සම්මානලාභී කෙටිකතාකරුවකු සහ නවකතාකරුවකු වන නිශ්ශංක විජේමාන්න ගේ අභිනව කෙටිකතා සංග්‍රහය, 'මල් සූටික්කා' පසුගියදා නිකුත් විය. කෙටිකතාව සහ සෙසු සාහිත්‍යාංග පිළිබඳ ඔහු සමඟ කළ කෙටි සංවාදයකි මේ.
කැටපත කියන්නේ අතරමැදියෙක්. එහි ස්වරූප විවිධයි. අපේ කණ්ණාඩි අපි පිහදාගෙන නෑ. නැත්නම් ඒවා සමතල නැහැ. උත්තල හෝ අවතලව ප්රශ්නයේ විශාලත්වය වෙනස් කරනවා. හැඩය විකෘති කරනවා. නීරසයි. මම උත්සාහ කරන්නේ එය කරලියක් මතට ගේන්න. අධි තාත්වික අවකාශයක් මත ස්ථාන ගත කරන්න. පාඨකයාට අලුත් ම සමාජ එළැඹුම්වල අනේකවිධ හැඩතල අඳුනා ගන්න.
අවුරුදු නවයක නිශ්ශබ්දතාවකට පස්සෙ ඔබ, ආයෙත් සාහිත්‍ය මල් වෙඩිල්ලක් පත්තු කරලා. ‘මල් සූටික්කා‘ සහ ‘මුවා මැරු සලමන්‘ අතරේ එච්චර ලොකු කාල පරතරයක් ඇති වුණේ කොහොමද?
සුවිසල් කාලයක් ගෙවුණ බව මටවත් දැනුණෙ නෑ. ලියපු ඒවා ළඟ තියාගෙන හිටියා. වැඩි අවධානයක් යොමු කළේ නවකතාවලට. ‘තාරා මගේ දෙව්දුව‘ හා ‘හඳ පළුව‘ට. ඒ අතර තවත් කතාවකුත් ලියැවුණත්, එය පළ කරන්න තරම් සාර්ථක වුණේ නැහැ.
ඔබ භාෂාත්මක වෙඩි පත්තු කරන්නෙක් විදියට හඳුන්වන්න මම කැමැතියි. ඔබ කැමැති ඔබ කොහොම හඳුන්වන්නද?
මගේ වුවමනාව ඒක නෙමෙයි. භාෂාවේ වෙඩිමය හඬෙහි ආලෝලනය ඔස්සේ, පාඨකයා සමඟ ළඟා විය හැකි ඉලක්ක හඹා යාමයි. ඔව්... වචන උණ්ඩ වගේ තමා. ඒ වගේම හඬ ගැඹුරු කම්පන ඇති කරනවා. ඒත් අපේ වුවමනාව, සාහිත්‍යයේ ‘මහා රිදුම‘ වෙත ළඟා වෙන්නයි. පාඨකයා ඇද වැටෙන්න නෙමෙයි. ප්රකම්පාවේ ගැඹුරු තුවාලවලට එකිනෙකා සොයා ගන්නා ‘ඔසු‘ පිළිබඳ හිතන්නයි.
සමකාලීන සමාජ ප්‍රශ්න, මූණ බලන කණ්ණාඩියකින් නොපෙන්නා, හරිම නාටකීය බවකින් පෙන්නීමේ අරමුණ කුමක්ද?
කැටපතින් නෙමෙයි. ඇත්තම ප්රශ්නය, ඇත්තම තත්ත්වය පාඨකයා සෘජුවම ඇස් දෙකෙන් දකිනවා . කැටපත කියන්නේ අතරමැදියෙක්. එහි ස්වරූප විවිධයි. අපේ කණ්ණාඩි අපි පිහදාගෙන නෑ. නැත්නම් ඒවා සමතල නැහැ. උත්තල හෝ අවතලව ප්රශ්නයේ විශාලත්වය වෙනස් කරනවා. හැඩය විකෘති කරනවා. නීරසයි. මම උත්සාහ කරන්නේ එය කරලියක් මතට ගේන්න. අධි තාත්වික අවකාශයක් මත ස්ථාන ගත කරන්න. පාඨකයාට අලුත් ම සමාජ එළැඹුම්වල අනේකවිධ හැඩතල අඳුනා ගන්න.
ඔබ, කෙටි කතාවේ ‘රස‘ නිර්වචනය කරන්නෙ කොහොමද?
