දෙමල අය සිංහල කතා කරන තරමට සිංහල අය දෙමල කතා කරනවා අඩුයි. ( 70 දශකය වන විට මෙය එතරම් සුවිශාල නොවුනත් දැන් තත්වයට අනුව සිංහල අය දෙමල කතා කරන්නේ නැති තරම්.) මම දෙමල හෝඩියවත් හරියට දන්නෙ නෑ. මගේ කුඩා කාලයේ එවකට ගුවන් විදුලියේ ප්‍රචාරය වූ බජන් ගී, හින්දි ගී අපි ආශාවෙන් අහලා තියෙනවා. හැබැයි කිසිම තේරුමක් දන්නෙ නෑ.ඒ උනාට එය අපේ ජීවිතයේ කොටසක් උනා. ගීතයක වචනයේ තේරුම ගැන හිතන්නෙ නැතුව ගීතයක් රස විදිනවා කියන්නේ වචන ඇහෙන්නෙත් ශබ්ද විධියට. ගීතයකදී ශබ්ද, නාද හැටියටයි සළකන්නේ. වචන ගීතයේම නාද ප්‍රභේදයක් හැටියට තබා නේද එතකොට අපි ගීතය රස විදලා තියෙන්නේ.
වචන නාදයක් හැටියට රස විදිනවා කියන්නෙ ඇත්තටම අපි රස විදලා තියෙන්නෙ ගීතය නෙමෙයි ගීතයේ නමින් මියුසික්.මියුසික් වල භාෂාව ඇත්තෙම නෑ.හරියට අපි මේසාට්ගේ මියුසික් එකක් අහනවා වගෙයි බජන් ගී, ගසල් අහලා තියෙන්නේ. මේ තැනට දෙමල ගීත ඇතුලත් උනේ නෑ. මොකද දෙමල ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය උනේ නැති තරම්. ඒ වෙනුවට දෙමල චිත්‍රපටයි ආදේශ උනේ. චිත්‍රපට මාධ්‍ය මහ ඉහලින් ජනප්‍රිය වෙලා තිබුණ යුගයක් තමයි අපේ කුඩා කාලෙ. ඒ කාලෙ කමල් හසන්ගෙ චිත්‍රපට අපි බැලුවෙ දෙමල භාෂාව දැනගෙන නෙමෙයි. චාල්ස් බ්‍රොන්සන් ඉන්න ඉංග්‍රීසි චිත්‍රපට බැලුවෙත් ඉංග්‍රීසි දැනගෙන නෙමෙයි.
භාෂාවේ තේරුම නොතකා භාෂාව නාද හැටියට ගෙන ගීතයක් අවසානයේ සංගීතය වූවානම් භාෂාවේ තේරුම නොතකා භෘෂාව ශබ්ද හැටියට හෝ නාද හැටියට ගෙන රස විදින චිත්‍රපටය යන්නට දිය හැකි නම කුමක්ද? තරමකට හෝ මෙය සමාන කළ හැක්කේ ඔපෙරාවකටය. දෙමල සමාජයට මෙම අද්දැකීම කුමනාකාරද කියන්න මම දන්නෙ නැහැ. සමාජයේදී දෙමල භාෂාව කතා කරන දෙමල අය සමග අප එකට වැඩ කරලා නැහැ කවදාවත්.
මගතොටේදී, චිත්‍රපට ශාලා තුළදී, කඩ සාප්පු තුළදී කිසිවකුවත් සමග අප කතාවට නොගිය නමුත් දෙමලෙන් එයාලා එයාලම කතා කරනවා අපට ඇහිලා තියෙනවා. අර චිත්‍රපටවල වගේම භාෂාව සවුන්ඩ් හැටියට පමණයි සමජ ජීවිතය තුළදිත් දෙමල අය සම්බන්ධයෙන් දැනී තිබුණේ. කෝපය, දුක, සතුට, විලාප, මේ සෑම හැගීමක් ම හඩ හෝ නාද අනුසාරයෙනුයි අපට විෂය වූයේ. සහ ශරීර භාෂාව ඇසුරිනුයි.ගීතයක හෝ චිත්‍රපටයක සියල්ල අයින් කරලා තේරෙන්නෙ නැති වචනයේ භාෂාව විතරක් ශ්‍රවණය කරොත් තත්වය කෙබදුද? මම හිතන්නෙ කටුක අමිහිරි දෙයක් වෙනවා ඒක. තේරෙන්නෙ නැති උනත් ගීතය හෝ චිත්‍රපටයක් තුළදි භාෂාව ඇහුනත් නෑහුණා වගේ සිතින්ම සිතේ මුල්ලක කොන් කරලා තබා ගන්නත් පුළුවන්. නැත්නම් ගීතයේ හෝ චිත්‍රපටයේ රිද්මය සමග යන නාදයක් හැටියට එය සමගම එකට රස විදින්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය කතා බහේදී භාෂාව උච්චාරණ ශබ්ද ග්‍රහණය කර ගැනීමේ රුචි අරුචිකම් වල පුරුද්ද අනුවයි එහි අදාලත්වය තිබෙන්නේ.
