ජීවිතය ද ප්රහේළිකාවකි. එහෙත් ඒ බව ඇග්නස් මැක්ඩොනල්ඩ් දැන ගන්නේ ජිග්සෝ ප්‍රහේළිකා විසඳීමට ඇති කැමැත්තත් දක්ෂතාවත් නිසාය.
නගරාසන්නව ජීවත් වූ ඇය නිව්යෝක් නුවරට සැඟවී පලා යාමේදී අපුරු පුද්ගලයකු හඳුනා ගැනීමට ලැබේ. ඔහු රොබට්, අත්ලාන්තික් නුවර පැවැත්වෙන ජිග්සෝ ප්‍රහේළිකා විසඳීමේ තරගාවලියට සහභාගී වන්නේ සහායිකාව ලෙස ඇග්නස් තෝරා ගනිමිනි.
විවාහක දෙදරු මවක වන ඇය ජීවිතයේ ප්‍රථම වරට ස්වාධීනත්වය අත්දකින්නේ ප්‍රහේලිකා විසඳීමේ තරගාවලිය සමඟය. තමන්ගේ වටිනාකම ඇයට දැනෙන්න ගනී. ජිග්සෝ ප්‍රහේළිකාවක වර්ණවත් කෑලි මෙන් ඇය ජීවිතයේ වර්ණය දකින්නට පටන් ගනී.
සැමියන් සහ දරුවන් සමඟ සරල දිවියක් ගත කරන ඇග්නස්ගේ දිවිය උඩු යටිකුරු වීමට ඇය වෙත ලැබෙන අරුම පුදුම උපන්දින තෑග්ගක්ද හේතුවේ. ‘පස්ල්’ සිනමා සිත්තම ප්‍රේක්ෂකයාට ගෙන හැර පාන්නේ ජීවිතයේ රාමු අතර ට කොටු වී සිටින ඇග්නස් වැන්නියන්ගේ කතාවයි.
එය මැදිවියේ පසුවන්නන්ගේ කථාවකි. ජුලි 27 වැනි දින ලොව පුරා තිරගත වීමට නියමිත ‘පස්ල්’ අමෙරිකානු සිනමා පටය මාර්ක් මර්ට්ල්ටෝබ්ගේ අධ්‍යක්ෂණයකි. එය 2010 වසරේ එම නමින්ම තිරගත වූ ආර්ජන්ටිනා සිනමා පටය පාදක කරගෙන නිර්මාණය කර තිබේ.
ආර්ජන්ටිනා සිනමා පටය හැට වැනි බර්ලින් අන්තර් ජාතික සිනමා උලෙළේදී ගෝල්ඩන් බෙයාර් හෙවත් විශිෂ්ටම සිනමා පටයට නිර්දේශ වූ අතර ඉහළම ප්‍රේක්ෂක මනාපය දිනාගෙන ඇත. එය හුරුපුරුදු සිනමා පටයක් ලෙස ඇතැම් විචාරකයන් දැක්වූයේ ආර්ජන්ටිනා ‘පස්ල්’ ‘ක්වීන් ටු ප්ලේ’ ප්‍රංශ සිනමාපටයේ නිවුන් සිනමා පටයක් බඳු වූ නිසාය. නව ප්‍රති නිර්මාණයේ පුර්ව දර්ශනය 2018 වසරේ සන්ඩෑන්ස් සිනමා උළෙලේදී තිරගත කෙරිණි.
මෙය අධ්යක්ෂ ටර්ට්ල්ටෝබ්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි. මේ කතා පිටපත ඇස ගැසුණු විට ඔහුට එය පෞද්ගලිකවම නිර්මාණය කිරීමට අවශ්‍යවිය. ඔහුගේ අදියුරුකමින් රංගනයේ යෙදීම නළු නිළියන්ට ඉතා පහසු කටයුත්තක් වී තිබේ.
