රංගනය පරපුරේ උරුමය කර ගත් පියකු හා පුතකු එක්ව රඟනු දක්නට ලැබිම ප්‍රේක්ෂකයන්ට ප්‍රීතිමත් අත්දැකීමකි.
ආර්, මුතුරාමන් නම් ජනප්‍රිය දමිළ නළුවාගේ පුතු කාර්තික් හා ඔහුගේ පුතු ගෞතම් කාර්තික් එක්ව රඟන මිස්ටර් චන්ද්‍රමෝලි පසුගිය 6 වනිදා සිට තිරගතවේ. රාගව් (ගෞතම් කාර්තික්) මල්ලව පොර ක්‍රීඩකයෙකි. මල්ලවපොර ක්‍රීඩාව ජීවනෝපාය කරගත් ඔහු පියා චන්ද්‍රමෝලි (කාර්තික්) සමඟ ගෙවන්නේ ප්‍රීතිමත් දිවියකි. චන්ද්‍රමෝලි පුතුට තෝසේ හදා දෙමින් නිදහස් ජීවිතයක් ගත කරයි.
චන්ද්‍රමෝලි සිය පැරැණි ෆියට් පද්මිණී මෝටර් රථයට මහත්සේ සෙනෙහස දක්වන්නේය. ඔවුන්ගේ ජීවිත හා බැඳි ප්‍රශ්න රැසකට මුල් වන්නේ මේ මෝටර් රථයයි. රාගව් සහ මධු (රෙජිනා කැසන්ඩ්‍රා) හමුවන්නේ ද මේ කාර්යය නිසාමයි. මධූ තොරතුරු තාක්ෂණ සමාගමක ක්ෂුද්‍ර මෘදුකාංග වැඩිදියුණු කරන්නියක ලෙස ක්‍රියා කරන්නීය. රාගව් - රාජ්මෝලි - මධු වටා ගෙතෙන කතාවට තවත් කතාවක් එක්වෙයි. ඒ කුලී රථ රියැදුරු කෝන්තරයයි. නගරයේ කුලී රථ රියැදුරන් දෙදෙනකු වන අසාගර් හා විනායත් අතරේ ඇතිවන එදිරිවාදිකම් අවසානයේ පිය පුතු සෙනෙහස අවාසනාවන්ත ලෙස ඉරණමේ ලියාදැමීමට හේතුවේ. අසාගර් හා විනායක් රාගව්ගේ මල්ලව පොර ජීවන වෘත්තියේ අනුග්‍රාහක භවතුන් ද වෙයි. මේ කුලී රථ රියැදුරන්ගේ අරගලය සමඟ නගරය මිනීමැරුම්වලින් ගහන යුද බිමක් බවට පත්වේ.
රාජ්මෝලි දරුණු අනතුරකින් මිය යන අතර පුතු රාගව් තමන් විසින් ම අනතුර ගැන සොයා බලයි. මේ පසු විපරමේදී එය සැලසුම් කළ මිනීමැරුමක් බව හෙළි වන අතර රාගව්ට සිය පෙම්වතිය මධුත් ආධාර කර ගෙන මිනීමරුවන් සොයා ගත හැකිවේවිද?
මිස්ටර් චන්ද්‍රමෝලි 2018 සිනමාවලියට එක්වන්නේ ක්‍රීඩාවත්, හාස්‍යයත්, භීතියත් කැටි කළ සිනමා පටයක් ලෙසය. මෙය අධ්යක්ෂ තිරුගේ සිව්වැනි සිනමා නිර්මාණයයි. කර්තික් සහ ගෞතම් පිය පුතු සුසංයෝගයෙන් සිනමා පටයක් නිර්මාණය කරන බව ඔහු ප්‍රකාශ කළේ 2017 ඔක්තෝබර් මාසයේදීය. රෙජිනා කැසන්ඩ්‍රා, වරලක්ෂ්මී සතරක්මාර්, ජේ. මහේන්ද්‍රන්, සන්තෝෂ් ප්‍රතාප්, සතිෂ්, විජි චන්ද්‍රසේකර්, අගතියන් සෙසු චරිත රඟති. මහේන්ද්‍රන් හා අගතියන් ප්‍රවීණ අධ්යක්ෂවරුන් වූ අතර අධ්යක්ෂ තිරු විවාහවී සිටින්නේ අගතියන්ගේ දියණියක සමඟයි.
ගෞතම් කාර්තික් අධ්යක්ෂ තිරුගේ රසිකයෙකි. සැමවිටම වෙනස් දෙයක් කිරීමට බලාපොරොත්තු වන ඔහුගෙන් ලැබුණු මේ අවස්ථාව තම වෘත්තීය ජීවිතයේ වාසනාවන්ත කඩ ඉමක් වනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ඔහුට මෙය තවත් අතකින් සුවිශේෂී වන්නේ පියා සමඟ රඟන ප්‍රථම සිනමා පටය නිසයි.
