වෛෂ්ණාවී චිත්‍රපටය, නිදහසට පූර්ව ශ්‍රී ලාංකීය සමාජයේ හරස්කඩක් නිරූපණය කරයි. සාම්ප්‍රදායික කලාව, වෙළඳ ප්රජාවකගේ නැගීම, අර්ධ වැඩවසම් මෙන්ම අර්ධ ධනේශ්වර සමාජ ලක්ෂණ පිළිබිඹු කරන සාම්ප්‍රදායික රූකඩ කලාවේ නියෑළෙන පවුලක් සහ නැගී එන වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරන කුටුම්බයක මැදිහත් වීම ඔස්සේ කතාව ඉදිරියට ගලා ගෙන එයි.
චමත්කාරය දනවමින් ඇරඹෙන සිනමා කෘතියෙහි රූකඩ ශිල්පි තරුණයා ඔසඳ ට වෙළෙඳ ව්‍යාපාරික පවුලක සුරූපී දියණිය විවාහ යෝජනා කෙරුණත් ඇය ඒ වන විට තම පියාගේ ව්‍යාපාරයෙහි කළමනාකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි. ඊට ඇගේ දෙමවුපියන්ගේ විරුද්ධත්වය නිසා විවාහය ඉක්මනින් සිදු කිරීමට තීරණය කරයි. රූකඩ ශිල්පී තරුණයා, ඇගේ රූපශ්‍රීය නිසා ඇය කෙරෙහි වශීකෘත වෙයි. තරුණියට ඇගේ හද දිනූ ප්‍රේමය නිසා ඔසඳ පෙනෙන්නේ රූකඩයක් ලෙසට ය. විවාහ යෝජිත යෞවනිය මවුපියන්ට හොරා වටිනා දේ රැගෙන නිවසින් පලා යයි. තරුණ කළමනාකරු ඔවුන් පෙම් බැඳි පරිසරයක ඇය එන තුරු රැඳී සිටී. එය උපන් භූමියෙහි නිමාව සනිටුහන් කළ තැනකි. රළ ඝෝෂාව මැද ගල්පර අතර වූ ප්‍රේමාන්විත මුණගැසීම. මෙන්ම සිනමා පටයෙහි සංකේත භාවිතය අපූරුය. පෙම්වතියගේ යෝජනාවට ඔහු එකහෙළා කැමැති බව නොපෙන්ව නමුදු ඔහුට වෙන කළ යුතු දෙයක් නොමැත. ඔවුන් ගේ එක් වීම සිදු වෙයි. මෙම සිද්ධියත් සමග ඇගේ කතාව අවසන් වෙයි.
රූකඩ ශිල්පී තරුණයා ඔසඳ, විවාහ යෝජනා කිහිපයකට පසු තීන්දු කරගෙන තිබුණ මංගල්‍යය ද බිඳී යාම නිසා බලවත් සිත් තැවුලෙන් ජීවිතය ගැන පවා කලකිරී අඳුරින් අඳුරට පිවිස සිටින අයුරු දනවයි. වෛෂ්ණාවී ඔසඳ ගේ කතාවයි. එස්රා පවුන්ඩ් සිය කාව්‍ය නිර්මාණයක් අවසානයේ සඳහන් කළේ 'මොන තරම් යහපත් අධිෂ්ඨානයකින් යුතු වුවද කාව්‍යයේ වීරයාට පවත්නා ලෝක ස්වභාවයේ දුෂ්ට බව ඉදිරියේ තම පරමාර්ථය සාක්ෂාත් කළ නොහැක' යනුවෙනි. ලෝකය කොතරම් දුෂ්ට ද යන පැනය ඔසඳ ට ද පොදු නොවේ ද?