පෙර පුහුණුවීම් ඔහුගේ අධ්‍යක්ෂණයේ නැත. රංගන ශිල්පි ශිල්පිනියන්ට ඇත්තේ තමා සතු රංගන කුසලතාව දර්ශන තලයේදී අවදි කිරීම පමණි. නැවුම් රංගනය අමු අමුවේ පැහැර ගන්නා ඔහුගේ ජවනිකාවක් යළි යළිත් රූගත කිරීමක් ද නැත.
සිනමා පටයේ ප්‍රධාන භූමිකාවට පණ දෙන්නේ හතළිස් දෙහැවිරිදි කෙලී මැක්ඩොන්ලඩ්ය. කෙලී ට්රේන්ස්පොටිං (1996), ඉන්ටර්මිෂන්(2003) , හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පාට් 2 (2011) වැනි සිනමා පටවල රඟපා එමී සම්මානය දිනා ගත් තාරකාවකි.
ඉන්දියානු සිනමාවේ විශීෂ්ට චරිතාංග නළුවකු වන ඉර්ෆාන් ඛාන් ඇග්නස්ගේ ජිග්සෝ ප්‍රහේලිකා විසඳීමේ තරගයේ සහායකයා රොබට් ලෙස රඟයි. ඔහු රැඟූ සාලාම් බොම්බේ ! (1988) ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ විය. ‘ද වොරියර්’ , (2001) , ද - නේම්සේක් (2006), ස්ලාම්ඩෝග් මිලියනයර් (2008), ද අමේසිං ස්පයිඩර්මෑන් (2012), ජුරාසික් වර්ල්ඩ් ( 2015), ඉන්ෆර්නෝ ( 2016) වැනි අන්තර්ජාතික නිර්මාණ ගණනාවකටම ඔහු රංගනයෙන් දායක වී තිබේ.
ඉර්ෆාන් දැන් මොළයේ පිළිකාවකට ගොදුරුවී විදෙස් ගතව ප්‍රතිකාර ලබන අතර ‘පස්ල්’ ඔහු රෝගී වීමට පෙර සම්බන්ධ වූ අවසන් අන්තර්ජාතික නිර්මාණයයි. පනස් දෙහැවිරිදි ඉර්ෆාන් ඉන්දියානු සිනමා සම්මාන රැසකින් (ජාතික ෆිල්ම්ෆෙයාර් ඇතුළු) පිදුම් ලැබූවෙති. ඉර්ෆාන්ගේ රසිකයෝ ඔහුගේ නවතම විශිෂ්ට රංගනය නැරඹීමට බලා සිටිති. ඩේවිඩ් ඩෙන්මෑන් ඇග්නස්ගේ සැමියා ලුවිස් ලෙස රඟයි. ඔහු අමෙරිකානු සිනමා සහ ටෙලි නළුවෙකි. සිනමා පටයේ සංගීතය ඩස්ටින් ඕ’ හැලෝරන්ගෙනි.
සිනමා පටයේ ට්‍රේලරය නිකුත් වීමත් සමඟ ඉර්ෆාන් ට්විටර් වෙබ් අඩවියෙන් රසිකයන්ට දන්වා සිටියේ සැම කෙනෙකුටම තමන් ගැන යමක් අහිමිවී ඇති බවයි. එය සොයා ගන්නා ලෙස ඔහු රසිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ජීවිතය ද පඹ ගාලක් හෙවත් ප්රහේළිකාවකි. අපට පාලනය කළ හැකි කිසිවක් නොමැත.
සිනමා පටයේ ට්‍රේලරයෙන් ජීවිතයේ සෑම ගැටලුකාරී කොටසක්ම නියමිත තැන අවසානයේ තබන බව ඔහු සඳහන් කළේය. එකම දේ දිගටම කිරීම නීරසය නව විෂයකින් නැවුම්, පුදුම සහගත දෙයක් ජීවිතයට එක්කර ගැනීමේ වටිනාකම ‘පස්ල්’ සිනමා පටය රසිකයන්ට ලබා දෙන විසඳුමකි.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