යාපනය අතීතයේ පටන් ම ප්‍රචලිත වූයේ සංස්කෘතික අග නගරයක් ලෙසිනි. එය විද්වතුන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ගේ මෙන් ම ගොවීන්, ධීවරයන් හා වාණිජ්යයන්ගේ ද නගරයක් ව තිබිණි.
මා මුලින්ම යාපනයට ගියේ 1982 දී ය. ඒඅභාවප්රාප්ත ගාමිණී දිසානායක මහතා සමඟය. එවක ඔහු මහවැලි ඇමතිවරයා වූ අතර යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ මාධ්‍යෙව්දීන් කිහිප දෙනකුද එම සංචාරයට එක් කර ගත්තේය.
එවක සාමකාමී වාතාවරණයක් මැද එහි ජනජීවිතය ගෙවෙමින් තිබිණි. රටේ අනෙකුත් නගරවලට සේම පහසුවෙන් යා හැකි, උතුරේ නිෂ්පාදන දකුණටත්, දකුණේ නිෂ්පාදන උතුරටත් පහසුවෙන් ප්‍රවාහනය කෙරුණු සමයක් විය. උතුර දකුණ බෙදී තිබුණේ නැත. තල් වැටෙන් එහා ලෝකය සාමකාමී වූයේ ය. එහෙත් යාපනය විදාරණය නොවූ ගිනිකන්දක් බවට පත් වෙමින් තිබුණු බව අපට එදා දැනුණේ නැත.
මා දෙවන වර යාපනයට ගියේ 1993 දී ය. ඒ ‘යාල්දේවි මෙහෙයුම’ ඇරඹි නොවැම්බරයේ ය. යාපනය එල්.ටී.ටී.ඊ. පාලනයට දැඩිව නතුව තිබූ අවදියේ ය. පෙර ගමනේ දී මා දුටු සාමකාමී ජනජීවිතය සහමුලින් ම වෙනස් වී තිබිණි. යුද අවි ගැටෙන හඬත් දසතින් නැඟෙන මරලතෝනි හා විලාප හඬත් මධ්‍යයේ ආරක්ෂිත තැන් සොයා මහ මඟ දිගේ ඔහේ දිවයන මහජනතාව සමඟ මම ද කැමරාව මානාගෙන දිව ගියෙමි. බර අවිවලින් එල්ල වන ප්‍රහාර හමුවේ යාපනය සහමුලින් ම කළු දුමාරයෙන් වැසී තිබුණි. මරණයේ දෝංකාරයෙන් සෑම ජීවියෙක් ම මුසපත් ව සිටියේ ය. නගර මධ්‍යයේ වූ දැවැන්ත ගොඩනැඟිලි සුනුවිසුණුව වැතිර සිටියේ ය. පෙර මා දුටු සිනාවෙන් පිරි මුහුණු වෙනුවට මා දුටුවේ ජීවිතය ඉල්ලා හඬන මිනිසුන් හා ගැහැනුන් ය.
එදා නගරයේ තැන තැන ඉදිව තිබූ පුරාණ කවීන්ගේ, බුද්ධිමතුන්ගේ ස්මාරක වෙනුවට එල්.ටී.ටී.ඊ. ඉහළ පෙළ සාමාජිකයන්ගේ දැවැන්ත කටවුට් නගරය පුරා අරක්ගෙන තිබිණි. ඒ9 මාර්ගය වසාදැමීම හේතුවෙන් අහසින් හෝ මුහුදින් හැර කිසිදු ගොඩබිම් මාර්ගයක් නොමැතිවීම මත ආහාරපාන, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වූ අතර ඒවායේ මිල අහස උසට නැඟ තිබිණි. උතුරේ නිෂ්පාදන දකුණට ප්‍රවාහනය නොවීම මත ගොවීහු ධීවරයෝ අසරණ වී සිටියහ. බොහෝ උගතුන්, බුද්ධිමතුන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද යාපනය හැර ගියේ ය. ඇතැමුන් වන්නියටත්, තවකෙක් අගනුවරටත් තවත් පිරිසක් විදෙස් රටවලටත් රැකවරණ පතා පිටව ගියේ වසර 30කට අධික කාලයක් පැවැති ත්රස්තවාදයට හා යුද්ධයට පින්සිදුවන්නට ය.
