කල්පන ආරියවංශගේ සහ වින්දන ආරියවංශගේ දෙවැනි සිනමා නිර්මාණය වූ රූකඩ පැංචි සිනමා නිර්මාණයේ රූගත කිරීම් අවසන්ව මේ දිනවල සංස්කරණ කටයුතු කෙරීගෙන යනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන ළමා රංගන ශිල්පිණිය පිළිබඳව බොහෝ අයගේ අවදානය යොමුවෙලා තියෙනවා.
ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ පුංචි රංගන ශිල්පිණිය කුෂේන්යා සයුමි ෆොන්සේකා නිළි රැජන මාලිනි ෆොන්සේකගේ මිණිබිරියයි. ඒ වගේම සමනලී ෆොන්සේකා ගෙ සහෝදරයා වූ අසංග ෆොන්සේකා ගේ සහ ඉමල්කා සමරවීර ගේ දියණියයි. . දමයන්ති ෆොන්සේකා ඇගේ පුංචි මිත්තනියයි. සම්මානනීය සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ ඇයගේ සීයා කෙනෙකි. එමෙන්ම ඇගේ මුත්තනුවන් ආනන්ද ෆොන්සේකාය.කෂේන්යාගේ තවත් සෙනාලි ෆොන්සේකා ද කුෂේන්යාගේ නැන්දනියකි.
පරම්පරා කිහිපයකින් රංගන හැකියාව උරුම කරගත් මේ පුචි රංගන ශිල්පිනිය ට මුලින්ම චිත්‍රපටයක රංගනය සඳහා අවස්ථාව ලැබී තිබුනේ සමනළී හරහාය. ඒ මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ කුෂේන්යාගේ පළමු චිත්‍රපටයයි. ඉන් අනතුරුව දෙවන චිත්‍රපටය වූ රූකඩ පැංචි සඳහාද ආරියවංශ සොහොයුරන්ගේ අවදානයට යොමුවී ඇත්තේ සමනළී ෆේස්බුක් හි පලකර තිබූ කුෂේන්යාගේ පින්තූර දැකීමෙනි.
"මගේ සීයා ආනන්ද ෆොන්සේකා වෙඩින්වල ෆොටෝ ගන්නවනෙ. දවසක් එයා කැමරාවක් ටෙස්ට් කර කර හිටියා. මට ඉන්න කියලා ෆොටෝ ටිකක් ගත්තා. ටෙස්ට් කරන්නයි එහෙම ගත්තේ. ඒවාවල මං හරියට ශානි සමනලි නැන්දා වගේ කියලා එයාට බලන්න යැව්වා.ශානි නැන්දා මොකද දන්නවද කරලා තියෙන්නේ.එයා ඔක්කොම ෆොටෝස් ෆේස්බුක් එකට දාලා.නැන්දා වගේ කියලා තමයි හැමෝම කියන්නේ. එයාගේ මුහුණුවර මට තියෙනවාලු. නැන්දා එහෙම කියලා තමයි මගේ ෆොටෝස් ෆේස්බුක් දැම්මේ. වින්දන මාමා ඒ ටික දැකලා ශානි නැන්දගෙන් අහලා තියෙනවා කවුද එයා කියලා. ශානි නැන්දා මං ගැන කියපුවම වින්දන මාමාගේ අලුත් චිත්‍රපටයට මාව ඉල්ලලා. දමයන්ති ආච්චි හරහා තමයි මට කතා කළේ."
රූකඩ පැංචි චිත්‍රපටයේ කුෂේන්යා රගපාන්නේ රංගිගේ චරිතයයි.
"සීයයි, ශානි නැන්දයි තමයි මට දෙබස් කියන්න උදව් කළේ. ශානි නැන්දා මට නිතරම උපදෙස් දෙනවා සාමාන්‍ය විදිහටම දෙබස් කියන්න කියලා. අධ්යක්ෂ මාමත් උදවු කළා දර්ශන තලයේදී.
රූකඩ පැංචි චිත්‍රපටයේ ජැක්සන් මාමත් එක්ක රඟපෑව ඔක්කොම සීන් මට අමතක වෙන්නේ නෑ. තව තැනක තියෙනවා දයාදේව මාමට බනින දර්ශනයක්. මට ටිකක් අපහසු වුණා ඒක කරන්න."
කුෂේන්යා කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ හත වසරේ ශිෂ්‍යාවකි.ඊට පෙර ඇය කැලණිය ශාන්ත පාවුලු බාලිකාවේ ශිෂ්‍යාවකි.
"රූකඩ පැංචි චිත්‍රපටයට කලින් මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. නර්තනයට තමයි ආස. චිත්‍රපටයේ රඟපෑවයින් පසුව මට රඟපාන්න හරිම ආස හිතුණා. අම්මලාගෙන් අහලා හොඳ දෙයකට කතා කළොත් දැන් නම් යනවා."