‘‘කොලේජ් අධ්‍යාපනයෙන් පස්සේ අවුරුදු 19 ඉඳන් 25 වගේ වෙනතෙක්ම මගේ සමීපතම මිතුරියක් එක්ක කාලේ ගතකළා. මේ සමය සමලිංගික ඇසුරක් පවත්වන්න තරම් හොඳ කලක් වුණේ නැහැ.
අපි දෙන්නා අතර අති සමීප ඇසුරක් පැවතුණත් ඒ සබැඳියාව බොහොම අඳුරෙන් පිරිලා තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන වතතෙක්ම මං ලෝකයට විවෘත වුණේ නැහැ. අපි ලන්ඩනයට ගිහිං එහේ සමලිංගික සමාජයට එකතු වුණාට පස්සේ බොහොම නිදහස් හා විශ්වාසවන්ත බවක් ජීවිතයට දැනෙන්න ගත්තා. ඉතිං, නොදැනීම වුණත් මගේ ජීවිතේ අවුරුදු 20 විතර ඉඳන් සමරිසි තේමාවන් ගැන විවෘතව කතාබහ කරන්න යොමුවුණා.‘‘ ඇය සාරා වෝටර්ස්.
සිය ආචාර්ය උපාධි නිබන්ධනයට තෝරාගත් පර්යේෂණ මාතෘකාව සාරාගේ ජීවිතයට ආලෝකයක් ගෙනඑන්නේ ලොවක් හඳුනන ලේඛිකාවක් බවට පත්කරලයි. සමරිසි පිරිමින් හා කාන්තාවන් සම්බන්ධ ඉතිහාසගත තොරතුරු ඔස්සේ සිය ආචාර්ය උපාධි නිබන්ධනය ලියන ඇයට මේ තේමාව ගැන තවදුරටත් ගවේෂණය කිරීමේ පෙළඹවීමක් ලැබෙනවා. 19 වන සියවසේ කාමෝද්දීපන සාහිත්‍ය ගැන ඇය වඩ වඩාත් කියවීමට පෙළඹෙන්නේ ඇගේ පර්යේෂණයේම කොටසක් ලෙසිනුයි. ඒ අනුව ඇගේ පළමු කෘතිය වූ Tipping The Velvet බිහිවෙනවා. 1890 වික්ටෝරියානු යුගයේ එංගලන්තය පසුබිම් කරගෙන ලියැවුණු මේ කෘතියේ තේමාව වී තිබෙන්නේ පුරුෂයෙකු ලෙස වෙස් වලාගෙන සිටින තරුණියක තවත් තරුණියකට පෙම් බඳින අයුරු හා අවසානයේදී ඔවුන් දෙදෙනා ලන්ඩනය වෙත පලායන අයුරුයි.
‘Tipping The Velvet කෘතිය රචනා කරන්න පටන්ගත්තේ අවුරුදු 29 දී විතර. 1995 අවුරුද්දේ. ඒත්, මේ පොත මුද්‍රණය කෙරුණේ මට අවුරුදු 32 දී. මෙය තරමක සාධනීය කටයුත්තක් ලෙස හඳුනාගන්නට හැකියි. සමරිසි තේමාවන් රැගත් කෘතීන් පරිශීලනය කරන්න මේ කාලේ නැඹුරු වෙලා හිටියා. මෙවැනි කෘතීන් බොහෝ ප්‍රමාණයක් මුද්‍රණය වුණේ 1980 -1990 කාලසමයේදී. මොකද, මේ ගැන ඇතිවුණු කතාබහ රැල්ලක් වගේ වර්ධනය වෙමින් තිබුණා. ඉතිං, මටත් ඒ ආභාසය ලැබුණා. සමලිංගික ජීවිතය ගැන බොහොම විශ්වාසයෙන් රචනා කිරීම හා එය ඵෙතිහාසික නවකතාවක් බවට පත්කිරීමේ වුවමනාවක් මට තිබුණා. ඇත්තටම ඒක බොහොම විපරම් සහගතව කළ යුතු කටයුත්තක්. මේ කාර්යය ආකර්ශණීය, විනෝදබර විදියට වගේම සාධාරණ හා බුද්ධිමත් ලෙස සිදුකරලා පාඨකයින්ට අතීතය ගැන නැවතත් සිහිපත් කරවන තැනට පත්කිරීමේ වුවමනාව මට තිබුණා.‘‘ ලෙස ඇය අතීතය ස්මරණය කරයි.
