’පසුගියදා හදිසියේ ජීවිතයෙන් සමුගත් අපේ හිතමිත්‍ර, ප්‍රවීණ කලා ශිල්පී රොනී ලීච් එවැනි සරල, සුන්දර, අව්‍යාජ මිනිසෙකි. ඔහුවන් අයකු යළි අපට මුණනොගැසෙනු ඇතැයි මට සිතෙන තරම්ය.
රොනී ලීච් නිතරම සිටියේ සතුටින්ය. ඒ සතුට ඔහු හිමිකරගත්තේ අන් අය සතුටු කිරීමෙන් ලැබූ තෘප්තිය හරහාය. සැබැවින්ම සතුට යනු අපට කරගන්නා දේවල් තුළින් ලැබෙන දෙයක් නොව අප විසින් අන් අයට කරනා දේ තුළින් ලබාගත හැකි දෙයක් බව රොනී අපට මනාව ඔප්පු කළේය.
මතුපිටින් බොහෝ අය ඔහු දුටුවේ මිනිසුන් හිනස්සන්නට උපන් හපන්කම් දැක්වූ හාස්‍යමය චරිතයක් ලෙසට වුවත්, ඒ සුන්දර චරිතය තුළ සැඟවුණු සැබෑ මානුෂීය ගුණයෙන් පිරි, කලාවට දැඩි ලෙස ඇළුම් කළ අව්‍යාජ මිනිසකු විය.
රොනී ලූක් ලීච් උපන්නේ 1953 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදාය. ඔහු අප අතර සිටියා නම්, තව දින කිහිපයකින් ඔහුගේ 65 වැනි උපන්දිනය සමරනු ඇත. ඒත් දෛවය ඊට ඉඩ දී නොමැත.
පාසැල් අවධිය පටන්ම රොනී පිච්චර් පිස්සෙකි. දැඩි සංගීත ලෝලියෙකි. පෞද්ගලික සමාගමක සේවය කළ ඔහුගේ පියා කතෝලික දේවස්ථානයේ කන්තාරු කණ්ඩායම හා සම්බන්ධව සිටි හෙයින්දෝ කුඩා රොනීට ද සංගීතය පිළිබඳ ඇල්මක්, ආශාවක් ඇති විය. කාලයාගේ ඇවෑමෙන් ඒ ආසාව දැඩි ලෙස ඔහුගේ හිත තුළ මෝරන්නට විය. කවදා හෝ දිනක මේ රටේ ජනප්‍රිය ගායකයකු වීමේ හීනයත් සමඟ ඔහු ජීවත් විය.
යෞවන වියේදී රොනී චිත්‍රපට රැසක් නැරඹූ අතර ඒ අතර දමිළ හා හින්දි චිත්‍රපට ද විය. ඒ ආභාෂය නිසාම ඔහු පසු කලෙක ඕනෑම සිංහල, දමිළ, හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටයක ඕනෑම තොරතුරක් දැන සිටි මතක ගබඩාවක් බවට පත්විය.
මේ රටේ නිපදවූ ඕනෑම චිත්‍රපටයක සින්දු, නළු නිළියන්, කාර්මික ශිල්පීන්ගේ විස්තර ඔහුට කටපාඩම්ය. ඔවුන් මියගිය දින හා ඔවුන්ට අදාළ පසුබිම් කතාන්දර ද ඔහු දැන සිටියේය.
ඒ වාගේම පැරැණි කලා ශිල්පීන්ට ඔහු තුළ සුවිශාල ගෞරවයක් හා භක්තියක් තිබිණ. ඔහු අපූරැ කලාකරුවකුයැයි අප පවසන්නේ එනිසාය.
තට්ටයා... මම ලස්සන තට්ටයා.. ගීතය හරහා එක රැයෙන් ජනප්‍රිය වූ රොනී, තට්ටයා නමින් මුල්ම කැසට් පටයක් ද නිකුත් කළේය. අංශ කීපයකින්ම දස්කම් ප්‍රකට කළ රොනී නළුවකු ලෙස දොරට වැඩියේ සේන සමරසිංහගේ ඈතින් ඈතට චිත්‍රපටය තුළින්ය. එතැනින් ඇරැඹි ඔහුගේ සිනමා ගමන තුළ ඔහු පිළිබිඹු කළ හැකියාවන් අතිමහත්ය. යළි හමුවෙන්නයි, දුෂ්‍යන්ති, චෙරියෝ ඩාලිං, සාවිත්‍රිගේ රාත්‍රිය, නින්ජා ශ්‍රී ලංකා, රෑ දනියෙන් දවල් මිගෙල්, පෙම් කැකුල, ජැක් ඇන්ඩ් ජිල්, කිණිහිරියා මල්, හායි හූයි බබි ආච්චි, ජොන්සන් සහ ගොන්සන්, සෙල්ලං කුක්කා, ලව් 2002, ඔන්න බබෝ, සැපට දුකට සනී, නුඹ නාඬන් අපිට පිස්සු, ක්ලීන් අවුට්, ජොලි බෝයිස්, අලි පැංචා මගෙ මිතුරා, කවුද බොලේ ඇලිස්, එතුමයි මෙතුමයි, මගෝ ඩිගෝ ඩයි, කොස්තාපල් පුංඤ්ඤසෝම, ලීඩර්, මයි නේම් ඊස් බන්දු, ඩොක්ටර් නවරියන්, තැන්ක් යූ බර්ටි, ඉට්ස් අ මැටර් ඔෆ් ලව් වැනි චිත්‍රපට හරහා ඔහු දැක්වූ කුසලතාවයන් ප්‍රේක්ෂක මතකයන් තුළ සදා රැඳෙනු ඇත.