තවත් පිරිසකට තම ජීවිත පවා අහිමි කෙරිණි. බිය, සැකය හා අවිනිශ්චිතභාවය පමණක් ජීවිතයේ කොටස්කරුවන් බවට පත් ව තිබිණි. යාපනයේ ජනජීවිතය ගෙවුණු වසර 30 තුළ පැවැතියේ ඒ අයුරිනි. යුද්ධය නිමාවත් සමග යාපනය වැසියන්ට භෞතික සම්පත් ගලා එන්නට පටන් ගැනිණි. අගනුවර මිල ගණන් හා සැසඳීමේ දී තවමත් ඉහළ අගයක් පෙන්නුම් කළ ද යාපනයේ එදා පැවැති මිල ගණන් අද පහත බැස ඇත්තේය. ඉන්ධන හා වාහන අමතර කොටස් ලැබීම මත කාලාන්තරයක් මුළුල්ලේ පාපැදියෙන් ගමන්ගත් ජනතාව යතුරුපැදිවලින් තම ගමන් බිමන්වල යෙදෙනු දැකිය හැකි ය. ඒ9 මාර්ගය විවෘත වීමත් සමඟ නිදහසේ ගමන් කිරීමට හැකිවීම ඔවුහු විශාල භාග්‍යයක් සේ සලකති. දකුණේ පිරිස් උතුරට නෑගම් යන්නට පෙලඹුණහ. කලකින් නොදුටු හිවතුන් දකින්නටත්, බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්නටත් දකුණේ උදවිය උතුරට ගමන් ගියහ. එසේ පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීමෙන් හා ආහාරපාන සැපයීමෙන් ද යාපනයට ආවේණික විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ද අමතර ආදායමක් උපයා ගන්නට යාපනයේ වැසියන්ට අවකාශ සැකසිණි.
එහෙත් යුද්ධය විසින් ඇතිකරවන ලද බියජනක හැඟීම් ඔවුන්ගේ සිත් තුළින් පහව ගොස් තිබුණේ නැත. බෙදී වෙන්ව ගිය ජනතාවක් නැවත එකමුතු කරන්නට කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් දැක්විය හැකිය. කලාවෙන් පීඩාවට පත් ජනතාවකගේ සිත්සතන් සෞන්දර්යයෙන් පුරවාලිය හැකි ය. සාමය, සමඟිය හා ජාතික එකමුතුව පිළිබඳ සටන් පාඨවලට පමණක් සීමා නොකොට එහි සැබෑ අරුත ජනතාව කරා ගෙන යාම කලාකරුවන් සතු වගකීමකි. පසුගිය දා ජනකරළිය නාට්‍ය කණ්ඩායම යාපනයේ නාට්‍ය උළෙලක් පැවැත්වූයේ සටන් පාඨවලට පමණක් සීමා වූ සාමය හා අන්‍යොන්‍ය සබඳතා සැබැවින් ම ක්‍රියාවට නැංවීමේ අරමුණින් ය. කූඩාරමකුත් සමඟ නාට්‍ය කණ්ඩායමක් යාපනයට පැමිණීම එහි වැසියන්ට අපූරු අත්දැකීමක් විය. වසර ගණනාවක් මුළුල්ලේ දකුණේ නාට්‍යයක් නොදුටු ඔවුහු එරීනා තියටරයේ නාට්‍ය නරඹන්නට පෙළ සැදී ආවෝ ය. යුද්ධය පැවැති සමයේ ද 1990 – 1995 වැනි කාලයේ පූර්ණ ලෙස ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට නතුව තිබූ කාලය තුළ ද යාපනයේ කලාකරුවෝ නිර්මාණවල යෙදුණාහ. එම කාලයේ සංස්කෘතික කටයුතුවලට එම සංවිධානයෙන් බාධා එල්ල නොවූව ද යුදවාදී සංවිධානයක අරමුණු හා මතවාදයනට අනුව සංස්කෘතික කටයුතු සිදු කෙරිණි. එය පාරම්පරික හා දැඩි මතධාරීව සංස්කෘතිය දෙස බැලූ ඇතැම් පාරම්පරික දෙමළ ජනයාගේ සංස්කෘතියට සමානකම් දැක්වූ බැවින් ගැටුමක් නිර්මාණය නොවිණි. අතීතයේ සිට ම යාපනයේ පැවැතියේ ස්වාධීන සංස්කෘතියකි. එය දකුණු ඉන්දියානු සංස්කෘතියට වඩා වෙනස් වූ යාපනය ජනතාවගේ ම අනන්‍යතාව පිළිබිඹු කළ සංස්කෘතියක් විය. දකුණු ඉන්දියානු සිනමා ශෛලියෙන් බැහැර වූ ලාංකේය දෙමළ සිනමාවක් බිහිවිය යුතු බව එවක යාපනයේ කලාකරුවෝ අවධාරණය කළහ.අර්බුද හමුවේ වුව ද උතුරේ කලාකරුවෝ තම පාරම්පරික නිර්මාණ රැක ගනිමින් ඒවා නව පරපුරට උගන්වමින්, නාට්‍ය නිෂ්පාදනය කරමින් හැකි පමණින් කලාවට සේවයක් කළහ.