Tipping The Velvet නවකතාවට හිමිවූ සාර්ථකත්වයත් සමගින් ඇය Affinity, Fingersmith, The Night Watch හා The Little Stranger කෘතීන් ද රචනා කළාය. පසුකලෙක Affinity, Fingersmith නවකතා සිනමා නිර්මාණ බවට ද පත්වෙන අතර කොරියානු සිනමා අධ්‍යක්ෂක පාක් චාන් වූක් ඔහුගේ The Handmaiden සිනමාපටයට ආභාසය ලබාගන්නේ සාරා ලියූ Fingersmith කෘතියෙනි. මෙහි තේමාව වී තිබෙන්නේ තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන සමරිසි ප්‍රේමයකි. කාන්තාවන් ගැන ලියැවී තිබෙන ඉතිහාසගත කරුණු වලට, ඔවුන්ගේ රහසිගත ජීවිතයට මෙන්ම ගෘහස්ත ජීවිතයට වැඩි අවධානයක් දෙන නිසා මෙවැනි තේමාවන් වලින් යුතු කතා තමන් විසින් නිර්මාණය කෙරෙන බව සාරාගේ විශ්වාසයයි.
සාරා වෝටර්ස්ව බොහෝ දෙනෙකු හඳුනාගෙන සිටින්නේ සමරිසි තේමාවන් ගැන ලියන ලේඛිකාවක ලෙසිනුයි. මේ ගැන ඇය පවසන්නේ, ‘‘සමරිසි තේමාවන් ගැන කියවන පාඨකයින් බොහෝ දෙනෙකු මට කියන්නේ ‘අපි ඔයාව සමලිංගිකත්වය ගැන ලියන ලේඛිකාවක් විදියට නම් කරන්න ඕනද ?, අනික් හැමෝම වගේම ඔබත් ලේඛිකාවක්නේ‘ කියලා. මේ කතාව ඇත්තක් වුණත් මා ලියූ The Little Stranger කෘතිය හැර අනික් හැම කෘතියකටම පදනම් වී තිබෙන්නේ සමලිංගිකත්වයයි‘‘ යන්නයි.
ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය කෘතීන් අතරින් සමලිංගිකත්වය යන්නට හිමිවන්නේ කුමන ස්ථානයක්ද ? මෙවැනි තේමාවන් ගැන ලේඛනයේ යෙදෙන්නෙකුට පාඨකයින් වෙතින් මෙන්ම මාධ්‍ය තුළ හිමිවෙන්නේ කුමන අන්දමේ ප්‍රතිචාරද ? යන්න සාරා වරෙක ප්‍රංශයේදී මුහුණදුන් අත්දැකීමක් ඇසුරින් හඳුනාගත හැකියි.
‘‘Fingersmith කෘතියට ලැබෙන අසීමිත ප්‍රතිචාර වලින් මං පුදුමයට පත්වුණා දැයි මෙහි ප්‍රචාරණ කටයුතු අතරතුරදී ප්‍රංශ මාධ්‍යවේදිනියක් මගෙන් විමසුවා. ‘ඔව්‘ පෙරළා උත්තර දුන්නු මං කිව්වා. ‘ඔබ හිතන්නේ සමරිසි තේමාවන් රැගත් කෘතීන් ප්‍රධාන සාහිත්‍ය ධාරාව ඇතුළේ අසාර්ථක වෙන බවද ?‘ ආයෙත් ඇය විමසා සිටි අවස්ථාවේදී මං කිව්වේ ‘අපොයි නැහැ‘ යන්නයි. මං ලේඛනයේ යෙදෙන විෂය පථය කෙතරම් පටු දැයි යන්න මේ කතාව අවසානේදී මට තේරුම් ගියා‘‘
මේ වනවිට 51 හැවිරිදි වියේ පසුවන සාරා වෘත්තීමය ලේඛිකාවක ලෙස තරමක නිහඬ ජීවිතයක් ගතකරන්නීය. සතියේ දින පහ පුරා ලේඛනයේ යෙදෙන ඇය දිවිගෙවන්නේ ලන්ඩනයේ දකුණු දිගට වන්නටය. වසර කීපයක් පුරා සාරාගේ සහකාරිය වී සිටින්නේ Lucy Vaughan ය.
පර්යේෂිකාවක ලෙස ලේඛනයට පිවිසී සමරිසි තේමාව ඔස්සේ ලේඛනයේ නිරත වන සාරා ඇය ගැන පවසන මේ ප්‍රකාශයෙන් සටහන නිමා කරන්නම්. ‘‘මං මේ නවීන ලෝකයේ සමලිංගික ජීවිතයක් ගතකරනවා. ඉතිං, මා ගෙවා දමන ඒ ජීවිතය ගැන ලිවිය යුත්තේ ඇයි ? දැයි යන්න ගැන පැහැදිලි අදහසක් නැති වුණත්, අලුත් දේවල් ගවේෂණය කරන්න මං කැමතියි. මා නවකතා රචනා කරන්නේ සමලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මකින් යුතුවයි. ඒ හැඟීම මගේ හදවතේ ගැඹුරුම තැන රැඳී තිබෙනවා. සමරිසි තේමාව සාහිත්‍ය කෘතීන් තුළින් කතාබහට ලක්වීම ද විශේෂයි. මන්ද, බොහෝ සමරිසි පිරිස් තුළ ද තිබෙන්නේ මෙවැනි හැඟීමක්.‘‘
සටහන – වින්ධ්‍යා ගම්ලත්