සංගීත ලොවේදී ඔහු නැතුවම බැරි ගායකයෙකි. ලංකාවේ පමණක් නොව විදෙස් රටවල්වල පවා ඔහුට තිබුණේ අසීමිත ඉල්ලුමකි. එවන් විදෙස් සංචාරයක් අතරතුරයි ඔහු අවසන් හුස්ම හෙලුවේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයක් අවසන් කර නින්දට ගිය ඔහු යළි දෑස් ඇරියේ නැත.
ප්‍රසංගය වේදිකා සංවිධායකවරු පවසන පරිදි රොනී කිසි දිනෙක මුදල් මුල් කරගෙන වැඩ භාරගත් කෙනකු නොවේ. ප්‍රසංගය අවසානයේදී ඔහුට ලබා දෙන මුදල් ස්තූතියි කියා සාක්කුවට දමාගත්තා මිසක කවදාවත් ගණන් කළේ නැත.
පැරැණි කලා ශිල්පීන්ට බෙහෙවින් ආදරය කළ, ගෞරවය කළ, භක්තියෙන් සිහිපත් කළ රොනී, මියගිය කලාකරුවන් සිහි කර කලා අතිරේකවල කුමන හෝ දෙයක් පළවූ විටෙක ඔහු ඒ අදාළ මාධ්‍යවේදියාට කතා කොට ස්තූති කිරීමේ පුරුද්දක් තිබුණි.
ඕගොල්ලෝ ඒ අය මතක් කරලා ලිව්වෙ නැත්නම් මේ පරපුර ඒගොල්ලෝ කරපු කැපවීම් ගැන කිසි දෙයක් දන්නේ නැති වෙයි. ඔහු නිතරම කියනා දෙයකි.
ඒත් අප අතරින් සමුගත් කලා ලොවේ තරැ අතරට රොනී ලීච්ගේ නමත් ඇතුළත් කරන්නට අපි කිසි දිනෙක බලාපොරොත්තු නොවූයෙමු. ඒත් බලාපොරොත්තු නොවනා කොතෙක්නම් දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවාද? රොනී සමුගත්තේ හරියටම අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අග්‍රගණ්‍ය කලාකරුවා අපෙන් සමුගෙන වසර 14කට පසුවය. ගාමිණී මෙන්ම රොනී සිහිපත් කරන්නට අපට සැප්තැම්බර් 30 වැනි දින වෙන් කළ යුතුව ඇත.
රොනී වරක් කියා තිබූ අපූරු කතා කීපයක් එක්වරම සිහිපත් විය. දවසක් ඔහුගේ මිත්‍රයකු සමඟ රෑ බෝ වෙනකල් හොඳ හෝටලයක කාලා බීලා, ගෙදර යන්න ලෑස්ති වෙනකොට පාන්දර වෙලා. කාපු බීපු දේවල් නිසා කාලය දන්නෙම නැතුව ගෙවිලා ගිහින්. ගෙදර යන්න යාළුවා රොනීට වාහනයක් කතා කරලා දීලා. ගෙදර ගිහින් බහිද්දි පවුලේ කට්ටිය හොඳටම බය වෙලා. බැලින්නම් යාළුවා කතා කරලා දීලා තියෙන්නේ අවමංගල්‍ය රථයක්ලු.
උස් පහත්, ජාති බේද, පක්ෂ පාට බේදවලින් තොරව සැවොම එක ලෙස සහෝදරත්වයෙන් ඇසුරු කළ, ඒ හැමෝගෙම ආදරයට හා ගෞරවයට පාත්‍ර වුණු රොනී සමාදානයේ සැතපේවා!
රමේෂ් උවයිස්
දේශය