එල්.ටී.ටී.ඊ. පාලනය තුළ යාපනයේ සිටි දක්ෂ කලාකරුවන්ගේ සේවය කෙසේ හෝ ලබාගන්නට උත්සුක වීම මත ඇතැම් කලාකරුවන් හට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය ලෙස නිර්මාණ කිරීමට සිදු වුවත් තවත් සුළු පිරිසක් එල්.ටී.ටී.ඊ.යේ ප්රචාරකවාදී ජනප්‍රිය රැල්ලට හසු නොවී ස්වාධීනව කටයුතු කළහ. එහෙත් යුදමය වාතාවරණය යටතේ යාපනයේ ජනතාවට දකුණේ අගනුවර හා සබඳතා බිඳවැටීම හේතුවෙන් උසස් කලා නිර්මාණ මෙන් ම කලාවන්ගේ නව ප්රවණතා ඇසුරු කරන්නට බාධා ඇති වී තිබිණි. යාපනයේ ජනතාවට කලා නිර්මාණ ලෙස දැක ගත හැකි වූයේ යාපනයේ ප්‍රාදේශීය නිර්මාණ පමණක් වූ අතර බොහෝ විට එම නාට්‍ය ප්රචාරකවාදී මෙන් ම නිර්මාණශීලිත්වයෙන් හීන වූ ඒවා විය. කුලන්දෙයි ෂන්මුගලිංගම් වැනි නාට්‍යකරුවන් මෙන් ම ගරු සේවියර් පියතුමාගේ කලායතනයේ උසස් නාට්‍ය නිර්මාණ වුව ද ඒවා නාට්‍ය දර්ශන කීපයකට සීමා වූයේ ය. නැතිනම් වෙනත් බාධක නිසා වැඩි ජනතාවක් කරා ළඟා වීමට නොහැකි වූයේ ය. විදුලිය නොමැතිකමත්, විටින් විට පැනවෙන ඇඳිරි නීතිය නිසාත් මෙම නාට්‍ය රඟ දැක්වුණේ දිවා කාලයේ පමණකි. ජනතාව සවස හයෙන් පසු එළිමහනේ ගැවසීම ඉතාමත් අල්ප වූයේ ය. ජනකරළිය නාට්‍ය කණ්ඩායම යාපනයට පිවිසෙන්නේ මෙවන් වාතාවරණයක් මධ්‍යයේ ය.
‘ජනකරළිය’ යාපනයේ ජනතාවට සිංහල හා දෙමළ දෙබසින් ම නාට්‍ය දර්ශන පැවැත්වීය. යාපනයේ ජනතාව බුද්ධිමත් ය. ඔවුහු සමූහ වශයෙන් රඟහල කරා පැමිණ නාට්‍ය රසවින්දාහ. විශාල පිරිසක් රඟහල කරා ඇදී ඒම මත ඇතැම් දිනවල එක් දර්ශනයක් නිමාවීමත් සමඟ තවත් දර්ශනයක් රඟ දක්වන්නට නළු නිළියන්ට සිදුවිය. අධික වෙහෙසකර කාර්යයක් වුව ද ‘ජනකරළිය’ නාට්‍ය කණ්ඩායම නාට්‍ය නරඹන්නට පැමිණි යාපනයේ ජනතාවගේ අපේක්ෂා බොඳ කළේ නැත. නාට්‍යවල පෙළ, අන්තර්ගතය, රංග විධි මෙන් ම ඒවායෙන් ගම්‍ය වූ පණිවුඩය පිළිබඳව ද අවධානය යොමු කළ රසිකයෝ එම නාට්‍යවලින් කියැවුණ අරුත තම ජීවිත හා සසඳමින් අදහස් දැක්වූහ. දෙමළ නාට්‍ය මෙන් ම සිංහල නාට්‍යයත් එක සේ රස විඳි ඔවුහු ජංගම රඟහලක් තුළ, සිවුපසින් ම නැරඹිය හැකි එරීනා වේදිකාවක, රංගාලෝකය මධ්‍යයේ නාට්‍ය උළෙලක් නැරඹීමට ලැබීම තමන්ට අපූරු අත්දැකීමක් වූ බව පැවසුහ..