දෙමවුපියන් අහිමි ඔසඳ සිය මවගේ සොහොයුරා ගේ කුටුම්බයෙන් ලැබෙන ආදරයත් රුචිරා නැඟණියගේ අසීමිත සෙනෙහසත් කොතෙක් නම් ලැබුණි ද ඔහු ජීවිතය ගැන බරපතළ ලෙස කලකිරීමට පත් වෙයි. පැරණි වැඩිහිටි පරපුරේ මෙන්ම නූතන චින්තන රටාවත් යන දෙකෙහිම සංකලනයක් ලෙස ඔසඳ ගේ මානසික ස්වභාවය පිළිබිඹු කරයි. විවාහ මංගල්‍යය බිඳී යැමත් සමග මෙම වෘතාන්තය අද්භූත ආකාරයෙන් ඉදිරියට ගලා ගෙන යයි.
පුරාවෘතගත සුරංගනා කතාවල නැත්නම් ජනප්‍රවාදවල එන රුක්ෂ දේවතාවියන් ගැන අප කියවා ඇත්තෙමු. මෙහි නිරූපිත දේවතාවිය තම විමානය අහිමි කිරීම මෙන්ම, ඔසඳගේ විවාහ අපේක්ෂාව බොඳව යැම හේතුවෙන් ඇතිවන අතෘප්තිකර තත්ත්වය නිසා ඔසඳ කෙරෙහි ඇති බැඳීමකින් ඔහු වෙත සමීප වී ඇති බව දේවතාවියම පවසයි. සාම්ප්‍රදායික කලාව ඉස්මතු කරමින් සරල රේඛිය ආඛ්‍යාන රටාවකට ගොඩනැගෙන ඔසඳගේ චරිතය ආරම්භයේ සිට යථාර්ථවාදීව ගලා ඒම නිසා ප්‍රේක්ෂක සිත් කුහර තුළට සෙමෙන් ගමන් කළ නුමුදු, ඉස්මතු වූ අද්භූත තත්ත්වය ප්‍රේක්ෂක රසවින්දනයට බාධා කිරීම ඔහු පෙරළා ආපසු හරවන්නට සමත් විය.
අහිමි විවාහය සිය දිවි හානි කර ගැනීමට තරම් ඔසඳ පොළඹවයි. මිනිස් සිතුවිලි තුළින් පූජනීය හැඟීම් මිරිකා දැමීමකි. ධනවාදයේ අහිතකර සමාජ ප්‍රතිඵලය සිදුවීම් තුළින් පිළිබිඹු කරයි. කුඩා වියේ සිටම ආදරය අපේක්ෂාවෙන් සිටින ඥාති නැඟණිය උතුරා යන සෙනෙහසින් ඔසඳගේ දුක සැප ගැන සොයා බලයි. රුචිරා නිහඬව හැඟීම් දරා සිටී, තුමිඳු දොඩන්තැන්න, සමාධි අරුණචායා, යසෝධා විමලධර්ම, ජයලත් මනෝරත්න මෙන්ම අනිකුත් චරිත ද තම භූමිකා ප්‍රබල අයුරින් නිරූපණය කරති. රූප රාමු පෙළගැස්ම, රංගනයන්හි දායකත්වය, ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරාකරණය සියල්ල දේශීය සිනමා වංශයේ විශිෂ්ටතා ලෙස දැක්විය හැකිය.
අග්‍රගණ්‍ය සිනමාකරු ලෙස්ටර් ඡේම්ස් පීරිස් ගේ සිනමාව තුළ, හුදෙකලා පුද්ගල චිත්ත අභ්‍යන්තරයේ සිතිවිලි ගැටුම බොහෝවිට හෙළිකරන පුද්ගල කේන්ද්‍රීය භාවය අප දුටුවෙමු.
