බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකු වන මැට් හේග්, ප්‍රබන්ධ කතා සහ ප්‍රබන්ධ නොවන කතා යන දෙවර්ගයටම අයත් ග්රන්ථ ද රචනා කරයි.
‘හල්’ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි හා ඉතිහාසය හදාරා ඇති මොහු, ළමයින් මෙන් ම, වැඩිහිටියන් සඳහාද ග්‍රන්ථකරණයේ නියැළෙන්නෙකි. ඔහුගේ ග්රන්ථ ඉතාමත් ජනප්‍රිය ය. විකුණුම් වාර්තා ද තබා ඇත. Notes on a Nervous Planet? ඔහුගේ නවතම කෘතිය පිළිබඳ www.theguardian.com වෙබ් අඩවියෙහි පළවූ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.
ඔබ ලියන්න පටන් ගත්තේ කුමන කාලයේදීද?
මට දැන් වයස අවුරුදු 42ක්. මම ලියන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 24 සිටයි.
එම කාලය ඇතුළත ඔබ පොත් කීයක් ප්‍රකාශයට පත් කර තිබෙනවද?
මං මේ වනවිට නවකතා පොත් 13ක් සහ ප්‍රබන්ධ නොවන කතා පොත් 5ක් රචනා කර තිබෙනවා.
ඔබට Notes on a Nervous Planet? වැනි කෘතියක් ලියන්න හේතු වුණු සිදුවීමක් හෝ අත්දැකීමක් හෝ තිබෙනවද?
මගේ Reasons to Stay Alive කෘතිය රචනා කිරීමෙන් පස්සේ, මම තරමක විවේක කාලයක් ලබා ගත්තා. ඒ වනවිටත් මං කෘති බොහොමයක් රචනා කර තිබුණු නිසා, මගේ මනසට විවේකයක් අවශ්‍යයි කියලා මටම හිතුණා. ඒත්, මට ඒ අකාරයට වැඩි දවසක් විවේකයෙන් ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ ක්ෂේත්රයේ විද්වතකු වන ස්ටීවන් ෆ්‍රයි විසින් මට එක්තරා විදිහක අනතුරු ඇඟවීමක් වගේ කරමින්, මේ වගේ පොතක් මා ලිවිය යුතුමයි කියලා මට තරයේ කියා සිටියා. ඔහු පොත් සම්බන්ධ ප්‍රවීණයෙක් වගේම, මගේ ග්රන්ථ පිළිබඳ මනා වැටහීමක් තිබුණු අයෙක්. මං දෙපාරක් හිතුවේ නැහැ. මේ පොත ලියන කටයුතු ආරම්භ කළා. ඒ ඔහුගේ උපදෙස් මතයි.
අන්තර්ජාලය සහ මානසික සෞඛ්‍ය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ ඔබ මේ ග්‍රන්ථයෙන් ප්‍රධාන වශයෙන් ම පණිවිඩයක් ලබා දෙනවා. මේ අන්තර්ජාල භාවිතය කෙනකුගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑම් කරනවද?
ඔව්. ඒකෙ කිසිම සැකයක් නෑ. අන්තර්ජාලය කිසිදු සීමාවකින් තොරව භාවිත කරනවා කියන්නේ, යම් කෙනෙක් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා හා සමානයි. අද මිනිසා සහ මේ අන්තර්ජාලය අතර තිබෙන්නේ විශාල ගනුදෙනුවක්. අවශ්‍ය දේටයි, අනවශ්‍ය දේටයි හැම දේටම ඒක යොදා ගන්නවා. මමත් උදෑසනට මගේ ජංගම දුරකථනය හරහා ඊ මේල්, ෆේස් බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍ය වෙත පිවිසෙනවා. ඒත්, මං ඒක අනිසි විදිහට යොදා ගන්නවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ. අවශ්‍යතාවට මං ඒ වෙත පිවිසෙනවා. එච්චරයි. මං දවසම ඒවා භාවිත කරන්නේ නෑ. අද බොහෝ දෙනෙක් හැම තත්පරේම සිටින්නේ අන්තර්ජාලය තුළ සැරිසරමින්. මේ සම්බන්ධතාව බිඳ දැමිය යුතුයි. මගේ ග්‍රන්ථය හරහා කියන්නේ එයයි. අනිත් දේ නම්, එය කෙළින් ම මානසික සෞඛ්‍ය කෙරේ බලපෑමයි. මනස විකෘති වීමක් , මනස අනවශ්‍ය විදිහට වෙහෙසීමක් වගේ දේ විතරයි සිදු වෙන්නේ. මෙය දිගින් දිගටම වීමෙන්, මානසික සෞඛ්‍ය බින්දුවටම බහිනවා.
ඔබ කියන්නේ අද බොහෝ දෙනෙක් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කියලද?