ඉන්දියානු හමුදාව නික්ම ගියාට පසු රාත්‍රි හයෙන් පසු පවුල් පිටින් එළිමහනේ ගැවසෙන්නට යාපනයේ ජනතාව තුළ නැවත පෙලඹවීමක් ඇති කළේ ජනකරළිය නාට්‍ය ණණ්ඩායමේ ආගමනය නිසා බව ඇතැම්හු මා සමඟ පැවැසූහ. යුද්ධය නිමාවුණත් කාලයක් මුළුල්ලේ හුරු වී සිටි අවිනිශ්චිත ජීවන රාටාවෙන් මිදීමට මෙම නාට්‍ය උළෙල උපකාරී වූ බව පැවසූ රසිකයෙක් තමන් මෙතෙක් කාලයක් සිතෙහි පනවා ගෙන තිබූ අඳුරු නීතිය ‘ජනකරළිය’ නිසා ඉවත් වූ බව පැවැසීය. සාමාන්‍ය දෙමළ ජනතාව මෙන් ම පාසල් ළමයින් ද, හමුදා සෙබළුන් ද එක්ව නාට්‍ය නරඹන්නට පැමිණ සිටි මෙම උළෙලේ දී ‘චරන්දාස්’, ‘මායාපට්ටාඩෙයි’ (සීතාම්බරපටය), ‘එරුක්කලම්පු’ (අන්දර මල්), ‘තිරුඩන් වන්දාන්’ (හොරු ඇවිල්ලා), ‘දේවලෝහ පයනම්’ (දෙව්ලෝ ගමන), ‘මැටි කරත්තය’, ‘සෙක්කු’ (සෙක්කුව) වැනි නාට්‍යයත්, ප්‍රදේශීය නාට්‍යකරුවන්ගේ කුත්තු නාට්‍යය රඟදැක්විණි.
ජනකරළිය නාට්‍ය කණ්ඩායම තමන් යන සෑම ප්‍රදේශයක දී ම එම ප්‍රාදේශීය නාට්‍යකරුවන්ට ජංගම රඟහලේ නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාවක් සලසා දෙනවා සේම ඔවුන්ට ප්රණාම දැක්වීම ද සිදු කරයි. මෙම නාට්‍ය උළෙල යාපනයේ වැසියන්ගේ ඒකාකාරී ජීවිතවලට කිසියම් ආලෝකයක් එකතු කර තිබූ බව නොරහසකි. නාට්‍ය උළෙල නිමාවීමෙන් පසුවත් නැවත වරක් යාපනයේ විවිධ පෙදෙස්වල මෙම නාට්‍ය උළෙල පවත්වන මෙන් ඔවුන් ඉල්ලා සිටියේ උසස් රසඥතාවයක අවශ්‍යතාව යාපනයේ අනාගත පරපුරට මහත් සේ වැදගත් වන බව පෙන්වා දෙමිනි.