‘රස‘ නෙමෙයි, අපි මෙහෙම කියමු. කෙටි කතාව නම් ශානරය අනෙකුත් සාහිත්‍ය ශානර වගේම පංචේන්ද්‍රියන් අතරින් ‘ඇස‘ මඟින් ග්‍රහණය කර ගන්නක්. ඇතැම් විට කනෙන්. ඒත්, හොඳ කෙටිකතාකරුවෙක්ට, පොදුවේ ගත්තහම එය තුළින් පංචේන්ද්රියටම දැනෙන දේ සපයන්න සාහිත්‍ය ලේඛකයකුට හැකි වෙන්න ඕනෑ. උදාහරණයක් විදියට කීවොත්, බේකරියක් ගැන කියන කොට, පාන්වල සුවඳ නැහැයට දැනෙන්න ඕනැ. ඒක එහෙමමත් නෙමෙයි. ‘තොරොක්කෝව‘ කියලා ජපන් කෙටි කතාවක මිනිහෙක්, ළමයෙක් අතට සීනිබෝල (සූකිරි) දෙනවා මට මතක් වෙනවා. ඒවගෙන් ආවේ භූමිතෙල් සුවඳ කියලා ලේඛකයා කියනවා. මං ඒක කියෙව්වෙ මට අවුරුදු එකොළහේදී. මටත් දැණුනා භූමිතෙල් සුවඳ. ඒ විතරක් නෙමෙයි, ඇබැද්දියක් අත ළඟ කියලා. රස ගැන කියනවා නම් මට මෙහෙම හිතෙනවා. ලේඛකයා දොවද්දි, නවකතාවක ස්වරූපය දියර කිරි වගේ. ඒක ගලා යන රසක්. කෙටිකතාව චීස් රහයි. ඒ කියන්නෙ කැටි වුණු රසක්.
දොන්ත බබක්කා සහ මල් සූටික්කා, ග්‍රීස් යකා. තම්බි හාමුදුරුවෝ, ගොවි රජ්ජුරුවෝ වැනි කෙටි කතා ඇතුළේ ඔබ හංගලා තියෙන උත්ප්රාසාත්මක වේදනාව හරි ප්‍රබලයි. ඒත්, ‘උමා‘ ‘මීයෙක්ට වලිගයක් තියෙන්නෙ ඇයි?‘ වැනි කෙටි කතා මඟින් ඒ උත්ප්රාසාත්මක වේදනාව අඩු වෙලා කියලා, මම චෝදනාවක් කළොත්?
'උමා' තමා මගේ ලිවීමේ වේදනාව. මේ කෙටි කතාව කොහොම ලිව්වත්, සත්‍ය සිදුවීම පහු කරලා සාහිත්‍යයක් ගොඩ නංවන්න බැහැ. මං කියන්නෙ මගේ ලිවීම ගැන. මේ සිද්ධියේදී මම ෆේල්. ඒත් ඒ අසමත් වීමේ උත්සාහය විසින්, උත්සාහවන්ත වීමට මා නැවතත් උනන්දු කරවනවා . අනෙක් අතට, ‘මීයෙක්ට වලිගයක් තියෙන්නේ ඇයි?‘ කතාව, එය අත්හදා බැලීමක්. කොලම හා කෙටි කතාව අතර අන්තර් ධාවනයක්. නැත්නම් ඒ දෙක අතර පරතරය අඩු කරමින්, සමස්ත කතාව තුළ රූපක පද්ධතියක් වෙනුවට කතාව වටලා එක් රූපකයක් ගොඩ නංවමින්, එහි සිටින ලේඛකයාගේ ඉරණම පැහැදිලි කර ගැනීමටයි මං උත්සාහ කළේ. ‘උත්ප්රාසාත්මක වේදනාව‘ යන්න ගැන ඔබේ තහවුරු කිරීම සම්බන්ධයෙන් මමත් සතුටු වෙනවා. ඒ විදිහට කතා වියන්නටත් මං සතුටුයි. ඒත්, මේ කතාව ලිවීමේ දී ‘වේදනාත්මක උත්ප්රාසය‘ නම් උප එශානරීය විශේෂය ගැන හිතුණේ නැහැ.
සමකාලීන කෙටි කතාව ගැන, එහි වර්ධනය වගේම අලුත් හැඩතල ගැන ඔබේ අදහස කුමක්ද?
ඔබ හිතන්න විසි වැනි සියවසේ මුල දැන් ඔබ ඉන්නෙ කියලා. එවිට ඔබට, හැම සාහිත්‍ය ශානරයකම මුල් ව්‍යුහය පේනවා. ලොකු කලබල නෑ. හැඩහුරුකම් සමානයි. ඒත්, විසි එක් වැනි සියවසට යනකොට අපට , සෑම සාහිත්‍ය ශානරයකම ආකෘතීන් කොන්දේසි රහිතවම බිඳ දමමින් සිටින බව පේනවා. කෙටි කතාවටත් එය එසේම සිදු වෙනවා. සමහර කෙටි කතාවල ධාරණයේ ඒකාග්‍රතාව පවා නැතිව, කෙටිකතා ලෙස පෙනී සිටිනවා. ඒත්, පමණ දැන ශානරයේ ගුණය සුරකිමින්, එය අතික්‍රමණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රභාත් ජයසිංහගේ දීර්ඝ නවකතාමය ආඛ්‍යානයකින් යුතු කෙටිකතාවේ වගේම, බෙහෙවින් ඉස්මතුව පෙනෙන ජීවන අත්දැකීමේ ආලෝලනය රැඳෙනා ලියනගේ අමරකීර්තිගේ කෙටිකතා අලුත් හැඩතල පෙන්වනවා.
බොහෝ ලේඛිකාවන් ගේ වියමන් මඟින් අපට ස්ත්‍රීත්වය විනිවිද පේනවා. ඒත්, විරාජිනි තෙන්නකෝන්ගේ ‘අච්චාරු‘ කෙටිකතා සංග්‍රහයේ දී, ප්‍රබල පුරුෂ ලිවීමක් දක්නට ලැබෙනවා. එය මා දකින්නේ ඉතාමත් හොඳ ප්‍රවණතාවක් විදිහටයි. අනෙක් අතට, සුමුදු නිරාගී සෙනවිරත්නගේ ක්‍රමය; අපට දැනී නොදැනී කේන්ද්‍රය වෙත සිදුවීම් බලකාය වටලන අපූරුව! දීප්ති දහනක නම් කෙටිකතාකරුවා දෙස බලන්න. මගේ ඊර්ෂ්‍යාව ඔහු වර්ධනය කරනවා. අපූරුම හැඩතල, අපූරුම ආඛ්‍යාන ‘නිරායාශයික ගැලීම්‘ කියන තත්ත්වයේ දී, ශූර යාත්‍රිකයෙක් විදියට කිසිම බාධාවක් නැතිව ඔහු කතාව ලියනවා. ඔහුගේ ‘එක අතකින් වෙන මොනවා කරන්නද?‘ කෙටිකතා කෘතිය කියවන්න කියලා මගේ පැත්තෙන් මං දන්න හැමටම ආරාධනා කළා.
ඒ විදිහට ප්‍රකාශිත කෙටි කතාව හැරෙනවිට, මට හමුවන අප්රකාශිත කෙටිකතා, උදාහරණයක් විධිහට සාහිත්‍ය තරගවලට එන කෙටිකතා හා ළමයින් ලියන කෙටිකතාවල පවා, අපූරු හැඩතල හා අලුත් මාර්ගවලට පිවිසිලා තියෙනවා දකිනවා. හැබැයි බොහෝ ලේඛන නීරසයි. කටු කොහොල් සහිතයි.
මේ දිනවල ඔබ කියවන්නෙ මොනවාද? ඒ ප්‍රශ්නයම වෙන විදිහකට ඇහුවොත්, අන්තිමට කියවලා ආශක්ත වුණු පොත මොකක්ද?
පසුගිය කාලය ගෙවුණේ වැදි ජනතාව හා ලෝකයේ එවන් ගෝත්‍රිකයන් ගැන පත පොත හා අන්තර්ජාලයේ තොරතුරු හදාරමින්. මගේ ගමට ආසන්නයේ ඇති දඹානේ වැදි ජන සමාජය ගැන, එහි විපර්යාස ගැන මට කතාවක් ලියන්න හිතුණා. පද්මිණි සෙනවිරත්නගේ ‘වරණ‘ තමා අවසන් වරට කියවූ පොත. ඇගේත් ෂමෙල් ජයකොඩිගේත් ‘ලිවීමේ පොහොසත් සරල විලාසිතාව‘ දෙස වුවමනාවෙන් බලා ඉන්නවා. ඒ, කොපමණ ගැඹුරකට එම ලිවීමෙන් කිමිදිය හැකිද යන්න හඳුනා ගැනීමටයි. අර මුලින් කිව්ව වගේ මම මේ දිනවල ලියන්නට සූදානම් වන නවකතාවට අදාළ හැදෑරීම් තමයි කරන්නේ. දඹානේ කොට බකිණිය ගමටත්, දඹානේ විදුහලටත් යමින් එමින්, කතාවට අවශ්‍ය බොහෝ දේ සොයා ගැනීමට මහන්සියක් ගන්නවා.
කාංචනා අමිලානි
දිනමිණ