ඇත්තටම ඔව්. ඒක භාවිත කරන්න එපාමයි කියලා මං කියන්නේ නෑ. අවශ්‍යතාවට අනුව භාවිත කරන්න වෙනවා. ඒත්, බොහෝ දෙනා පරිගණක ක්‍රීඩා කරන්න, මිනිසුන්ට මඩ ගහන්න වගේ දේශපාලන අකටයුතුකම්වලට භාවිත කරනවා. සමාජ මාධ්‍ය සීමාවකින් තොරවයි භාවිත කරන්නේ. ඒක අපි නැවැත්විය යුතුයි . ඔබට යම් කිසි තොරතුරක් දැනගන්න අවශ්‍ය වුණොත්, අන්තර්ජාලය හරහා එය මිනිත්තුවෙන් දෙකෙන් කර ගන්න හැකි වෙන බව ඇත්ත. ඒත් මං කියන්නේ, එතැනින් එහාට ගමන් කරන්න එපා කියලයි.
මීට අමතරව මේ හරහා කාලය අපතේ යාමකුත් වෙනවා නේද?
ඔව්. අනිවාර්යෙන්ම. මං ඒ ගැනත් කතා කර තිබෙනවා. කාලය කියන දේ කොතරම් වටිනවද කියලා දන්නේ හොඳ සිහියකින්, බුද්ධිමත්ව වැඩ කරන අයයි. ඔවුන් කිසිදා නිකරුනේ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාලය නාස්ති කරන්නේ නෑ. ප්‍රයෝජනවත් දෙයක් කරනවා.
ඔබගේ මීට පෙර කෘතිය වන Reasons to Stay Alive හි සාර්ථකත්වය පිළිබඳ ඔබ පුදුමයට පත් වුණ බව සඳහන් . ඒ පිළිබඳ ඔබට කියන්න තියෙන්නේ මොනවද?
මං හිතුවටත් වඩා එය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වට පත් වුණා. එම කෘතිය එක්තරා ව්‍යාපෘතියක් විදිහටයි මං දකින්නේ. මගේ මේ කෘතිය කියවූ පාඨකයන්ගෙන්, මගෙන් උපදෙස් අහලා දිනපතා ඊ මේල් රැසක් ලැබුණා. ඒ වගේම, මේ ග්‍රන්ථය ඔවුන්ගේ ජීවිතවලට බෙහෙවින් උදවු වුණ බව ඔවුන් කියනවා. එහෙම බැලුවහම, ගත් කතුවරයකුට මීටත් වඩා පුදුමයක් සහ සතුටක් තිබෙනවාද?
මේ සිදුවීම් සමඟ, කතුවරයකුට සමාජ වගකීමක් තිබෙනවා කියලා ඔබට හිතෙනවද?
මිනිසුන්ගේ මනසට ආමන්ත්‍රණය කරන්න කෘතියකට හැකියාව තිබෙනවා. ඉහත සිදුවීමෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. දහසකුත් ප්‍රශ්න මැද ජීවිතය ගෙනයන මිනිසුන්, පොතක් කියැවීමෙන් මානසික සතුටක් ලබනවා. ඒ පොත හරහා ඔවුන්ට අත්වැලක් වෙන්න හැකිනම්, නියම කතුවරයකු සතු වගකීම වෙන්නේ එයයි.
අද බොහෝදෙනා මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. තව දුරටත් සමාජයේ පවතින මේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කළොත්?
අද සමාජයේ බොහෝ මිනිසුන් ප්‍රශ්නවලින් දැවෙමින් සිටිනවා. ඔවුන් මානසික ආතතියෙන් පීඩා විඳිනවා. අපි මේ කාරණාව තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. එම මානසික සෞඛ්‍ය තත්ත්වය වටහා ගත යුතුයි.
ඔබ හිතන ආකාරයට මෙයට හේතුව මොකක් විය හැකිද?
මුදල් තමා ප්‍රධානම හේතුව. මිනිසුන් මේ හැම දේම කරන්නේ මුදල් හම්බ කරන්නනේ. මිනිසුන් දහසක් ප්‍රශ්න මධ්‍යයෙයි සිටින්නේ. මේ ගැන දිගින් දිගටම හිතන මිනිසුන්ගේ මනස කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද? සෑම දෙයකටම මුදල් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා. මිනිසුන්ට මුදල් නොමැති වුණහම, මනස අවුල් වෙනවා.
මෙයට විසැඳුමක් නැද්ද?
හැම දේකටම විසැඳුමක් තිබෙනවා. රජය මෙයට මැදිහත්ව කටයුතු කළ යුතුයි කියා මං පවසන්න කැමැතියි. මිනිසුන්ට වැඩියෙන් මුදල් උපයා ගතහැකි රැකියා අවස්ථා බිහි කළ යුතුයි. මිනිසුන්ගේ මානසික තත්ත්ව අවබෝධ කරගත යුතුයි. ඇහුම්කන් දිය යුතුයි. අපි අපේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු කොටස නිසි පරිදි ඉටු කිරීමටත් බැදී සිටිය යුතුයි.
ඔබට අවසාන වශයෙන් නවක කතුවරයන්ට ප්‍රකාශ කරන්න තියෙන්නේ මොනවාද?
ඔබ ආදරය කරන, ඔබ කැමැති දේ පිළිබඳ ලියන්න. ඒත්, වඩා වැදගත් වෙන්නේ, එයින් සමාජයට ඵලදායී දෙයක් ඉටු වෙනවා නම් විතරයි .
ඔබට ලැබී තිබෙන සම්මාන පිළිබඳ කතා කළොත්?
Nestle Smarty’s Book Prize සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම මට ලැබී තිබෙනවා.
යශෝදා ඉන්දීවරී