ජනකරළිය බිහිවුණේ පරාක්‍රම නිරිඇල්ල සහ එච්.ඒ.පෙරේරා යන නාට්‍යවේදීන්ගේ දායකත්වයෙනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ජනතාව රඟහල කරා ගෙන්වා ගැනීම නොව රඟහල ජනතාව වෙත ගෙන යාමට ය. පින්තූර රාමු වේදිකාවෙන් නික්ම ජංගම එරීනා රඟහලක් තුළ නාට්‍ය දර්ශන පැවැත්වීම ආරම්භ කළේ ප්‍රථම වරට ය. එමෙන් ම ජනකරළිය යනු පූර්ණකාලීන වෘත්තීය නාට්‍ය කණ්ඩායමකි. එහි සුවිශේෂත්වය වන්නේ සිංහල හා දෙමළ තරුණ තරුණියන් එක්ව සාමූහික කාර්යයක් ලෙස නාට්‍ය නිර්මාණය කිරීම ය. ජනකරළියේ කාර්යභාරය අංශ දෙකකට බෙදා දැක්විය හැකිය. එක් අංශයක් ජංගම රඟහල හා නාට්‍ය කණ්ඩායම වශයෙනුත් අනෙක් අංශය නාට්‍ය හා රංගකලා අධ්‍යාපන අංශය හා ප්‍රාදේශීය සන්නිවේදන හා සම්බන්ධතා ජාලය වශයෙනුත් ක්‍රියාත්මක වෙයි. ජනකරළිය සිංහල හා දෙමළ යන දෙබසින් ම නාට්‍ය නිර්මාණය කරයි. ඒවායේ නාට්‍යමය අගය ඉතා ඉහළ තලයක පවතියි. බොහෝ නාට්‍ය පරිවර්තනය වන්නේ නාට්‍ය කණ්ඩායම තුළින් ම වීම විශේෂිත ය.
හතරැස් වේදිකාව මත නිර්මාණ ඉදිරිපත් කෙරෙන බැවින් නළු නිළියන්ට පෙළ මතක් කිරීමක් සිදු නොවෙයි. සිංහල හා දෙමළ සියලුම නාට්‍යවල රඟපාන්නේ දැනට නාට්‍ය කණ්ඩායමේ සිටින 30කින් පමණ සමන්විත වන කණ්ඩායම ය. සිංහල හෝ දෙමළ හෝ සෑම නාට්‍යයකම ඉතා සුළු චරිතයකට හෝ පණ පොවන්නට කණ්ඩායමේ සෑම සාමාජිකයකුට ම ඉඩ සැලසෙයි. ඔවුහු රංගනයට අමතරව කූඩාරම ඉදි කිරීමේ සිට රඟහලේ සියලු කාර්යයනට දායක වෙති. ඈත ගම් දනව්වලින් පැමිණි මේ තරුණ පිරිස ඇත්තෙන් ම දක්ෂයෝ ය. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන් ද මනා ලෙස දෙබස් උච්චාරණය කරති. ජනකරළියේ ඇති සුවිශේෂත්වය වන්නේ වසර ගණනක් පුරා සාමූහිකත්වයෙන් මෙම පිරිස එක්ව තබාගැනීම ය. වර්තමානයේ ඇතැම් කලා නිර්මාණවල දැකිය හැක්කේ ජාතික සමඟිය යන තේමාව උපයෝගී කර ගනිමින් සටන් පාඨ කීමකි. එහෙත් ජනකරළියේ නිර්මාණ තුළ එවන් සටන් පාඨ විප්ලවයක් නොමැත. මෙම නාට්‍යවල ජනවාර්ගික ප්රශ්නය හෝ යුද්ධය හෝ තේමා කරගෙන නොමැත. ඒවායින් විමසන්නේ පොදු සමාජ ප්‍රශ්න පිළිබඳව ය. එවන් සමාජ ප්‍රශ්න මෙම භූමිය තුළ ජීවත් වන ඕනෑ ම පුද්ගලයකුට අදාළ ය. එහෙයින් එම පොදු බව නාට්‍ය නරඹන සෑම පුද්ගලයකු තුළ ම ගම්‍ය කරනුයේ තම ජීවිතයට එබී බැලීමට කළ ප්රයත්නයක් ලෙස ය. කලාව ජනතාව වෙතට ගෙනයාමට හා උසස් කලාවක් ජනතාවට ලබා දෙන්නට ජනකරළිය දරන උත්සාහය ප්‍රශංසනීය ය. යාපනයේ ජනතාව ජනකරළිය හදවතින් ම වැළඳ ගත්තේ එය ඔවුන්ගේ ජීවිතවල අහුමුළු ස්පර්ශ කරන්නට සමත්වීම නිසාවෙනි.
සටහන හා ඡායාරූප ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා