍යයට එක්කළේ "අවුසදහාමි" යනුවෙනි. ඔහු විසින් පරිවර්තනය කරන ලද ළමා කෘති රාශියක් එවැනි අන්දමේ උදාහරණ බොහෝ වෙයි. සෝවියට් සාහිත්‍ය කෘති ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීමට දැදිගම වින්සන්ට් රුද්‍රිගු සූරීන්ගේ පරිවර්තන කාර්යභාරය ප්‍රබල අනුග්‍රහයක් විය.
දැදිගම වින්සන්ට් රුද්‍රිගු නම් වූ පරිවර්තකයාගේ විශේෂත්වය වන්නේ විවිධ ක්ෂේත්රයන්ට අයත් කෘතීන් පරිවර්තනය කිරීම සඳහා ඔහු දැක්වූ කුසලතාවයයි. ඒ අනුව ඔහු දක්ෂකම් දැක්වූයේ කෙටිකථා සහ නවකථා පරිවර්තනයට පමණක් නොවේ. දේශපාලන කෘති පරිවර්තනය කිරීමේදී ඔහු දක්වා ඇති පරිණත බවද සුවිශේෂි විය. මාක්ස් සහ එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්රකාශනය, වී. ජී. අපනාසියෙව්ගේ මාක්ස්වාදී දර්ශනයේ මුලධර්ම, "දියලෙක්තික භෞතික වාදය වැනි කෘතිs ඒ සඳහා වන උදාහරණය. විද්‍යාවට සම්බන්ධ කෘති පරිවර්තනය කිරීමේදීද ඔහු දක්වා ඇති කුසලතාවය සුළු පටු නොවේ. නදේෂ්ඩා නඩේජනාගේ උද්භිද විද්‍යාව පිළිබඳ තොරතුරු කෘතිය සහ එම්. නෙස්තූර්ග් ගේ මිනිසාගේ සම්භවය වැනි කෘතින් ඒ සඳහා දැක්විය හැකි උදාහරණයි. විද්‍යා දැනුම ට සම්බන්ධ එවැනි කෘති පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මෙසේ රුද්‍රිගු සූරීන් විසින් පරිවර්තනය කරන ලද කෙටිකථා සහ නවකථා සංඛ්‍යාව දෙසීය පණහක් පමණ වෙයි. දේශපාලන විද්‍යාවට සම්බන්ධ කෘතීන් සංඛ්‍යාවද පණහ ඉක්මවයි. විද්‍යා ප්‍රබන්ධ ද රාශියකි.
ළමා සාහිත්‍ය වෙනුවෙන් ඔහු කළ සේවයද අති විශිෂ්ටය. රාදුගා සහ ප්‍රගති ප්‍රකාශකයන් සමඟ එක්ව සිත් ගන්නා සුළු නිමාවකින් යුතුව පරිවර්තනය කළ ළමා කෘති සංඛ්‍යාවද සියයකට අධිකය. වින්සන්ට් රුද්‍රිගු සූරීන් විසින් පරිවර්තන ක්ෂේත්රය තුළ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව තබා ඇති වාර්තාව බිඳ හෙළීම අසීරුය. පර්වර්තන කෘතීන් රාශියක් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයට දායාද කළ වින්සන්ට් රුද්‍රිගු සූරීන්ගේ ස්වත්රන්ත්ර නිර්මාණ ඇත්තේ එකක් පමණි. ඒ කෙටි කථා අටකින් සමන්විත "රජගෙදර තර්ජනය" නම් වූ කෙටි කථා සංග්‍රහයයි.
දැදිගම වින්සන්ට් රුද්‍රිගු සූරීන් 1929 ජුනි 25 දින කොළඹ දී උපත ලැබීය. තුරුණු වියේ සිටම වාමාංශික දේශපාලනයට නැඹුරු වූ රුද්‍රිගු 1950 වන විට කොමියුනිස්ට් පක්ෂයේ කොළඹ දිසා සභාවේ ලේකම්වරයා විය. 1957 දී සෝවියට් දේශයේ පැවැති ලෝක තරුණ හා ශිෂ්‍ය සම්මේලනය සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරුණ කණ්ඩායමක් සහභාගි වූහ. එම තරුණ කණ්ඩායමේ නායකත්වය දැරුවේ දැදිගම වින්සන්ට් රුද්‍රිගු ය. ඒ ඔහුගේ ප්‍රථම සෝවියට් සංචාරයයි. දෙවනි වර ඔහු සෝවියට් දේශයට ගියේ ජනතා මිත්‍රත්ව සරසවියේ (පසු කාලීනව ලුමුම්බා සරසවිය) ශිෂ්‍යයෙක් වශයෙනි. අධ්‍යාපනය නිමා කළ රුද්‍රිගු වෛද්‍යවරයෙක් ලෙස මොස්කව්හි සේවය කළේය. එහෙත් ඒ සුළු කාලයකටය. පූර්ණ කාලීනව සාහිත්‍ය කටයුතු කෙරෙහි කැපවූ රුද්‍රිගු ලේඛන කටයුතු වලට අමතරව මොස්කව් ගුවන් විදුලියේ පුරෝගාමි නිවේදකයෙක් ලෙසද කටයුතු කළේය. රුසියානු - සිංහල සහ සිංහල - රුසියානු ශබ්ද කෝෂ ද්වයක් සැකසීම සඳහා දායක වීම ඔහු වෙතින් ඉටුවූ තවත් ප්රශස්ත කර්තව්‍යය කි.
"ලුද්මිලා" නම් වූ උක්රේනියානු යුවතියක් සමඟ විවාහ වූ වින්සන්ට් රුද්‍රිගු සුරීන්ට පුතුන් දෙදෙනෙක් වූහ. සිංහල සාහිත්‍ය ක්ෂේත්රය සෝවියට් සාහිත්‍යයෙන් පෝෂණය කිරීමට අනුපමේය සේවයක් කළ දැදිගම වින්සන්ට් රුද්‍රිගු ශූරීන් 1988 නොවැම්බර් 29 දින මොස්කව්හිදී අවසන් හුස්ම හෙළීය. ඔහුගේ දයාබර බිරිඳ වූ ලුද්මිලා ද 1989 වසරේදී මිය ගියාය. ඔවුන්ගේ වැඩිමහල් පුත් වික්තර් රුද්‍රිගු ද ගිය වසරේදී මිය යැම වඩාත් ශෝක ජනක පුවතක් වෙයි.
දැදිගම වින්සන්ට් රුද්‍රිගු නම් වූ ශ්‍රේෂ්ඨ පරිවර්තකයා පිළිබඳව කරුණු රැස්කිරීම මුලදී පහසු කාර්යයක් නොවීය. එහෙත් එහිදී එම කාර්යය සාර්ථක කර ගැනීමට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ බුද්ධිප්රිය රාමනායක මහතාත්, රන්ජන් සේනාසිංහ මහතාත් දැක්වූ අනුග්‍රහය පැසසුමට ලක්විය යුතුය. සිරිමාන්ත කරුණාතිලක මහතා විසින් රචිත අඩසියවසක මතක සුවඳ කෘතියද ඒ සඳහා මහඟු පිටිවහලක් විය. කෙසේ වෙතත් දැදිගම වින්සන්ට් රුද්‍රිගු නම් වූ ශ්‍රේෂ්ඨ පරිවර්තනය පිළිබඳව මෙවැනි සටහනක් පමණක් ප්‍රමාණවත් නොවේ. රුද්‍රිගු ශූරීන් විසින් අරමුණු සහගතව ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයට එක්කළ සාහිත්‍ය කෘතීන් පිළිබඳව වඩාත් හරවත් සංවාදක් ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇතිවිය යුතුය. ශ්‍රී ලාංකීය සමාජය මේ වන විට පත්ව ඇති ඛේදනීය තත්ත්වය තේරුම් ගත හැකිවන්නේත් එම ෙ€දනීය තත්ත්වයෙන් ගොඩඒමට මඟක් හදා ගැනීමට හැකි වන්නේ එවිටය. ප්රගතිශීලි සාහිත්‍යමය සේවාවක් කළ දැදිගම වින්සන්ට් රුද්‍රිගු ශූරීන්ට කළ හැකි උසස්ම උපහාරය වන්නේ එයයි.
ලයනල් අතුකෝරල