කුරුලු ශබ්ද අතර කපුටා, කොහා, බට්ටිච්චා,අළු ගිරවා ( සිංහලයින් 'දෙමලිච්චා' යැයි කියන කුරුල්ලා) ගේ හඩවල් ලස්සන - කැත ලෙස වෙනසක් හැටියට කියවීම එන්නෙ කොතනින් ද? එය සංස්කෘතික පැවරීමක් පමණ ද? ඒ තුළ නෙසෙර්ගික මානයකුත් තියෙනවා. හින්දි සහ දෙමල භාෂා උච්චාරණ ශබ්ධය කුරුලු හඩවල් සමග අතිපිහිත කළොත් අළුගිරවුන්ගේ ශබ්දය සමගයි දෙමල භාෂාවේ ශබ්දය සිංහල ජන විඥානය තුළ අතිපිහිත වී තිබෙන්නේ. යම් හෙයකින් දෙමල ශබ්දය කොහාට හෝ කපුටාට සමබන්ධ කොට 'දෙමලිච්චා' යන වහර කපුටාට කොහාට සම්බන්ධ වූයේනම් තත්වය කෙබදුද? අළු ගිරවුන්ට මෙය සම්බන්ධ වීමේ භෞතික යථාර්ථයක් ද මෙහි තියෙනවා.සිංහලයින් දෙමලිච්චන් යනුවෙන් හදුන්වන අළු ගිරවුන් සිටිනුයේ සෑම විට ම රංචුවක් හැටියට ය. මේ කුරුල්ලන් එකට කෑ ගසන සුලබ සාමාන්‍ය කුරුලු විශේෂයකි.මේ කුරුල්ලන් එකට රංචුවක් හැටියට ශබ්ද නැගීම කෙනෙකු අවුල් කිරීමට තරම් දෙයකි! (එකිනෙකා අතර අඩදබර කෙතෙක් වුවත් කිසියම් සමූහයක් රංචුවක් හැටියට එකටම සිටීම කෙනෙකුට ඔවුන් එකිනෙකා තුළ පවතින අාස්වාදජනක බැදීම හැගවුම්කරණය නොවන ක්ෂිතමය අද්දැකීමක් දක්වා ගෙන යා හැකි ය. ඒ අනුව එය සැකයේ ව්‍යාධියක් ද විය හැකිය. ) දෙමළ සමාජය සැකයේ ව්යෘධියක් වන තැනින් අළු ගිරවා යන්නට දෙමළිච්චා යනුවෙන් ව්‍යවහාර කරනවා විය හැකි ය.
