පොතපතට හද බැඳි රසිකයන්ගේ වසන්ත සමය වන ඔක්තෝබර් මාසයේදී බොලිවුඩයෙන් තිළිණ වුණු අනැගි සිනමා තිළිණය මැන්ටෝය. සදාත් හසාන් මැන්ටෝ නම් සුප්‍රසිද්ධ උර්දු කර්තෘගේ ජීවන අන්දරය මැන්ටෝ නමින් තිරයේ සිත්තම් වී ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිග හැරෙමින් පවතී. වසර 42ක් වැනි කෙටි ආයු කාලයකට හිමිකම් කිව්වද මැන්ටෝ ලියූ කෙටි කතා, නව කතා, ගුවන් විදුලි නාටක ආසියානු සාහිත ලොවේ අමරණීය කෘතිය.
විශේෂයෙන්ම ඉන්දියාව නිදහස ලද සැණින්ම වාගේ 1947 දී ලියැවුණු ‘පාටිෂන් ඔෆ් ඉන්ඩියා‘ ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂ වේ. ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ 1912දී මධ්‍යම පාන්තික කාශ්මීර පවුලක උපත ලැබූ ඔහු ඉගෙනුමට වඩා ඇලුම් කළේ ලේඛන කලාවටයි. පාසල් අධ්‍යාපනයට අකාලයේම සමු දුන් ඔහු මිතුරන්ගේ ඉල්ලීම් නිසා රුසියානු සහ ප්‍රංශ සාහිත්‍ය නිර්මාණ උර්දු බසට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය.
ඒ අතරේම ඔහු තමන්ගේම නිර්මාණ සාහිත්‍යයට ද මුල පිරීය. සිනමා මාධ්‍යවේදියකු, තිර පිටපත් රචකයකු ලෙස ඉන්දියාව බෙදී වෙන් වන තුරුම ඔහු බොම්බේහි ජීවත් විය. කිසිවකු විවෘතව කතා කිරීමට පවා බියවූ ලිංගිකත්වය, වෛශ්‍යා වෘත්තිය, මධුවිත, අරගල ගැන මැන්ටෝ පෑන් තුඩින් ගෙතූ විප්ලවවාදී අදහස් ග්‍රන්ථකරණයෙන් එළි දැක්වුණු විට සාම්ප්‍රදායික මතධාරීන්ගෙන් එම කෘති වාරණයට ලක්වූයේ වරක් දෙවරක් නොවේ.
කොලෝනියානු යුගයේදී එනම් යටත් විජිත සමයේදී බොම්බේ නගරයේ දී කළ නිර්මාණ මෙන්ම ස්වාධීන උර්දු ජාතිකයකු ලෙස පාකිස්තානයේ ජීවත් වීමේදී කළ ඔහුගේ කෘති ද වාරණයට ලක්විය. බොම්බේ නගරය ඔහුට දෙවැනි නිවහන විය. කාර්යාලයේම නිදා ගනිමින් මාසයකට රුපියල් හතළිහක වැටුපක් ලබමින් ඔහු ගත කළේ බොහෝ ලේඛකයන් මෙන් දුක්ඛිත දිවියකි.
වෛශ්‍යාවන්, පිම්පියන්, නැඟී එන නළු නිළියන්, සංචාරක සේවකයන්ගේ අන්දර ඔහුගේ පෑන් තුඩින් ග්රන්ථ වෙද්දී දිවිය මධුවිතට දිය විය. ජීවිතයට මෙතරම් ඉක්මනින් සමු දීමට ඔහුගේ නිර්මාණ වාරණය කිරීම ප්‍රබල ලෙසින් බල පෑවේය. එහෙත් ඔහු මියගිය පසු දෙරටින්ම අඩුවක් නැතිව මුද්දරවලින් සිනමා නිර්මාණවලින් උපහාර පිරනැමිණි. එය බොහෝ ලේඛකයන්ගේ ජීවිතවල යථාර්ථයයි.
වසර 2015 දී පකිස්තානු රංගන ශිල්පියකු සහ අධ්යක්ෂවරයකුවූ සර්මද් කූසාත් ‘මැන්ටෝ‘ නමින් සිනමා පටයක් නිර්මාණය කරන ලදී. මැන්ටෝ තිරයේ යළි 2018 දී ජීවමාන කරන්නේ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක සහ අධ්‍යක්ෂිකාවක වන නන්දිතා දාස්ය. දක්ෂ සම්මානනීය චරිතාංග නළුවකු වන නවසුදීන් සිද්දික් ඉන්දු - පාකිස්තානු ලේඛක මැන්ටෝගේ චරිතය නිරූපණය කරන්නේය.
ඔහු බ්ලැක් ෆ්‍රයිඩේ, ද ලන්ච් බොක්ස් වැනි සම්මානනීය සිනමා පට ගණනාවකටම රංගනයෙන් දායක වී හොඳම සහාය නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයක්, ජාතික සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මානයක් හිමි කරගත් නළුවෙකි.
නවසුදීන් සිද්දික්ට මැන්ටෝ චරිතය සුවිශේෂීය. ඒ ඔහු ද මේ වන විට ආන්දෝලනාත්මක ලේඛකයකු ලෙස නමක් දිනා ගෙන සිටින නිසාය. ඔහු 2017 දී ‘ඇන් ඕඩිනරි ලයිෆ් ‘ නමින් තම ජීවිත කතාව කෘතියකට රැගෙන ආවේය.
එනිසාම ඔහුට නඩු මඟට බැසීමට සිදුවිය. එලෙසම චරිත කතාවලට රංගනයෙන් දායක වීම ද ඔහුට අලුත් දෙයක් නොවීය. ඔහු ශිව්සේනා නායක බාලාසහීබ් තැකරිගේ ජීවන සිනමා වෘතාන්තයේ තැකරිගේ චරිතය නිරූපණය කිරීමට නියමිතය.
මුලින්ම අධ්‍යක්ෂිකාව මැන්ටෝ චරිතය සඳහා තෝරා ගෙන සිටියේ ඉර්ෆාන් ඛාන්ය. ඉර්ෆාන්ට චතුර ලෙස උර්දු කතා කිරීමට හැකි වීමත් ඔහු දක්ෂ නළුවකු වීමත් ඊට හේතුවිය.
අවසානයේදී ඇය නවසුදීන් සිද්දික් තෝරා ගත් බව ප්‍රකාශ කළාය. මැන්ටෝගේ බිරිය සෆියා ලෙස රසිකා දුගාල් ද මැන්ටෝගේ අඹ යහළුවකුවූ 40 දශකයේ ජනප්‍රිය තරුවක්වූ ශ්‍යාම්ගේ චරිතය තහිර් රාජ් භාසින් විසින් ද රඟනු ලැබේ.
සංජය දත්ගේ මව දක්ෂ ජනප්‍රිය නිළි නර්ගිස් ගේ චරිතය ෆරීනා වෂියර් විසින් ද සිනමා අධ්යක්ෂවරයාගේ චරිතය රිෂි කපූර් විසින් ද පිම්පියකුගේ චරිතය දක්ෂ නළු පරේෂ් රාවල් විසින්ද රඟනු ලැබේ.
රසිකාගේ පෙනුම මැන්ටෝගේ බිරිය සෆියාට බෙහෙවින්ම සමාන බව දුටුවෝ පවසති. නිහඬ එහෙත් ප්‍රබල බිරියක ලෙස ඇයගේ රංගනය ප්රේක්ෂකයන්ගේත් වචාරකයන්ගේත් නොමඳ පැසසුමට ලක්වී ඇත.
මැන්ටෝ සිනමා පෝස්ටරය 70 වැනි කාන්ස් සිනමා උළෙලේදී මුල් වරට නිරාවරණය විය. නවසුදීන් සිද්දික් සිටින පෝස්ටරයේ “ මං මට කියන්න හීන දේ තියන නිසා ලියනවා. මං ඒවා ලියන්නේ හම්බකරන්න ඕන නිසා. ඒ වාගේම කියන්න තරම් වටිනාකමක් ඒවට තියන නිසා.“ දක්වා තිබිණි. සැප්තැම්බර් 21 වැනිදා සිට තිරගත වන මැන්ටෝ තිරගතවී දෙදිනකදී ලබා ඇති ආදායම ඉන්දියානු රුපියල් ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.
අරගල කරන ජාතීන් දෙකක් බිඳ වැටෙන රාජ්‍යයක් ඒ අතර සංවේදී වන ලේඛකයකුගේ සත්‍ය කතාව මැන්ටෝ සාහිත්‍ය මාසයේ ලේඛකයකුගේ ජීවිතයේ නුදුටු සත්‍යයක් හෙළි කරයි. මේ සිනමා නිර්මාණය ඉන්දියානු පාකිස්තානු දෙරටේම ප්‍රේක්ෂකයන් විසින් නැරඹිය යුතු බවට බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබේ.
එහෙත් එය සර්ව කාලීනව අන්තර්ජාතිකව ලේඛකයන්ගේ ඉරණම කියා පාන්නකි. මින් පෙරද විශ්ව සිනමාවේ සාහිත්‍යධරයන්ගේ ජීවන අන්දර සිනමාවට ගෙතී තිබේ. බිකමිං ජේන්, වයිල්ඩ්, ද එන්ඩ් ඔෆ් ද ටුවර්, අයිරිෂ්, සිල්වියා, ද අවර්ස්, බ්‍රයිට් ස්ටාර්, කැපෝටේ, ඊට නිදසුන් කිහිපයක් පමණි.
අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