ගෞතම්ට පියාව කිසි දිනක දර්ශන තලයේ මුණ ගැසී නැත. මුත්තණුවනුත්, පියාත් සුප්‍රකට රංගවේදීන් වුවත් අධ්‍යාපනය ලැබීමට ඌටි ගොස් සිටි නිසා ඔහුට දර්ශන තලයේදී පියා සමඟ කටයුතු කිරීමට ලැබී නැත. දෙදෙනා එක්ව වැඩ කිරීමට ලැබීම සංවේදී කිසිදා අමතක නොවන අත්දැකීමක් බව ගෞතම් පවසයි. පියාට (කාර්තික්ට) ශ්‍රේෂ්ඨ නළුවකු වශයෙන් සැලකීමට හේතුව කුමක්දැයි යන්නට පිළිතුර මේ හවුල් රංගනයත් සමඟ ලැබී තිබේ.
සිනමා පටයේ 'යේදේදෝ ආනේන' ගීතය ද ගෞතම්ට සුවිශේෂී අත්දැකීමකි. එම ගීතයේදී ඔහු රෙජිනා කැසන්ඩ්‍රා සමඟ වෙරළේ ගීතමය ජවනිකාවකට පෙනී සිටි අතර රූගත කරද්දීම සමස්ථ සිනමා කණ්ඩායමේ ම ප්‍රතිචාර ඊට ලැබී ඇත. ගීතමය ජවනිකාව රූගත කිරීමේදී විදුලි ආලෝකය යොදාගෙන නැති අතර හිරු එළියත්, කණ්ණාඩියත් පමණක් යොදාගෙන තිබේ. මුලින් රෙජිනා සිනමා පටයේ මෙම ගීතමය ජවනිකාවට පෙනී සිටීමට අකැමැති වුවද අධ්යක්ෂවරයා පැහැදිලි කර දීමෙන් පසුව ඊට එකඟතාව පලකර ඇත. ඇය නාන ඇඳුමට අවශ්‍ය ලාලිත්‍යයෙන් යුතු හැඩකාර බව සිරුරට එක් කර ගැනීම සඳහා ආහාර පාලනය කර තිබේ. තායිලන්තයේ ක්‍රබ් දූපත්වලදී ජලයයට රූගත කිරීම් සිදු කෙරුණු අතර ‘යේදේදෝ ආනේනේ’ ගීතය යූ ටියුබ් හරහා නැරඹූ සංඛ්‍යාව මිලියන හතරටක ආසන්නය.
තිරු, මෙයින් සමාජ පණිවුඩයක් ද රැගෙන එයි. කුලී මෝටර් රථ කර්මාන්තය ආශ්රිත අපරාධ ඉන්දියාව පුරාම දෛනිකව සිදුවන්නකි. මිස්ටර් චන්ද්‍රමෝලි නැරඹූ පසු කුලී මෝටර් රථයකට ගොඩවීමට පෙර මගීන් බොහෝ දේ ගැන විමසිලිමත් වනු ඇති බව ඔහුගේ හැඟීමයි.
වරලක්ෂ්මී සිනමා පටයේ සෙසු ප්‍රධාන චරිත සේ ම ඉතා ප්‍රබල චරිතයක් නිරූපණය කරන අතර එය ප්‍රේක්ෂක කුතුහලය අවදිකරන චරිතයකි. මෙහි පිටපත ද අධ්යක්ෂ තිරුගෙනි. සිනමා පටය රූගත වීමට පෙර බොහෝ දෙනෙක් එහි සංගීතය සහ ගීත ගැන කතා කරති. සෑම් සී.එස්. ලෙසින් ප්‍රකට ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලුමකි. සිනමා පටයේ ‘මිස්ටර් චන්ද්‍රමෝලි’, සරාගී ‘යේදේදෝ ආනේනේ’ වැනි ගීත සිනමා පටය තිරගත වීමට පෙරදිම රසිකයන්ගේ මුව මුව මිමිණෙන්නට පටන්ගෙන ඇත. සිනමාපටයට ගීත හයක් ඇතුළත්ය. මිස්ටර් චන්ද්‍රමෝලි එකම පවුලේ යුග දෙකක රංගන ශිල්පීන්ගේ රංගන එකතුවකි. එලෙසම එය රෙජිනා, වරලක්ෂ්මී නම් දක්ෂ, ජනප්‍රිය තාරකා යුවළගේ රංගන ප්‍රතිභාවන් එක්වූ අවස්ථාවකි. අධ්යක්ෂ තිරු මින් පෙර නිපදවූ 'නාන් සිහප්පු මනිදන් 'බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූවකි. මේ සියලු කාරණා ප්‍රේක්ෂකයන් ‘මිස්ට චන්ද්‍රමෝලි’ හි රසිකයන් බවට පත් කිරීමට හේතුවී ඇත.
චම්පිකා දීපානි රණසිංහ