අප දන්නා අය අතරත් විවිධතා ඇත.කෙනෙකුගේ හැසිරීම කොවුලා, කපුටා,කොහා,බට්ටිචා ලෙස ස්වරූපණයන්ට බහා අර්ථ ගැන්වුවොත් කපුටා සමග වුව පවුල තුළදී පවුලේ සාමාජිකයකු සම්බන්ධයෙන් වුව ද අනන්‍ය විය හැකි ය.. මේ අනන්‍ය වීම පාලනය වන්නේ දෘෂ්ටිවාදයකිනි.සුනේත්‍රා රාජකරුණාගේ ප්‍රේම පුරාණය නව කතාවෙහි එන චරිතයක් වන එක්තරා උගත් කාන්තාවක් තම ප්‍රේමය හා ශෘංගාරය පිණිස වරෙක අනන්‍ය වන්නේ ග්‍රාම්‍ය ලක්ෂණ සහිත ගොපල්ලෙකු සමගය. ඔහුගේ ප්‍රාථමික ලක්ෂණ වලටය ඇය ආදරය කරනුයේ. ඇය ගොපල්ලාට ඇදී යනුයේ එතෙක් ඇය ඇසුරු කර තිබූ පිරිමින්ගේ සබුද්ධික, කපටි, කෘත්‍රිම ප්‍රේමාලිංගනයන් ගැන එපා වී සිටි නිසාවෙනි. නව කතාව තුළ ඇයට මෙම ලාබාල ගොපල්ලාද අවසානයේ එපා වේ. ඒ ඇය ගොපල්ලාට ඇදී යන්නේ ෆැන්ටසියක් මත වීම නිසාය. ෆැන්ටසිය මත සිටින කෙනා වෙනුවට සැබෑව අභිමුඛ වූ විට පලා යාම වෙනුවට තේරුම් ගැනීම තුළ ය ආදරය හමු වන්නේ. නමුත් ගොපල්ලා නම් ෆැන්ටසිය අතහැර තවත් ෆැන්ටසියක් කරාය නව කතාව තුළ ඇය ඇදී යන්නේ..කළු අයකු සුදු අයකු ලෙස හෝ සුදු අයකු කලු අයකු ලෙස ෆැන්ටසිගත කර නොගෙන එය විශේෂයක් කර නොගැනීමේ සරළ සාමාන්‍ය හැකියාව තුළයි සැබෑ මානව සබදතා පවතින්නේ. සමහර කලු අය සුදු අය තුළ සාරයක් හොයන අතර සමහර සුදු අය කලු අය තුල සාරයක් හෙවීම ප්රෝනො සිනමා වල විලාසිතාවක් වී ඇත්තේ තව දුරටත් කලු-සුදු සහසම්බන්ධ ප්රතිපක්ෂයක් තව දුරටත් ඇති කරවීම පිණිස මිස මානසිකව එය දුරලීම සදහා නොවේ.
සමාජයය් ම ඇති ජාතික අනන්‍යතාව මතම පිහිටා එය උහුලාගෙන එය සෞන්දර්යයක් කර ගැනීමට සිංහලයාට දෘෂ්ටිවාදයක් අවශ්‍යය.දෙමළ මිනිසාට ද එය එසේ ම ය. මෙම දෘෂ්දෙටිවාදය විය යුත්තේ ගැබිණි මවකට බස් එකේදී ආසනය දී තමන්ගේ එම ක්‍රියාව මගීන් බලා සිටින්නේ කෙසේ ද යන්න නිරීක්ෂණය කිරීමේ ආකෘතියෙන් නොවේ. විශේෂ කොට ගැනීම විශේෂ නමුත් එය විශේෂ කොට දැනවීම අනවශ්‍යය. එමගින් විශේෂත්වයට ලක් වන්නා අවමානයට ලක් වෙනවා.
දෙමල මිනිසා කව්ද කියලා සිංහලෙන් අපට කියන කට්ටියක් හිටියා. ඒ අය අපේ වැඩිහිටියන් යැයි කියමු. එයාලා දෙමල අය ගැන අපට කියූවේ හරි දේ ද? ඒ වගේම දෙමල අයට අපි ගැන කියූ දෙමල වැඩිහිටියන් කියන්න ඇත්තේ ද හරි දේ ද? ඇත්තටම කුඩා කාලයේ දෙමල සමාජය සිම්පනියක් හෝ ඔපෙරාවක් හැටියට දැනුණ විකෘතියෙන් මම ඇහැරෙන්නෙ දැනුයි. .'දෙමලිච්චා' යන්නෙන් සිංහලයින් ව්‍යවහාර කරන්නේ කුමකටද ඒ ඇයි ද යන්න මට හරියට ම දැනෙනවා. මොකද මම දෙමල සමාජය ශබ්ද/නාද අනුසාරයෙන් යුතු සිම්පනියක්, ඔපෙරාවක් හැටියට ලඝු කොට විෂය වීමේ ඉතිහාසයක් මට තියෙන නිසා.! 2017 සිංහල - දෙමළ ආරෝව දුරු වන සුභ ම සුභ නව වසරක් වේවා!!
සුජීත් රත්නායක