කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීතයක මිථ්‍යාවන්, සැඟවුණු යක්ෂයා, රහසිගත වස්තුව, මිනිසාගේ නොසන්සිඳෙන ආශාව එකට කැලතුණු තුම්බාඩ්හි (හොරණෑවේ) නාදය මේ දිනවල බොලිවුඩය පුරා රැව් දෙමින් පවතී.
ඒ ඉහළම ආදායම් වාර්තා හිමිකර ගනිමිනි. මේ ඓතිහාසික මනෝමය භයංකර සිතුවම් පටය රාහි අනිල් බාවේගේ මංගල අධ්‍යක්ෂණයයි. ඔහුට අධ්‍යක්ෂණයෙන් සහාය වන්නේ ආනන්ද් ගාන්ධිය. 1920 ගණන්වල පූනේහි බ්‍රාහ්මණ පවුලක පරම්පරා තුනක් වටා කතාව ගෙතී තිබේ.
බාවේ තිර පිටපත රචනා කළේ 1993 දී මිතුරකු මහාශාස්ත්ර ප්‍රාන්තයේ නාග්සිරා වනජීවී අභය භූමියේ දී පැවසූ නාරායන් ධරප්ගේ කතාවක් පාදක කොට ගෙනය. නාරායන් (1925-2008) භයංකර රසය කුළුගැන්වෙන කෘති සියයකට වඩා රචනා කර ඇති මරාති ලේඛකයෙකි. ඔහු සිනමා පටයට නම් තබා ඇත්තේ ස්රීපාද් නාරායන් පෙන්ඩ්සේගේ තුම්බාඩ්චේ කොට් මරාති නව කතාව ඇසුරෙනි. රාහි අනිල් බාවේ මිතුරාගෙන් ඇසූ කතාවෙන් තිර පිටපතකට මුල පුරා ඇත්තේ වයස අවුරුදු 19ක් වැනි නව යොවුන් වියේදී ය. 2009 සිට 2010 දක්වා ඔහු මාස නවයකදී පිටු 700ක කතා පුවරුවක් (ස්ටෝරි බෝඩ්) නිර්මාණය කළේය. ඔහු සඳහන් කරන අන්දමට සියල්ලේම නැංගූරම වූයේ එයය.
රාහි 2008 දී නිෂ්පාදකවරයකු සොයා ගන්නා ලදී. 2012 දී මෝසම් වැසි ඇද හැළෙද්දී රූ ගත කිරීම් අරඹන ලද අතර එය වසර සිය ගණනකින් මිනිසුන් පා නොතැබූ තැනකි. හුදෙකලා, වාත ශූන්‍යයයි හැඟීමක් ඇතිකරන ඒ වැසි පරිසරයේ රූගත කිරීම් සිදු කෙරුණු අතර සිනමා පටයේ ඇත්තේ ඉතා අඩු දෙබස් සංඛ්‍යාව නිසා පරිසරයේ ගුප්ත බව වඩාත් ස්ථාපිත විය.
විනායක් ලෙස රඟන සෝහුම් ෂා මල්ලව පොර ශූරයාගේ චරිතය රැඟීමට බර කිලෝග්‍රෑම් අටකින් වැඩිකර ගන්නා ලදී. වසර හයක් නිෂ්පාදන කටයුතු සිදුකෙරුණු අතර ෂා ඒ සය මසම බර නොවෙනස්ව තබා ගත්තේය.
නාරායන් ධරප්ගේ කෙටි ජන කථාවට අනුව ගෙතුණු සිතුවම් පටේ තුම්බාඩ් යනු මහාශාස්ත්රයේ ගම්මානයකි. මාල්ෂේ නම් තරුණ වැන්දඹුව සිය පුතුන් දෙදෙනා සමඟ ජීවත් වූයේ එහිය. ඇය මහලු මිනිසකු සහ දම්වැල් යොදා තැබිය යුතු අද්භූත වයෝවෘද්ධ කාන්තාවක බලා ගත්තාය. අද්භූත වයෝවෘද්ධ කාන්තාවට වටිනා ලෝහ ද්‍රව්‍ය අවශ්‍ය විය. ඛේදජනක සිදුවීමක් නිසා ඒ පවුලට ගම් බිම් හැරපියා යෑමට සිදුවූ අතර පූනේවල පදිංචි වීමට සිදුවිය. එහෙත් ඇයගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමල් පිරිමි දරුවාට ඒ කතාව අමතක නොවීය. ඔහු යළි උපන් ගමට යන්නේ වස්තුව සොයා ගෙනය.
පෙර නොවූවිරූ අත්දැකීමක් ලබාදෙන තුම්බාඩ් ප්‍රේක්ෂකයන් සිනමා හළේ සෙල් පිළිම බවට පත් කරයි. තුම්බාඩ් නිපදවීමට වැයවී ඇත්තේ ඉන්දීය පවුම් කෝටි 55ක් වුවද මේ වන විට ලැබී ඇති ආදායම ඉන්දීය පවුම් කෝටි 185.80 ඉක්මවයි.
මේ ඓතිහාසික කතාව කාලීන වන්නේ මිනිසාගේ තණ්හාව අදට ද පොදු නිසාය. සර්වකාලීන වූවක් නිසාය. මිනිසා යනු කෙදිනකවත් තෘප්තිමත් වන්නකු නොවෙයි. එපමණක් නොව තණ්හාව මිනිසා යක්ෂයකු කරයි. එය සැබැවින්ම තුම්බාඩ්ට වඩා භයානකය. සිනමා පටයේ සෝහුම් ධාට අමතරව හරීෂ් ඛන්නා (සම්ස්තනික්), රොන්ජිනි චක්‍රබෝර්ති, අනිතා ඩේට්, මොහොමඩ් සමාඩ්, ජ්‍යෝති මල්ෂේ ආදී තරු මෙහි රඟති. සිනමා පටය 75 වැනි වැනීසියානු අන්තර්ජාතික සිනමා උලෙළේ විචාරක සතියේ තිරගත කෙරුණු අතර එසේ තිරගත කෙරුණු ප්‍රථම ඉන්දීය සිනමා පටය මෙයයි.
සිළුමිණ