ස්ත්‍රීවාදී සිනමා වෘතාන්ත රැසක් සමග ඉදිරියට පැමිණ ඇති අධ්‍යක්ෂවරිය ඔසඳ ගේ චරිතය අන්තරාවලෝකනය කිරීම හැර ඔහු ජීවත් වෙන සමාජ පසුබිම ගැන අමතක කිරීම මෙම වෘතාන්තයෙහි කැපීපෙනෙන ස්වභාවයකි. පර පීඩක කාමයෙන් මුසපත්ව සිටින ඔහුට වනාන්තරයෙහි වෘක්ෂයක වෙසෙන දේවතාවියක් පිළිසරණට එයි. ප්රයෝගකාරී අද්භූත රසයක් මවන්නට දරන උත්සාහය නග්න නාරි දේහයට පණ ලැබීමත් සමග ඔසඳ අයිති කර ගැනීමට දරන උත්සාහය මෙන්ම දේවතාවිය අල්මාරියක දමා වැසීම වැනි සිදුවීම් එතෙක් පැවති යථාර්ථවාදී කියවීම වෙනුවට ව්‍යාජයක් නිරූපණය කරයි. කලා ක්ෂේත්රයෙහි පරිණත අත්දැකීම් ඇති ඔසඳ වැනි කෙනෙකු ආදරය අහිමි වීම වැනි දෙයකින් ජීවිතය පරදුවට තබා තීරණ ගැනීමට තරම් ළඳ බොළඳ වීම කොයි තරම් දුරට තාත්වික වන්නේද යන්න සිතා බැලිය යුතුය. අපේක්ෂා අහිමි වු මිනිසුන් වෙනුවෙන් යථාර්ථවාදී රීතියකින් ගොඩනැගූ සිනමා වෘතාන්තය අද්භූත වාදී සිතුවම් රැසකින් නිමාව කරා ගෙන එයි.
තත්කාලීන ගම සම්ප්රදාය ආරක්ෂා කිරීමට වෙහෙසෙන මිනිසුන් ආර්ථික සමාජයීය හා දේශපාලන යථාර්ථය යන කිසිවක් කතා කිරීමට වඩා ඔසඳ ගේ මනස ප්‍රේක්ෂකයන් ඉදිරියෙහි පෙරළා තබන අධ්‍යක්ෂවරිය නව ලිබරල් ධනවාදයට අනුව, සම්ප්රදාය තුළ මෙන්ම නූතනත්වය තුළ, යථාර්ථවාදී කලාව විගඩමක්ව පවතින ආකාරය විශද කරවන්නට උත්සාහ කරන බව හැඟවෙයි.
අඳුරු අකාරුණික බාහිර ලෝකය සමග යුද වැදෙන අප්‍රතිහත මිනිස් ධෛර්යයත් එම අරගලය තුළින් මිනිසා සොයා යන අධිස්වාභාවික සෞන්දර්ය පිළිබඳව පවසන්නට උත්සාහ දැරීමක් වශයෙන් ලක්ෂ්මී චරිතය අද්භූත ලෙස ගොඩනැඟුවද, ඒ තුළින් හේතුඵල සම්බන්ධතාව බිඳී යැමක් සිදුව ඇති බව සඳහන් කළ යුතුය.
තමාට ඇලුම් කරන තැනැත්තාට සොබාදහම ඔහුගේ චෛතසිකයට අනුව විවිධ බසින් අමතයි. ප්‍රීතියෙන් සිටින විට ඔසඳ තුටින් සිනහබර වේ. මිනිසා අඳුරුබර හැඟුමින් සිටින විට ඔහුට අනුකම්පා සහගත වෙයි. අප කියවූ 'ලක්ෂ්මි' ස්වභාව ධර්මය නම්, ඔසඳ ඇසුරින් ඇය ඉවත්ව ගිය ද, දෙදෙනා තුළ දෙදෙනාම අකාලික වනු ඇත. එය විශ්ව නියාමයක් ලෙස හද දනවයි.
''ආදරය කියන්නෙ උත්තරීතර දෙයක් '' එය මුදලට ලඝූ නොකළ යුතු යෑයි නිර්මාණය තුළින් සමාජ ගත කරවන්නට යත්න දරා ඇත.' (අව්‍යාජ) ප්‍රේමය යනු ලොව නිර්මාණයෙහි කැණිමඩල යි 'යනුවෙන් වරක් වෝල්ට් විට්මන් කවියා සඳහන් කළේය.
සුනිල් කුමාරසිංහ අතුකෝරල